ඩොප්ලර් රේඩාර් කතා වස්තුව


 ‍2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.

අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. 2007දී රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. තවම පැකිං කඩලාවත් නැහැ.

ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ගොන්ගල කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.

පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතිය කොරිඩෝවක වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින් තිබුණා. කොහොමින් කොහොම හරි ඒක එතැනට අරගෙන ගියා ය කියමුකෝ. ඒක කුලුන උඩට උස්සන්නට අවශ්‍ය තාක්ෂණය අර කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු රජයේ ආයතනයට නැහැ. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා දොඹකරයක් කුලියට ගත්තා.

නිසි තාක්ෂණය පාවිච්චි නො කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රේඩාර් පද්ධතිය ඔසවද්දි දොඹකරය පෙරලුණා කියමුකෝ. එතකොට උස්සපු කෑලිවලට මොනවා වෙන්න ඇති ද? ඒවා කන්දෙන් පහළට රෝල් වෙන්නත් ඇති. දොඹකරයේ ක්‍රියාකරුවාගේ අත පයත් කැඩුණා. ඒ වුණාට ඒක කුලියට ගත්ත දොඹකරයක් නේ. ඒ නිසා ඒ වැඩේට සම්බන්ධ නිලධාරි ඒ ගැන කරදර වුණේ නැහැ.

දැන් ඉතින් මොකද කරන්නේ? කෑලි ටික අහුලලා එතන මුර කුටියකට දාලා වැහුවා. හොරුන්ගෙන් පරිස්සම් කරන්නට අර කොන්ත්‍රාත් කරපු රජයේ ආයතනය එතැනට මුරකරුවෙක් යෙදුවා. ඔහොම කාලය ගත වුණා. මුරකරුවාට වැටුප් ගෙව්වේ කොන්ත්‍රාත් කරපු ආයතනය. ඒගොල්ලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා දැන් කුලුන භාර ගන්න කියලා. ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුව ඒක කළේ නැහැ කියමුකෝ.

මේ රජයේ ආයතන දෙක අතර මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඊට පස්සෙ මුරකරුවා ඉවත් කළා. හොරු ඇවිදින් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතියේ කොටස් ගලවාගෙන ගියා.

මේ වෙනකොට මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට මහජන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැය කරලා ඉවරයි. ඊට පස්සෙ?

ඒ ආයතනය තීරණය කරනවා, එම උපකරණ අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් එකක් මිළ දී ගන්නා එක ලාභයි කියලා. අලුත් එකක වර්තමාන මිළ බිලියනයක් විතර වෙනවා. ඒක පරීක්ෂා කරන්නට, මිළ දී ගන්නට එහෙම නිලධාරි පිටරට යන්නත් ඕනැ.

මේක හොඳ හොද්ද! ඒ නිසා අල්ල ගන්නවා සෝෂල් මීඩියා, මාධ්‍යවේදී එහෙම කටු කන සෙට් එකක්. තව අල්ල ගන්නවා අනුර කුමාර උන්නැහේව. උන්ට කියනවා, මේ ගංවතුර හානිවලට හේතුව ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නැති එකය කියලා. එතැන් සිට කතාව ඔබ දන්නවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා