2015-01-29

ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන්ට නැවත නැගිටින්නට ඉඩ නො දිය යුතු ය

ටයි කෝට් ඇඳි ගල් වැද්දෝ
මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු කේන්දරකාරයෝ, කට්ටඩියෝ හා හොර වෙද්දු නන්නත්තාර වී සිටිති. පහත වීඩියෝවේ දැක්වෙන උද්ඝෝෂණය ඔවුන්ට වැදුණු බඩේ පාර නිසා ය. 

දැන් මේ පිරිස ඉල්ලා සිටින්නේ රතුවිතානලාට, සුමනදාස අබේගුණවර්ධනලාට, චන්ද්‍රසිරි බංඩාරලාට තිබුණු තැන තමන්ට දෙන්න කියා ද? 

ජ්‍යෝතිෂයට සිදු වූයේ අන් කිසිවක් නොව, එය මිනිසුන් රවටා මඩි තර කර ගන්නා මහා ජාවාරමක් වීමයි. බාගෙන කන්නට තිබුණු වල ඉහගෙන කන්නට යාමයි. 

ජ්‍යෝතිෂය කිසියම් සංස්කෘතිකාංගයක් ලෙස රාජ්‍යය විසින් ඉවසිය යුතු ය. එහෙත්, එය මහජන මුදලින් ජනාධිපති උ‍පදේශකයන් නඩත්තු කරන මට්ටමට නම් කිසි සේත් ම නො ගෙනිය යුතු ය. 

රජය මෙවැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම වහා නවත්වා දැමිය යුතු ය. අධ්‍යයනයක් කර බැලුවහොත්, ග්‍රාමීය දිළිඳුකමට, පවුල් ආරාවුල් බොහොමයකට හා සෞඛ්‍ය ගැටලු රැසකට හේතුව ජ්‍යෝතිෂය, මන්තර ගුරුකම් හා හොර වෙදකම බව සිතා ගත හැකි ය. 

නිදසුනක් ලෙස දිළිඳු ජන කණ්ඩායම් තම කාලකන්නිකමට හේතුව ලෙස ජ්‍යෝතිෂ කරුණු හඳුනාගෙන කේන්දරකාරයන්, සාත්තරකාරයන් හා කට්ටඩින්ට සැලකිය යුතු මුදලක් පුද කරති. එසේම, ඔවුන්ගේ කටයුතු නිසා පවුල් අවුල් කර ගනිති. පෙම්වත්තු විවාහ නො වෙති. දික්කසාද විය යුතු අය දික්කසාද නො වෙති. ජීවිතයට සම්බන්ධ වැදගත් තීරණ, තින්දු නො ගනිති. හොර වෙදුන් නිසා රටේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැය කරන මහජන මුදල් අපතේ යයි. ජනතාව රෝගී වෙති. 

දැන් කළ යුතුව තිබෙන්නේ ජ්‍යෝතිෂය නගා සිටුවීම නො වේ. මහජනතාව මේ මිථ්‍යාවන් පිළිබඳ දැනුවත් කිරිමයි. 

මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීම ජීවනෝපාය කර ගත් මේ තක්කඩීන් පිරිසට තමන් මෙතෙක් උපයා ගත් ප්‍රාග්ධනයෙන් යහපත් ජීවන මාර්ගයක් සලස්වා ගැනීමට උපදෙස් හා උපකාර ලබා දිය යුතු ය. 

විශ්ව විද්‍යාල මගින් ජ්‍යෝතිෂ උපාධි දෙන්නට කර තිබෙන යෝජනා පිටුදැකිය යුතු ය. මේ උපාධි දුන්නොත්, තව වැඩි කාලයක් යන්නට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජ්‍යෝතිෂ නිලධාරි කියා තනතුරක් හදා මේ උපාධිධාරීන්ට රැකියා දෙන්නට ද සිදු වනු ඇත.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.