විප්ලවවාදී පෙරටුගාමී පක්ෂ අතරින් මිනිස්කම සොයා යාමේ අරගලය / The struggle in search of humanity among the revolutionary vanguard parties

ආයෙමත් කියවන්න: Little Red Riding Hood
වෘකයාගේ භූමිකාව වෙනුවට
දර කපන්නාගේ භූමිකාවට
අපි මාරු විය යුතුයි.
අපට ලැබී ඇති තොරතුරු අනුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ බහුතරය ද, මධ්‍යම කමිටුවේ බහුතරය ද දැන් කැරළිකාර කණ්ඩායම ලෙස නම් ලැබ සිටින අයට සහයෝගය පළ කරති. 


දැන් අවුල වී ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර නියෝජිත සම්මේලනයකින් පත් කර ගන්නා ලද ඇත්ත මධ්‍යම කාරක සභාව එකක් ද, හයවන සමුළුවේදී නිල වශයෙන් පත් කර ගන්නා ලද මධ්‍යම කමිටුව තවත් එකක් ද වීමයි. 


පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස්ට මධ්‍යම කාරක සභාව ලෙස දන්වා යවන ලද නාම ලේඛනයේ කුමන නම් ඇද්ද යන්න දැන් කැරළිකරුවෝ සැක කරති. 


ජවිපෙ වැඩ කළේ මූලධාර්මිකව හෝ ක්‍රම විරෝධී පිළිවෙලකට ය. එහෙත් දැන් නඩු කියන්නේ ධනේශ්වර අධිකරණයේ ය. බහුතර සහයෝගය නැතත්, ජවිපෙ නාමයේ නිල අයිතිය, පක්ෂ මූලස්ථානයේ අයිතිය ආදිය අත් පත් කර ගන්නට සමත් වූ පිරිස මුල් වටයේ ජයග්‍රාහකයෝ වී සිටිති.


කැරළිකරුවන් තවමත් සිය පදනම බවට පත් කර ගන්නට උත්සාහ කරන්නේ පක්ෂ හෘදය සාක්ෂියයි. ඔවුන්ගේ පැරණි නායකයන් හා සහෝදරයන් පිරිසක් හෘදය සාක්ෂියට සමච්චල් කරමින් වංචනික කෲරත්වයකින් දේපල පැහැර ගනිමින් සිටින ආකාරය පිළිබඳ අපූරු දේශපාලන අත්දැකීමක් දැන් ඔවුන් විඳිමින් සිටිනවා ඇත. 


මේ අත්දැකීම වමේ බිඳී යාම්වල ඉතා සුලබ දෙයකි. පක්ෂය මිනිස්කමට වඩා උත්තරීතර දෙයක් ලෙස සැලකීම අප්‍රකාශිත වාම මූලධර්මයකි. 


මෙම මූලධර්මය මත පිහිටා පක්ෂය වෙනුවෙන් ඕනෑම ජඩකමක් කිරීමට  පක්ෂය විසින් සාමාජිකයන් පුහුණු කෙරේ. මේ ජඩකම්වල අද ගොදුරු බවට පත් වී සිටින අය කලින් වෙනත් අයට එරෙහිව ජඩකම් කළ අයයි. අද ජඩකම් කරන අය හෙට ඒවායේ ගොදුරු බවට පත් වෙති. (තමන් ඉවත් වූ විප්ලවවාදී යයි කියන දේශපාලන කණ්ඩායමක සිටි මහා මානව හිතවාදීන් කවියන් ලෙස පෙනී සිටින පැරණි මිතුරන්, සහෝදරයන් කූට හා නිර්දය අන්දමින් තම ජීවිතය දේශපාලනිකව මෙන් ම ශාරීරිකව ද විනාශ කරන්නට උත්සාහ කළ ආකාරය පිළිබඳ සජීවී අත්දැකීමක්  මෙම ලේඛකයාට තිබේ.) 


විප්ලවවාදී  පක්ෂ යයි කියන අද්භූත ව්‍යූහ තුළ මිනිසුන්ට අත් වන ශෝචනීය ඉරණම මෙයයි. මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිස යයි ප්‍රවර්ධනය කරනු ලබන විප්ලවය අඩු තරමේ පක්ෂ සාමාජිකයාට හෝ සාධාරණ එකක් නො වීම අපූරු තත්වයකි. 


මෙය එක පැත්තකින් නව ලිබරල් ධනවාදයේ සමායතනවාදයේ ද්විත්ව ප්‍රතිපාර්ශ්වයකි. නව ලිබරල් ධනවාදය තුළ විශාල සමායතනවල භූමිකාව ද එක්තරා අන්දමකට විප්ලවවාදී අරගලය තුළ පක්ෂ භූමිකාවට සමාන වේ. මේ සමායතනවලට නිශ්චිත පැහැදිලි අයිතිකරුවෝ නැත. සමායතන සිය ලාභය නැවත, නැවත ආයෝජනය කරමින් බූවල්ලකු සේ වැඩේ. 


අවසානයේදී බැලූ කල සමාගම් පවතින්නේ සමාගම් සඳහා ය. විප්ලවාදී යයි කියන පක්ෂ පවතින්නේ එකී පක්ෂ සඳහා ය. මිනිසුන් වෙනුවෙන් නො වේ. හරියට අර කවිය කවිය සඳහා ය කියූ පැරණි සංවාදය සේ ය. 


අලුතින් හිතන්නට මිනිසුන් පෙළඹෙන මෙසමයේ අපි මෙසේ කියමු. වම නැවතත් මිනිස්කම සොයා යා යුතු ය. 


එක බත් පත, එක ඇඳුම සමගින් ජීවිතය බෙදා ගනිමින් සිටි  සහෝදරයන් ක්ෂණයකින් එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නා තත්වයට පත් කරන පෙරටුගාමී යයි කියන පක්ෂ නම් අද්භූත ව්‍යූහ විශේෂයකින් මිනිස් සමාජයට කිසිදු සෙතක් සිදු වන්නේ නැත. ඒ බව ඔප්පු කිරීම සඳහා නිදසුන් තවත් ඕනෑ නැති තරම් එමට ය. 


විප්ලවවාදය මැදින් යළි මිනිස්කම සොයා ගැනීම ද අතිශය දුෂ්තර සටනකි. 


කවුරු මොනවා කීවත්, විමල් වීරවංශලා ජවිපෙන් කැඩී ගොස් අලුතින් පක්ෂයක් හදන්නට උත්සාහ කළ වකවානුවේ එහි අභ්‍යන්තරයේ හීනියට මේ මිනිස්කම පිළිබඳ සංවාදය මතු වෙමින් තිබුණු බව අපි නිරීක්ෂණය කළෙමු. 


එහෙත්, සීගිරිය බලන්නට යන්නට බැරි වූ බව කියා හඬා වැටුණු විමල් වීරවංශ වැනි ජීවිතය විඳින්නට අසමත් වූ මිනිසුන් පිරිසකගේ ඉක්මණින් ඇරියස් ඇල්ලීමේ පෙරේතකම එම ව්‍යායාමය සැණෙකින් ආක්‍රමණය කළේ ය. 


ජවිපෙ පාර්ශ්ව දෙකෙන් එකක් හොඳයි, අනෙක නරකයි කියා කියන්නට අප හදිසි නො විය යුතු තරම් සංකීර්ණත්වයක් මෙම බෙදීම තුළ තිබේ. 


බෙදීම් සමග කවුරුත් මේ කාරණා පිළිබඳ කලින්ට වඩා සංවේදී බවක් පෙන්වන්නට උත්සාහ කරති. එහෙත්, කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී ය. 


ජවිපෙන් මෙතෙක් කැඩී ගිය කොයි කණ්ඩායමේත් හිටියේ ජවිපෙ සිටි වර්ගයේ ම පාලම් කොක්කු බව ඉගිලෙන විට පෙන්නුම් කෙරිණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලෙනින් බලය ලබා ගන්න කී දෙනෙක් මැරුවද....?

    ළෝකේ ගැන දන්නෙ නැති නාහෙට අහන්නේ නැති කාළේ ළෝකේ හදන්න යනවා. ළෝකේ ගැන දැන ගත්තම තමන් හැදෙනවා. මේක සංසාර චක්කරේ වගේ යනවා. නමුත් ඔය අවස්ථා දෙකේම පොදු සමාන කමක් තියෙනවා. ආත්මාර්ථකාමීත්වය. විප්ලව කරල ජීවීතේ තේරුම් ගත් අය හරි අල්පයි.

    ReplyDelete
  2. "මෙය එක පැත්තකින් නව ලිබරල් ධනවාදයේ සමායතනවාදයේ ද්විත්ව ප්‍රතිපාර්ශ්වයකි."

    මොකක්ද බං මේ හරුපෙ. උඹනම් හිටපු ජෙප්පෙක්ම තමයි මේ වගේ පොඩි එවුන්ට නොතේරෙන මහා වාක්‍ය දාන්නෙ ඒකයි.

    ReplyDelete
  3. ඔය ජවිපෙද මොකක්ද එක හැමදාම කලේ රටට කෙලවන වැඩ එහෙම නැත්නම් ඒකට මුක්කු ගහන එක. ඕකට අනාගතයක් නෑ කියලා ඕකේ ඉන්න උතුමන්ලාට තාම තේරෙන්නේ නැති හැටි.
    -කුමාර්-

    ReplyDelete
  4. මෙම අවස්ථාවෙ දි රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනිමට රටට ආදරය කරන සිංහලයන් ලෙස අප සැම එක් වි වැඩ කරමු විය යුත්තේ එයයි

    ReplyDelete
  5. කොහොමද මචෝ මගේ අනාවැකිය. කියල දවස් දෙකක් ගියේ නෑ නේද...?
    කොහොමද මගේ වැඩ...

    ReplyDelete
  6. Ane api oya kedila giya un gena dannawa..Paudgalikawa ashrya karalath thiyenawa..Nikan hodanna hadanna epa halo..E palam kokku tika ain una ekanam sehenna hondai..

    ReplyDelete
  7. [ලෙනින් බලය ලබා ගන්න කී දෙනෙක් මැරුවද....?]
    අනේ ගොනෝ!!!!!

    ලෙනින්ලා බලය ගත්තුනිසා ජීවිත කීයක් බේරුනාද?

    උදාහරණයකට ල0කාවේ යුද්ද්කරද්දි ජීවිත කීයක් නෑතිවුනාද???ඵ්ත් ඵ්හෙම ජීවිත පුජාවෙන් යුද්දකරලා දෑන් ජීවිත කීයක් සුරක්ශිත වෙලා තියනවාද????

    ල0කවේ මේවගේ බුද්දිමත් පුන්නක්කු බක්ශකයෝ ඉන්නකන් ඈමරිකන් ම0කොල්ලකාරයටයි උන්ගේ වෑසිකිලි හෝදන පච දේශප්‍රේමීන්ටයි හොදයි!!!අනේ අපේ කොල්ලො වඩා යහපත් රටක් වෙනුවෙන් කොටියගෙ උන්ඩෙට පපූවදීලා මෑරුන.මේවගේ ආත්මාර්තකමීන් ඵ් රටේ බල්ටිගහ්න ඵක දකිනකොට මාර දුකයි.

    ReplyDelete
  8. 1989 අග සන්නද්ධ ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සියල්ලන් ඉතා කෙටි කලකදී මරා දැමුණු විට රට පුරා මෙන්න මෙහෙම පෝස්ටරයක් වැදුනි.

    "ගැරඬි මලා නයි ඉන්නවා"

    රෝහණ විජේවීර ගැන පිටස්තර විදිහට හිතු "සාමාන්‍ය" ගැමියන් පවා මෙයින් හිත් වේදනාවට පත් වුයේ, හොඳ වුනත් නරක වුනත් කෙනෙකුට තම නායකයා මැරුණු වහා මෙහෙම කියන්න පුලුවන්ද කියා කියමිනි.

    මේක බොහෝ දුරට ආණ්ඩුවෙන් ගහපු වෙන්න ඇති. අග කාලේ ජවිපේ කියා කල බොහොම තීරණාත්මක වැඩ ආණ්ඩුවෙන් ජවිපෙ වගේ පටන් ගත්තු ඒවා බවට ලොකු සැකයක් තිබේ. එහෙත් එදා නොතේරුණු ඒක දෙයක් අද වැටහේ. තමන් උත්තරීතරයි කියා හිතන මේ නායකය පවා පක්ෂය හැර ගියා නම් පහු වෙනදාට ඔහු ගැරඬි භාවයට පත් වන බවයි.

    මේක බොහොම මෝඩ, පහත, උද්ධච්ච මතවාදයකි. රටේ මිනිසුන් අපේ කටින් පිටවන සියල්ල අපේ කේඩරය මෙන් ශුද්ධ සුවිශේෂය ලෙස බාර ගන්න බවට ඔවුන් තුල ඇති අවතක්සේරුවට උදාහරණයක්.

    හෙට වෙන එකෙක් ගියත් ජෙප්පා කියන්නේ ඕකම තමා. අනික් වමේ "සිහින" පක්ෂ ඉතින් අපිට පෙනෙන්නේ නැහැනේ. නොපෙනෙන තරම් පොඩි වැඩියි නේ.

    පක්ෂ කඩා ගෙන යාමක දී ශ්‍රී ලංකා යු එන පී වැනි නිකම් පක්ෂ බොහොම වැදගත් විදිහට හැසිරෙන බව මට හිතේ.

    අජිත් පැරකුම් මේ කොටුවෙන් එලියට ඇවිත් හිතන ඒක ගැන සන්තෝසයි.

    ReplyDelete
  9. "ගැරඬි මලා නයි ඉන්නවා"

    ඔක UNPආන්ඩුවෙන් ගහපු පෝස්ටරයක්නේ.
    ඵ් ගෑන මොනවා කතාකරන්නද?

    තමන්ගෙම හමුදවෙ කොල්ලන්ගෙ දෙමව්පියො මරලයි දේශප්‍රේමී ජනතා වි‍යාපාරයට ඵරෙහිව ප්‍රේමදාසලා හමුදාව උසිගෑනුවේ.ඵ් අනුව බලනකොට නියම ගෑරඩියත් නයත් ප්‍රේමදාස.

    ReplyDelete
  10. [[තමන්ගෙම හමුදවෙ කොල්ලන්ගෙ දෙමව්පියො මරලයි }}

    When they did it at one place or two, it was the "deshapremi fools" who continued it all over teh country.

    It can happen even today. The thing is the caders can be fooled that action AAA is teh path for revolution. No sense or brain foolishly following.

    Even today the party's factions may be driven by ppl who wanna destroy them. There is no limit for blind faith sadly.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා