2013-10-05

ප්‍රභාකරන්ගේ බංක‍රය කඩා බිඳ දැමීම යනු කුමක් ද?

1987 වසර. - ප්‍රභාකරන් ඉවුම් පිහුම්වල ඇලුම් කළ කෙනෙකු බව ඇඩෙල් බාලසිංහම්ගේ 'විල් ටු ‍ෆ්‍රීඩම්' පොතේ දැක්වේ. 
මම පශ්චාත් යුද සංචාරකයකු ලෙස උතුර‍ට ගොස් නැත. එහෙයින් හමුදාව විසින් පසුගිය කාලයේ ප්‍රදර්ශනය කරමින් සිටි ප්‍රභාකරන්ගේ යයි කියන බංකරය ද දැක නැත්තෙමි. මට එය බලන්නට උවමනාවක් තිබුණේ ද නැත.

ප්‍රභාකරන් සැතපුණ තැන් ඔය වන්නියේ හා ලංකාවේ උතුරේ තවත් බොහෝ තිබෙනවා විය හැකි ය. ඔහු‍ගේ මේ බංකරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ සුඛෝපභෝගී බංකරයක් ලෙසයි. වියන් ඇඳක්, පුටුවක්, දියවැඩියා රෝගියකු විසින් පාවිච්චි කරන්නට ඇතැයි සිතෙන ශීතකරණයකට ආදේශක උපකරණයක් වැනි දේ ඇති, වාතාශ්‍රය නැති, කළුවර, සීතල කුටියක් සුඛෝපභෝගී යයි සිතන්නට මට නම් හේතුවක් නැත. එහෙත්, ආණ්ඩුවෙන් කී නිසා බොහෝ ජනමාධ්‍ය ද එය ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී බංකරය ලෙස හැඳින්වූයේ ය. 

මේ බංකරය දෙස බැලූ විට මට නම් පෙනෙන්නේ ප්‍රභාකරන් විසින් ගත කර තිබෙන්නේ අතිශය කටුක ජීවිතයක් බවයි. ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය විස්තර කිරීම සඳහා යොදා ගනු ලබන සෙසු ඡායාරූප ද එවැනි ය. මිතුරකුගේ නිවසේ සාමාන්‍ය කෑම මේසයක්, සැබෑ පිහිනුම් තටාකයකට කිසි සේත් සමාන නො වන කුඩා ප්ලාස්ටික් දිය තටාකයක් වැනි දේ හා ප්‍රභාකරන්ගේ කුඩා පුතා හා සම්බන්ධ තවත් සුළු සුළු දේ මේ මහා සුඛෝපභෝගී ජීවිතයේ සාක්ෂි ලෙස ගෙන හැර දක්වනු ලැබේ. 

සාමාන්‍ය දෙමළ මිනිසුන් දුක් විඳිද්දී නායකයන් සැප වින්දා යයි පෙන්වන්නට ඉදිරිපත් කරන ලද මේ මුග්ධ සාක්ෂිවලින් සිංහල සමාජය සතුටු වන්නට ඇත. එහෙත්, දෙමළ සමාජය මේ දෙස එවැනි කුහක ඇසකින් බලන්නට නැතිවාට සැක නැත. ඔවුන් ඉදිරියේ ඔප්පු වන්නට ඇත්තේ ප්‍රභාකරන් කෙතරම් කැප කිරීමක් කළා ද යන්නයි. මේ සාක්කිවලින් ඔප්පු වන්නේ ප්‍රභාකරන් දීර්ඝ කාලයක් තිස්සේ යුද හමුදා දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වලට, චන්ද්‍රිකා නිරීක්ෂණවලට හා ගුවන් ප්‍රහාරවලට බියෙන් අතිශය කටුක දුෂ්කර සිර ජීවිතයක් ගත කර තිබෙන බවයි. ඔහු දැඩි මානසික ආතතියකින් සිටින්නට ඇති බව අනුමාන කළ හැකි ය. අවසන් සටනෙහිදී මරා දමන්නට ඇත්තේ රෝගියකු බව මම සිතමි. 

ප්‍රභාකරන් තමන් දිනා ගන්නට උත්සාහ කළ භූමිය අතහැර පළා ගියේ නැත. මරණය පෙනි පෙනීත් සිය දරු පවුල පමණක් නොව මව හා පියාත් සිය භූමියෙහි‍ ම තබා ගත්තේ ය. සංවිධානයේ පොදු ඉරණම තමන්ගේ හා තම පවුලේ ද ඉරණම කර ගත්තේ ය. 

දැන් උතුරේ සිවිල් පරිපාලනයක් පිහිටුවෙමින් තිබේ. වත්මන් සංදර්භය තුළ ලංකාවේ රජයට ඒ සිවිල් පරිපාලනය දිරි ගන්වන්නට හා ඒ සමග කටයුතු කරන්නට සිදු වීම අනිවාර්ය වේ. හමුදාවට ද සිවිල් ජීවිතය වෙත කරන මැදිහත් වීම් අවම කරමින් පියවරෙන් පියවරට කඳවුරු කරා පසුබසින්නට සිදු වීම ද අනිවාර්ය ය. මේ තත්වය වෙනස් කරන්නට නම් උතුරේ නැවතත් ත්‍රස්තවාදයක් ම පැන නැඟිය යුතු ය. එහෙත්, රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව උතුරේ ත්‍රස්තවාදයකට ඉඩක් තිබේ යයි මම නො සිතමි. අනෙක් පැත්තෙන් තිස් වසරක යුද්ධයකින් බැට කෑ දෙමළ සමාජය පමණක් නො ව සමස්ත ලාංකීය සමාජය ම නැවතත් ත්‍රස්තවාදය කරා යාම සිදු වන්නේ නැත. එකී කාරණය රාජ්‍ය ත්‍රස්තවාදයට ද අදාළ ය. කොටින් ම කීවොත්, කාට ඕනෑ වුණත්, ලංකාවේ පොළවේ ත්‍රස්තවාදය නැවත පැළ කිරීම පහසු නැත. එය මුල් ඇද ගන්නේ නැත.

ලංකාවේ අනාගත අරගළ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. උතුර විසින් ඉල්ලා සිටිනු ලබන ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව දකුණ ජාතිවාදී පදනමින් ඒකාධිපතිත්වයක් දිරි ගන්වමින් සිය දිවි නසා ගැනීමේ මාර්ගයක් තෝරා ගෙන තිබීම දැනට තත්වයයි. 

යුද ස්මාරක විනාශ කිරීම ගැන මගේ නම් විරෝධයක් නැත. හමුදාව විසින් විනාශ කර දමනු ලබන්නේ කොටි සංවිධානයේ යුද ස්මාරක පමණක් බව ඇත්තකි. එහෙත්, ඒවා ස්මාරක බවට පත් කළේ ද ඔවුන් මිස කොටි සංවිධානය නො වේ. මෙම ස්මාරක විනාශ කර දැමීමත් සමග දකුණේ ජනතාව විසින් කරන ලද යුද සංචාරවලට ද තිත තැබෙනු ඇත. 

එහෙත්, දෙමළ මිනිසුන් වෙනස් විධියක ස්මාරක ඉදි කර ගන්නා එක වළක්වන්නට බැරි වනු ඇත. 

යුද වීරත්වය ස්මරණය කරන සුළු පිරිසක් සිංහල, දෙමළ දෙපැත්තේ ම සිටිනු ඇති මුත්, සාමාන්‍ය ජනතාව ඔය කියන යුද අතීතය අමතක කර දමනු ඇත. ඕනෑ නම් අර ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන යුද විරුවන් සමරන නිවාඩු දිනය වැනි සැමරුම් ඉතිරි වනු ඇත. 

මෙහිදී මට සිහිපත් වන කරුණක් වන්නේ කොටි සංවිධානය විසින් වසර ගණනාවක් සිය පාලනය යටතේ තිබුණු හසලක ගාමිණී සෙබළා සම්බන්ධ ස්මාරකය විනාශ නො කළේ ඇයි ද යන්නයි. යුද ස්මාරකවලට ලංකාවේ ආණ්ඩුව මෙතරම් බිය වන්නේ ඇයි? මම නම් සිතන්නේ යුද්ධය දිනුවත් වරදකාරිත්වයේ හැඟීම්වලින් ගැලවීම තතු දත් මිනිසුන්ට පහසු නැත. විශේෂයෙන් ම උතුරේ ජනතාව පසුගිය මැතිවරණයේදී එතරම් අභියෝගාත්මක ලෙස සිංහල මූලික කොළඹ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ සංදර්භයක් තුළ තමන් ජයග්‍රහණය ලෙස සැලකූ දෙය පිළිබඳ නැවත සිතා බලන්නට ඔවුන්ට සිදු වී ඇති බව නිසැක ය. 

සිංහලයන් ලෙස අප කල්පනා කළ යුතුව තිබෙන්නේ යුද ස්මාරක ගැන නො වේ. එතරම් සුවිසල් ජීවිත සංඛ්‍යාවක් වැය කරමින් අප දිනාගෙන තිබෙන්නේ කුමක් ද යන්නයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com