පහේ ශිෂ්‍යත්වය නැති කරන්නට බැරි ද?

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් මෙසේ ය:

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක සඳහා කඩඉම් ලකුණු සීමාව 160 කි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අවම ලකුණු සීමාව 157 ක්‌ වෙයි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 156 ක්‌ වන අතර පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 155 කි.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 154 ක්‌ වෙයි. මීට අමතරව නුවරඑළිය හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 153 ක්‌ වන අතර ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 151 කි.

එමෙන්ම වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 148 ක්‌ හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 145 ක්‌ වෙයි.

මේ අනුව, සමත් වීම සඳහා කොළඹ, කළුතර වැනි දිස්ත්‍රික්කයකදී නම් 80%ක ද, මුලතිව්හිදී නම් 73%ක් ද ලබා ගත යුතුව තිබේ. 

සමත් වීම පිණිස එතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු තවත් විභාගයක් ලෝකයේ කොහේවත් තිබේදැයි නො දනිමි. 

මේ විභාගය පැවැත්වෙන්නේ යන්තමින් දස හැවිරිදි වියේ පසුවන දරුවන්ටයි. එයින් ඔවුන්ගේ මනසට කරන හානිය කෙතරම් ද? 

ඉතින් ශිෂ්‍යත්ව විභාගය නැති කරන්නට බැරි ද? අති දක්ෂ දරුවන් හා අධිකතර උන්නතිකාමී දෙමව්පියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණාට කම් නැත. ගාල්ල මහින්දයෙන් තෘප්තිමත් වන්නට බැරි දරුවකුට හය ශ්‍රේණියේදී රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නට අවස්ථාව ලබා ගන්නට මෙමගින් පුළුවන. එහෙත්, වැඩි දෙනෙකුට ඇති ප්‍රශ්නය ගාල්ල මහින්දය නොව සාමාන්‍ය ජාතික පාසලකට හෝ දරුවා ඇතුළත් කර ගන්නේ කෙසේ ද යන්නයි. ශිෂ්‍යත්ව විභාගය අසමත් වන 90%ක් පමණ වන දරුවන් ගැන අවධානය අවශ්‍ය ය. වැඩක් නැති සහතිකයක් වැනි සීනිබෝලයකින් ඔවුන් සනසන්නට බැරි ය. අවශ්‍ය වන්නේ ඔවුන්ට ගුණාත්මක අතින් ඉහළ පාසල් ලබා දීමයි. 

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමේ අත්‍යවශ්‍යභාවය නැති කරන්නට නම් සියලු පාසල්වල අධ්‍යාපන පහසුකම් නැංවිය යුතු ය. ඉහළ මට්ටමේ අධ්‍යාපන පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව වැඩි කළ යුතු ය. ගුණාත්මක ප්‍රාථමික අධ්‍යාපනයක් ගමේ පාසලෙන් ලබා ගන්නටත්, ඉන් අනතුරුව නුදුරින් තිබෙන හොඳ මට්ටමේ ද්විතීයක පාසලකට දරුවන් ඇතුළත් කරන්නටත් මව්පියන්ට හැකියාව තිබිය යුතු ය. මේ පාසල්වල අවම වශයෙන් ඉඩකඩ ඇති පංති කාමර, සාමාන්‍ය විද්‍යාගාර, ක්‍රීඩා පිට්ටනි, පුස්තකාල වැනි පහසුකම්වත් තිබිය යුතු ය. 

උසස් පෙළට සිසුන් ඇතුළත් කිරීමේදී නැවතත් අසාධාරණයක් සිදු වේ. එම පාසලේ ම සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන්ට පවා උසස් පෙළ කරන්නට හැකියාව තිබියදී, වෙනත් පාසලක උසස් අන්දමින් සාමාන්‍ය පෙළ සමත් සිසුන්ටත් ජනප්‍රිය පාසලක උසස් පෙළ පංතියට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. උසස් පෙළ පංති පමණක් පැවැත්වෙන කළුතර ගුරුළු‍ගෝමී විදුහල වැනි පාසල් කලාප මට්ටමින් සංවර්ධනය කිරීම වැදගත් වන්නේ එබැවිනි. 

ක්‍රීඩාවලට දක්ෂ සිසුන්ට අවස්ථාව නො ලැබීම මෙම පාසල් පද්ධතියේ පවතින තවත් බරපතල ගැටලුවකි. දිස්ත්‍රික්කයකට එකක් පමණක් තිබෙන ක්‍රීඩා පාසල් මෙම ගැටලුවට විසඳුමක් නො වේ. අනෙක් පැත්තෙන් මේ ක්‍රීඩා පාසල් අධ්‍යාපනය අතින් ද ඉහළ ම පාසල් ය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා තක්ෂිලා විද්‍යාලය උදාහරණ වේ. මලල ක්‍රීඩා හා වෙනත් ක්‍රීඩාවලට දක්ෂ දරුවන් රැසකට එම ක්‍රීඩාවන්ගෙන් ඉදිරියට යාමේ අවස්ථාව ඇහිරී තිබෙන්නේ ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල ක්‍රීඩා පහසුකම් අවම වීම හා ඒ කෙරෙහි අවධානය අඩු වීම නිසා ය. ඇතැම් ක්‍රීඩා පැවැත්වෙන්නේ දිවයිනේ ම පාසල් කීපයක පමණි. අධ්‍යාපන කලාපයකට එකක් හෝ ක්‍රීඩා පාසල් අවශ්‍ය ය. 

ශිෂ්‍යත්ව විභාගය නම් වල් පැළය ලංකා පොළවේ මුල් ඇද තිබෙන ගැඹුර දෙස බැලූ විට එය උදුරා දැමීම සඳහා පරම්පරා ගණනක් අවශ්‍ය වන්නට පුළුවන. මන්ද, එය අධ්‍යාපන විෂමතා හමුවේ තොරොම්බල් කරන ඊනියා විසඳුමක් වන හෙයිනි. එය ද දැන් පැවැත්වෙන සුපර් ස්ටාර් තරග වැනි ය. ලක්ෂ ගණනක් අතරින් කිහිප දෙනෙකුට පමණක් සාර්ථකත්වය අත් කර දෙමින් තවත් ලක්ෂ ගණනක් තරගයට ආකර්ශනය කර ගනියි. 

කළ හැකිව තිබෙන්නේ  ශිෂ්‍යත්ව විභාගය කෙරෙහි අවධාරණය අවම කිරීමයි. ඒ සඳහා සෑම දරුවකුට ම ගුණාත්මක ද්විතීයක අධ්‍යාපනයක් තහවුරු කර දිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)