2013-10-27

ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?

අද මං ටිකක් මගේ ජීවිතය ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ පම්පෝරියකට නොවෙයි. හේතුවක් ඇතිවයි.

සෙනසුරාදා මට හරි ම කාර්ය බහුල දවසක්. ඉරිදා නිකුත් වන ඉංග්‍රීසි පත්තරයකට අවශ්‍ය පරිවර්තන වැඩ යෙදෙන්නේ එදාට. කලින් දවසේ කිසියම් වයිරස් ප්‍රහාරයක් නිසා සිංහල අඩපණ වී තිබුණ නිසා බ්ලොගය යාවත්කාලීන කරන්නත් බැරි වුණා. වැඩ කරමින් ඉන්න අතරමගදී තමයි පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෙඩ දෙන්න ගත්තේ. අන්තිමේදී වැඩ ටික ඉවර කළේ කැෆේ එකකදීයි. අපේ මරුති කාර් කට්ටේ බැටරිය බිංදුවට ම බැහැලා. ඒ නිසා කොම්පියුටරෙත් පස්සෙන් දාගෙන පල්ලමේ තල්ලුවක් දාලා පණ ගන්වාගෙන මුලින් ම ගියේ කාරයට අලුත් බැටරියක් දාගන්න. ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ.

කාර් එකේ ටයර්වල කම්බි කැඩිලා. කැන්වස් මතු වෙලා. කලින් ඉස්සරහා ටයර් එකක් දාලා අනෙක් පැත්තට අමතර රෝදය දැම්මා. පස්සටත් ටයර් දෙකක් දාගත්තා. ගෙඩි රුපියල් ම විසිදාහක් විතර වියදම් එක දවසින්. ටයර් කඩේ මුදලාලි කිව්වා, නැන්කැන් කියලා රට ටයර් එකක් දාගන්න කියලා. රුපියල් අටසීයක් විතර මිළ වැඩියි. මම ඇහුවා, ඒකෙ හොඳ මොකක් ද කියලා. ඒක දැම්මා ම ටිකක් සැපයිලු. මරුති අටසීයේ මොන සැප ද මෙයා? කාර් එකේ ලීසිං එක ඉවර වුණාට පස්සෙ යාලුවෝ නෑයෝ එහෙම කිව්වා අලුත් එකක ගත්තා නම් හොඳ නැද්ද කියලා. මට ණය වෙන්න කම්මැලියි. අනෙක සමාජ තත්වය පෙන්නන්න භාණ්ඩ යොදා ගැනීම වෙනුවට ම කරන්නේ ජීවිතය පහසු කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ පරිහරණය කිරීමයි.

අපි කාරෙක පාවිච්චි කරන්නේ වැහි දවසට හා ඉඳහිට දුර ගමනක් යන්න විතරයිනේ. ඔය දියුණු රටවල්වල සමහර පැතිවලත් පොදු ප්‍රවාහන සේවා නැහැනේ. අපේ ගෙවල් පාරෙත් එහෙමයි. ගොඩක් දියුණු නිසා පොදු ප්‍රවාහන සේවය දුර්වලයි. කාර් එක හා බජාජ් ප්ලැටිනා මෝටර් සයිකලේට පිං සිදු වෙන්න ජීවිත කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරියි. නැතිනම් පයින් යන ගානට මතුගම ඉඳන් හොරණ යන බස්වලට වෛර කරන්න ඕනැ. මතුගම පැත්තට යන බස් එන්නේ දෙක දෙක, අධිවේගයෙන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හොරණින් එන ප්‍රයිවෙට් බස්කාරයා නෑබඩට විතර එනකල් කොටනවා. ඔය අතරෙ පස්සෙ එන ලංගම බසයත් එනවා. ඉන් පස්සෙ මතුගමට යනකල් රේස්. සමහර වෙලාවට මුන් දෙන්නට ම අමතක වෙනවා උන් කරන දේ. ඒ වෙලාවට දෙන්නත් එක්ක ම සෙනග මග දමලා ධාවන තරගයේ යෙදෙනවා. මේවා ඇවිල්ලා ඕෆ් රෝඩ් රේස්. මොකද, අපේ පාරේ කිලෝ මීටර් විස්සක් විතර එක දිගට අලුතින් හදනවා. චීන කොන්ත්‍රාත්කාරයෝ හරි ලස්සනට ඒ හැදිල්ල කළමනාකරණය කරනවා. මට මතක් වෙන්නේ ඉස්සර මතුගම - කලුතර පාර හදපු හැටි. පාර පරිහරණය කරන ජනයාට කරදර අවම වන පරිදි ටිකින් ටික තමයි හැදුවේ. ඒ මං හිතන්නේ බටහිර අධිරාජ්‍යවාදී සමාගමක් තමයි ඒ ‍කොන්ත්‍රාත්තුව කළේ. නැගෙනහිර සමාජවාදී චීන කොම්පැනිය තැන් තැන්වල බෝඩ් ගහලා තියෙනවා කණගාටුව පළ කරලා.

දවල් බිරිඳව එක්කගෙන එන ගමන් අපේ ගෙවතු වගාවට කොම්පෝස්ට් පෝර ටිකක් ගන්න මතුගම ප්‍රාදේශීය සභාවට ගියා. ඒ ගියේ හතරවෙනි වතාවට. උන් අපේ කුණු ගෙනියන්නෙත් නැහැ. උන්ගේ කුණු සල්ලිවලට ගන්න ගියා ම ඒක දෙන්නෙත් නැහැ. සමහර දවස්වලට පෝර කාමරේ යතුර තියෙන එකා හොයා ගන්න නැහැ. බල්ල ඉන්නකොට පොල්ල නැහැ. පොල්ල තියෙනකොට බල්ල නැහැ.

මේ දිනවල කුණු ට්‍රැක්ටරය විසින් ගෙනියනු ලබන්නේ දිරන, නො දිරන වශයෙන් වෙන් කළ කසල විතරයි. පගාවක් දුන්නොත් නම් ඉතින් වෙන් නො කළයි කියලා ප්‍රශ්නයක් නැහැ. පාරේ යන පැත්ත නො දන්න අපේ ගමේ කට්ටිය දන්න කසල වෙන් කිරිල්ල! මේකෙන් දැඩිව ම පීඩා විඳින්නේ පාසල්. කසල වෙන් කරලා දෙන්නේ නැහැ කියලා දැන් සභාවෙන් පාසල්වල කුණු ගෙනියන්නේ නැහැ. දැන් මතුගම නගරයේ සමහර ඉස්කෝලවල හරි ෂෝක් කසල කළමනාකරණයක් ති‍යෙනවා. ඉස්කෝලේ කුණු ළමයි බෙදාගෙන බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න ඕනැ. අර බත් මුල්, පොත් පත් ගෙනියන බෑග් එකේ ම තමයි. කොහොමද ප්‍රින්සිපල්ගෙ ටිකිරි මොළේ! ළමා අයිතිවාසිකම් ගැන කතා කරන කවුරුවත් මේවා ගැන සද්ද නැහැ. මේ වැඩේ කොළඹ නගර සභාවේ ක්‍රියාත්මක කළා නම්, කොළඹ කුණු ප්‍රශ්නයත් විසඳ ගන්න තිබුණා.

ඉතින් ඔය අත‍රේ අපේ බ්ලොග් එක බලපු පිටු සංඛ්‍යාව සඳහන් මීටරේ දහ අට ලක්ෂය පැන්නා. ස්තුතියි ඔබට. බ්ලොගර් කොම්පැනිය මේ මීටරේ දුන්නේ අපි බ්ලොගය කරගෙන යද්දි නිසා ඇත්තෙන් ම නම් දහ අට ලක්ෂය පැනලා ඉවරයි.

කවදාවත් නැතිව අපේ පෞද්ගලික ජීවිත ගැන කතා කළේ ඇයි ද දන්නවා ද? ලංකාවේ උප නාගරික පහළ මධ්‍යම පංතික ජීවිත ගත වෙන්නේ ඔය වගේ.

ඉතින් මධ්‍යම පංතිකයෝ හුග දෙනෙක් මේකට විසඳුම විදියට දකින්නේ දියුණු ධනේශ්වර රටකට සංක්‍රමණය වීමයි. සමහරු පිටරට යන්නේ මෙහේ හොඳ ජීවිතයක් නැති නිසා ම නොවෙයි. මෙහේදි ජාතිවාදයෙන් මුසපත් වෙලා අමන පාලකයන් බලයට පත් කරලා, රටේ ම ඉන්න පාදඩයන් පළාත් පාලනයට යවලා, ඔවුන් රට යන්නේ ඩීසන්ට් ජීවිතයක් හොයාගෙන. ඒ වුණාට මේ පරම්පරාව ඇත්තට ම ඒ සමාජයේදී පිටස්තරයෝයි. ඒ නිසා ලස්සන තැන්වලට ගිහින්, සීත ඇඳුම් ඇඳගෙන ෆේස්බුක් එකට පිංතූර දාගෙන බෙදා හදා ගන්නේත් රස්නෙන් තැම්බි, තැම්බී ඔවුන්ට ඉරිසියා කරමින් ඉන්න ලංකාවේ ගොඩයන් එක්කමයි. මෙහේ ගරු ගාම්භීර සුදු කරපටි රස්සාවල් කළ සමහර අය එහේ ගිහින් පොඩි පොඩි ඔඩ් ජොබ් කරනවා. තමන් වැඩ කරන තැන ඡායාරූපයක් බෙදා හදා ගන්නේ කලාතුරකින් කෙනෙක් විතරයි. පිටරට පුරවැසියන් වෙන්න සමහරු මෙහේ තමන්ට නො තිබුණ මර්දනයක් ගැන අලි බොරු කියනවා. ඊට පස්සෙ මෙන්න මාර දේශප්‍රේමීන් වෙලා සිංහ කොඩි, කොටි කොඩි උස්සගෙන දඟලනවා.

අ‍පේ ගෝඨා මහත්තයා ඉතින් මේව ගැන හොඳින් දන්නා නිසා දුන්නා නේ ද පාර ද්විත්ව පුරවැසිකමට. ඩබල් ගේම් ඕනැ නැහැනේ. ගියා නම් එහේ ම ඉඳපියව්. වීසා අරගෙන වරෙව්. පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ව අල්ලලා ඔහුගේ රට වන ඔස්ට්‍රේලියාවට ම යැව්වෙත් එහෙමයි. මං හිතන්නේ දැන් එයා බ්ලැක්ලිස්ට්. ලංකාවෙන් වීසා නැහැ.

රස්සාවක් කරලා කීයක් හෝ හොයාගෙන එන එක හෝ ලෝකයේ ඇවිදින්න තිබෙන ආසාව ‍වෙනයි. උන්නතිකාමී අභිලාෂයන් නිසා පුරවැසිකම අත හැර රට යන එක වෙනයි. අපට ලෝකෙ ඕනැ තැනක ජීවත් වෙන්න අයිතිය තිබෙනවා. ජාතිය අතහැරලා වෙනත් ජාතියකට යන එකත් මිනිස් අයිතියක්. හැබැයි ඉතින් තමන් වැළඳ ගත් ජාතියට අවංක වෙලා එහේ ඉන්නවා මිසක් ඊනියා ඩයස්පෝරා හදාගෙන මෙහේ විනාශය වෙනුවෙන් වැඩ කිරිල්ල අනුමත කරන්න බැහැ.

ලංකාවේ දෙමළ ජාතියට බල පෑ කාරණයක් වුණේ මේ රට යන මේනියාව නිසා ඇති වුණ බුද්ධි ගලනයයි. සිංහල මධ්‍යම පංතික දේශප්‍රේමීන් බොහෝ දෙනෙකුගේත් සිහිනය පිටරටක පදිංචියට යාම. තමන්ට සැබෑ කර ගන්න බැරි වුණ මේ හීනය තමන්ගේ දරුවන් මගින් හරි සැබෑ කර ගන්න ඔවුහු උත්සාහ කරනවා. 

මම නම් කියන්නේ අපි සමාජවාදීන් විධියට කළ යුත්තේ අපට උරුම වුණ ජීවිතෙන් පළා යාම නොවෙයි. අපි අපේ ජීවිත තිබෙන තැනින් ඔසවා තබන්න සමාජයක් ලෙස සටන් කළ යුතුයි. ඒ සඳහා සමාජවාදී විප්ලවය වෙනකල් ඉන්න ඕනැ නැහැ. සමාජවාදය සඳහා අරගලය කියන්නේ පුංචි පුංචි අරගල රැසක්. ඒවායේ එකතුව කියන්නේ 1+1=2 වගේ නොවෙයි. ඊට වඩා දෙයක්.

මතුගම පැත්තේ මේ පසුගාමී ජීවිතය නඟා සිටුවන්න මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහලායි ඉන්නේ. තරුණ පිරිසක් එකතු කරමින් ඉන්නවා, පස්දුන් කෝරළේ රට තොට, මිනිසුන් හා ජීවිතය ගැන තොරතුරු එක්රැස් කර ඉදිරිපත් කරන මාධ්‍ය ව්‍යාපෘතියකට. සම්බන්ධ වන අයට සිංහල - ඉංග්‍රීසි මාධ්‍යවලින් මාධ්‍යකරණය පිළිබඳ නොමිළේ පුහුණුවක් ලැබෙනවා. ඒ අය තමයි, මේ ව්‍යාපෘතියට අදාළ අන්තර්ගතයන් නිර්මානය කරන්නේ. ඒ ඔස්සේ සාධනීය වෙනස්කම් සඳහා ජනතාවට, දේශපාලන අධිකාරියට හා පළාත් පාලනයට බලපෑම් කරන්නයි උත්සාහය. සම්බන්ධ වෙන්න, උදව් කරන්න කැමති නම්, 077 5583470ට කතා කරන්න. නැතිනම් ajithperakumඇට්gmail.comට ඊමේල් එකක් එවන්න.

ඉතාලියේ මිලානෝ නුවර සිට ලක්මිණි වෙදමුල්ල ලක්බිම පුවත්පතට ලියූ මේ ලිපිය ඉතා වැදගත් එකක්. ඒකට හේතුව තමයි, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ රට යාමේ සිහිනයේ හරස්කඩක් මෙමගින් නිරූපණය වීම. මේ කතාවේ ඉන්න පුද්ගලයාගේ දෙවන පරම්පරාව නම් ඒ රටේ පුරවැසියන් වෙලා වගේ.

ඉතාලියෙ වෙසෙන ලාංකික යාචකයෙකුගේ ආත්ම කථනය

beggarලොව සියලුම රටවල සේම ඉතාලියට ද යාචකයන්ගෙන් අඩුවක් නැත. බොහෝ විට මෙසේ යාචකයන් ලෙස ජීවත් වන්නේ වෙනත් රටවලින් මෙරටට පැමිණ රැකියාවන් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ය. නැතහොත් මත්පැන් හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ය. ජීවිතය නාස්තිකරගත් ඉතාලි ජාතිකයන් ද ඒ අතර නැතිවාම නොවේ.
මෙසේ ජීවත්වන යාචකයන් අතර නගරයේ එක්තරා තැනක ශ්‍රී ලාංකිකයකු ද සිටින බවට ලැබුණු තොරතුරක් නිසාවෙන් අපි දිනක ඔහු සොයා ගියෙමු. ඒ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් මෙසේ යාචකයන් ලෙස නොසිටින නිසාය. යාචකයන් සාමාන්‍ය වශයෙන් අපිරිසිදු ලෙස ඇඳුම් පැළඳුම් භාවිතා කළද මේ පුද්ගලයා පිරිසිදු ලෙස හැඳ පැළඳ සිටි අතර බිම බලාගත්වතම සිටිනවා විනා අනෙක් අය මෙන් සිඟමන් යැදීමක් කළේද නැත.
මුලදී කතා බහට බොහෝ අදිමදි කළ ඔහු පසුව ඔහුගේ තොරතුරු අප සමග කියන්නට කැමති වූයේය. වැඩි දුර කියවන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com