ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය

අප විසින් කලින් ලියන ලද ලිපිය ( කියවන්න:ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?) අපේ ඇතැම් විදෙස් මිතුරන්ගේ හිත් අමනාපයට හේතු වී ඇති බව පෙනේ. එබැවින් එම මාතෘකාව පිළිබඳව වැඩිදුර කතා කිරීමට සිතුවෙමි. ඇතැමෙක් එය ගත්තේ තමන් කාලා ඇඳලා ඉන්නවාට ඇති ඉරිසියාව නිසා ලියූ කුහක ලිපියක් ය කියා ය. මගේ ලිපිය රැකියා සඳහා විදේශගත වූවන්ට අදාළ වන්නේ නැත. ඔවුහු ඇත්තෙන්ම මේ රටේ ජීවනාලියයි. අපේ රටේ ආර්ථිකය දරා සිටින ප්‍රධාන කුළුණ ඔවුහු ය. මා මේ කතා කරන්නේ ජාතිය වෙනස් කිරීම ගැනයි.

මගේ මූලික තර්කය වන්නේ අලුත් දෙයක් නොව, බුද්ධි ගලනය අපේ සමාජයේ උන්නතියට බරපතල බාධාවක් බවයි. බුද්ධි ගලනය ගෝලීයකරණයේ වර්ධනයත් සමග තීව්‍ර වී තිබේ. 

කොටින් ම, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින පසුගාමී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ජීවත් වන මිනිසුන්ගේ මූලික පරමාදර්ශයක් වන්නේ කිසියම් දිනෙක තමන්ගේ පරම්පරාව ස්ථිරව රට හැර ගොස් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගැනීමයි. ඔවුන්ගේ දේශප්‍රේමයේ සීමාව ද්විත්ව පුරවැසිකමයි.

මේ ද්විත්ව පුරවැසියන්ගේ පළමු පරම්පරාව ඇත්තෙන් ම රටේ පැවැත්මට ගැටලුවකි. මේ මොහොතේ එය දෙමළ සමාජයට තදින් දැනෙමින් තිබේ. විමුක්ති කොටින්ගෙන් පසු ලංකාවේ ජාතින් අතර සංහිඳියාව හා නව දේශපාලන ප්‍රජා අනන්‍යතාවන් වෙත සංවර්ධනය වීම කෙරෙහි ඩයස්පෝරාවේ ජාතිවාදී දේශපාලනය විසින් ඇති කරනු ලබන්නේ දැවැන්ත බලපෑමකි. 

ඩයස්පෝරා දේශපාලනයේ ජාතිවාදය පෝෂණය කිරීම කෙරෙහි වැඩිපුර බලපාන්නේ සංක්‍රමණිකයන්ගේ ක්ෂතිමය අත්දැකීම් මිස ලංකාවේ භෞතික යථාර්ථයන් නො වේ. 

මිනිසුන් ලංකාවෙන් පිටට සංක්‍රමණය වන්නේ ලංකාවේ සමාජ ක්‍රමයේ ඇති ගැටලු නිසා බව ඇත්ත ය. එහෙත්, ඒ සඳහා බලපාන්නේ ඍජු දේශපාලනික ගැටලුවලට වඩා ආර්ථික හේතු ය. ආර්ථික හේතු ය කියන්නේ ලංකාවේ ජීවත් වීමට මාර්ග නැතිකම නො වේ. මෙහි තිබෙන්නේ ඇමරිකානු මාදිලියේ සීමාන්තික පරිභෝජනයට හා සුඛ විහරණයට ඇති ආසාවන් හඹා යාමකි. 

ඔවුන් කොළ පාට තණ බිම් සොයා යන බටහිර සමාජයේ ඇති වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවල ආභාසය ඔවුන් ලංකාවට ගෙන එනවා නම් එහි නරකක් නැත. එහෙත් සිදු වන්නේ තමන්ට අහිමි වූ සමාජ පිළිගැනීම, හුදකලාව, අධික වැඩ හා අතෘප්තිය හේතුවෙන් ඔවුන් නැවතත් ලංකාව දෙස බලාගෙන විරවන්නට පටන් ගැනීමයි. ඔවුහු ඒ සමාජයන් හා බද්ධ වීමට දරණ උත්සාහයට වඩා වැඩි උත්සාහයක් අන්තර්ජාලයෙන් ලංකාව දෙස බලාගෙන හූල්ලන්නට දරති.මේ කාංසාව විසින් ඔවුන්ටත්, නව ජීවිතයට හැඩ ගැසෙමින් සිටින ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටත් පමණක් නොව මව් රටට ද ඇති කරන්නේ අහිතකර බලපෑමකි. 

ඔවුන් මව්රටට ආදරය කරන්නේ සිය පිටරට ජීවිතයේ වරදකාරිත්වය වසා ගන්නට හා එහිදී තමන්ට අහිමි වූ සමාජ පිළිගැනීම මෙරටින් ලබා ගන්නට ය. 

මෙය ලංකාවේ ජීවත් වීම තෝරා ගැනීමට සිදු වී තිබෙන මිනිසුන්ගේ ජීවිතවලට කරන්නේ අහිතකර බලපෑමකි. විදෙස් රටක පදිංචියට අවශ්‍ය තත්වය ගොඩනඟා ගැනීම ජීවන පරමාදර්ශයක් වූ මිනිසුන් සිටින සමාජයකින් තමන් ජීවත් වන සමාජයට ආදරය කරන මිනිසුන් බිහි වේ ද? ඔවුන් මේ රටේ තත්වයන් වෙනස් කිරීමට දායක වෙනවා ද? 

මම මෙය මගේ සමාජ ක්‍රියාකාරී මිතුරන් වෙතින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ඉතා හොඳ සමාජ ක්‍රියාකාරිකයෝ පවා විදෙස්ගත වීමේ සිහිනය හිසට ගැසූ කල බොහෝ දුරට නිෂ්ක්‍රීය වූ හ. මෙහි එපා කරවනසුළු ජීවිතය හමුවේ රටින් පළා යාම පිළිබඳව මෙම ලේඛකයා ද කල්පනා කර ඇති වාර ගණන අධික ය. 

ලංකාවේ වාමාංශික ව්‍යාපාර විනාශ වීමට මේ බුද්ධි ගලනය දැඩි ලෙස බලපෑවේ ය. අප කලින් ලිිපියේ දක්වන ලද උදාහරණයකින් ම පෙන්වා දෙනවා නම් කුමාර් ගුනරත්නම්ගේ සංක්‍රමණය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි ගමනට දැඩි ලෙස බල පා තිබේ. මේ සංක්‍රමණය සාධාරණීකරණය කරන්නට මර්දනය පිළිබඳ කාරණා ගෙන හැර පෑව ද ඒවා ව්‍යාජ ය. එතැන තිබුණේ ඔහුගේ පවුලේ ධනවාදී උන්නතිකාමී උවමනාවන් මිස අනෙකක් නො ‍වේ. 

මේ වනාහි සමාජවාදීන්ගේ ඉදිරියේ ඇති තීරණාත්මක අභියෝගයකි. මම මේ අභියෝගය ගන්නේ මා මේ රටේ රැඳිය යුතු ද නැතිනම් යා යුතු ද යන තැනිනි. මට ඉන්නට නො දෙන තත්වයක් පාලකයන් හදනවා නම් මට යන්නට සිදු වන බව ඇත්තකි. එහෙත්, යන්නට තිබෙන උවමනාව නිසා තත්වයන් නිර්මානය කරගෙන ඉන්පසු ඒ වරදකාරිත්වය වසා ගන්නට විකාර කිරීමේ කුහකකම අප විසින් අත්හළ යුතුව තිබේ. මේ කුහකත්වය ගැන උදාහරණ ඕනෑ තරම් දැක්විය හැකි ය. නො දක්වන්නේ ඒවා ඒ තරම් ම පිළිකුල් බැවිනි.

මෙය දේශපාලනික වශයෙන් පිටුදැකිය යුතු ප්‍රවණතාවක් බව මා කියන්නේ එහෙයිනි. අපේ රටේ මිනිසුන් මේ දූපතින් එහා පැත්තේ ලෝකය බලන්නට යා යුතු බව නම් ඇත්ත ය. එහෙත්, අප මෙතැනින් පළා යාම ජීවන පරමාදර්ශයක් කර ගතහොත් සිදු වන්නේ අප අයත් සමාජය තව තවත් අගතියට තල්ලු වීමයි. 

ගිය අය හූල්ලා පළක් නැත. එක්කෝ ආපසු එනු! නැතිනම්, ගිය තැන පැළ වෙනු!

ධනවාදී ගෝඨාභය හා බැසිල් ආපසු ආ හ. සෝමවංශ අමරසිංහගේ පුතා එහි පැළ වුණේ ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අජිත් පැරකුම් මහතා,

    ඔබගේ ඊමේල් ලිපිනය මෙහි සදහන් කරනවද? ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි.

    ස්තුතියි.

    ReplyDelete
  2. ජ වි පෙ නායකයින්ගේ ගෑණු/ළමයි කරන දේශපාලනයක් නෑ. ඒ හින්දා සෝමවංශගේ පුතාට මෙහේ ඇවිත් කරන්න දෙයක් නෑ. ඔහු එහි ව්‍යාපාරයක් කරගෙන හොඳින් ජීවත් වෙයි. සමහරවිට සෝමවංශගේ මරණය සිදු වූ පසු ලංකාවට ඇවිත් යන්නත් ඉඩ තියෙනවා. ඒ මොහොතේ 'විප්ලවීය ආචාරය' දක්වන අසරණයින් කිහිපදෙනා අතර ජේත්තුකාර මහත්මයෙක් සිටීනම් ඒ සෝමවංශගේ පුතා බව හඳුනාගත හැකි වේ වි.

    ReplyDelete
    Replies
    1. සුමිත් නිරිඇල්ලගේ ඊර්ෂියාව! සෝමවංශගේ පුතා වැරහැලි හැඳගෙන සිටිය යුතුද?

      Delete
  3. පැරා, සෝමවන්ස පිළිබඳ ද්වේශයෙන් කතා කරන බවකුයි පෙනෙන්නේ.
    ඔහුගේ පමණක් නෙවේ ගෝටාගේත් බැසිල්ගේත් ලමයි එහේ පැල වෙලයි ඉන්නේ.
    එහෙව් එකේ ඇයි සෝමෙගෙ කොලුවා ගැන පමණක් කියන්නෙ.

    ReplyDelete
  4. රට ගිය ඇත්තන්ට dual citizenship මතක් වෙන්නේ දේපල පිළිබඳ ප්‍රශ්ණ වලදී පිටරැටියන් වශයෙන් ගෙවන්න වෙන බදු වලින් බේරෙන්නයි. ගුවන් තොටුපලේදී උජාරුවෙන් foreign passport එක පෙන්නන එවුන් tax ගෙවන්න වුනොත් අපි ශ්‍රී ලාංකික කියා මෙරට passport එක එලියට ගනිති. විදෙස් ශ්‍රමිකයන්ට ලබාදෙන duty free allowance එක වැඩිපුරම පාවිච්චි කරන්නේ එක ඩොලරයක් වත් remit නොකරන ඔවැනි එවුන් තමා.

    ReplyDelete
  5. http://lankacnews.com/sinhala/main-news/103549/

    හිත මිත්‍ර පැරකුම් මහතානෙනි. පහත ප්‍රකාශය ගැන ඔබේ අවංක අදහස ප්‍රකාශ කරනු ඇතයි බලාපොරොත්තු වෙමි. ඔබ උඩ දැමූ මිනිසුන් මෙසේ හැසිරෙද්දී ඔබට දැන් පැවසීමට ඇත්තේ කුමක්ද​?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව සිංහල මිනිසුන් උතුරේ පදිංචි කරන්නට මැදිහත් විය යුතු නැත. එහෙත්, ඕනෑම ජාතියක මිනිසුන්ට නිදහස් අන්දමින් එහි පදිංචි වන්නට තිබෙන අයිතියට විග්නේශ්වරන් ගරු කළ යුතුයි. ඒ අයිතිය ආරක්ෂා කර දීමේ වගකීම ආණ්ඩුවට තිබේ.

      Delete
    2. පැරා,

      ඔබ දිව දෙකෙන් කතා කරන්නේ මන්ද? එය ඔබ වැනි පරිනත අයෙකුට ඔබින දෙයක් නෙමෙයි. ඔබ නොදන්නවා නෙමෙයි තේසවලාමේ නිතිය උතුරේ ක්‍රියාත්මක වෙන බැවින් සිංහලයන්ට එහි ඉඩම් මිලදී ගන්න බැරි බව. ඉතින් රජය මැදිහත් නොවී සිංහලයන් පදිංචි නොකර ඒක කරන්නේ U.N. එකද? මේ රටේ රට වැසියන්වූ දෙමල මිනිසුන්ට පුළුවන් උතුර ඇතුළුව මේ රටේ ඕනෑම තැනක පදිංචි වෙන්න.මුස්ලිම් මිනිසුන්ටත් ඒ වරප්‍රසාදය හිමියි. එත් මේ රටේ පුරවැසියන්වූ සිංහලයන්ට එහෙම අයිතියක් නැහැ.
      ඔබගේ ඔය මනස්ගාත අපට පිලිගන්න කියලද කියන්නේ. ඔබ පළමුව රටවැසියා සහ පුරවැසියා අතර වෙනස හදාරා ඉන්න එක හොඳයි .

      Delete
    3. තේසවලමේ නීතිය සිංහලයන්ට ඉඩම් මිළ දී ගන්න බැරි කරන්න හැදූ එකක් නොවෙයි. ‍එහෙත්, එය ජාතිවාදී අන්දමින් යොදා ගන්න දෙමළ ඉඩම් හිමියන්ට පුළුවන්. ඔබ මේ දෙස බලන්නේ ජාතිවාදය සදාකාලික විය යුතු ය යන අදහසකින්. එ්ත් බලන්න ජාතිවාදයට වඩා මුදල් බලවත් වන්නේ නැද්ද කියලා. ඉඩමක් ගන්න අවශ්‍ය සිංහලයන්ට වැඩිපුර මුදල් විසි කරන්න වේවි.

      අනෙක, මිනිසුන් පදිංචි කරන්න උතුරට ම යන්න ඕනැ නැහැ. වෙනත් දිස්ත්‍රික්කවලත් ඉඩම් තිබෙනවා.

      සිංහලයන්ට ඉඩම් හිඟ ම තත්වයක් තිබෙනවා නම්, ඇයි ඉතින් උතුරේ පාලනයත් එක්ක සාකච්ඡා කරලා ඒකට විසඳුම් සකස් කර ගත්තාම මොනවද වෙන්නේ?

      දෙමළ ජනයාගේ විරෝධය එල්ල වෙන්නේ ආක්‍රමණික අරමුණු ඇතිව පිහිටුවන ලද පදවිය, වැලිඔය වැනි ජනපද නිසායි.

      සිංහල ප්‍රදේශවල රජයේ අනුග්‍රහයෙන් දෙමළ ජනපද පිහිටුවීමක් වුණා ද?

      Delete
    4. ජනපද පිහිටුවන්න ඕනේ සියලු වාර්ගිකයන් මිශ්‍ර කර. එහිදී භුමියේ බහුල ප්‍රජාව වැඩියෙන ඉඳීමත් වැදගත්.

      ජනපද පිහිටුවීමෙන් ඔවුන්ට එකිනෙකාගේ උපකාරය නැතුව ජීවත් වෙන්න බැහැ කියා තේරුම යන්න ඕනේ. ඊශ්‍රායෙල් මොඩල ආක්‍රමණික ජනපද වලින් ප්‍රති[ආර්ශ්වය තුල ඇතිවන්නේ සැකයක්.

      දකුණට දෙමල සංධානය සැක වගේම උතුරටත් මේ වගේ වැඩ සැකසහිතයි.

      Delete
  6. අජිත් ඉතින් කොහොම කරත් කපන්න ඕනේ අයට කපලා , බේරන්න ඕනේ අයව බේරලනේ වැඩ කරන්නේ..

    ReplyDelete
  7. පව් සල්ලි නැති උනාම මිනිස්සු කරන දේවල්...... තමන්ගෙ ස්ථාවරය ස්ථාවර විය යුතුයි කියලා ලියුව පැරකුම්..... වෙනදා NGO ඩොලර් කුට්ටි වලට තමන්ගෙ ලේඛන හැකියාව කැප කරපු පැරකුම්.......

    දැන් ආණ්ඩුවට සහ වටේ හිටන් කහින අයටත් කඩේ යන්න පටන් අරන්.... පව්... හරිම දුකයි..... කාර් එකක ටයර් හතරයි බැටරියයි නිසා මිනිහෙක්ට වෙච්ච දේ.....

    ReplyDelete
  8. අජිත් ඔයා සමහර කාලවල ඔයාගේ මේ බ්ලොග් එකේම ලියල තියනව ඔයාට දරු පවුලත් එක්ක පිටරටකට යන්න ලැබුනොත් ඔයා කිසිම පැකිලීමකින් තොරව ඒ අවස්ථාව බාරගන්නව කියල. ඔයා ඒ අවස්ථාවලදි ලියල තියෙනව මේ රට දාලයන්න බැරි බොරු දේශපාලන අමාරුවක් ඔයාට නැහැ වගේ අදහසුත්. ඔයා දැන් මේ මොනවද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අදහස් කියන්නේ වෙනස් නො වෙන දෙයක් නොවෙයි නේ. ඒ එදා අදහස. මේ දැන් අදහස. ඒක එදාට සාපේක්ෂයි. මේක අදට සාපේක්ෂයි.

      Delete
    2. කාලයට සාපේක්ෂව අදහස් වෙනස්විය හැකියි. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒකෙ නෙමෙයි. කලින් තමුන් ප‍්‍රකාශ කළ අදහස සම්බන්දයෙන් ස්ව්‍යං විවේචනයක් සහිතව තමයි වර්තමානයේ ඉන්න අදහයේ ඉදන් අනිත් අයව විවේචනය කරන්න පුලුවන්වෙන්නෙ. එහෙම නැතුව අදහස් වෙනස් වෙනව කියල එක කාලෙකට එකක් කියල, අද තව දෙයක් කියල, ඉදිරියෙදි තව දෙයක් කියනව කියන්නෙ සීරියස් දේශපාලනයක් නම් නෙවෙයි. අජිත් පැරකුම්ගේ වැදගත් දේශපාලන මැදිහත්වීම තුළ තිබෙන දුර්වලම අදේශපාලනික ලක්ෂනය විදියට මම දකින්නෙ ඔන්න ඔය කාරනයයි.

      Delete
    3. මේ ක්‍රියාවලිය ම සංවාදයක්. සංවාදයකදී අදහස් වෙනස් කර නො ගන්නා මිනිසුන් කියන්නේ අන්තවාදීන්. ස්වයං විවේචනය කියන්නේ මෙම කාරණය වැනි සුළු දෙයකදී කරන දෙයක් නොවෙයි. බරපතල දේශපාලන ක්‍රියාමාර්ගයක්.

      Delete
    4. සංවාදමය ක‍්‍රියාවලියකදි අදහස් වෙනස්විය හැකියි කියන කාරණයයි, මම මතුකරන්න උත්සහා කරන කාරණයයි දෙකක්. ස්ව්‍යං විවේචනය කියන කාරණය පැත්තකින් තියමු. ඒ වුනත් තමන් කලින් ප‍්‍රකාශ කල අදහසකට සම්පූර්ණ පරස්පර අදහසක් ප‍්‍රකාශ කිරීම සංවාදමය ක‍්‍රියාවලියේ ප‍්‍රථිපලයක් වශයෙන් තේරුම් ගත්තත්, දැන් ඉන්න සම්පූර්ණ ප‍්‍රතිවිරුද්ධ අදහසේ ඉදන් අනෙක් අයව දේශපාලනිකව විවෙිචනය කිරමේදී තමුන් කලින් හිටපු ස්ථාවරය ස`දහන් කරල ඒ ස්ථාවරය වෙනස් වීම සම්බන්දයෙන් බලපෑ කාරණයන් ස`දහන් කරමින් අනෙක් අයව විවෙිචන කිරීම තමයි මම දකින දියුණු සංවාදමය ක‍්‍රියාවලිය. අදහස් වෙනස් වෙනව කියන දෙයයි, වෙනස් වුන අදහසේ ඉදන් අනෙක් අයව දේශපාලනිකව විවේචනය කිරීමයි අතර පැහැදිලි වෙනසක් තියෙනව.

      Delete
  9. රටේ ආර්ථික තත්වය වගේම සමාජමය කාරනාත් මිනිස්සු රට හැරයාමට බලපානවා තාක්ශනික දියුනුව ලෝකේ අනික් රටවලට සාපේක්ශව ඉතාම පි‍ටුපසින් තීයෙන්නේ.රජයන්ට උවමනාවක් නැහැ නව විද්‍යාත්මක පර්යේශන වලට පහසුකම් දෙන්න ලඟදි පිහිටපු නැනෝ තාක්ශන පර්යේශන මධ්‍යස්තානය හොඳ දෙයක් බව කිවයුතුයි එහෙත් ඊටත් එහා මට්ටමින් පර්යේශන වලට අවශ්‍යය පහසුකම් දෙන්න විශ්ව විද්‍යාලවල නව පර්යේශන වලට අත දෙන්න පදනමක් නැහැ ඉතින් බුද්ධි ගලනය නතර කරන්න බැහැ. අචාර්‍යවරුන්ට වැ‍ටුප් වැඩිකරන එක හිසරදයක් කරගත්ත රටක් මේක.

    ReplyDelete
  10. බුද්ධිගලනය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නෙ රට යන උගතුන් වෙනුවෙන් වියදම් කර ඇත්තෙ මහජන මුදල් නිසා. ඒ වාහෙල ලංකාවෙ හිටිය කියල අපට වෙන සෙතක් නැහැ.

    ReplyDelete
  11. අජිත් පැරකුම් ජයසිංහගෙන් සමජවාදී හෝ වෙනයම් ධනාත්මක් ජිවිතයක් සඳහා උපදෙස් ගැනීම වඳුරන් ගෙන් අභිධර්මය ඇසීමක් වගේ. හිටපු ජවිපේ ක්‍රියාකාරිකයෙකු හැටියට අජිත් පැරකුම් ජයසිංහට උපන් ගෙයි කුහක කමක් ඉර්ශියාවක් තියනවා. ඔහුට ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමට බැරි වීම , හොඳ වෘත්තියක් සමාජ තත්වයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම නිසා. ඔහු සමජයට රහසින් වයිර කරන්නෙක්. ඉස්කෝලේ යන කාලයේ සිට සෝමවන්සලා , කුමර් ගුනරත්නම්ලා විමල්ලාගේ පස්සේ ගොස් ගල් කටස් වලින් කරන බොරු විප්ලව ලණුවකට අසුවී අජිත් පැරකුම් ජයසිංහ ජිවිතයේ හැම දෙයක්ම නැති කර ගත්තා. විප්ලවය කියලා අජිත් පැරකුම් ජයසිංහ කලේ මංකොල්ලකෑම් , ස්ත්‍රි දූශන​. ඒ නිසා ඔහුව පොලිසියට කොටු වී වදකාගාරයකට යවනවා. එහිදී ඔහු තමන් සමග එකට හිටපු සහෝදරයන් පාවා දීලා ජිවිතය බේරගෙන ඉන්දියාවට පලා යනවා. අජිත්ලාට විප්ලවයේ සුර ලෝකය පෙන්නපු සෝමවන්සලා , කුමර් ගුනරත්නම්ලා ධනවාදී පිටරට වලට පැනලා විමල්ලා ධනපති පාලකයන් ගේ ඔෘඩාක්කුවේ. ඔවුන් ජීවිත ගොඩ දාගෙන ගෙවල් දොරවල් හදාගෙන ජීවිතය විඳිනවා. මේ කිසිවක් කර ගැනීමට බැරි වූ අජිත් පැරකුම් මෙහෙ සැප විඳින මිනිසුන්ටයි පිටරට ජීවත් වන මිනිසුන්ටයි කුහක කතා කිය කිය ඉන්නවා. අනේ මෙහෙමත් ජීවිත​.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි
      මූට රට යන්න chance එකක් හම්බ උනොත් එපා කියවී. එච්චර ඕනෑ නැහැ මොකෙක් හරි දේශපළුවෙක් මොකක් හරි මස් කට්ටක් දුන්නනම් මු එන්න තැන බලා ගන්න පුළුවන්.

      මුගේ තියෙන කුහකකම මේකෙන් හොදටම පේනවා. ඒවාට බෙහෙත් නැහැ.
      මුන්ගේ රෙද්දේ සමජවදේ, මුට වඩා හෙන පොර ටෝක්ස් දූන්න උන් campus එකේ හිටියා.

      අනික මහින්ද රජ උනනිසා තමයි උගේ මල්ලිලා මෙහේ අවේ. කවදාහරි සෝමෙට හරිගියොත් උගේ පුතත් ඒවී.

      මේ වගේ හාල්පාරුවෝන්ගෙන් ඉගෙන ගන්න ළමායිට අබ සරණයි

      Delete
  12. කලින් ලිපිය නම්කියවන්න බැරිඋනා, නමුත් පැරා මේ ලිපියෙ කියන ආකාරය විතරක් නෙවේ මිනිස්සු රට යන්න හෙතුව. ඔයා කියන්නෙ "ආර්ථික හේතු ය", නමුත් ඒක නෙවෙ එකම හෙතුව අපි රට යන්න. මම වැඩ කරන ෆීල්ඩ් එකෙ ඉහල පඩි ගෙව්ව, අපි පාස් අවුට් වෙලා අවිත් අවුරුදු 2-3 ඇතුලත ලක්ශය පන්නල පඩි හම්බ උනා, අපි ඔහෙන් එනකොට ඊට වඩ වැඩියි, මේක මට විතරක් නෙවෙ මම වැඩ කරපු ක්ශෙත්‍රයෙ ගොඩක් දෙනෙක් එහෙමයි. නමුත් හොඳට හිතල බලන්න, මොනතරම් ප්‍රශ්න්ද? නිදහසෙ පාරක යන්න පුලුවන්ද? කවුද දන්නෙ කොයි වෙලාවෙ කොයි දේශපාලුවගෙ හරි උගෙ ගොලයෙක්ගෙන් හරි කේස් එකක් ඇදෙයිද කියල. නීතිය හරියට තියනවනම් කිසි බයක් න, දැන් එහෙමද ගෙදරට ඇවිත් ගෙදර ඉන්න ගැනු කෙනෙක් උස්සන් ගියත් අපි සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුලුවන් මොකක්ද? අපෙ තියන සල්ලි වලින් උපරිම එස්.එස්.පී කෙනෙක්ව ගොඩ දාගන්න පුලුවන්. ඒත් අරුන්ට? මුලු ලංකාවම දන්නව තන්ගල්ලෙ මර්ඩර් එකයි රේප් කේස් එකයි, එත් ස්භාපතිය රැස්වීමටත් එනව. සරලව ලංකාවෙ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නෙ දැනට කිසිම එන්කවුන්ටර් එකක් වෙලා නැති හින්ද, වෙච්ච දවසට සොරි තමයි. අඩුම ගානෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙවත් නීතියක් සදාචාරයක් තියනවද? ඔයාට පුලුවන්ද බස් කාරයෙක් හරි 3විල් කාරයෙක් හරි හින්ද ලෙ පුච්ච ගන්නෙ නැතුව ප්‍රදාන පාරක කිලෝමිටර් 2-3 කාර් එක එලවන්න. මේ කාල කන්නි ක්‍රමය අපෙ මිනිස්සුන්වත් කාලකන්නි කරල. තව ඕනෙ තරම් උදාහරන පෙන්නන්න පුලුවන්. මෙක හදන්න බෑ අර කවුද කිව්ව වගෙ අලුත් ජනතාවක් ගේන්න ඔනෙ. දියවන්නාවෙ ගල් ආඳොන්ව නම් කොහොමත් හදන්න බෑ, උන් කියන කතා ඇහෙනකොට ඇඟේ මාලු ගඟෙ නටනව. ඉතින් මිනිස්සු පුලුවම් කමක් තියනවානම්, ඉල්ලුම තියනවානම් රට යනව. කොච්චර කරත් අපි ලංකාවෙ කියන ගතිය මකන්න බෑ, එකයි මෙහෙම සින්හල නිව්ස් සයිට් හොයාගෙන එන්නෙ කියවන්න.
    -ප.ගෝ.

    (පැර, බැසිල්ලට ලකුණු දුන්නට කමක් නෑ (මමත් විස්වාස කරනවා, සමහර කරුණු වලදි ලකුනු දිය යුතුයි කියලා, නමුත් බසිල්ල අයි ආවෙ කියන කොන්ටෙස්ට් එක බොහොම වෙනස් කියල තේරුම් ගන්න බුද්ධියක් ඇතයි සිතමී

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම පගෝ. ඔබ කියන කතාව ඇත්ත නමුත් සමාජමය කාරනා අනිත් අතට ආර්ථිකය ඒක්ක සම්භන්දයි. මේ තියෙන සමාජ රටාව ඇතුලේ පවතින්න නම් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ඕන. මිනිස්සු සල්ලි පස්සේ ඉවක් බවක් නැතුව දුව්න කොට ජීවිතයක් අතුලේ තියෙන්න ඕන රසවිඳීම් වගේ සෞන්දර්යාත්මක පැත්ත අහිමි වෙනවා .ඒ වගෙම කෙටි ක්‍රම වලින් වන්චාවෙන් පගාවෙන් ඔය ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබෙන තැනට වැඩ සිද්දවෙනකොට ඒවට යොමුවෙන්න තියන අවස්තා වැඩි වෙනවා. ඔය කාරනා සියල්ල එක්ව ගත් කල සමාජමය විනය පිරිහෙනවා වගෙම එකිනෙකා දිහා වෛරයෙන් කුහක කමින් බලමින් ඉරිසියාවෙන් ගැටෙනවා.

      Delete
  13. අජිත් ඔබ දකින ආකාරයට ඉන්දියාවේ වර්තමාන තාක්ෂණික ප්‍රබෝධය ඇති වුනේ කොහොමද? තමන්ගේ රට බදාගෙන ඉන්දීය වූ තාක්ෂණික ලෝකයක් හදන්න හදාපු අයගෙන්ද? නැතිනම් ලොව පුරා ගිහින් සමාගම් දිගේ උඩට නැගලා ආයෝජන අරගෙන ඉන්දියාවට ආපු අයගෙන්ද?

    අජිත්ලයි සමාජවාදය මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ලංකාවේ රාමුවෙන් 'පවතින ක්‍රමය" තුල මිනිසා පුද්ගලිකව එතරම් ප්‍රබල සාධකයක් නොවේ. එහෙත් ඔහු වටා ගොඩනගන බුද්ධිමය සාමාජීය ආර්ථික රාමුව ප්‍රබලයි. ඕස්ට්‍රේලියාවේ මක්වයරි බැංකුවේ සී ඊ ඕ ඉන්න ලේඩි [ලාංකික] ලංකාවේ උන්නා නම් වැඩිම උනොත් ලංකාවේ අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙන්න තිබ්බා. මේ නිසා යමක කළ හැකි කෙනෙක් ඇත්තෙන්ම අජිත් කියන විදිහට ලංකාවේ ඉන්නවා නම් එය නාස්තියක් පමණයි.

    ලාංකිකයින් ඉන්දියානුවන් මේන් ආයෝජන ගෙන එන්නේ නැති ඒක ගැටලුවක් තමා. අවාසනාවකට ලංකාවේ රාමුවකුත් නැහැ පිටරටින් ආයෝජනයක් ගේන්න. අපි නිතර පත්තරවල දැක්කා එහම කරන්න හදාපු මිනිස්සු ඒක එකා කුට්ටි කඩා ගන්න ගිහින් හෝ රාජ්‍ය ආයතන වල බියුරෝක්රසියක හිරවීමෙන් අසාර්ථක වෙච්ච හැටි. ඉන්දියාවේ වෙනස නම් එහෙම රට ගිය මිනිස්සු [ඉන්දියාවේ උසස් පවුල්වල වීම නිසා] ආපහු දෙයක් ගෙනාවම ඉන්දියාව ඊට උපරිමයෙන් සහය දීම.

    පුද්ගලික අත්දැකීම් රාශියක් ඇතත් ඒවා පටලන්නෙ නැහැ. අපි හැදුනේ වැඩුනේ නන්දාගේ සරුංගලේ වරල් සැලේ අහගෙන. හැබැයි නන්දාගේ ළමයි ටිකවත් ලංකාවේ ඉන්නවද මන්දා. පරක්කු වී හෝ ඒ මෝඩකම වික්ක ඒක ගැන මම සතුටුවෙනවා.

    මම හිතන්නේ බුද්ධිගලනය ගැන තියෙන ලාංකීය නෙගටිව් චින්තනය හා බුද්ධි ගලනයට ලක්වන උගතුන් ලංකාව ගැන තියේන නෙගටිව් චින්තනය කියන දෙකම අවුල්. මේ යන බුද්ධිමතුන් එ රටවල ඉන්දිද්දීම ලංකාවට සෑහෙන අර්ථවත් දෙයක් කර ගන්න පුළුවන් දෙපාර්ශ්වයම යහපත් මානසිකත්වයට ආවොත්. විය යුත්තේ එයයි.

    රට යන්න එපා අපි ඔක්කොම මේකේ ලැගගෙන අපේම ක්‍රමයකින් අපි ස්වයංපෝෂිත වෙමු කියන අජිත්ගේ චින්තනය දෙවැනි වන්නේ ජාත්‍යන්තරයත් එක්ක ප්ලග් ඒක ගලවා කෘෂිකර්මයෙන් ලංකාව දියුණු කරන සහෝදර වරුන්ගේ දේශපාලන චින්තනයට පමණයි.

    ReplyDelete
    Replies
    1. මේ අජිත් මට දීපු උත්තරයක්‌ කියා හිතන නිසා මෙතනට කොපි කළා.

      --------------

      Ajith JayasingheOctober 29, 2013 at 3:18 AM
      දැන් ඔය සුජීවත්, ඊට පෙර අයත් කියන තත්වය ලංකාවේ ඇති වුණේ ඇයි? මෙතන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ ගැටලුවක් නේ. පිටරට ගිය අය ඒ තත්වය වෙනස් කරන්න කළ මැදිහත්වීම මොකක්ද? එතකොට ඉතිරි අයටත් තිබෙන විසඳුම පිටරට යන එක විතරයිද?

      මම කියන කාරණයත් ඒක ම තමයි. මේ බුද්ධි ගලනයෙන් සමාජයක් ලෙස අප තව තවත් අගතියට ම පත් වෙනවා ය තියන එක. මේ සමාජයේ ගැටලුවක් තිබේ නම් එය මෙහිදී විසඳා නො ගෙන විසඳා ගන්නේ කොහිදී ද?

      බුද්ධි ගලනය ගැන සුජීව කියන මේ කාරණය අරගෙන බලන්න. "මම හිතන්නේ බුද්ධිගලනය ගැන තියෙන ලාංකීය නෙගටිව් චින්තනය හා බුද්ධි ගලනයට ලක්වන උගතුන් ලංකාව ගැන තියේන නෙගටිව් චින්තනය කියන දෙකම අවුල්. මේ යන බුද්ධිමතුන් එ රටවල ඉන්දිද්දීම ලංකාවට සෑහෙන අර්ථවත් දෙයක් කර ගන්න පුළුවන් දෙපාර්ශ්වයම යහපත් මානසිකත්වයට ආවොත්. විය යුත්තේ එයයි."

      දැන් මේ දේ වුණත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද, මේ ඉන්න පාලකයන් හා ඉතිරි වී තිබෙන ජනතාවත් එක්ක. තේරෙන මිනිස්සු හැමෝ ම රට යන සංදර්භයකදී මේ පසුබිම හදන්න අවශ්‍ය මැදිහත්වීම කරන්නේ කවුරුද?

      ඔබ‍ කතා කරන ආකාරය ම විජාතිකයි. අපි ගියේ ඔයගොල්ලන් අපට හරියට සැලකුවේ නැති නිසායි. ඔයගොල්ලන්ට අපෙන් උදව් ඕනැ නම් දැන් අපි ගාවට දන ගාගෙන එන්න. මම නම් කියන්නේ එන්න එපා. මෙහෙට මැදිහත් වෙන්නත් එපා. ඔහේ පැළ වෙන්න.

      දැන් අර ඕස්ට්‍රේලියාවේ මක්වයරි බැංකුවේ සී ඊ ඕ වැනි අය ඇත්තෙන් ම ඒ සමාජ ක්‍රමයන් තුළ පැළ වුණ අය. ඒ අයට තමන්ගේ සම්භවය කියන්නේ අතීතකාමී දෙයක් පමණයි. හරියට ඔබාමාට තමන්ගේ සම්භවය වගේ. ඒත්, ඔබ වැනි අයට එහෙමත් නැහැ. ඒකනේ මෙවැනි සංවාදවලට සහභාගි වන්නේ. ඒක හොඳයි. ඒත්, ඔබ කැමති නැහැ, ඔබේ පැවැත්ම ප්‍රශ්න කෙරෙනවාට. ඔබ තර්ක හදා ගන්නේ එය සාධාරණීකරණය කර ගන්න. මේක තමයි නියම කුහකකම.

      මට වුණත්, සංක්‍රමණය කරන්න බැරිකමක් නැහැ. එය ලොකු වීරකමක් නොවෙයි. මම මෙහි වෘත්තිකයෙක් වුණාට මට ආරම්භයේදී එහි පිළිගැනීමක් ඇති කර ගන්න අමාරුයි. හැබැයි, මට වැඩ කරන්න තිබෙන නිරෝගීකමයි, ශරීර ශක්තියයි, ඒ ගැන තිබෙන යහපත් ආකල්පයි මාකට් කරන්න පුළුවන්. මගේ බිරිඳට හෙදියක් ලෙස මට වඩා හොඳින් ඉදිරියට යන්න පුළුවන්. පෞද්ගලිකව ගොඩ යන්න මේ විසඳුම ප්‍රමාණවත්. ඊටපස්සෙ මටත් තියෙන්නේ මේ රටේ පාලකයන්ට, ජනතාවට බැන බැන, රටට ආදරෙයි කිය කියා ලියන්න විතරයි.

      හැබැයි, මේ පොළවේ ඉඳගෙන අපි අද කරන මේ මැදිහත් වීම පුංචි වුණත්, එහි බලපෑම ලොකුයි. මේ පුංචි පෝස්ට් එක වුණත් ඔබේ සමබරකම අප්සෙට් කරන්න හේතු වුණ බව අවංකව පිළි ගන්න. ඒ නිසානේ මගෙත් එක්ක තරහා.

      පෞද්ගලික කුරුළු කූඩුවලට ගල් ගහන එක කැත වැඩක් වෙන්න පුළුවන්. ඒත්, ඒකේ දේශපාලනයක් තිබෙනවා. අපි ගල් ගහලා කියන්නේ වරෙල්ලා ලයිට් කම්බියට කියලායි.

      Delete
    2. වැරදීමක් උනානම් කොමෙන්ට් එක මකා දාන්න

      Delete
    3. [[ මෙතන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ ගැටලුවක් නේ. ]]

      නැහැ. මම ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ යහපාලනයේ අඩුවක් නොවේ දකින්නේ. එහෙම ගැටලුවක් තියෙනවා, නමුත් එය නොවේ මිනිසුන් යන්න හේතුව.

      මිනිසුන් යන්න හේතුවන වෘත්තීය හේතුව [සීතල රටවලට ආසාව, ළමයින්ගේ අධ්‍යාපනය වගේ හුදෙක් වෘත්තීය නොවන ඒවා අතහැරියොත්] ලංකාව වගේ ප්‍රත්‍යන්ත දේශයක මිනිසුන්ට ඔපොචුනිටි අඩුවීම. මෙහිදී ඔපොචුනිටි කියන ඒක ඒ ඒ කෙනා වෙනස්ව අර්ථ දක්වයි. එය කිසියම් විෂය ක්ෂේත්‍රයක ඉහල මට්ටමකට ලඟාවීම හෝ අධික වැටුපක් ලැබීම හෝ ලෝකයාට සේවය කිරීම පවා වෙන්න පුළුවන්.

      හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ආවා කියල මේ ගැටළු හරියාවි කියා මම හිතන්නේ නැහැ.

      [[පිටරට ගිය අය ඒ තත්වය වෙනස් කරන්න කළ මැදිහත්වීම මොකක්ද? එතකොට ඉතිරි අයටත් තිබෙන විසඳුම පිටරට යන එක විතරයිද?]]

      ඔබ විසින් ලංකාවේ සිට [හෝ මා විසින් බොහොම මෑතක් වෙනතුරු ලංකාවේ සිට] කරපු හරියම තමා.

      අපි ඔක්කොම ප්‍රශ්නයක් දකිනවා. ප්‍රශ්නයට අපි බොහෝ දෙනෙක් මවාගත්තු විවිධ පුද්ගලික සිහින වලින් ඔබ්බට උත්තරයක්‌ නැහැ. ලංකාවේ සිට හෝ නොසිට වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් මොකක් හරි එකක වැරැද්දක නිවැරදි කරන්න ගතහැකි නිරපේක්ෂ ක්‍රියාමාර්ගයක් පෙනෙන්න නැහැ. ඒ නිසා මේ ගැටලුව රට යාමෙන් ස්වයත්තයි.

      නිරපේක්ෂ පැහැදිලි මගක නැතුවාට සාපේක්ෂ ෆැන්ටසි මාවත් බොහොමයක් සමහරුන්ට තියෙනවා. .ෆැන්ටසි නිකම් මාකට් බබල් වගේ. බර්ස්ට් උනාම ලගම තියෙන ලොකු පක්ෂෙට හේත්තු වෙනවා.

      [[මේ සමාජයේ ගැටලුවක් තිබේ නම් එය මෙහිදී විසඳා නො ගෙන විසඳා ගන්නේ කොහිදී ද?]]

      ඔය සමාජයේ තමන්ට බලපාන ගැටලුව තමන්ගේ ජීවිත කාලය තුල විසඳන්න නොහැකිය කියන තැනට කෙනෙක් තීරණය කලොත් ඔයා කියන්නේ ඊට පස්සෙත් ඔතනම වැටිලා ඉන්න කියලද?

      [[තේරෙන මිනිස්සු හැමෝ ම රට යන සංදර්භයකදී මේ පසුබිම හදන්න අවශ්‍ය මැදිහත්වීම කරන්නේ කවුරුද?]]

      රට නොගිය කියලා "තේරෙන මිනිහෙකුට" කළ හැකි දේ මොකද්ද? රටයාමෙන් එය කළ නොහැකි වන්නේ ඇයි?

      අජිත් හිතනවා නම් මේ "තේරෙන මිනිස්සු" ජස්මින් විප්ලවයක් කරයි කියලා ඒක ලොකු වැරදීමක්. මේ බොහෝ දෙනෙක් වැඩිම උනොත් කරන්නේ චන්දෙ දෙන ඒක. මමත් එහෙමමයි. මගේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුල මහපාරේ උද්ඝෝෂණ නැහැ. චන්දය හරහා මේ මිනිසුන්ට කළහැකි ප්‍රමාණය කෙතරම්ද?

      [[ඔබ‍ කතා කරන ආකාරය ම විජාතිකයි.]]

      මම කිව්වේ රටක් හැටියට ලංකාවේ ඔපොචුනිටි ඒක අඩුයි. ඒ නිසා අපි බොහෝ දෙනෙක් ගිය බවයි. "සජාතික' ලෙස මම මොකද්ද කියන්න ඕනේ. "ලංකාව මාරයි අජිත්, මම ඉන්නේ මෙහෙ හිතකින් නොවේ, මම කවද හරි එනවා ලංකාවට, අපි මේ ආවාට ආවා මිසක් තව මේ ... [කිසියම් පොඩි ඉලක්කයක්] කර ගත්ත ගමන් මම ආපහු එනවා," ඔන්න ඕවා සංක්‍රමණිකයන්ගේ සුලබ කතා. ඒවා ඇත්ත කියා සමහරවිට ඔවුන් සිතා උන්නත් කවදාවත් වෙන දේවල් නොවේ.

      [[මම නම් කියන්නේ එන්න එපා. මෙහෙට මැදිහත් වෙන්නත් එපා.ඔහේ පැළ වෙන්න.]]

      ලංකාවට මැදිහත් වෙනවා කියන්නේ මොකද්ද? ෆේස්බුක් එකේ කොමෙන්ට් දැමීම? හෝ බ්ලොග් එකක් ලිවීම. මම බොහෝ විට ලියන්නේ හිතේ තියෙන අදහස් පිට කරන්න. ඔබේ වදනින්ම කිව්වොත් මට ශාස්තෘන් ඇත්තෙත් නැහැ, මම ශාස්තෘ කෙනෙකුත් නොවේ. මගේ අදහස් කියවා වර්තමාන ලාංකිකයන් වෙනස්වෙලා සමාජ විපර්යාසයක් වේවි කියා හිතන්නේ නැහැ.

      මම හිතන්නේ ලංකාවෙන් යන මිනිහා යන තැනක පැළ වීම හොඳයි.

      [[ අපි ගියේ ඔයගොල්ලන් අපට හරියට සැලකුවේ නැති නිසායි. ඔයගොල්ලන්ට අපෙන් උදව් ඕනැ නම් දැන් අපි ගාවට දන ගාගෙන එන්න. ]]

      මම මෙහෙම කිව්වේ නැහැ. මම ඔබට උදව කරන්න හෝ ඔබ මට උදව කරන්න කතා වුනේ නැහැ. උදව පුද්ගලිකයි අජිත්, ඒවාට දේශසීමා නැහැ.

      [[ඒත්, ඔබ වැනි අයට එහෙමත් නැහැ. ඒකනේ මෙවැනි සංවාදවලට සහභාගි වන්නේ]]

      නැහැ. මම පුද්ගලිකත්වයෙන් බැලුවේ නැහැ. උදාහරණයකට මගේ චින්තනය ඇබින්දක් වත් වෙනස් නැතුව ඔහොමම තමා තිබ්බේ ලංකාවේ ඉන්දිද්දීත්. ඔබ හොඳ ප්‍රශ්නයක් අහනවා. අපි සංවාදවලට එන්නේ ඇයි? ලංකාවේ ඉන්න අය එන හේතුවමයි. මූලික වශයෙන් හැමෝටම කාලය ගෙවන ක්‍රමයක් පමණයි මේ අතත්‍ය අවකාශය. ඇත්ත දේශපාලනයක් කරනවා නම් තත්‍ය ලෝකයේ කරන්න. ඔයාගේ බ්ලොග් ඒකයි මගේ බ්ලොග් ඒකයි වෙන කෙනෙකුගේ බ්ලොග් ඒකයි අතරේ කිසිම වෙනසක් නැහැ. ඔක්කොම කරන්නේ එකම දේ. ඉන්න කොහෙද කියන එකත් අදාළ නැහැ. ඉන්න තැන හේතුවකුත් නොවේ ලියන්න හෝ නොලියන්න.

      [[ ඔබ කැමති නැහැ, ඔබේ පැවැත්ම ප්‍රශ්න කෙරෙනවාට. ඔබ තර්ක හදා ගන්නේ එය සාධාරණීකරණය කර ගන්න.]]

      මගේ පැවැත්ම ගැන ඔබට හෝ වෙන කිසිවෙකුට තර්ක කරන්න හේතුවක් නැහැ. මම ඔබ හෝ ලංකාවත් එක්ක බොන්ඩ් එකක නැහැ ලංකාවෙන් යන්නේ නැහැ කියා. මම ලෝකල් උපාධියක්වත් කරලා නැහැ. ඒ නිසා මෙතන ගිල්ට් එකක්, හැන්ගීමක්, සාධාරණය කිරීමක් නැහැ. මම ගියපු හේතු හෝ මගේ කතාව මම මෙතන ලියලත් නැහැ. ඒ ගැන ඔබේ චිත්‍රය ස්ටේරියෝ ටයිප් එකක් පමණයි. එය කොටින්ම වැරදියි.

      Delete
    4. [[මට වුණත්, සංක්‍රමණය කරන්න බැරිකමක් නැහැ]]

      මම බැහැයි කිව්වේ නැහැ. මම ඔබේ අදහස් පුද්ගලික දේවල් විදිහට ගත්තේ නැහැ. ඒ ගැන පැහැදිලි කරන්න අවශ්‍යත් නැහැ කියා හිතනවා.

      [[එය ලොකු වීරකමක් නොවෙයි]]

      කොහෙත්ම නැහැ. මෙන්න මේක මාර වැදගත්. මම හිතන්නේ මිනිස්සු යන්නේ ඉන්න කැමති තැනට. ඕන හැටියේ යන්න හැකි සමහර විට පිටරටවල සිටිසන්ශිප් තියෙන අයත් ලංකාවෙන් නොයා ඉන්නවා. ආතර් සී ක්ලාක් ලංකාවේ පදිංචි වුනාත් එක්ක. මේක වීරකමක් නොවේ ආසාවක් කැමැත්තක් හෝ තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයකට විසඳුමක් වගේ දෙයක්.

      මගේ ගැටලුව නම් මේ පුද්ගල කැමැත්ත ඔබ ගැටලුවක් කරගන්නේ ඇයි කියන ඒක.

      [[ ඊටපස්සෙ මටත් තියෙන්නේ මේ රටේ පාලකයන්ට, ජනතාවට බැන බැන, රටට ආදරෙයි කිය කියා ලියන්න විතරයි.]]

      ඔබ දැන් කරන්නෙත් එකම තමා. ඔබ භෞතිකව ඉන්න තැන වෙනස්වීමේ සම්බන්ධයක්වත් මට පේන්නේ නැහැ.

      [[හැබැයි, මේ පොළවේ ඉඳගෙන අපි අද කරන මේ මැදිහත් වීම පුංචි වුණත්, එහි බලපෑම ලොකුයි. මේ පුංචි පෝස්ට් එක වුණත් ඔබේ සමබරකම අප්සෙට් කරන්න හේතු වුණ බව අවංකව පිළි ගන්න. ඒ නිසානේ මගෙත් එක්ක තරහා. ]]

      මෙන්න මේකයි මහත්තයෝ බයිලා කොටස. මේක සපුරා වැරදියි. පළමුව ඔයා හිතා උන්නට ඔයා මහලොකු දෙයක් කරන්නේ නැහැ. දෙවනුව එයට ඔයා ඉන්න තැන කොහෙත්ම බලපාන්නේ නැහැ. තෙවනුව ඔයා මට කිසිම බලපෑමක් කර නැහැ. මේ මම කොමෙන්ට් ලියු පළමු අවස්තාව නොවේ. මම කොමෙන්ට් කලේ ඔබේ අදහස ගැන. එහෙම ඕනතරං ලියා ඇති.

      මම ඒක දෙයක් ගැන පුදුම උනා. මේ මට උත්තරයක්‌ ඔයා දීපු පළමු වතාව.

      [[ අපි ගල් ගහලා කියන්නේ වරෙල්ලා ලයිට් කම්බියට කියලායි.]]

      අපි ඉන්න වර්තමාන අතත්‍ය ලයිට් කම්බියේ භෞතිකව අපි ඉන්නා තැන විසින් කරන බලපෑම අවමයි. එහි බලපෑමක් වෙන්න නම් අපි මේ දේශපාලනය මහ පොලොවට අරගෙන යන්න ඕනේ. එතැනදී ඔයා සහ මම ඉන්නේ දෙපැත්තක බවත් අමතක නොකරන්න.

      Delete
    5. සරලව, වැදගත් විධියට ලියපු අවංක උත්තරයක් මෙන් පෙනේ. විශිෂ්ඨයි.

      Delete
    6. අපේ විසංවාදය මේ දෙබස තුළ තිබෙනවා. පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මොකද, මේ අදහස් ‍පද්ධති දෙක මේ විධියට තිබෙන එක භෞතිකයි. පිළිතුරු දීලා ජයග්‍රහණය කරනවා ය කියා දෙයක් නැහැ. මේක සංවාදයක්.

      Delete
  14. “As man advances in civilization, and small tribes are united into larger communities, the simplest reason would tell each individual that he ought to extend his social instincts and sympathies to all members of the same nation, though personally unknown to him. This point being once reached, there is only an artificial barrier to prevent his sympathies extending to the men of all nations and races.”
    ― Charles Darwin, The Descent of Man
    ඔබගේ සමාජවාදයේ සීමාව ජාතික රාජ්‍යයද? ව්ජේ ඩයස් සමහ 8 වැනි අන්තර්ජාතිකය වැනි දෙයක් කිරීමට ඔබට හිතෙන්නේ නැද්ද? මා ලංකාවේ ගෙවුම් ශේෂයේ හිගය අඩු කිරීමට මාසිකව සෑහෙන ගණනක් විදේශ විනිමය ලකාවේ ගිණුමට එකතු කිරීමට දායක වන නිසා කිසිම කෙනෙක්ට තවම මට නම් ඇඟිල්ල දික් කල නොහැක නමුත් මා එසේ කරන්නේ රට ජාතිය ගැන හිතා නොව පුද්ගලිකව මගේ loved ones and family ගැන ඇති ආදරය නිසා පමණි. මුකුත් නොකර කටින් බතල කොළ හිටවමින් ආනයන මත යැපෙමින් ඉන්නවාට වඩා මම කරන දෙය මට නම් ප්‍රායෝගිකය. මා විදේශගතවී ඇත්තේ මුදල් අරමුණෙන් පමණක් නොව මෙහි ඇති නිදහස බුක්ති විඳීමටය. එබැවින් ඔබගේ සියලු මත සමග එකඟ විය නොහැක.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය සුජීවත්, ඊට පෙර අයත් කියන තත්වය ලංකාවේ ඇති වුණේ ඇයි? මෙතන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ ගැටලුවක් නේ. පිටරට ගිය අය ඒ තත්වය වෙනස් කරන්න කළ මැදිහත්වීම මොකක්ද? එතකොට ඉතිරි අයටත් තිබෙන විසඳුම පිටරට යන එක විතරයිද?

      මම කියන කාරණයත් ඒක ම තමයි. මේ බුද්ධි ගලනයෙන් සමාජයක් ලෙස අප තව තවත් අගතියට ම පත් වෙනවා ය තියන එක. මේ සමාජයේ ගැටලුවක් තිබේ නම් එය මෙහිදී විසඳා නො ගෙන විසඳා ගන්නේ කොහිදී ද?

      බුද්ධි ගලනය ගැන සුජීව කියන මේ කාරණය අරගෙන බලන්න. "මම හිතන්නේ බුද්ධිගලනය ගැන තියෙන ලාංකීය නෙගටිව් චින්තනය හා බුද්ධි ගලනයට ලක්වන උගතුන් ලංකාව ගැන තියේන නෙගටිව් චින්තනය කියන දෙකම අවුල්. මේ යන බුද්ධිමතුන් එ රටවල ඉන්දිද්දීම ලංකාවට සෑහෙන අර්ථවත් දෙයක් කර ගන්න පුළුවන් දෙපාර්ශ්වයම යහපත් මානසිකත්වයට ආවොත්. විය යුත්තේ එයයි."

      දැන් මේ දේ වුණත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද, මේ ඉන්න පාලකයන් හා ඉතිරි වී තිබෙන ජනතාවත් එක්ක. තේරෙන මිනිස්සු හැමෝ ම රට යන සංදර්භයකදී මේ පසුබිම හදන්න අවශ්‍ය මැදිහත්වීම කරන්නේ කවුරුද?

      ඔබ‍ කතා කරන ආකාරය ම විජාතිකයි. අපි ගියේ ඔයගොල්ලන් අපට හරියට සැලකුවේ නැති නිසායි. ඔයගොල්ලන්ට අපෙන් උදව් ඕනැ නම් දැන් අපි ගාවට දන ගාගෙන එන්න. මම නම් කියන්නේ එන්න එපා. මෙහෙට මැදිහත් වෙන්නත් එපා. ඔහේ පැළ වෙන්න.

      දැන් අර ඕස්ට්‍රේලියාවේ මක්වයරි බැංකුවේ සී ඊ ඕ වැනි අය ඇත්තෙන් ම ඒ සමාජ ක්‍රමයන් තුළ පැළ වුණ අය. ඒ අයට තමන්ගේ සම්භවය කියන්නේ අතීතකාමී දෙයක් පමණයි. හරියට ඔබාමාට තමන්ගේ සම්භවය වගේ. ඒත්, ඔබ වැනි අයට එහෙමත් නැහැ. ඒකනේ මෙවැනි සංවාදවලට සහභාගි වන්නේ. ඒක හොඳයි. ඒත්, ඔබ කැමති නැහැ, ඔබේ පැවැත්ම ප්‍රශ්න කෙරෙනවාට. ඔබ තර්ක හදා ගන්නේ එය සාධාරණීකරණය කර ගන්න. මේක තමයි නියම කුහකකම.

      මට වුණත්, සංක්‍රමණය කරන්න බැරිකමක් නැහැ. එය ලොකු වීරකමක් නොවෙයි. මම මෙහි වෘත්තිකයෙක් වුණාට මට ආරම්භයේදී එහි පිළිගැනීමක් ඇති කර ගන්න අමාරුයි. හැබැයි, මට වැඩ කරන්න තිබෙන නිරෝගීකමයි, ශරීර ශක්තියයි, ඒ ගැන තිබෙන යහපත් ආකල්පයි මාකට් කරන්න පුළුවන්. මගේ බිරිඳට හෙදියක් ලෙස මට වඩා හොඳින් ඉදිරියට යන්න පුළුවන්. පෞද්ගලිකව ගොඩ යන්න මේ විසඳුම ප්‍රමාණවත්. ඊටපස්සෙ මටත් තියෙන්නේ මේ රටේ පාලකයන්ට, ජනතාවට බැන බැන, රටට ආදරෙයි කිය කියා ලියන්න විතරයි.

      හැබැයි, මේ පොළවේ ඉඳගෙන අපි අද කරන මේ මැදිහත් වීම පුංචි වුණත්, එහි බලපෑම ලොකුයි. මේ පුංචි පෝස්ට් එක වුණත් ඔබේ සමබරකම අප්සෙට් කරන්න හේතු වුණ බව අවංකව පිළි ගන්න. ඒ නිසානේ මගෙත් එක්ක තරහා.

      පෞද්ගලික කුරුළු කූඩුවලට ගල් ගහන එක කැත වැඩක් වෙන්න පුළුවන්. ඒත්, ඒකේ දේශපාලනයක් තිබෙනවා. අපි ගල් ගහලා කියන්නේ වරෙල්ලා ලයිට් කම්බියට කියලායි.

      Delete
    2. උදිත, ජාතිකවාදය ඉක්මවිය හැක්කේ ජාතිය මාරු කිරීමෙන් නොවෙයි. ජාතිය අතික්‍රමණය කරන නව අනන්‍යතාවන් ගොඩනගා ගැනීමෙනුයි. එය තනිව කළ හැක්කක් නොවෙයි. සාමූහිකව කළ යුත්තක්.

      ඩාවින් කියන පුංචි ගෝත්‍ර විශාල ප්‍රජාවන් එක්ක එකතු වීම කියන්නේ සාධනීය දෙයක්. ඒත්, පුංචි මිනිස් කණ්ඩායමක් වුණත්, ලොකු ප්‍රජාවක් සමග මුසු වද්දී තීන්ත බිංදුවක් වතුරට මිශ්‍ර වෙනවා වගේ නො වී, දෙපැත්තට ම බලපෑම් කරනවා.

      ඔබ කරන උපුටා ගැනීම මෙතනට අදාළ වන්නේ නැහැ. ඔබ ගිහින් බටහිර සමාජය සමග මුසු වෙලාත් නැහැ. මෙහි ඉන්න අපි මුසු වන්නේත් නැහැ.

      මේ වනාහි, සමාජවාදීන් කතා කරන ජාත්‍යන්තරවාදය නොවෙයි. පුද්ගලවාදයේ ම තවත් ප්‍රභේදයක්. (Another version of individualism)

      "මුකුත් නොකර කටින් බතල කොළ හිටවමින් ආනයන මත යැපෙමින් ඉන්නවා" ය කියා ඔබ බැන වදින්නේ කාටද? එතකොට ඔබ වැනි permanent residentවරු නො වන මැද පෙරදිග, කොරියාවේ කම්කරුවෝ කවුරු ද? ඇඟලුම් කම්හල්වල වැඩ කරන, වතුවල දළු නෙළන අය කවුරු ද? ඔබ බනින්නේ අප වැනි අයට නම්, මතක තබා ගන්න, මා ගුරුවරයකු ලෙස කරන්නේ ඔවුන්ගේ දරුවන්ට අකුරු උගැන්වීම නම් අත්‍යවශ්‍ය සේවාව බව.

      මේ තමයි, පිටරට ගිය අයගේ කුහකත්වය. තමන්ගේ පැවැත්ම සාධාරණීකරණය කර ගන්න උපුටා ගැනීම් යොදා ගන්නවා විතරක් නොවෙයි, තමන් වගේ නො වන මිනිසුන් හෙළා දකිනවා. මේක පොදු මිනිස් ලක්ෂණයක්. අපි කතා කරන්නේ පොදු දේශපාලනයක් මිස මිනිසුන්ගේ පුද්ගල අඩුපාඩු නොවෙයි.

      ඝනීභූත අයිස් කුට්ටි වුණත් දිය වෙනවා.

      Delete
    3. මා ඔබ සමග කිසිම පුද්ගලික අරෝවක් කේන්තියක් හෝ තරහක් නොමැත මා ඔබගේ පොස්ට් එකක් නෑර නිතිපතා නොවරදවා කියවන සහෘද පාඨකයකි. ඔබව හෙලා දැක්කේද නැත මගේ ප්‍රතිචාරය තුල බැන වැදීමක් ද නොමැත වරදවා වටහාගැනීමට තරම් ප්‍රතිචාරය අපැහැදිලි වීම පිළිබඳ සමාවෙන්න මා අදහස් කලේ ඔබේ වැඩේ ඔබ කරන්න මගේ වැඩේ මම කරන්නම් වඩාත් ප්‍රතිපලදායක ඔබ කරන වැඩේද මම කරන වැඩේද කියල දෙපැත්තටම නොමැති බලාගෙන ඉන්න සුජීව වැනි තුන් වැනියෙකු තීරණය කරාවි. මා කලේ හෙලා දැකීමක් නොව ඔබ ගේ මතවල පරස්පරතාවයන් ගැලපීමට සමාජවාදය අලුතින් අර්ථදැක්වීමට ඔබට සිදුවීම පෙන්වාදීම පමණි . ඔබගේ සමාජවාදී ජීවිතය ඔබ ගෙනයන්න බාගෙන් කිසි බාධාවක් නොමැත.

      Delete
    4. උදිත සමග සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
    5. මට වැටහෙන ආකාරයට නම් උදිත ගේ යාම හෝ අජිත් ගේ හිඳීම කියන එක ඒ දෙන්නගේ වෘත්තීය ජීවිතයට අනුව තීරණය වන්නක්. අජිත් ගුරුවරයෙක් හැටියට ලංකාවට සේවයක් කනරවා. උදිත මොනවා කරනවද දැනෙන නැහැ. ඒත් මගේ කෝණයෙන් බැලුවොත් මම ලංකාවේ වැඩකළ වසර 13 ක කාලයේ මම කලේ පළමු ලෝකයේ රටවල ප්රෝජෙක්ට්ස්. මම ලංකාවේ පාස් අවුට් වෙන මනුස්සයෙකුගේ සීට් එකක් අල්ලාගෙන ලංකාවේ රාජ්‍ය සුබසාධන විඳිමින් පළමු ලෝකයට සේවය කිරීමට වඩා පළමු ලෝකයේ ඉඳගෙන ම ඒක කරලා සාධනීය වැටුපක් අරගන්න එක හොඳයි කියා හිතනවා.

      මම දිගටම කිව්වේ [හිම වැටෙන රටවල් වැනි පුද්ගලික ආසා හැරුණුවිට] මේක වෘත්තීය අර්බුදයක්. අජිත් මේ ගැන කතා කරන්නේ තමන්ගේ වෘත්තියට සාපේක්ෂව පමණයි.

      එතරම් සාධාරණ වැටුපක් නැතත් වෘත්තියව සතුටු වන්නන් ලංකාවේ ඉන්නා බව අජිත් දුටුවේද? වැඩියෙන්ම යන්නේ මොන කට්ටියද කියා හොයා බලන්න.

      Delete
  15. Sorry Machan, don't be hurt. Dialogue is like that.

    ReplyDelete
  16. තර්කනයේ එක තැනෙක නතර වීමි ! සංසන්දනයේ වරදක් දකිමි
    බැසිල් , ගෝඨා ආපසු පැමිණි බවත් , සෝමවංශ ගේ පුතා නැවතුන බවත් කීම අසමාන සංසන්දනයකි
    බැසිල් ගෝඨා මෙන්ම සොමවන්ෂත් පැමිණ තිබේ , මේ සියල්ලන්ගේම දරුවන් , නැවති තිබේ

    ReplyDelete
  17. Thawath ayage daruwan lebena mulma Awasthwedeema Batahirata ho usa walata paninawa,Thawama pera huru.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා