මිහිරේ මිහිර

 

– අජිත් පැරකුම් ජයසිංහ

මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.

මම අද ජීවත් වෙන්නෙ ලිවීමෙන්. පොත් ලියලා සම්මාන ලබලා නැති වුණාට මං රස්සාවට කරන්නෙ ලියන එක, පරිවර්තනය කරන එක. මං එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අන්තර්ගත ලියන්නකු ලෙස රැකියාව කළා. මගේ නම අගට තියෙන ලිපියක් මුලින්ම පළ වුණේත් මිහිර පත්තරේ. නුවන සඟරාව පස්සෙ කාලෙක මිහිර පත්තරේ අතිරේකයක් ලෙස පළ කළා. ලියලා මුලින්ම මුදලක් ඉපැයුවේ මිහිරේ නුවන අතිරේකයේ රචනා තරගවලින් දිනලා. ඒකට මට චෙක් එකක් ලැබුණා. අපි ජීවත් වුණ වැඩිහිටි සමාජයෙන් ඒ චෙක්පත මාරු කරගන්න හැටි කියලා දෙන්නට කෙනෙකු නොසිටි නිසා මට ඒ සල්ලි අතට ගන්නට බැරි වුණා. මං තනියම ගිහින් එතකොටම මතුගම ආනන්ද ශාස්ත්‍රාලය පාරෙ තිබුණු ඉතිරි කිරීමේ බැංකුවෙන් ඒ ගැන ඇහුවාම මොනවද කිව්වා, මට තේරුණේ නැහැ. ඒ කාලෙ රජයේ සේවකයන් වුණ අපේ අම්මලා තාත්තලාවත් චෙක් එකක් මාරු කරගන්න හැටි දැනගෙන හිටියෙ නැද්ද කොහෙද? බැංකු ගිනුම් තිබුණද මන්දා. මේ කියන්නෙ මං අටේ නමයෙ පන්තිවල හිටපු හැත්තෑ ගණන්වල අග හරියෙ.

අපි ඉස්කෝලෙ යන කාලෙම මිහිර පත්තරේ ටියුෂන් කඩයක් වෙන්න පටන් ගත්තා. අපේ ළමයි පොඩි කාලෙ මං මිහිර අරන් දෙද්දි දැක්කෙ ටියුෂන්කාරයන්ගෙ ප්‍රශ්න පත්තර, පාඩම් අතරට අන්තර්ජාලයෙන් අහුලගත්ත කෑලි නීරස විදියට ලියලා ඔබපු පත්තර කඩමාල්ලක්. අද මම අන්තිම මිහිර ‘පුවත්පත’ බැලුවා. ඒක නරක තත්වයක නැහැ. හැබැයි ඉතින් ළමයි කියවන්නෙ නැතිනම් මොනවා කරන්නද?

මිහිරට ආදරය කළේ ළමයි. මිහිර ප්‍රතික්ෂේප කළෙත් ළමයි. ඒක එහෙම වෙන්නට එක හේතුවක් තමයි, වෙන වැඩක් බැරි අය, දඬුවම් මාරු දීපු අය එහෙම මේ පත්තරේ රස්සාවට දැමිල්ල.

මිහිර පත්තරේ ‘මාධ්‍යවේදීන්ගේ’ අවසන් වික්‍රමාන්විත ක්‍රියාව ලෙස ප්‍රසිද්ධ වුණේ 2020 අවුරුද්දෙදි රට රටවල ජනාධිපතිවරුන් ගැන ලියපු ලිවීමක ශෝඨාභය කියලා ජනාධිපති කෙනෙකුගේ නම සඳහන් කිරීම. දහඅටේ විතර ෆොන්ට් එකෙන් තිබුණු මේ අක්ෂර දෝෂය නොපෙනුණු කර්තෘයි, පිටු සැලසුම් ශිල්පියායි ටික දවසක් වැඩ තහනම් වෙලා හිටියා.  විජේසේකර යතුරු පුවරුවේ ගයන්න තියෙන්නෙ යට ඉඳලා දෙවන පේළියේ දකුණු අත පැත්තෙ කෙළවරේ. ශයන්න තියෙන්නෙ එතන ඉඳන් ඉහළට දෙවෙනියට හමුවෙන පේළියේ මැද. ගෝඨාභය වෙනුවට ශෝඨාභය කියලා ටයිප් කරන්නට නම් ඒ යතුරු ලියන්නා මොළය නැති ඇඟිලි විතරක් වැඩ කරන කෙනෙකු වෙන්නට ඕනැ. ඒක නොදැකපු සෝදුපත් කියවන්නා, පිටු සැලසුම් ශිල්පියා, උප කර්තෘ, ප්‍රධාන කර්තෘ වගේ අය ඇත්තටම අස්කරලා දාන්න ඕනැ. ලංකාවේ පත්තර කලාවේ මා දැක තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ කර්තෘලා තමන්ගේ පත්තරය නොකියවන එක.

දැන් මිහිර ඊපේපර් එකක් විදියට නිකුත් කරනවාලු. ඒක කොයි තරම් සාර්ථක වේවිද කියලා මං දන්නෙ නැහැ. පීඩීඑෆ් ඊ පත්තර ළමයි කියවයිද? බහ තෝරන්නත් කලින් යූටියුබ්, ටික්ටොක් හඳුනගත්ත ළමා පරපුරකට මිහිර වගේ පත්තරයක් පෙනෙනවා ඇත්තෙ කොහොමද?

ලංකාවෙ ළමයින් වෙනුවෙන් නිර්මාණ කරන වැඩිහිටියන් සියලු දෙනා අසාර්ථකයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් අසාර්ථකයි. අපේ ළමා පරපුර හිතන්නේ මොනවාද කියා අපි දන්නෙ නැහැ. ඔවුන් වැඩි දෙනෙකුත් රැල්ල විසින් මෙහෙයවනු ලබනවා. රැල්ල හැරී පොටර් නම්, ඔවුන් එය කියවනවා. රැල්ල ෂර්ලොක් හෝම්ස් නම් ඔවුන් එය කියවනවා.

අපි පුංචි කාලෙ වින්ද මිහිර තමයි ‘මිහිර’ කියන්නෙ. ලෝකෙ වෙනස් වෙලා. දැන් ‘මිහිර’ නැහැ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා