2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?


 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)


ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි.

මේ අතර, ලංකාවේ වරාය වර්ජන ආදිය ඇති වී සේවා අකාර්යක්ෂම වූ අතර එම අවස්ථාව සිංගප්පූරුව විසින් ඩැහැගන්නා ලදි.
සිංගප්පූරුවේ ද දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරින් අල්ලස, දූෂණය සමග සම්බන්ධ වූ අවස්ථා තිබේ. එවැනි එක් දක්ෂ ඇමතිවරයකුට එරෙහිව චෝදනා එල්ල වූ අවස්ථාවේ එම ඇමතිවරයා අගමැතිවරයා හමු වීමට ඉල්ලූ විට ලී ක්වාන් යූ එම හමු වීම කාරුණික ලෙස ප්‍රතික්ෂේප කළෙය. දින ගණනකට පසු එම ඇමතිවරයා රෑ නින්දෙන්ම මිය ගියේය. ඇමතිවරයාගේ බිරිඳ මියගිය ඇමතිවරයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ලී ක්වාන් යූ පැවසුවේ සියලු දෙනාම නීතියට යටත් බවයි. ඒ අනුව, අභිරහස් මරණයක් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද, එම නීතිය තමන්ට උල්ලංඝනය කළ නොහැකි බව ද ඔහු කීවේය. ඇමතිවරයා වස පානය කර මිය ගිය බව මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් විය. ඇමතිවරයාගේ බිරිඳ හා දියණිය පසුව රට හැර ගියහ.

මේ පිළිබඳ විස්තර කරමින් ලී ක්වාන් යූ පැවසුවේ, ආසියානු සංස්කෘතිය අනුව, බොහෝ රටවල තනතුරෙන් ඉහළ යන විට වරප්‍රසාද, සෝබන වැඩ මෙන්ම ලිංගික සම්බන්ධතා ආදිය ද වැඩි වන බවයි. එවැනි රටවල ගොස් වැඩ කර පැමිණිය ද එම සංස්කෘතිය මෙහි රැගෙන නොආ යුතු බව ඔහු පැවසීය.

පනතක් හැදෑරීමේදී එහි පසුබිම වැදගත්ය. 2023 දූෂණ විරෝධී පනතෙහි පසුබිම් කතාවෙන් අල්පයක් මෙහිදී හෙළිදරව් කළ හැකිය. මෙවැනි පනතක් ගෙන ආව ද එය සාර්ථක වීමට නම් එවැනි නායකත්වයක් අවශ්‍යය.

ශ්‍රී ලංකාව වැනි රටවල අති විශාල ධනයක් අල්ලස, දූෂණ නිසා විනාශ වේ. එහෙත්, ඒ පිළිබඳ පර්යේෂණ, අධ්‍යයන අවමය. අල්ලස අපේ සමාජයේ සම්, මස්, ඇට, නහර ආදියට කිඳාබැස ඇත.

ඉන්දියාවේ එක් ගම්මුලාදෑනියෙකුට දරුවන් 10ක් සිටියේය. එක් දිනක නිවසේ සිටියේ අවුරුදු දහයක පමණ පුතා පමණි. ඒ අවස්ථාවේ නිවසට පැමිණි අසල නිවසක මාමා කෙනෙකු නිවසට තෑගි මල්ලක් ගෙන ආවේය. එය බලා දරුවා සතුටු වෙමින් සිටියදී ගම්මුලාදෑනියා නිවසට පැමිණියේය. කෝපයට පත් ඔහු පැවසුවේ එම මාමා තම කාර්යාලයට රාජකාරියක් කරගැනීමට පැමිණි බව හා එය ඔහු රාජකාරිමය වශයෙන් කර දුන් බවයි. තමන් මෙම තෑග්ග භාරගතහොත් තමන් ඔහු දිගින් දිගටම ඔහුගේ උවමනාවන් ඉටු කිරීමට සිදුවන බවයි.

පසු කලෙක මෙම දරුවා ප්‍රධාන පෙළේ විද්‍යාඥයකු හා ඉන් පසුව ඉන්දියාවේ ජනාධිපති වූ අබ්දූල් කලාම්ය.


සමාජය වෙනස් කිරීමේදී ළමයින් වෙනස් කිරීම ඉතා වැදගත්ය. නීති හා දඬුවම් මගින් පමණක් රටක අල්ලස හා දූෂණය තුරන් කළ නොහැකිය. හරයන් වැඩිදියුණු කිරීමේ වගකීම මෙම පනත මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පවරා තිබේ.
රටේ නීතිය අනුව, වරදකරු බව ඔප්පු වන තුරු සියලු පුද්ගලයන් නිර්දෝෂී බවට පූර්ව අනුමිතියක් තිබේ. එම නිර්දෝෂීභාවයේ සළුපිළි ඉවත් කිරීමේ වගකීම සඳහා සාධාරණ සැකයෙන් ඔබ්බට නඩුවක් ඔප්පු කළ යුතුය. ඒ සඳහා සාක්ෂි අවශ්‍යය. විමර්ශන කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසියටයි. විවර්ශනය අවසානයේදී, දරුණු නොවන වරදක් නම් ඍජුව මහේස්ත්‍රාත් හමුවේ නඩු පවරනු ලැබේ. පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ පොලීසිය විසිනි. අපරාධ වින්දිතයාගේ නීතීඥවරයාට ද නඩුව මෙහෙයවිය හැකිය. සැකකරු දින 14ක් රිමාන්ඩ් කළ හැකිය. එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් නැවත මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටිය යුතුය. දරුණු අපරාධයක් නම් උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබේ. ඒ අනුව, සාක්ෂි විශ්ලේෂණය කර මහාධිකරණයේ නඩු පවරනු ලැබේ. සාක්ෂි මෙහෙයවනු ලබන්නේ නීතිපතිවරයා විසිනි.

තීන්දුවලට එරෙහිව ඉහළ අධිකරණවල අභියාචනා කළ හැකිය. ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසින් විභාගයක් සිදු කළ විට, අභියාචනාධිකරණයේ අභියාචනා කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවසාන තීන්දුව වේ.

නීතිමය වශයෙන් වැරදි මොනවාද යන්න 1883දී හඳුන්වා දෙන ලද දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වේ. එහිදී සිදු වූ වරදක් 1995දී නිවැරදි කරන ලදී. එනම්, 364 වගන්තියේ දැක්වුණ ස්ත්‍රී දූෂණය නම් වරදයි. 1995දී එයට අමතරව, ළමා අපයෝජන සම්බන්ධ වරදවල් රැසක් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කරන ලදි. වර්තමානයේදී, අධිකරණවල විශාල අපයෝජන නඩු ප්‍රමාණයක් විභාග වේ.

නඩු ප්‍රමාද වීම ශ්‍රී ලංකාවේ දැවැන්ත අර්බුදයක් වන අතර එය අල්ලස්, දූෂණ නඩුවලට ද බලපායි. මෙම ගැටලුව විසඳීම සඳහා නායක කාරකාදීන්ගේ නිර්මාණශීලීත්වය අවශ්‍යය. මනා කළමනාකරණ දක්ෂතාවක් අවශ්‍යය.

1954දී අල්ලස් පනත හඳුන්වා දෙන ලදි. අල්ලසක් යනු, රජයේ සේවකයකු තුටු පඬුරක් (මුදල්, කොමිස්, සති අන්ත නිවාඩුවක්, විදේශ සංචාරයක්, සේවාවක් වැනි) ලබාගැනීමයි. නව පනතෙහි තුටු පඬුර තුළට ලිංගික පහස ලැබීම, ඉල්ලීම හා විද්‍යුත් ක්‍රමයට නිරුවත් දර්ශන ආදිය ඉල්ලාගෙන බැලීම ආදිය ද ඇතුළත් කර තිබේ. ඒ අනුව, කලින් පනතෙහි අර්ථ නිරූපණය සම්බන්ධ අඩුපාඩු විසඳා තිබේ.

1954 පනත අනුව විමර්ශන සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. 1958දී අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේ අල්ලස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කර, විමර්ශන එයට භාර දෙන ලදි.

1989දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා පෙනී සිටි පළමු නඩුව වූයේ පොලිස් ගණකාධිකාරිවරයාට එරෙහිව මදුරු දැල් මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමට එරෙහි නඩුවකි. ඒ කාලයේ සිදු වූයේ අල්ලස් දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි ගොනු කර නීතිපති වෙත යොමු කිරීමයි. පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටයි.

1994 ආසන්නයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දේශපාලන වේදිකාවල දුන් පොරොන්දුවක් වූයේ ස්වාධීන අල්ලස් විමර්ශන කොමිෂන් සභාවක් නිර්මාණය කරන බවයි. එය නිර්මාණය කරන ලද මුත්, එහි ප්‍රායෝගිකත්වය පිළිබඳ නිර්මාපකයන්ට අවබෝධයක් තිබුණේ නැත. එහිදී කොමසාරිස්වරුන් ලෙස පත් කරනු ලැබුවේ විශ්‍රාමික විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු හා විමර්ශන අත්දැකීම් සහිත අයකු ලෙස හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකුය. අල්ලස යනු විශේෂ විමර්ශන අවශ්‍ය අංශයක් බව සැලකිල්ලට ගැනීම මගහැරිණි.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං රාජ්‍යයේ එක් යුගයක අල්ලස් ගැනීම විවෘතවම සිදු වූ අතර පොලිස් කොමසාරිස්වරයා එරට ධනවත්ම පුද්ගලයකු බවට පත් විය. එයට එරෙහිව මහජන අරගල ඇති වූ අතර, අවසානයේදී ඔහුට රටින් පළා යාමට සිදු විය. බ්‍රිතාන්‍ය පාලකයන් ඔහු ආපසු ගෙනැවිත් විශේෂ විමර්ශනයක් සිදු කර සත් වසරකට සිරගත කරන ලදි. එයින් පසු හොංකොංහි අල්ලස් විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගන්නේ නැත.

මා අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමයේදී විමර්ශන පොලිස් නිලධාරීන් සඳහා පුහුණුවක් ලබාදීම සඳහා හොංකොං අල්ලස් කොමිෂන් සභාවෙන් උපකාර ඉල්ලා සිටියෙමි. ඒ වන විට ලොව අල්ලස දූෂණ දුරු කළ රටවල් අතර 15වන ස්ථානයේ සිටියේ හොංකොංය. එහිදී ප්‍රතිචාරය වූයේ ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිෂන් සභාව ස්වාධීන බව පිළිගත නොහැකි බවයි. එයට හේතුව, විමර්ශන නිලධාරීන් තවදුරටත් පොලිසියෙන් අනුයුක්ත කරගත් පිරිස් වීමයි. පසුව, හොංකොං අල්ලස් කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව මට ලැබිණි. එම කාර්යාලයේ පැවති ප්‍රදර්ශන කුටියක් නරඹමින් සිටි තරුණ කාන්තාවක් මට එහිදී මුණගැසිණි. අය සමග කතා කිරීමේදී පුදුමයට මෙන් මට දැනගන්නට ලැබුණේ ඇය භූතානයේ අල්ලස් කොමිෂන් සභාවේ ඉංජිනේරුවරියක වන විමර්ශකවරියක බවයි. හොංකොං අල්ලස් කොමිෂන් සභාවේ අධිපතිවරයා පැවසුවේ ස්වාධීන විමර්ශකයන් බඳවා ගන්නේ නම් ශ්‍රී ලංකාවට උදව් කළ හැකි බවයි.

අල්ලස් කොමිෂන් සභාව සඳහා විමර්ශකයන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනී‍මේදී ලබාගත යුතු අනුමැතියන් සංඛ්‍යාව විශාල ගණනකි. ජනාධිපති වැනි අයගෙන්ට වඩා බාධා පැමිණියේ භාණ්ඩාගාරයේ වැටුප් හා කාඩර කමිටුව වැනි ආයතනවලිනි. භූතානය, හොංකොං, ෆීජි වැනි රටවල ඉහළ වැටුප් ගෙවා බඳවාගත්, ඉහළ වැටුප් ලබන විශේෂඥ විමර්ශකයෝ සිටිති.

මා අධ්‍යක්ෂ ජනරාල් සමයේ එවැනි විමර්ශන නිලධාරීන් ලෙස උපාධිධාරීන් 200ක් බඳවාගැනීමට කටයුතු කරන ලදි. එහෙත්, මේ වෙන තෙක්ම ඔවුන් කොමිෂන් සභාවට අන්තර්ග්‍රහණය කර නැත. නව පනත යටතේ අවශ්‍ය විමර්ශන නිලධාරීන්, අවශ්‍යතාව අනුව බඳවාගැනීමේ හැකියාව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට තිබේ.

1994 පනත යටතේ නඩු පැවරීමේ හා පැමිණිල්ල මෙහෙයවීමේ බලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැවරිණි. ඒ සඳහා නීති නිලධාරීන් අවශ්‍ය විය. එම නීති නිලධාරීන්ට නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන නීතිඥවරුන්ට ලැබෙන වැටුපෙන් තුනෙන් එකක් හෝ නොලැබිණි. මේ නිසා එය දක්ෂයන්ට ආකර්ශනීය වූයේ නැත. මෙම තත්වය වෙනස් කිරීම සඳහා ගත් උත්සාහය නිලධාරිවාදය නිසා සාර්ථක වූයේ නැත.

නව පනත අනුව කොමිෂන් සභාව වැය ලැයිස්තුවක් සකසා ඉදිරිපත් කළ යුත්තේ පාර්ලිමේන්තුවටයි. එය මහා භාණ්ඩාගාරය වෙත යොමු වන්නේ පාර්ලිමේන්තු අනුමැතිය යටතේය. වියදම් විගණකාධිපති විගණනයට යටත්ය. විගණකාධිපති වාර්තා අධිකරණයේදී සාක්ෂිමය වශයෙන් දුර්වලය. එබැවින් නඩු පැවරිය නොහැකිය. විගණකාධිපතිවරයා අල්ලස් සම්බන්ධයෙන් විමර්ශනය නොකරයි.
දූෂණය නම් වදන 1954 අල්ලස් පනතෙහි නොවීය. 1994 වන විට ද එම පනත ක්‍රියාත්මක විය. 1994 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතට දූෂණය වරදක් ලෙස හඳුන්වා දෙන ලදි. දූෂණය යනු කුමක්ද? මා රජයේ සේවකයකු නම්, මා වංක චේතනාවකින් තීන්දුවක් ගන්නේ නම්, එය දූෂණයයි. වංක චේතනාව යනු එම තීන්දුව ගන්නේ කිසිවකුට අයුතු වාසියක් හෝ පාඩුවක් කිරීම හෝ සිතාමතාම රජයට පාඩු කිරීම සඳහා වීමයි. මෙම චේතනාව ඔප්පු කිරීම පහසු නැත. ඒ සඳහා පරිවේශනීය සාක්ෂි ගොනු කළ යුතුය. සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුතුය. චක්‍රලේඛ, මූල්‍ය රෙගුලාසි ආදිය අපැහැදිලි වීම ද මෙහිදී අදාළ වේ. අල්ලස, දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම නව පනත අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කළ යුතු අතර, ඒ සඳහා පොලිසියට බලය නැත.

රාජ්‍ය නිලධාරීන්ගේ ආදායමට නොගැලපෙන අන්දමින් වත්කම්, බැරකම් තිබේ නම්, එම වැඩිපුර ඇති කොටස උපයාගෙන ඇත්තේ අල්ලසෙන් බවට නීති අනුව අනුමිතියක් තිබේ. එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නඩු පැවරිය හැකිය. ඒ සඳහා විමර්ශන සිදු කිරීමේදී, මෙහිදී 1975 වත්කම්, බැරකම් පනත අනුව විධායක මට්ටමේ නිලධාරීන් වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. නිදහසට දක්වනු ලබන කරුණු පිළිගත නොහැකි නම්, එම වත්කම් සම්බන්ධයෙන් නඩු පවරනු ලැබේ. මෙම වත්කම්, බැරකම් නීතියේ හා ප්‍රකාශවල අඩුපාඩු 2018දී දේශීය හා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් විමසීම් හරහා හඳුනාගන්නා ලදි.

කලින් නීතියේ ජනාධිපතිවරයා පවා වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටියේ නැත. මෙම තත්වය වෙනස් කරන ලදි. වාප්පු ලිපිකරුවන් වැනි ඇතැම් පහළ මට්ටමේ, එහෙත්, අතිශය බලපෑම් සහගත රාජ්‍ය නිලධාරීහු සිටිති. නව නිතිය යටතේ, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අදාළ වන සාමාන්‍ය කුලකයට අමතරව, යම් ආයතනයක යම් තනතුරක් හොබවන නිලධාරියකු හොබවන්නේ අල්ලස, දූෂණයට නැමියාවක් ඇති තනතුරක් නම්, එම තනතුරු ද ගැසට් මගින් වත්කම්, බැරකම් ලබාදිය යුතු අය බවට පත්කළ හැකිය.

කලින් බැලුවේ වත්කම හා ආදායම පමණි. අලුත් පනත යටතේ වියදම හා වෙනත් ආයතන ආදිය සමග බැඳියාවන් ද සලකා බලනු ලැබේ. රාජ්‍ය නිලධාරින් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබුණේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළව ජුනි 30 වන විටය. නව පනත යටතේ මිලියනයකට වැඩි ආදායමක් ලැබුණු හැම විටම මෙන්ම, රාජ්‍ය සේවයෙන් ඉවත් වී වසර දෙකක් යන තෙක් ද වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

පැරණි නීතිය අනුව, ඇමතිවරුන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ජනාධිපතිවරයාටය. ඒවා ලබාගත් බවට දැනුම්දීමක්වත් කිරීම අවශ්‍ය නොවේ. නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ, ඒ වෙනුවෙන් අල්ලස් කොමිෂන් සභාවේ පිහිටුවා ඇති වෙනම කාර්යාංශයටය. එය කළ යුත්තේ විද්‍යුත් ප්‍රකාශනයක් ලෙසයි. 2018, 19 සමයේදී විද්‍යුත් වත්කම්, බැරකම් ප්‍රකාශ ආකෘතියක් සකසන ලදි. ඒ අනුව, පද්ධතිය හරහා පෙර වත්කම්, බැරකම් ප්‍රකාශය යාවත්කාලීන කළ හැකි අතර, එය ලබාදුන් බවට දැනුම් දීමක් ලබාගත හැකිය. සතියක්, දෙකක් ඇතුළත එය සංස්කරණය කළ හැකිය.

නව පනත අනුව, වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා නොදීම වෙනුවෙන් රු. ලක්ෂ දෙකක දඩ හා අවුරුදු තුනක සිර දඬුවම් නියම කළ හැකිය. වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදීම මාසයක් පමා වුවහොත්, මාසයක වැටුප වැනි අධිභාරයක් ද, මාස දෙකක් පමා වුවහොත්, මාසික වැටුප මෙන් හයගුණයක අධිභාරයක් ද පැනවේ. මාස තුනකට පසු නඩු පැවරීම සඳහා විමර්ශන ඇරඹේ.

නව පනත යටතේ වාහන, ඉඩම් වැනි වත්කම් පිළිබඳ තොරතුරු විද්‍යුත් මාර්ගයෙන් ආයතනවලින් ලබාගත හැකිය. අනෙකුත් නීතිවල කුමක් සඳහන් වුවත්, අල්ලස් කොමිෂන් සභාවෙන් නියෝග කළහොත් සෑම පුද්ගලයකුම තොරතුරු ලබාදිය යුතු අතර, එය කඩකිරීම අපරාධ වරදකි.

වත්කම්, බැරකම්වලට අදාළ ජනතා ප්‍රවේශය වෙනුවෙන් ධනාත්මක සංස්කෘතික ලක්ෂණ භාවිතා කර තිබේ. එහිදී සිතාමතාම බොරු තොරතුරුක් අල්ලස් කොමිෂන් සභාවට ලබාදුනහොත් එය සිදු කළ පුද්ගලයාට නීති මගින් දඬුවම් කළ හැකිය.
වත්කම්, බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘත කිරීම සම්බන්ධ ගැටලු තිබේ. නව නීතිය යටතේ සංස්කරණය කරන ලද වත්කම්, බැරකම් ප්‍රකාශ වෙබ් අඩවිය හරහා ලබාගැනීමට මහජනතාවට හැකිය. අයිති ඉඩම් ප්‍රමාණය, බැංකු ගිනුම් සංඛ්‍යාව ආදිය එවැනි ලබාගත හැකි තොරතුරු අතර වේ.

කිසිදු පනතකින් සියයට සීයක්ම සියලු දෙනා සතුටු කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, නීති පීඨ ආදියෙහි විෂයමාලාවල අල්ලස, දූෂණය අඩංගු වන්නේ නැත. මෙම තත්වය මෙම විෂය සම්බන්ධ ප්‍රවීණයන් බිහි වීමට බාධාවකි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ද ඒ සම්බන්ධ විශේෂඥයන් නැත. මෙම තත්වය වෙනස් කිරීම සඳහා කරන ලද උද්දේශනයෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ පශ්චාත් උපාධියකට මෙම කොටස ඇතුළත් කර ඇත.

කලින් අල්ලස් දෙපාර්තමේන්තුවට බලය තිබුණේ විමර්ශනය සඳහා පමණි. 1994දී නඩු දැමීමේ හා පැමිණිලි මෙහෙයවීමේ බලය ලැබිණි. එහෙත්, නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය පැතීම දිගටම සිදු විය.

අල්ලස දූෂණයේ මුල වන්නේ බැඳියාවන් සම්බන්ධ කාරණාය. නව පනත යටතේ තීන්දුවක් ගන්නා විට තම බැඳියාවන් පිළිබඳ ඉහළ නිලධාරීවරයාට දැනුම් දිය යුතු අතර, එසේ නොකිරීම අපරාධමය වරදක් වේ.

අල්ලස් ගැනීම පෞද්ගලික අංශයේ නිලධාරීන් විසින් ද සිදු කරනු ලැබේ. නව පනත යටතේ ඉහළ සමාගම්වල නිලධාරීන් අල්ලස් ඉල්ලීම හා ගැනීම, ක්‍රීඩා සම්බන්ධ කටයුතුවලදී අල්ලස් ගැනීම ද වැරදි ලෙස හඳුන්වා ඇත. එසේම, නිලධාරීන්, සාක්ෂිකරුවන්, අනතුරු නාදකයන් ආරක්ෂා කරන අතර, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ද විමර්ශනය කළ හැකිය.

එසේම, විමර්ශකයන්ට විමර්ශන පිළිබඳ බාහිර පාර්ශ්වවලට හෙළිදරව් කිරීම තහනම්ය. තොරතුරු දැනගැනීමේ පනතේ නවවන වගන්තිය යටතේ ඇමතිවරයකු කරන රු. ලක්ෂ පහට වැඩි ව්‍යාපෘති පිළිබඳ මහජනතාවට දැනුම් දීමට බැඳී සිටියි. මෙය භාවිතා වන්නේ නැත. තොරතුරු පනත ද මේ සඳහා භාවිතා කළ හැකිය.

නව පනතේ 35-50 වගන්ති අනුව, නිවාරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද කොමිෂන් සභාවට බලය තිබේ. මහජන සහාය, රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළ හැකිය.

මෙම පනත දැන් බලාත්මකය. පනත අතීතයට බල නොපාන මුත්, පනතට බලාත්මක වීමට පෙර සිදු වූ වැරදි සම්බන්ධයෙන් පැරණි පනත යටතේ නඩු පැවරිය හැකිය.

නව පනත යටතේ පැමිණිලි කරන අයට තමන්ගේ පැමිණිල්ල, විමර්ශනය ආදිය පිළිබඳ කරුණු මිවසීමට ද හැකිය.

සොරකම් කර විදේශ රටවල සඟවන ලද දේපළ ආපසු ලබාගැනීමේදී විශේෂඥ සහාය අවශ්‍යය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ හා ස්විස් රජයේ විශේෂඥ ආයතන තිබේ. ඒවායේ සහාය ලබාගත යුතු අතර, ශ්‍රී ලංකාවේ නව නීති ද අවශ්‍ය වේ. ඒ සම්බන්ධ කාරණා සිතාමතාම මෙම පනතට ඇතුළත් කර නැත. වර්තමානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්, මාත් ඇතුළු කමිටුවක් විසින් මේ සඳහා පනතක් සකස් කරමින් තිබේ. මේ සමග විශේෂඥයන් රැසක් සම්බන්ධ වී සිටින අතර මෙම පනත මෙම වසර තුළදී ගෙන ආ හැකි වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා