ජවිපෙ No Stopping or Turning


 

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ නායකයකු වූ ලාල් කාන්ත විසින් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියකදී කරන ලද කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය බලයට පැමිණි විට, දැනට ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන් අධිකරණ පද්ධතිය වෙනුවට යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ බලය ගමේ ජනතාවට ලබා දෙන බවයි.

දැන් පවතින අධිකරණ පද්ධතිය ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන්නේ යයි කීම එක් අතකට ලංකාවේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන මූලධර්මයට පටහැණිය. ඒ අර්ථයෙන් එය අධිකරණයට අපහාසයක් ද වේ. එසේම, එය යථාර්ථය ද යන්නද විමසා බැලිය යුතුය. ලාල් කාන්ත විසින් කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරේ නම්, ඔහු කියන කරුණ ඔප්පු කිරීම එතරම් පහසු නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා ඔප්පු වීමකින් තොරවම හිටපු ජනාධිපති, හිටපු පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වැනි ප්‍රභූන් පිරිසකට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මත පදනම්ව විශාල වන්දි ගෙවීමට නියම වී තිබේ. එසේ සිදු වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සාධාරණ සැක සහිත ජවිපෙ හිටපු ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ට තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබියදීත්, වැරදි කර ඇත්නම් නඩු පැවරුවේ නැත්තේ මන්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන සංදර්භයකය. 2022 මැයි මස ලංකාවේ දේශපාලන ප්‍රභූන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූ බව කවුරුත් දනිති. දෙවසරක් ගත වී තිබියදී පවා ඒ සම්බන්ධව තවමත් නිසිදු නඩු කටයුත්තක් සාර්ථක ලෙස ඉදිරියට ගොස් නැත. ප්‍රභූ, නිර්ප්‍රභූ වෙනසකින් තොරව ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන්නේ සැකකරුවන් වන අය අතරින් 5%කට ආසන්න පිරිසකි. ප්‍රභූන් මෙන්ම නිර්ප්‍රභූන් ද විවිධාකාරයෙන් අධිකරණයෙන් ගැලවෙති. එවැනි පසුබිමක් තුළ අධිකරණය ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන්නේද යන්න ඇත්තක් නොවේ.

කෙසේ වෙතත්, ලංකාවේ පවතින ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ පද්ධතියට හැර වෙනත් කිසිවෙකුට අධිකරණ බලය ලබාදීමේ හා ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැත. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහනෙහිදී නිවේදකවරයා ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගෙන් විමසූ විට ඔහු ලාල් කාන්ත කළ ප්‍රකාශයට සපුරා පටහැණි අදහසක් ඉදිරිපත් කළේය. ඔහු මුලින් පැවසුවේ ලාල් කාන්ත අදහස් කළේ සමථකරණ බලය බවයි. සමථ මණ්ඩලවලට අධිකරණ බලය නොමැති බව නිවේදකවරයා පෙන්වා දුන් විට, අනුර පැවසුවේ ලාල් කාන්ත අදහස් කරන දෙය වචනයෙන් ගම්‍ය නොවූ බවයි.

අප නම් සිතන්නේ ලාල් කාන්ත වචනයෙන් ද සිතුවිල්ලෙන් ද අනාගතයේ ඇතැම් විට ක්‍රියාවෙන් ද කරන දේ පැහැදිලිව පැවසූ බවයි. මැයි දිනයට දින කීපයකට පෙර ජවිපෙ තවත් නායකයකු වන නලින් හේවගේ ද 1989 සමයේ ජවිපෙ විසින් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හොරුන්ට, මංකොල්ලකාරයන්ට, හොර මත්පැන් වෙළෙන්දන්ට ලබාදුන් දඬුවම් බව ඇඟවෙන ප්‍රකාශයක් කළේය.

ජවිපෙ 1971 සහ 1987-90 කැරැලි සමයන්හිදී නිල නොවන අධිකරණ බලතල භාවිතා කරමින් නඩු ඇසීම්, දඬුවම් කිරීම් වැනි දේ කළේය. ඒ ක්‍රියාවල ‘රසය’ දන්නා මේ පැරැණි කැරැලිකරුවන් සැලකිය යුතු පිරිසක් බොහෝ වට වන්දනා ගොස් දැන් ආපහු ගෙදර හෙවත් ජවිපෙ වෙත පැමිණ තිබෙන සංදර්භයක ලාල් කාන්ත මෙම ප්‍රකාශය සිදුකිරීම අතිශය වැදගත්ය.

මේ වන විට ජාතික ජන බලවේගය තුළ සම්පූර්ණ ආධිපත්‍යය ජනතා විමුක්ති පෙරමුණ විසින් අල්ලාගෙන හමාරය. ජනතා විමුක්ති පෙරමුණ තුළ දැන් ප්‍රධාන බලවේග තුනක් දැකිය හැකිය. එනම්,

  1. ජවිපෙ කාඩරය
  2. මාලිමා ප්‍රභූන්
  3. පැරණි ජවිපෙ හිතවතුන් ඇතුළු සෙසු පක්ෂවලින් ගිලිහී ගිය අය

මේ අතරින් ලාල් කාන්ත ආමන්ත්‍රණය කරන බව පෙනෙන්නේ තුන්වන කාණ්ඩයටයි. ජවිපෙ හා වෙනත් පක්ෂ පසුපස යාමෙන් ලබාගත් තත්වයන්ගෙන් තෘප්තිමත් නොවී අපේක්ෂා භංගත්වයට පත් වී සිටින මෙම බලවේගය තමන්ගේ අසාර්ථකත්වයට හා කාලකන්නි ඉරණමට හේතුව ලෙස තමනුත් කලින් සම්බන්ධව සිටි දේශපාලන ප්‍රභූ තන්ත්‍රය හඳුනාගෙන සිටිති. ජවිපෙ විසින් ප්‍රභූන්ට එරෙහිව පතුරුවනු ලබන වෛරයට වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නේ මෙම බලවේගයයි. මේ අයට ජාතික ජන බලවේගය තුළ ද මේ වන විට එතරම් තැනක් නැත. එහෙත්, මෙම සුකිරිබටිල්ලන් යනු ජවිපෙට විශාල අභියෝගයක් විය හැකි බලවේගයකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ආමන්ත්‍රණය කරනු ලබන්නේ මාලිමා ප්‍රභූන් ලෙස සැලකිය හැකි මධ්‍යම පන්තික සමාජ තීරයටයි. නව ලිබරල්වාදින්, ලිබරල් ජාතිකවාදීන්, ජාතික සමාජවාදීන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ආදීන්ගෙන් සමන්විත මෙම බලවේගය වඩා තත්කාර්යවාදී, ප්‍රායෝගික බලවේගයකි. ලංකාවේ පාලනයක් ගෙන යා හැකි විකල්ප ප්‍රභූ තන්ත්‍රයක් ජවිපෙට සිටී නම්, ඒ මෙම පිරිසයි. අනුර කුමාර දිසානායක දෙරණ 360 වැඩසටහනෙහිදී කතා කරන්නේ ඔවුන් වෙනුවෙනි. ඔහුගේ කතාවේ වාගාලංකාර අතහැර හරය ගතහොත් එහි තිබෙන්නේ ජනවරමක් සහිත, අවංක යයි තමන් විසින්ම හඳුන්වා ගන්නා බලවේගයක් විසින්, නාස්තිය හා දූෂණයෙන් ‘තොරව’ වත්මන් වැඩපිළිවෙලම ඉදිරියට ගෙන යාමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සංශෝධනය කළ යුතු බව කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ එය කඩාකප්පල් වීමට හා රට නැවත බංකොලොත් වීමට ඇති අවදානම වෙනුවෙන් කල්තබා සූදානම් වීමක් විය හැකිය.

ජවිපෙ කාඩරය යනුවෙන් මා හඳුන්වන්නේ, ජවිපෙන් වැටුප් ලබමින් හෝ නොලබමින් හෝ ජවිපෙ ආර්ථික ජාලයෙන් යැපෙමින් හෝ පූර්ණකාලීනව හෝ අර්ධ කාලීනව හෝ සංවිධානගතව ජවිපෙට සේවය කරන පිරිසයි. මෙම පිරිස ජවිපෙ සැබෑ ශක්තියයි. එසේම, ජවිපෙ මීළඟ අවධිය කුමන ආකාරයක් ගනු ඇද්දැයි තීරණය කරන්නේ මෙම බලවේගයයි.

කුමක් වුවත්, ජවිපෙ මේ ඉන්නේ එක්තරා අවධියක අවසානයෙහිදීය. ජවිපෙ බලයට පැමිණියත්, නොපැමිණියත්, මෙම අවධිය අවසන් වී අලුත් අවධියකට පිවිසීම අනිවාර්යයකි. මෙය එක්තරා විදියකට 2009දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මුහුණ දුන් තත්වයට සමානය. ප්‍රතිඵලය කුමක් වුවත්, ආපසු හැරීමට නොහැකිය. 2009 මැයි 18දා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙම සුසමාදර්ශීය වෙනස තම ජීවිතයෙන් සලකුණු කළේය. ජවිපෙ මුහුණ දෙ අභියෝගයේ ස්වරූපය වෙනස් වුවද, සංදර්භය බොහෝ දුරට සමානය.

ජවිපෙට නවතින්නට හෝ ආපසු හැරෙන්නට බැරිය. ලාංකීය සමාජය මේ පර්යේෂණයේ විද්‍යාගාර මීයන් වේද, නොවේද යන්න තවමත් පැහැදිලිව කිව නොහැකිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා