පාස්කු ප්‍රහාරය හා ජවිපෙ


 

අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය තව කෙතරම් හාරා පෙරළුවත්, එය සම්බන්ධ අමුතු මහ මොළ සොයාගැනීමට නොලැබේ. හේතුව, එය මහ මොළකරුවන්ම සැලසුම් කර, සංවිධානය කර, මරාගෙන මැරෙමින් එල්ල කළ ප්‍රහාරයක් නිසාය. ත්‍රස්තවාදය තුළ මෙවැනි දේ සිදුවිය හැකි අතර, එයට පටහැනි සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. තිබෙන්නේ සාක්ෂි නොමැති අනුමාන සහ ප්‍රබන්ධ රැසකි.

එවැනි ප්‍රබන්ධ තව තවත් නිර්මාණය කළ හැකිය. ඕනෑ නම් ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තුවට ගිය ආකාරය හා එය සමග පාස්කු ප්‍රහාරයේ සම්බන්ධය ගැන ද ප්‍රබන්ධයක් නිර්මාණය කර, කවුරු හෝ හාදයකු කියන කතාවක් පසුබිම් කරගෙන, චැනල් ෆෝ වීඩියෝවක් වුව නිර්මාණය කර ප්‍රචාරය කිරීමට පුළුවන. අවශ්‍ය සල්ලි පමණි.

මෙලොව නොමැති මහ මොළකරුවකුට එරෙහිව අපරාධ චෝදනා නැගිය හැක්කේ ද එවැනි ප්‍රබන්ධ ඔස්සේය.

නොසැලකිලිමත්කම පිළිබඳ චෝදනා නැගිය හැකිය. “ගහන බව දැනගෙන හිටියා. ඒත්, මෙහෙම ගහයි කියල හිතුවෙ නැහැ,” යි එකල ආරක්ෂක ලේකම් කියන කතාව බොරුවක් නොවේ. ලංකාවේ මුස්ලිම් සමාජයෙන් මෙතරම් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් අනුමාන කිරීමේ හැකියාවක් තිබුණේ නැත.

ඉහළ රාජ්‍ය තනතුරුවල ඇත්තේ වරප්‍රසාද පමණක් නොව, වගකීම්ය. වගකීම් ඉටු නොකර වරප්‍රසාද විතරක් භුක්ති විඳින රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තාට කමක් නැත. එහෙත්, ඔවුන් මහ මොළකරුවන් නොව, අකාර්යක්ෂම නිලධාරීන් බව දඬුවම් කිරීමේදී මතක තබාගත යුතුය.

විමර්ශනවල අඩු පාඩු ද ඇත. ඊබ්‍රාහිම් පවුල සමග තිබුණු දේශපාලන සබඳකම් ඇත්තෙන්ම හරියට විමර්ශනය කර නැත. සහරාන් සම්බන්ධයෙන් ද එසේය.

දැන් කවුරුවත් ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සම්බන්ධ අය ගැන උනන්දුවක් නැත. මෙහිම කොටසක් වන මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විත්තිකරුවන් අත්හිටවූ සිරදඬුවම් ලබා නිදහස්ව ගියහ.

හැමෝම උනන්දු වන්නේ මෙමගින් දේශපාලන හා පොලිස් ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා හැටි ගැනය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි සකලවිධ බලවේග අත පාස්කු ප්‍රහාරය කදිම මෙවලමක් වී ඇත. එහෙත්, එකී ආධිපත්‍යය බිඳ දමා අරාජිකත්වය පැතිරවීම හැර වෙනත් වැඩපිළිවෙලක් ද ඔවුන්ට නැත.

බලලෝභී ජවිපෙ අලුත් වටයකින් පාස්කු ප්‍රහාරය සමග එල්ලී ඇත. ගෝඨාභය රාජපක්ෂ කළේ ද මෙයමය. එය අවසන් වූයේ බලය ගැනීම සඳහා ගෝඨාභයම පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ යයි චෝදනාවක් නගමිනි.

ජවිපෙට ද ඔය ප්‍රබන්ධයටම මුහුණ දෙන්නට සිදු වනු නියතය. බල්ලන් සමග නිදාගන්නාවුන්ට නැගිටින්නට සිදුවන්නේ මැක්කන් සමගය.

පාස්කු ප්‍රහාරය තව සෑහෙන කාලයක් තිස්සේ මේ රටේ ජනයා රැවටීමට භාවිතා වනු ඇත.

Adapted from praja,lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා