ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?
අද මං ටිකක් මගේ ජීවිතය ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ පම්පෝරියකට නොවෙයි. හේතුවක් ඇතිවයි. සෙනසුරාදා මට හරි ම කාර්ය බහුල දවසක්. ඉරිදා නිකුත් වන ඉංග්‍රීසි පත්තරයකට අවශ්‍ය පරිවර්තන වැඩ යෙදෙන්නේ එදාට. කලින් දවසේ කිසියම් වයිරස් ප්‍රහාරයක් නිසා සිංහල අඩපණ වී තිබුණ නිසා බ්ලොගය යාවත්කාලීන කරන්නත් බැරි වුණා. වැඩ කරමින් ඉන්න අතරමගදී තමයි පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෙඩ දෙන්න ගත්තේ. අන්තිමේදී වැඩ ටික ඉවර කළේ කැෆේ එකකදීයි. අපේ මරුති කාර් කට්ටේ බැටරිය බිංදුවට ම බැහැලා. ඒ නිසා කොම්පියුටරෙත් පස්සෙන් දාගෙන පල්ලමේ තල්ලුවක් දාලා පණ ගන්වාගෙන මුලින් ම ගියේ කාරයට අලුත් බැටරියක් දාගන්න. ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ. කාර් එකේ ටයර්වල කම්බි කැඩිලා. කැන්වස් මතු වෙලා. කලින් ඉස්සරහා ටයර් එකක් දාලා අනෙක් පැත්තට අමතර රෝදය දැම්මා. පස්සටත් ටයර් දෙකක් දාගත්තා. ගෙඩි රුපියල් ම විසිදාහක් විතර වියදම් එක දවසින්. ටයර් කඩේ මුදලාලි කිව්වා, නැන්කැන් කියලා රට ටයර් එකක් දාගන්න කියලා. රුපියල් අටසීයක් විතර මිළ වැඩියි. මම ඇහුවා, ඒකෙ හොඳ ම...