අත්වාරු පොලු පාර
අජිත් පැරකුම් ජයසිංහ
ඊයෙ මම මිතුරකුගෙ අවමඟුලකට සහභාගී වුණා. ඔහු සංචලන ආබාධ සහිත පුද්ගලයෙක්. දෘෂ්‍ය ආබාධ සහිත පුද්ගලයන් කණා යනුවෙන් හඳුන්වන එක වළක්වන්නට පහුගිය දිනවල රජය යම් පියවර ගනිද්දි, ලංකාවෙ හෙණ ප්‍රගතිශීලීන් ඒකට හිනා වුණා. කණා, ගොලුවා, සොත්තියා, මොංගලේ, දෙ ම ළා, ත ම්බි යා, රදවා, හකුරා, පද්දා, වැද්දා, පො න්න යා, ගෑනි, හිඟන්නා, වැඩකාර ගෑනි, සක්කිලියා වගේ වචනවලට තමන් අයිති වෙන්නෙ නැතිනම් ඒ වචන පාවිච්චි කරන්න ලංකාවෙ ප්‍රගතිශීලීය කියන මිනිසුන් පවා හරි ආසයිනෙ. පුදුම වැඩේ කියන්නෙ ලංකාවෙ වාමාංශිකයොත් ඒවට කැමතියි. හැබැයි, මගේ මිතුරාට කවුරුහරි සොත්තියා කිව්වා නම් අනිවාර්යයෙන් කන්න වෙන්නෙ අත්වාරු පොලු පාර. ඒ වගේ පොලු පාරවල්වලින්වත් සහකම්පනය හදාගන්න බැරි සමාජයක් තමයි ලංකාව.
මගේ මිතුරාව මං හඳුනාගන්නකොට ඔහුට අවුරුදු 15ක් විතර ඇති. ඒ කාලෙ ඔහු විශාල උත්සාහයක් දැරුවා අත්වාරු නැතුව ඇවිදීම හුරු වෙන්න. ඒ වුණාට ඒක සාර්ථක වුණේ නැහැ. ඔහුගේ අතපය, කථනය වැඩ කළේ ඉතා සෙමින්. මනස නම් එහෙම පෙනුණෙ නැහැ. ඒත්, ආබාධිතභාවය නිසා ඔහුගෙ ලෝකය ඉතා පටු වුණා.
අම්මා වඩාගෙනත්, පසුව හෙමින් හෙමින් ඇවිදලාත් ගිය ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා, අමාරුවෙන් නගරෙ පාසලකට ගිහින් ඔහු වානිජ්‍යය විෂය ධාරාවෙන් උසස් පෙළත් සමත් වුණා. විභාගවලදි දෙපාර්තමේන්තුව ඔහුට වැඩි කාලයක් ලබා දීලා උදව් කළා. කොහොම වුණත්, මේ අයගෙ ජීවිත සාපේක්ෂව හෝ අරුත්බර තැනකට ගෙන එන්නට මගපෙන්වීම් කරන්නට ලංකාවෙ රජයට හෝ රාජ්‍ය නොවන ආයතනවලට හෝ ධාරිතා නැහැ. ඒ සඳහා වන ආයතනවලින් කරන්නෙ ඒ ඒ ආයතනවල අයගේ පැවැත්ම තහවුරු කරගැනීම මිස ආබාධ සහිත ප්‍රජාවන්ට ප්‍රමාණවත් සහයෝගයක් දෙන එක නෙමෙයි.
යමක් කමක් තියෙන වැදගත් පවුලක ඉපදුණත්, පවුල් විසිරී ගියාට පසුව, අම්මාගේ මරණයෙන් පසු, සිදුවිය හැකි පරිදිම ඔහු මහ ගෙදර හුදකලා වුණා. අපේ මෑනුත් ලේසියෙන් වෙන කෙනෙකු එක්ක පෑහෙන චරිතයක් නෙමෙයි. ගැටුම් උපත. ඒ නිසා තනියට තියපු අය තියා කෑම කන කඩ එක්කවත් පවතින්න පුළුවන් වුණේ නැහැ. පස්සෙ කාලෙක තනියම උයාගෙන කාලා ජීවත් වුණේ ඔහුට පුළුවන් තරමට.
ඉස්සර මෑන් අනුරාගී ක්‍රිකට් ලෝලියෙක්. අපේ ගෙවල්වල රූපවාහිනී හරියට නොපෙනිච්ච කාලෙ මෑන් එක්ක ඒ ගෙදරදී මාත් සෑහෙන ක්‍රිකට් මැච් ගණනක් බලලා තියෙනවා. කොහොමත් මිස් වෙච්ච හරියෙ අප්ඩේට්ස් ගත්තෙ එයාගෙන්. අවාසනාව කියන්නෙ, මෑන් අන්තිමට ක්‍රිකට් බැලිල්ලත් අත්හැරලා දැම්මා. එතනට ආදේශ වුණේ රූපවාහිනී බණ.
මං හිතන්නෙ අන්තිම කාලෙ ඔහු සතුටු වුණේ මුදල් ඉතිරි කිරීමෙන්. පවුලෙන් ලැබෙන සල්ලි, වත්තෙ වැටෙන පොල්, පුවක්, කෙසෙල්වලින් ලැබෙන සල්ලි විතරක් නෙමෙයි, රජයෙන් ලැබෙන ආබාධිත දීමනාවෙ සල්ලිත් එයා නොකා නොබී ඉතිරි කරලා ස්ථාවර තැන්පතු දාගත්තා. එහෙම සතුටු වුණාට, දුක්වෙන්නට ඕනැ තරම් හේතු නිර්මාණය වුණා.
ඔහු මිය යනකොට වයස අවුරුදු 61ක්. අපි කවුරුවත් ඕනෑවට වඩා වැඩි කාලයක් ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු ගියේ ඔහුට නිසි කාලෙදි. වැඩි කල් ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. තමනුත් දුක් විඳිමින්, වයසට යන විට මතුවන දුර්ගුණවලින් සමාජයත් දූෂණය කරන එක තමයි ඔය වැඩිහිටියන් කියන ලාංකිකයන් වැඩිදෙනෙකු කරන්නෙ.
මරණය කියන්නෙ දුක් වෙන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි. ජීවිතේ ඊට වඩා දුකක්. උඹට සුබ ගමන් මචං!
(ගමේ ඉස්කෝලෙ කොවිඩි එන්නත දෙන වෙලාවෙ ගත්ත මේ පිංතූරෙ මගේ මිත්‍රයා ඉන්නවා.)
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.