ෆේස්බුක් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි

පානදුර පාසලක පැවැත්වුණ උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ෆේස්බුක් තහනම් කරන්නට රජය අදහස් කරන්නේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ඇසී ය. 

ඇත්තෙන් ම ජනාධිපතිතුමා පැවසුවේ ෆේස්බුක් වසංගතයක් බවයි. ජකාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ එහුගේ කතාවේ පිටපතෙහි ෆේස්බුක් තහනම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. සජීවී කතාවේදී ඔහු එසේ කීවාදැයි නො දනිමි. 

ඇත්තෙන්ම ෆේස්බුක් වසංගතයකට වඩා නූතන පාරිභෝජනවාදී සමාජය විසින් වන්දනා කරනු ලබන තවත් සේවා රැල්ලකි. එය ජංගම දුරකථන වැනි භාණ්ඩ වන්දනාවේ ම තවත් කො‍ටසකි. 

මම වසර ගණනාවක සිට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් භාවිතා කර ඇත්තෙමි. මේ දෙකේ ම මිතුරු මිතුරියෝ දහසකට වඩා සිටිති. ඒ අතර සෑම තරාතිරමක ම පුද්ගලයෝ සිටිති. එහෙත්, ෆේස්බුක් වසංගතයක් යැයි සිතෙන අන්දමේ අත්දැකීමක් මට නම් ලැබී නැත. හුදකලාවෙන් පීඩා විඳින මිනිසුන්ගේ චැටිං ඇතැම් විට කරදරයක් වී තිබෙනමුත්, එය මග හැරිය නො හැකි දෙයක් නො වේ. 

වැඩි දෙනෙක් ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි දක්වන්නේ උවමනාවට වැඩි උනන්දුවකි. මේ අධික උනන්දුව නිසා ම එහි කිසියම් ගුප්ත දෙයක් තිබෙන බවක් ඔවුහු සෙස්සන්ට පෙන්වති. සෙසු අයත් මේ අධික උනන්දුව බෝ කර ගනිති. ඉතින් හැමෝ ම ‍ෆේස්බුක් ගැන කතා කරති. ෆේස්බුක් නො දන්නා අය එහි ඇති තමන් නො දන්නා දෙයකට ඉරිසියා කරති. නැතිනම් බිය වෙති. 

වැඩි දෙනෙකුට ෆේස්බුක්හි කරන්නට දෙයක් නැත. ඒ නිසා කරන්නේ තමන්ගේ මිතුරන් විසින් එ‍හි ෂෙයාර් කරන ලද දේ තමන් ද ෂෙයාර් කිරීමයි. නැතිනම් චැට් කිරීමයි. ෆේස්බුක්හි අන්තර්ගතයන් අලුතින් නිර්මානය කරන පිරිස් ඉන්නේ ඉතා ම අ‍තළොස්සකි. ඒ අන්තර්ගතයන් ද බොහෝ විට තමන්ගේ මුහුණේ ඡායාරූපයක් හෝ තමන් සිටින වෙනත් ඡායාරූපයක් වැනි දෙයකට සීමා වේ. තොරතුරු වෙබ් අඩවිවල තමන් දුටු වැදගත් දේ හුවමාරු කර ගැනීම සඳහා සමාජ ජාල භාවිතා කිරීම ඇත්තෙන් ම නව බෙදා හදා ගැනීමේ සංස්කෘතියකට හේතු වී තිබේ. 

ලංකාවේ නම් කුමන අන්දමේ ගැහැනියක් වුව ඡායාරූපයක් ෆේස්බුක් වෙත මුදා හළ විට 'මාර ලස්සනයි' කියන පිරිමි සුලබ ය. එසේම, සාමාන්‍යයෙන් ගැහැනුන් ෆලෝ කිරීම හා ඔවුන් විසින් එකතු කරන අන්තර්ගතයන්ට ලයික් හා කමෙන්ට් දැමීම ද වැඩි ය. 

මගේ ෆේස්බුක් මිතුරන් වන බාල වියේ සිටින්නන් වැඩි දෙනෙක් කරන්නේ සාමාන්‍ය ඡායාරූපයකට සිංග්ලිෂ් කමෙන්ට් දැමීම වැනි පුංචි දේවල් ටිකක් පමණි. එහෙත්, ඔවුහු තමන් ෆේස්බුක් සිටින බව ආඩම්බරයෙන් කියති. 

මිනිස්සු සිය ලිංගික අ‍සහනය මුදා හැරීමට ද නිරතුරුව ම ෆේස්බුක් භාවිතා කරති. පිරිමි සමලිංගිකයෝ සහකරුවන් සොයන්නට ද, විෂම ලිංගික පිරිමි ළාමක තරුණියන් සොයන්නට ද ෆේස්බුක් භාවිතා කරති. ඒ සඳහා බොරු ප්‍රොෆයිල් නිර්මානය කර ගැනීම ලංකාවේ සුලබ දෙයකි. මේවායින් ආරක්ෂා වීමට අවශ්‍ය වන්නේ මොළය පොඩ්ඩක් පාවිච්චි කිරීමයි. එහෙත්, තමන්ගේ ද ලිංගික අසහනයන් ෆේස්බුක් හරහා සුවපත් කරගෙන හෝ තව තීව්‍ර කරගෙන ෆේස්බුක්ට බැනීම තේරුමක් නැත. ‍ෆේස්බුක් වසා දැම්මත්, මේ අසහනයන් පිට දැමීම පිණිස වෙනත් තැන් ලෝකයේ තිබේ. 

මේ අතර, තවත් ඇතැමෙක් ලෝකය වෙනස් කිරීම ෆේස්බුක් හරහා කරන්නට උත්සාහ කරති. ලෝකය වෙනස් කිරීම සඳහා අරගලයේදී ෆේස්බුක් හරහා යම් දායකත්වයන් කළ හැකි මුත් එය තීරණාත්මක සාධකයක් වන්නේ නැත.සමාජ ජාල හරහා පැන නැඟුණ ඇතැම් දේශපාලන රැළි විසින් ඇති කරන ලද ප්‍රතිඵලවල ‍ගැඹුර විමසා බැලූ කල ඒවායින් සමාජයේ ලොකු විප්ලවයක් සිදු වී නැති බව පෙනේ. 

එහෙත්, ඒකාධිපතියෝ තවත් බොහෝ දේවලට සේ ම ෆේස්බුක් වැනි සමාජ ජාලවලට ද බිය වෙති. 

ෆේස්බුක්වලින් ගරිල්ලා යුද්ධ කරන්නට යන අය ද අපට හමු වෙති. ඒ අය තොරතුරු ආරක්ෂාව වැනි මාතෘකා ගැන කතා කරන්නේ හරියට ලෝකය පාලනය වන්නේ ඔවුන් අත ඇති තොරතුරු නිසා යයි අඟවමිනි. 

ඇත්තම කියනවා නම් ෆේස්බුක් යනු මිනිසුන්ගේ අනුකම්පා කළ යුතු බො‍හෝ දුබලකම් සඟවාගෙන වීරයන් ලෙස තමන් කැමති භූමිකාවන් රඟපාන්නට අවස්ථාව ලබා දෙන යම් අවකාශයක් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මට FB නැහැ...පාවිච්චි කරන්න හිතෙන්නෙත් නැහැ.. එක හේතුවක් වෙලා තියෙන්නේ ඩේටා මහා පරිමාණයෙන් විනාශ වීම.. පිටුවකට ගියපු හැටියේ චැට් බාර් , අර බාර් මේ බාර් , අරයගෙ පින්තූරයි මෙයාගේ පින්තූරයි ඔක්කෝම ලෝඩ් වෙනවා...

    දින 20 කට කලින් ෂෙයාර් වූ දෙයක් හොයන්න ගියත් ජාතකේම ලෝඩ් වෙලයි ඕනේ කරන දේ ලැබෙන්නේ... ඒ නිසා මට එපා උනා..

    එපා වෙන්න හේතුවක් උන තවත් දෙයක් තමයි ඔහේ පිස්සෝ වගේ කියවන මිනිස්සු...ෆේස් බුක් වීරයෝ දැක්කම එපා වෙනවා... අන්තිමට ලයික් විතරයි... වෙච්චි දෙයක් නැහැ....

    ReplyDelete
    Replies
    1. උඩ දාලා තියෙන පින්තූරෙට මගෙන් ලයික් එකක් ...:)

      Delete
  2. ධර්මරත්නOctober 10, 2013 at 10:11 PM

    මහින්දට ෆේස බූක් ඇලජික් වීම අරුමයක්යැ මිනිහට තව කොච්චර දේවල් ඇලජික්ද.ඒයාට ලැම්බෝගිනි ඇලජික්,රගර් ඇලජික්,සැටලයිට් ඇලජික්,නිදන් ඇලජික්,සුදු වෑන ඇලජික්,මිනිහට කඩේ යන පත්තර කාරයෝ,නළු නිලියෝ,ගායකයෝ ඇලජික්.කොටින්ම මිනිහට ඡන්දේ දෙන ලංකාවේ ජහමනයාත් ඇලජික්.යු.එන් මානව හිමිකම් මණ්ඩලය,ඇමරිකාව,ඉන්දියාව,යුරෝපය.............ඒවා මිනිහට නෝ-ඇලජික්

    ReplyDelete
  3. ඔය කියන තහනම ඉස්සරහට උනොත් පුදුමයක් නෑ.මේ වගේ තීරන ගන්න ඔවුන් පෙලබෙන එකම හෙතුව තමයි "බය" ...

    ReplyDelete
  4. "ඇත්තම කියනවා නම් ෆේස්බුක් යනු මිනිසුන්ගේ අනුකම්පා කළ යුතු බො‍හෝ දුබලකම් සඟවාගෙන වීරයන් ලෙස තමන් කැමති භූමිකාවන් රඟපාන්නට අවස්ථාව ලබා දෙන යම් අවකාශයක් පමණි."- well said , agree with you..

    ReplyDelete
  5. මෙක හරියට පිහියෙන් ඇනල මිනිස්සු මරන්න පුලුවන් නිසා පිහියට බනිනව වගෙ වැඩක්.පවිච්චිකරන් විදියෙ වරද්දක් තියෙන්නෙ මෙතන.මගෙ යාලුවො ගොඩ දෙනෙක් දැන් සම්බන්දෙ තියෙන්නෙ ප්ක හරහා.ට්‍රිප් එකක් ගියත්.මියගිය යාලුව වෙනුවෙන් කරන පින්කමත් හොදින් සම්බන්දිකරනයවෙන්නෙ ඔක හරහා.හබැයි අපි කවුරුවත් හායි කොහොමද.කැවද.ඔව අහන්නෙ නැ.එවට වෙලාවකුත් නැ.එ වුනාට ලොකෙ වටෙට ගිහින් ඉන්න ඔක්කොම හැමොගැනම දැනුවත් වෙලා සම්බන්දෙ තියාගෙන ඉන්නව මුනුපොත නිසා

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මෙතන ජනාධිපති තුමා facebook තහනම් කරන කතාවක් කිව්වේ නැහැ, කිව්වේ නොදන්නා මිනිස්සුන්ට වඩා දන්නා මිනිස්සු විස්වාස කරන්න කියයි.

    මට පැරා ගැන විවේචන එමට තිබුනද මෙම වැකියට ගරු කරමි

    "ලංකාවේ නම් කුමන අන්දමේ ගැහැනියක් වුව ඡායාරූපයක් ෆේස්බුක් වෙත මුදා හළ විට 'මාර ලස්සනයි' කියන පිරිමි සුලබ ය. එසේම, සාමාන්‍යයෙන් ගැහැනුන් ෆලෝ කිරීම හා ඔවුන් විසින් එකතු කරන අන්තර්ගතයන්ට ලයික් හා කමෙන්ට් දැමීම ද වැඩි ය. "

    facebook නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි එමට තිබුනද කතා වන්නේ facebook ගැන පමණි, facebook පැමිණීමට පෙර hi5 නමින් වෙබ් අඩවියක්ද පැවතිනි ඒ හා සමාන තවත් වෙබ් අඩවි විය නමුත් මෙතරම් ජනප්‍රිය නොවීය. පිරිමින් මෙන්ම ගැහැණුන්ද ලිංගික වශයෙන් සිරවී සිටින විට මෙවැනි වෙබ් අඩවි තමන්ගේ ලිංගික ආශාවන් සම්පුර්ණ කරගැනීමට යොදාගැනීම කාගේ වරදක්ද ?

    ReplyDelete

  8. Nishantha Kularathne commented on Facebook: "ෆේස් බුක් අරගලවලට දායක වෙනව කියන එක මට හිතෙන්නෙ තොරතුරු ඉක්මනින් දැනුම් දීම කියන තැනට විතරයි සීමා වෙන්නෙ. ඒක සහ මතයක් ප්‍රකට කිරීම කියන කාරනාවෙදි ඒක පොඩ්ඩක් ප්‍රයෝජනවත්. හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ පෝස්ට් එකක් විනාඩි කීපයකට වඩා රැඳෙන්නෙ නැති නිසා ඒකත් එච්චර සාර්තක නෑ. වාක්‍යයක් දෙකක් තියන පෝස්ට් මිසක් දීර්ග ලිපි ලයික් වීම හෝ ශෙයාර් වීම හරි අඩුයි. රූපවාහිනියෙන් චිත්‍රපටි ආදේශ උනා වගෙ ෆේස් බුක් එක විසින් පොත් ආදෙශ කිරීමක් ගැන හිතන්න අමාරු ඒ නිසයි. ඒ වගේමයි ෆ්‍රෙන්ඩ්ස්ල අදුර ගැනීමත්. සමහරු ෆ්‍රෙන්ඩ්ස්ල උනාට පස්සෙ 'මචන් උබ කව්ද?' කියල අහනව. උපන්දින ප්‍රෝග්‍රැම් වෙලා නිසා Birthday wishes ස්වයංක්‍රීයව යන්නෙ 'නියම යාලුවා යනු කව්ද?' වගේ දාර්ශනික ප්‍රශ්න ඇති කරවමින්. වැඩේ තියෙන්නෙ කවුරු උනත් මෙව්ව දැනගෙන හිටියත් ෆේස් බුක් යන්නැතුව ඉන්නෙත් නෑ. මට හිතෙන්නෙ මේක මිනිස්සුන්ගෙ 'අනුකම්පා කලයුතු දුබල කමකම් වලට' වඩා අනිත් අය ඇසුරු කිරීමේ මානුශික උවමනාවක් පිරිමහනව."

    ReplyDelete
  9. SOrry for being off topic, is Maathalan (blogger) dead?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා