ගුරුවරුන් වන්දනීයද? පූජනීයද?

අජිත් පැරකුම්

හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.

ගුරුවරුන්ගේ ගැටලුව වැටුප විතරක් නෙමෙයි. ඒක පටන් ගන්නෙ ලංකාවෙ විෂයමාලාවන්ගෙ ඉඳලා. ගුරුවරුන් බඳවාගන්නෙ විෂයමාලාවන්ට අනුව.

විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන්ට අවශ්‍ය නම් උපාධිය ලබාගන්නට විධිමත් වැඩපිළිවෙලක් නැහැ. රනිල් යෝජනා කරන්නෙ විද්‍යා පීඨ විශ්වවිද්‍යාල කරන්න. මං හිතන්නෙ විශ්වවිද්‍යාල කියන්නෙ දැන් ඔය තියෙන වැඩිහිටි ඉස්කෝල වගේ විද්‍යාපීඨ වැනි ජාතියක් නොවිය යුතුයි. වෘත්තීය අධ්‍යාපනයයි, විශ්වවිද්‍යාලයි එකක් නොවිය යුතුයි.

ගුරු වෘත්තියට බඳවා ගන්නා උපාධිධාරීන්ට ගුරු වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා තිබෙන්නෙ අවිධිමත් ක්‍රමයක්.

අවුරුදු තිහකට වඩා සේවයේ සිටියත්, ගුරුවරුන්ව නැවත පුහුණු කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ගුරුවරුන්ට පුහුණුව, නායකත්වය ලබාදීම සඳහා තියෙන සේවාවක් වන ගුරු උපදේශක සේවාව කමකට නැහැ. සමස්තයක් විදියට ගුරු අධ්‍යාපනය අන්තිම දුර්වලයි.

මේ අතර, පාසල් පද්ධතිය අද වන විට සම්පූර්ණයෙන්ම ටියුෂන් අධ්‍යාපනයේ උණ්ඩුක පුච්ඡයක් වෙලා ඉවරයි. ගුරුවරුන් අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෙවල්වල ගරාජ්වල සිට හෝල්වල දේශනා පැවැත්වීම දක්වා ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙනවා. එම ව්‍යාපාරයේ යෙදෙන බොහෝ ධනවත් දේශනාකරුවන් ගුරුවරුන් නෙමෙයි. අධ්‍යාපන තරගකාරීත්වය ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවක්. ටියුෂන් අධ්‍යාපනය කියන්නෙ අධ්‍යාපන විද්‍යාවෙන් තොර ආගමික මෙහෙයක් වැනි දෙයක්. මේ දේශනාකරුවන් අතිශය බලවත්. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් බලපෑම් කරනවා.

මේ අතර, ඊනියා ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වෙනවා. ඊනියා ජනප්‍රිය පාසල් තරගයට අකැමැති මධ්‍යම පන්තික මව්පියන් ඒවාට තමන්ගේ ළමයින් ඇතුළත් කරනවා. ඒ පද්ධතියට රාජ්‍ය පිළිගැනීම හෝ නියාමනය නැහැ. ඒවායේත් ගුරුවරුන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපනය, පුහුණුව, වැටුප් ආදිය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තියෙනවා.

වර්තමානයේ ලංකාවේ ගුරුවරුන් කියන්නේ වැදගත් වෘත්තිකයන් පිරිසක් නෙමෙයි. රාජ්‍ය සේවයේ සෙසු තනතුරුවලට සාපේක්ෂව ගුරු වෘත්තියේ ස්ථානගත කිරීමකුත් තියෙනවා. ඒ බහුතරයකට උඩින් ගුරු වෘත්තිය තබන්නට තරම් උසස් තත්වයක් ගුරු වෘත්තියේ නැහැ.

ගුරුවරයා මාර පූජනීය වස්තුවක්ය කියන එකම බොරුවක්. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් සමග ගුරු භූමිකාව වේගයෙන් වෙනස් වෙනවා.

ගුරුවරයා කියන වචනෙම වර්තමාන අධ්‍යාපන සංකල්පවලට පටහැනියි. මේ වචනය එන්නෙ අතීත ශික්ෂකයාගේ භාවිතාවෙන්. දැන් අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප ඇතුළු ශික්ෂණය සඳහා පහසුකම් සපයන මාර්ගෝපදේශකයකු මිස දිසාපාමොක්ලා නෙමෙයි.

ගුරු වෘත්තිය පූජනීය නැහැ. ගුරුවරුන්ට දෙවියන්ට වගේ පුදන්න දෙයක් නැහැ. ඒකත්, තව බොහෝ වෘත්තීන් වගේ සාමාන්‍යයි. සුවිශේෂ නැහැ.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා