(විග්නේශ්වරන් දිවුරුම් දුන් ඡායාරූපය) ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත

මේ ඡායාරූපය ඇතැමෙකු මවිත කිරීමට ද, තවෙකෙකු තරහ ගැන්වීමට ද, තවත් අයෙකු දිව හක්කේ ගසාගෙන හිනා වීමට ද හේතු වී තිබේ. 

එ‍හෙත්, මෙම ඡායාරූපයේ ඓතිහාසික වැදගත්කමක් තිබේ. මේ වනාහි 1983න් පසු අන්ත ජාතිකවාදයේ ගිලී ගිය දෙමළ දේශපාලනය සාමාන්‍යකරණය වීම සංකේතවත් කරන්නකි. එය දේශපාලන සන්ධිස්ථානයකි.

මීට කලින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ දිවුරුම් දීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ යාපනයට එන බවයි. එම අදහස දෙමළ සමාජයට විකිණුවේ "හුහ්, අපි එහෙ යන්නේ නැහැ. එයා මෙහෙ එනවා," කියා ය. ‍එහෙත්, මහින්ද කිසිවක් කියූ බවක් දැනගන්නට නැත. අප සිතන අන්දමින් මහින්දට ඒ කොන්දේසිය දැමීමේ ආත්ම ශක්තිය සම්බන්ධන්ට හෝ විග්නේශ්වරන්ට නැත. 

ලංකාවේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය ද තමිල්නාඩුවේ දේශපාලනය හා සමාන අන්දමින් සංවර්ධනය වෙමින් තිබේ. දේශපාලනයේ නිරීක්ෂකයන් වී සිටි දෙමළ ජාතික සන්ධානය සැබැවින් ම පාලකයන් වී තිබේ. දැන් ඉතින් විරෝධය පළ කරමින් ඉන්නට බැරි ය. දැන් ඉතින් වැඩ කරන්නට ද සිදු වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගොඩනඟා ගතහොත් තත්වය වේගයෙන් වෙනස් වනු ඇත. 

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගි වෙනවා ද, නැද්ද යන කාරණය මෙහිදී වැදගත් ය. සහභාගි වුවහොත්, ඒ වනාහි ලංකාව, ඉන්දියාව හා උතුරු පළාත් සභාව අතර ධනවාදී අවබෝධතා ගිවිසුමක් වැනි එකකි. අප මෙහිදී ධනවාදී යන විශේෂණ පදය යෙදුවේ ජාතිකවාදය මැඩගෙන උතුරේ ධනවාදය හිස ඔසවන බව අවධාරණය කිරීමටයි.

උතුරු පළාත් සභවේ මහ ඇමති ලෙස විග්නේශ්වරන් වෙනුවට මාවයි සේනාධිරාජා පත් වුණත් මීට වඩා වෙනසක් සිදු වේ යයි සිතිය නො හැකි මුත් විග්නේශ්වරන් වෙනස්කම් නියෝජිතයකු ලෙස ප්‍රබල චරිතයකි. ඔහු සිංහල ජාතිවාදී බලපෑමට නැමෙනසුළු කොළඹ ආණ්ඩුවත්, දෙමළ ජාතිකවාදී උතුරත් අතර තුලනයක් ඇති කිරීමේ සමත් දක්ෂයෙකු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය. ආරංචි විධියට ඔහු පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගි වන ලෙස ඉන්දීය නායකයාගෙන් ඉල්ලා සිටින්නට ද සූදානම් ය. මේ වනාහි දකුණේ හා උතුරේ පාලකයන් අතර ඇති වී තිබෙන අවබෝධයේ ගැඹුරයි. 

අප දන්නා සාමාන්‍ය දෙමළ මධ්‍යම පංතිකයා විග්නේශ්වරන් වැනි පුද්ගලයෙකි. ඔහු මෙවැනි ඡායාරූපයකට ආදරය කරන්නෙකි. ඔහුගේ දරුවෝ ජනාධිපතිතුමා සමග ඡායාරූපයකට පෙනී සිටින්නට ලැබුණු අවස්ථාව ආදරයෙන් වැළඳ ගන්නෝ ය.මේ වනාහි එක ම පංතියක මිනිස්සු ය. 

ඡන්දයෙන් පත් වූ අනෙකුත් පළාත් සභා මන්ත්‍රීහු ද දකුණ හා ජාත්‍යන්තරය සමග කරන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන භාවිතාව තුළ ඉක්මණින් ම සිය සැබෑ දෙමළා සොයා ගනු ඇත. ඇතැමෙක් දැනටමත් සොයාගෙන තිබේ. එලිලන්ගේ බිරිඳ වන ආනන්දි සසිදරන් සෑම ‍දේශපාලන රැස්වීමකදී ම හඬා වැටීමෙන් ඡන්ද රැස් කළා ය. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තම මල්ලී ඡන්දයෙන් දිනවා දැන් ඇමතිකමක් සොයමින් සිටියි. එකට ඡන්දය ඉල්ලන ගමන් දෙමළ ජාතික සන්ධානයේ ම අය ආනන්ද සංගරී පැරදවූවා පමණක් නොව, එහුගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වෙනත් කාන්තාවකට බෝනස් මන්ත්‍රීකමක් ද අරගෙන දෙන්නට කටයුතු කළ හ. 

මේ සියල්ල මැද සුබවාදී වෙනස්කම් ද සිදු වෙමින් තිබේ. දෙමළ කතා කරන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පළාත් සභාවේ බෝනස් ආසනයක් වෙන් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය ගැන මතභේද තිබුණු බවක් සැළ වන්නේ නැත. 

ඕමන්තෙයි, පලෙයි දේශසීමා ස්ථාන නැති ලංකාව වෙනස් ය. දැන් A -9 පාර යන සු‍විශේෂ නාමකරණය ද අසන්නට ලැබෙන්නේ අඩුවෙනි. එය ද සාමාන්‍ය පාරක් වී තිබේ. හැමදාමත් උදේ මා පාසල් යන විටත්, ඇතැම් දිනෙක ප්‍රමාද වී ආපසු එන විටත් මට මතුගම සිට යාපනය බලා යන බස් රථය හමු වේ. කවුරුවත් ඒ දෙස විශේෂ අවධානයක් යොමු කරන්නේ නැත.

රේල් පාර කිලිනොච්චියට ගොස් ඇත. ප්‍රභාකරන්ගේ බංකරය පුපුරුවා දමා ඇත. ඒකීය හෝ එක්සත් ලංකාව මහ පොළවේ නිර්මානය වෙමින් තිබේ. උතුරේ නිර්මානය වෙමින් තිබෙන අලුත් පංතියක හදවත් එකට බැ‍ඳෙමින් තිබේ. 

ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. නානාසාර ගේම ඉල්ලන්නේ මුස්ලිම් අයගෙන් නේද?

    ReplyDelete
    Replies
    1. නානසාර කොලු කාරයින්ටත් කැමති නෑ.... කකා පරිස්සමින්

      Delete
    2. Yes. We have to also look at what is happening in the UNP too. Things are moving in the country's favour

      Delete
  2. සේනාධිරාජා ආවත්, විග්නේෂ්වරන් ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැතියි කියන එක නම් හරි. ඒ වගේම උතුරේ ඡන්දයට විග්නේෂ්වරන් නෙවෙයි පඹයෙක් දැම්මත් දෙමළ සංධානය දිනනවා. දෙමළ සංධානට ස්වයං පාලනය ගන්න බැරි හින්දා අඩුම තරමේ ඒකීය රටක තමන්ට පාලනයක් තියාගන්න තත්වයකට තල්ලු වුනා කියලයි මට හිතෙන්නේ. විග්නේෂ්වරන් උතුරේ සංවර්ධනය ගැන මොනවත් කියලා නෑ නේ. ඒකත් ආණ්ඩුවට බාරදීලා වෙන්න ඇති. ආණ්ඩුව බොහෝ වෙලාවට උතුරෙන් පළි ගන්නත් ඉඩ තියෙනවා. මේ ඔක්කොමත් එක්ක විග්නේෂ්වරන් හැම පැත්තෙන්ම තැලෙයි.
    අවසානේ වෙන්නේ තටු කපලා දාපු පරවියෙක් වගේ කූඩුවේ ඉන්න හරියට කොළඹ නගර සභාවේ නගරාධිපති මුසම්මිල් මහත්තයා වගේ

    ReplyDelete
    Replies
    1. උතුරට එහෙම වෙන එකක් නැහැ කියල මම හිතනවා ඔවුන් පිටුපස ලොකු බලවේගයක් තිබෙන නිසා උතුර හුදකලා කරොත් ඔවුන් ඉන්දියාවට පහුසුවෙන් නැඹුරු වෙනවා. වඩාත්ම අනතුරුදායක දේ ඒකයි. උතුරේ විස්වාසය දිනාගන්නා දෙසට රජය නැඹුරුකරගනීමයි කලයුතු

      Delete
  3. විග්නේශ්වරන් හොඳ කොටියෙක්ලු

    ReplyDelete
  4. නානසාර බොදු බල සේනා යාපනය ශාකාව අරඹයි.

    ReplyDelete
  5. මමත් සැහෙන්න බලාපොරොත්තුවෙන් සිටි අවස්තාවක් නමුත් ජනපති තුමා එයට එතරම් උනන්දු වන බවක් පෙනෙන්නට නැහැ ඔහු ඇතැම්විට බිය වන්නේ සිංහල ජාතිවාදී චන්ද පදනම් අහිමි වෙයි කියා වන්නට පුළුවන්. ඔබ පවසන්නාක් මෙන් සැබවින්ම මෙය අප දන්නා සාමාන්‍ය දමිල වැසියාගේ නියෝජනයකි. උතුරේ ජාතිකවාදය ඉක්මවා ධනවාදය පෙරට පමිනේනම් එය සුභ ලකුණකි.අප කලයුත්තේද දෙමළ සමාජය ජාතිවාදී ස්ථාවරයකට තල්ලුවීම වලක්වා ගැනීමයි මම හරි අසාවෙන් බලාසිටි මොහොතක් මේක. මේ වෙලාවේ අප හෙළ උරුමය විමල් පිල හා බො බසේ වපුරන වර්ගවාදී අදහස් දියකර හැරීමට ක්‍රියාකලයුතුය.

    ReplyDelete
  6. පැරා මේ ලිපියට ගෙව්වෙ ආණ්ඩුවෙන්ද?

    ReplyDelete
  7. ඥානාසාර හිමියන් ගෙ සම්බන්ධය මොකක්ද දෙමල ප්‍රශ්ණය ගැන, එයාගෙ බො.බ.සෙ. දිගින් දිගට ප්‍රශ්ණ කරන්නෙ මුස්ලිම් ව්‍යාප්තිය ගැන නේද? ඕකට අල්ලගන්න චම්පිකව හරි කවුරුහරි.

    මම කලින් කොමෙන්ටුවක් දැම්මෙ, මගෙ එකම බලාපොරොත්තුව විග්' නුත් අපෙ දේශපාලුවො වගෙ වෙනවනම් කියල. දැන් ටිකක් ලාවට සන්තෝශයි, ඒත් කොටියගෙ සද්දෙ ඇහෙන්නෙ නෑ කියල ගාලෙ වැට ගලවන්න තාම හදිසි නෑ.
    -ප.ගෝ.

    ReplyDelete
  8. ඇයි ඥාණසාර....????? එතකොට පැරාට... රාමචන්ද්‍රන්ට...????????

    ReplyDelete
  9. හොද කොටි ඔක්කොම ඒකාලෙම ආන්ඩුවට ආවනෙ බබෝ..

    ReplyDelete
  10. මේ ඡායාරූපයේ සිටින පුද්ගලයින් සහ ඥාතිත්වය හදුන්වා දෙන්න. විත්නේෂ්වරම්ගේ අනාගත සැලසුම් ගැන අපට එතරම් බිය විය යුතුද? යන්නට පිළිතුරක් සොයා ගත හැකිවේවි.

    ReplyDelete
  11. ලේඛකයා සමඟ එකඟ්යි. හැබැයි ජීවත් වෙන්න අළුත් ව්‍යාපෘතී හොයා ගන්න වෙන්නේ ඥාණසාරට විතරක්ම නෙමෙයි.

    ඡන්දෙට කලින් රාමචන්ද්‍ර ලියපු සටහනකට මම කිව්වා, විග්නේශ්වරන්ගෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා, විග්නේශ්වරන් කියන්නේත් රනිල්, මහින්ද කාසියේ අනිත් පැත්ත කියලා. මේ ෆොටෝ එක ඒකට හොඳම උදාරණයක්.

    මම අහන්නේ පවුල් පිටින් ගිහින් ජනාධිපති වටේ ඉදන් ෆොටෝ ගහන්න කවුද අකමැති..? [අනේ අම්මපා මට කතා කළොත් මමත් යනවා, ඒක ප්‍රින්ට් කරලා බිත්තියෙත් ගහනවා, ෆේස් බුක් එකේ කවර් ෆොටෝ එකට දානවා, ලැමිනෙට් කරලා පර්ස් එකේ දාගන්නවා, පොලිසියෙන් නැවැත්තුවොත් ඒක පෙන්නලා අහනවා "තමුසෙලා දන්නවද මම කවුද කියලා..?]

    තවත් සමහරු හිතන් හිටියා විග්නේශ්වරන් දෙමළ ජනයාට විමුක්තිය උදාකරන්න දෙවියෝ එවපු දූතයයි කියලා. සමහරු ලිව්වා දෙමළ සමාජය සිංහලයගේ මුහුණ බිම ඇතිල්ලුවා කියලා. ඒත් මේ ෆොටෝ එක ඒ අයගේ රෙදි ගලවනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා