‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක
අජිත් පැරකුම් ජයසිංහ
දැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගාමිනී මුතුකුමාරණ සහෝදරයා ලියූ ‘මතක ගිනි පුපුරු’ පොත 1989 කැරැල්ල සහ ජවිපෙ ඉතිහාසය සම්බන්ධ හොඳ මූලාශ්‍රයක්. එහි බොහෝ කරුණු විවෘතව සාකච්ඡා කරනවා. උදාහරණයක් විදියට, විජය කුමාරතුංග ඝාතනය වැනි දේ වෙනත් අයගේ ඇඟේ තවරන්නට නොගිහින් එම තීරණය ගැනීමට හේතු වුණ තත්වයන් පැහැදිලි කරන්නට ඔහු උත්සාහ කරනවා.
පොතේ ගාමිනී මුතුකුමාරණ සහෝදරයා බොහෝ දේ ලියන්නෙ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඔහුත්, මාත්, 1988-89 කාලයේ උපතිස්ස ගමනායකගේ කලාප නායකත්වය යටතේ, ගාමිණී විජේගුණසේකරගේ දිසා ලේකම් ධූරය යටතේ දිගු කලක් එක දිස්ත්‍රික් කමිටුවේ දිස්ත්‍රික් දෙකක වැඩ කළා. ගාමිණී විජේගුණසේකරයි මායි තුන්වන දිස්ත්‍රික්කයටත් ගියා. ඒක ඉතාම දුෂ්කර භීම සමයක්. මේ ඉතිහාසය ගැන විවෘතව කතා කළ යුතුයි.
මුතුකුමාරණ සහෝදරයාගේ පොතේ දැඩි පක්ෂපාතීත්වය වගේම, අවංකකමකුත්, සහෘද දයා කරුණාවකුත් තියෙනවා. අපට නායකත්වය දීපු නන්දතිලක ගලප්පත්ති සහෝදරයා හෙවත් ලියනගේ මහත්තයා ගැන ඔහු තබා තිබෙන සටහන් ඇතුළෙ ඒ කරුණාව නිර්මාණය වුණ ආකාරය දැක්වෙනවා. මගෙත් එක්ක එකට අත්අඩංගුවට පත් වුණ, මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ නායක වුණ, නාලන්දයේ සිසුවකුව සිටියදී පක්ෂ පූර්ණකාලිකයකු වූ චම්ලි දිසානායක මාස අටකට විතර පස්සෙ අතුරුදහන් වෙන්නෙ ඔහු පිළිබඳ ගාමිනී විජේගුණසේකර හෙළිදරව් කරපු කරුණු නිසායි. ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වුණ ගාමිණී විජේගුණසේකරව ද්‍රෝහියකු ලෙස තමයි සැලකෙන්නෙ. ඒත්, අපි සමීපව ඇසුරු කරපු ගාමිනී විජේගුණසේකර ගැන කරුණාවෙන් සිතන්නට මුතුකුමාරණට හැකියාව තියෙනවා.
මතක ගිනි පුපුරු පොතේ සඳහන් එක සිද්ධියක් මගේ මතකයේ කවදාවත් නොමැකෙන විදියට ඇඳිලා තියෙනවා. ඒ ගැන මං කේපොයින්ට් පොතෙත් ලියලා තියෙනවා.
ලකී අල්ගම කළ විනාශයෙන් පසු ගාලු දිස්ත්‍රික් කමිටුව බැද්දෙගෙදර අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ පක්ෂය ගොඩනගන්නට අලුත් ක්‍රියාධරයින් ටිකක් ගොඩනගා ගන්න. එහෙම පිරිසක් පක්ෂෙට එකතු වෙලා හිටියා. ඒත්, පන්ති කරන්න, සාකච්ඡා පවත්වන්න එහෙම දැනුම තිබුණෙ නැහැ.
ඒක අධ්‍යාපන කඳවුරක්. මං දන්න විදියට එතන තිබුණෙ ඉතාම ප්‍රාථමික ආරක්ෂාවක්. ඒ ගෙදර තිබුණෙ මහ කැලේ මායිමේ. කලින් දවසෙ රෑ පන්තිය ඉවර වෙලා කට්ටිය නිදා ගත්තෙත් කැලේ. උදේ පාන්දර ආපහු අධ්‍යාපන කඳවුරේ වැඩ පටන් ගන්න තමයි ආපහු ආවෙ. ඒ වෙලාවෙ තමයි ප්‍රහාරය එල්ල වුණේ
මං දන්න තරමින් එතන ආයුධ තිබුණේවත්, එතැන ආරක්ෂාවට හිටි කෙනෙකු වෙඩි තිබ්බේවත් නැහැ. ආරක්ෂාවට පාරෙ පොයින්ට්වලට දාලා හිටපු අය අතේ එක ෂොට් ගන් එකක් තිබුණා වගේ මතකයි. ඒක තිබුණෙත් සංඥාවක් දෙන්න. ඒ ඇරෙන්නට තිබුණෙ සංඥාව දෙන්න රතිඤ්ඤා. කොහොම වුණත්, ඒ සංඥා එකක්වත් ලැබුණෙ නැහැ.
ඒක අධ්‍යාපන කඳවුරක් විතරයි. එතනට ප්‍රහාර එල්ල කරලා, එතන හිටපු නිරායුධ තරුණයන් හත්දෙනෙකු මරා දාලා කරපු සංහාරය යුද නීති යටතේ පවා නීති විරෝධීයි. කඳවුරේ ආරක්ෂාවට වෙඩි තැබුවා කියලා ගාමිනී මේ පොතේ කියනවා. ඒක මම පිළිගන්නෙ නැහැ. ජවිපෙ සන්නද්ධව හිටපු බව ඇත්ත. ඒ වුණාට අධ්‍යාපන කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීම නීති විරෝධී වැඩක්. ඒ කඳවුරේ ස්වභාවය කුමක්ද කියන එක ගැන හමුදාවට ඇති තරම් තොරතුරු තිබුණා. හේතුව, එතන ඉඳලා ගිය පක්ෂෙ කෙනෙකු තමයි ඒ ප්‍රහාරයට ඔත්තු දුන්නෙ. ඔහුත් ඒ ප්‍රහාරයට සහභාගී වුණා.
බැද්දෙගෙදර අධ්‍යාපන කඳවුරට ප්‍රහාරය එල්ල වෙන වෙලාවෙ මායි තිලකරත්නයි මීටර් පනහක් විතර නුදුරින් හිටියා. මම කලින් දවසෙ පන්තිය අවසන් කරලා යන්න හිටියෙ. අපි පහළ ගෙදර කොට්ඨාස කමිටුව රැස් කළා. කතා බහ පාන්දර වෙනකල් ඇදී ගියා. පාන්දර යන්නට ඕනැ නිසා අපි කාවහරි ආරක්ෂාවට දාලා නිදාගත්තා.
කඳවුරේ ප්‍රධාන සංවිධායකයා වුණ ඒ පැත්තෙ කොට්ඨාස ලේකම් බඩු ගෙන එන්නට ගිහින් ආපහු ආපු නැති එක ගැන අපි සෑහෙන්න අසහනෙන් හිටිය. ඔහු ඒ තනතුරට පත් කරලා තිබුණෙ වෙනත් සුදුසු කෙනෙකු නොසිටි නිසා. ඔහු ගැන අපට විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒත්, ඒ තරම් ඉක්මනින් පාවා දෙයි කියලා හිතුවෙත් නැහැ. හමුදා බුද්ධි අංශ ජවිපෙට වඩා ගව් ගානක් ඉදිරියෙන් ශක්තිමත්ව හිටියෙ. ඔවුන් වහා ක්‍රියාත්මක වුණා.
පහුවෙනිදා උදේ කොට්ඨාස ලේකම් හමුදා ඇඳුම් ඇඳගෙන හමුදා කණ්ඩායමක් එක්කගෙන කඳවුරට පහර දෙන්නට ආවා. අපි හිටියෙ පහළ ගෙදර නිසා අපේ ගෙදරට පහර නොදී හමුදාව කෙළින්ම උඩට ගියා. මායි, තිලකරත්නයි එතන ඇති කියලා ඒගොල්ලන් හිතුවෙ නැහැ. අල්ලගන්න ඕනැ වෙලා තිබුණෙ අපව.
මායි තිලකරත්නයි, පියල් කලුතරගේයි ඇඳි වත පිටින් ගෙයින් එළියට පැනලා තේ වත්තක හැංගිලා බලා හිටියා. මං වෙලාවට පසුම්බිය අතට ගත්තා. වෙඩි සද්ද ඉවර වුණාට පස්සෙ කඳවුර තිබුණු තැනට යමු කියලා තිලකරත්න කිව්වා. ඒත්, යන්න බැරි බව තේරිලා අපි ආරක්ෂාව හොයාගෙන පසුබැස්සා. මාගෙදර පැත්තට යන පාරකට වැටිලා ටික දුරක් යද්දි වෙඩි සද්ද නිසා මිනිසුන් කලබල වෙලා ඉන්නවා දැක්කා. මාගෙදර පැත්තට යන එක ආරක්ෂිත නොවන බව අපට තේරුණා. අපි කැලේ ලී ඉරද්දි පොලිසිය පැන්නා, දැන් පැනලා යනවා කියලා ගෙදරකට කියලා දිශාව අහගෙන කැලේට රිංගුවා. කැලේ ඉන්න අතරෙ හෙලිකොප්ටර් උඩ කැරකෙමින් තිබුණා. අපව හෙව්වාද දන්නෙ නැහැ.
කැලෙන්, කඳු උඩින් පයින් ආවා. වතුර තිබහට කැලෑ කොළ කෑවෙ. ඌරු කොටුවක් වගේ දිළිඳු ගෙදරක් හමු වුණා. ඒ ගෙදර පිරිමියෙකු පොඩි ළමයින්ට බත් කව කවා හිටියෙ. අපි ඒ ගෙදරින් වතුර ඉල්ලගෙන බීලා පාර අහගත්තා.
හවස ගොනාමුල්ල හන්දියෙන් බස් එකක නැගලා ගාල්ලට ආවා. ගාල්ලට එනකොට බැද්දෙගෙදර මළ සිරුරු ගාල්ල පොලිසිය ගාවට ගෙනත්. පොඩි ලොරියක පිටුපස විවෘත තට්ටුවේ තමයි මිනී තිබුණෙ. අපි දුවල ගිහින් බැලුවා. දුවද්දි සරමත් කැඩුණා. යට ඇඳුමකුත් නැතුවනෙ හිටියෙ. මං ඒ දිහා එක පාරයි බැලුවෙ. මට අදත් පෙනෙනවා කලින් දවසෙ මං පන්තිය කරද්දි මගෙන් ප්‍රශ්න අහපු ළමයි විවෘත දෑසින් මා දිහා බලා හිටපු විදිය. ඒ දර්ශනය මට කවදාවත් අමතක කරන්නට බැහැ. පියල් එදා ගියා ගියාමයි ආයෙ ආවෙ නැහැ. තිලකරත්න සතියකට දෙකකට පස්සෙ අත්අඩංගුවට පත් වුණා.
බැද්දෙගෙදර ප්‍රහාරයෙන් මාසෙකට විතර පස්සෙ අප්‍රේල් මාසෙ ආවා. අපි ඒ ගමේ ගෙදරක පක්ෂෙ ක්‍රියාකාරිකයන් 25ක් විතර එකතු කරලා පොඩි සමරු ඵලකයකුත් හදලා අප්‍රේල් සමරුව පැවැත්වූවා. බැද්දෙගෙදර කඳවුරේදි මිය ගිය සහෝදරවරුන් විශේෂයෙන් මතක් කරමින් මං පැයක විතර දේශපාලන විග්‍රහයක් කළා මතකයි. රෑ සහෝදරයෙකු කිව්වා මට නිදාගන්න හොඳම ආරක්ෂිත තැනක් තියෙනවා. කිසි කෙනෙකු දන්නෙ නැහැ, හැබැයි තිලකරත්න මහත්තයා දන්නවා කියලා. මං කිව්වා එහෙනම් ඕනැ නැහැ, මෙතනම ඉමු කියලා. රෑ නිදාගත්තෙ ෂිෆ්ට් එකට. මාත් පැය භාගයක මුරයක් කළා.
උදේ අපි කහට බිබී ඉන්නකොට ගේ ඉදිරියෙන් වෙලට එහා පැත්තෙන් තියෙන පාර දිගේ හමුදා භට පිරිසක් හැල්මේ දුවගෙන ආවා. ඉස්සරහින් දුවගෙන ආවෙ තිලකරත්න. හමුදා නිල ඇඳුමක් ඇඳන් හිටියෙ. අපි ගේ පිටිපස්සෙන් එළියට පැන්නා. පළා යන්නට තිබුණෙ කන්ද උඩට. අපි කන්ද දිගේ පැනලා යනවා හමුදාවෙ අය දැක්කා. ඒත් වෙඩි තිබ්බෙ නැහැ. හමුදාව එනකොට මිනිස්සු පැනලා යන එක ඒ කාලෙ සුලබයි. හමුදාව ගියෙ කෙළින්ම ටාගට් එකට. ඒ කියන්නෙ මං නිදාගන්න නියමිතව සිටි තැනට.
තිලකරත්න මගේ පසුපස පන්නන බව තේරුණා. ගැලවීමක් නැති නිසා තමයි, ගාමිණී විජේගුණසේකරයි, මායි මාතරට මාරු කළේ. මැයි මාසෙ මාතරදි මාව අහු වුණා. ජුනි මාසෙ මුල ඉඳන් මං හිටියෙ එළියකන්දෙ. එතකොට මාව දාලා තිබුණෙ සාලෙ කොරිඩෝවෙ මාංචු දාලා, ඇස් බැඳලා. මං ඇස් බඳින රෙදි පටිය නවනකොට මැද්දෙන් පටු තීරයක් තනි පටිය එන විදියට හදාගෙන තිබුණෙ. හමුදාවෙ අය එක එක දේ කර කර ඇස් පේනවද කියල චෙක් කරනකොට ටක් ගාලා ඇස් පියාගන්නවා. ඒක මං ඇඳන් හිටිය දිරච්ච සරමෙන් ඉරාගත්ත පටියක් නිසා හොඳට විනිවිද පෙනුණා. මං හිටිය තැනට ඔෆිස් එකට එන යන අය පෙනුණා.
දවසක් තිලකරත්නව ගෙනත් මාව පෙන්නනවා මං බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මං බයටම ඇස් පියා ගත්තා. තිලකරත්න එදාත් හිටියෙ හමුදා ඇඳුමක් ඇඳගෙන. ඒ විදියට තමයි මං කවුද කියන එක කැප්ටන් රත්නායකලා තහවුරු කරගත්තෙ. ඊට පස්සෙ මාව වෙන් කරලා ටික කාලයක් හමුදාවෙ බිලට් එකේ ඇඳකට මාංචු දාලා තියාගත්තා. පස්සෙ මං එතනින් වෙන තැනකට දාන්න කියලා ඉල්ලා සිටියාම කැප්ටන් රත්නායක ‘කාමරේ’ කියන තැනට මාව දැම්මා. මේ විස්තර කේපොයින්ට් පොතේ තියෙනවා.
මේ දිනවල මං කලින් ලියූ කේපොයින්ට් නවකතාව නැවත සංස්කරණය කරමින් ඉන්නවා. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර තිබිය යුතුයි. දෘෂ්ටිවාදී දේශපාලනය, ප්‍රචණ්ඩත්වය, මර්දනය, මානව හිමිකම්, වධහිංසනය, සමාජ සංවර්ධනය හා විප්ලවය ගැන සමාජ කතිකාව පෝෂණය කිරීම මෙවැනි දේ නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.