අඩ සියවසක් සපුරන කලුතර වටදාගේ
නවෝදි සඳජා
කලුතර චෛත්‍යය කියලා හැඳින්වුණාට ඔබ පිටින් දකින්නේ චෛත්‍යය නොවෙයි, වටදාගෙයයි. චෛත්‍යය තියෙන ඇතුළත කොටසට ඔබට පිවිසිය හැකියි.
කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.
කලුතර වටදාගේ ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ මහා බෞද්ධ උපාසක, දානපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාණන්ය. සහාය ලබා දුන්නේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සමාජික මහතුන්ය. වටදාගේ සැලසුම් කිරිමේ භාරදූර කාර්යය පැවරුණේ එවක ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට සිවිල් ඉංජිනේරුවරයකු වූ ඒ.එන්.එස්.කුලසිංහ මහතාටය. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීය උපදෙස් ලබා දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවක සහකාර පුරාවිද්‍යා අධිකාරිවරයකු වශයෙන් සිටි රොනල්ඩ් සිල්වා මහතාය.
කලුතර වටදාගේ වපසරිය වර්ග අඩි 7150කි. උස අඩි 185කි. වට ප්‍රමාණය අඩි 300කි. විශ්කම්භය අඩි 95.4කි. මෙම යෝධ ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු 1964 වර්ෂයේ ඇරඹිණි. චෛත්‍ය කොත් පැළඳවීම සිදුවූයේ අඩසියවසකට පෙර 1974 ජනවාරි 24 වැනි පුන් පොහෝ දින පෙරවරු 10.12ටයි.
මෙම කාර්යය සදහා එවක වැය වුණු මුළු මුදල රුපියල් මිලියන 4ක් පමණි.
කොත් පැළලඳවීම සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය මොල්ලිගොඩ ආරියවංශ මහා නා හිමි, ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය කොස්ගොඩ ධම්මවංශ මහ නාහිමි හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහ නාහිමි යන මහානායක හිමිපාණන් වහන්සේලාගේ සිදු කරන ලදි.
චූඩා මාණික්‍ය පැලඳවුණු ස්වර්ණාලේපිත කොත් වහන්සේ දොඹකරයක ආධාරයෙන් පොළොවෙන් ඔසවා චෛත්‍යය මත තැන්පත් කරනු ලැබීය. අනතුරුව කොත් වහන්සේ නිරාවරණය කරනු ලැබුයේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති හිටපු අග්‍රවිනිශ්චයකාර හේනි බස්නායක මහතා විසිනි.
මුල් ඡායාරූපය කලුතර චෛත්‍යය ඉදි කරන සමයේ
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.