බල්ලන් මරා හෝ සල්ලි හොයන ධනවාදය හා පිළිකා සුව කරන දළුවත්ත

(2011 ජනවාරි 07, W3Lanka) විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරිම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් වූ බව ඔහුගේ දැන්වීම් පළ කර මුදල් ඉපැයූ ලංකාදීප ඇතුළු පුවත්පත් වාර්තා කළ හ. අත්අඩංගුවට ගත් බව නම් වාර්තා වූයේ නැත. 


ධනවාදයේ මූලික ලක්ෂණය ලාභයයි. බල්ලන් මරා හෝ සල්ලි හෙවීම ධනවාදයේ පරිවාරයේ හැටි ය. ඩී.එන්.ඩී. සත් සේවය හිමි ඩී.එන්. දළුවත්ත මෙන් ම විජය පුවත්පත් සමාගම හිමි රංජිත් විජේවර්ධන ද සල්ලි හොයන්නේ එක ම ක්‍රමයට ය. ලංකාදීපය දළුවත්තගේ දැන්වීම් විකුණයි. ඉන් පසු ඔහු අත්අඩංගුවට ගත් සිද්ධිය ද විකුණයි. 


පිළිකාව සුව කළ හැකි යන්ත්‍රයක් ද විකුණන බව කියූ මෙම තැනැත්තා එක්තරා ඇමතිවරයකු ඔහුට මොකක්දෝ රාජ්‍ය සම්මානයක් දෙන පිංතූරයක් ද සිය ප්‍රචාරය සඳහා භාවිතා කළේ ය. එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තක වසන බව හා ඔක්කො ම කුණු බේරුවල් බොක්කට ය කියා කියමන් දෙකක් තිබේ. ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත් මෙම පුද්ගලයාගේ දේශපාලන ගමන පාර්ලිමේන්තුව දක්වා දිගු වුණා නම් එකත් ජයසිරි මංගලම් ය. 


පොලිසියට අනුව නම්, මෙවැන්නෝ වංචනිකයෝ ය. සනෝ වෛද්‍යවරු පවසන්නේ මොවුන් භින්නෝන්මාදයෙන් පෙළෙන අය බවයි. W3Lanka සංස්කාරකවරයා සිය ශාස්තෲ නවකතාවෙන් මෙවැන්නන් ශාස්තෲවරුන් ලෙස සමාජගත වන ආකාරය සංවාදයට බඳුන් කරන්නට උත්සාහ කරයි. 


ලංකාව මෙවැනි ව්‍යාජ ශාස්තෲන්ට හා ජීවකයන්ට පාරාදීසයකි. දියුණු, නො දියුණු භේදයකින් හෝ පෙරදිග අපරදිග භේදයකින් හෝ ආගමික භේදයකින් තොරව ලෝකය පුරා ම මෙවැනි රෝගී / වංචනික පුද්ගලයන් සුවිශේෂ ශක්තීන් ඇති අය ලෙස සැලකීම සුලබ ය. 


සමාජය නො මග යවන මෙවැන්නන්ට එරෙහිව සටන් කිරීම ප්‍රගතිශීලී සමාජ කණ්ඩායම්වල වගකීමකි. එහෙත් පසුගිය සමයේ ලංකාවේ පැතිරුණු සිංහල බෞද්ධ ජාතිකවාදය හා විශේෂයෙන් ම නලින් ද සිල්වාගේ ජාතික චින්තන මතවාදයත්, බටහිර හා විද්‍යා විරෝධයත් මෙවැනි පිරිස්වලට ප්‍රබල රැකවරණයක් වී තිබේ. 


පිළිකා, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග සුව කළ හැකි බවට පුවත්පත්වල දැන්වීම් පළ කර වංචා කරද්දී ඒ පිළිබඳ සොයා බලන්නට කිසිදු බලධාරියකු රටේ නැති වන්නේ මෙම සංදර්භය තුළයි. එහෙත්, AH1N1 එන්නත කල් ඉකුත් වන්නට ආසන්න එකක් ය කියා නම් මේ රටේ මහත් කලබැගෑනියක් ඇති කර ජනතාව බියවැද්දීමට මාධ්‍යවලට පුළුවන් විය. 


අද වන විට ලංකාව විවිධ වර්ගයේ විස්මිත දස්කම් දක්වන බව කියන හා ජනතාවගේ විශ්වාසයට බඳුන් වී ඇති ජීවකයන්ගෙන් පිරී ඇත. මොවුන් විසින් කරනු ලබන ප්‍රතිකාර නිසා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කර රජයේ රෝහල් විසින් කරනු ලබන ප්‍රතිකාර අසාර්ථක වෙයි. නිදසුනක් ලෙස, අනුරාධපුර පැත්තේ එක් කැඩුම් බිඳුම් වෙදෙකු රෝගීන්ගේ ප්ලාස්ටර් කප්පවන්නේ ඔහු සමග පැමිණෙන අය ලවා මේස පිහිවලිනි. රජයේ රෝහල්වලදී මෙම ප්ලාස්ටර් දමන්නේ බොහෝ විට විකලාංග ශල්‍යාගාරයකදී ය. 


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හෝ වෛද්‍ය සංගම් හෝ මෙම සමාජ අර්බුදයෙහිදී සාධනීය මැදිහත්වීමක් කරන්නේ නැත. වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් සමග ඇති ගැටුම් මෙවැනි මානසික රොගී / වංචනික ව්‍යාජ වෛද්‍යවරුන් සමග නැති වීම ද අවධානයට ලක් විය යුතු තත්වයකි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. @W3L;

    - බල්ලන් මරා හෝ සල්ලි හොයන "ධනවාදයේ" අප හිරවී සිටියදී ඉතාමත් ඉහල ජිවන තත්වයකට ලොව බොහෝ "ධනවාදී" රටවල් පැමිණ ඇත්තේ කෙසේද?

    - ධනවාදයේ අර්ථ දැක්වීම [ඔබට අනුව] සමාජවාදී නොවන වෙනත් ඕනෑම ක්‍රමයක් යන්න ද?

    - ධනවාදී නොවන [ඔබට අනුව] වෙනත් ක්‍රමයකින් පාලනය වන/වූ [මෑත ඉතිහාසයේ] රටකට උදාහරණයක් දෙන්න.

    - මේකට හේතුව ධනවාදී ත් නොවන සමාජවාදිත් නොවන පක්ෂග්‍රාහී බඩගෝස්තර වාදයක් ලංකාවේ ක්‍රියාත්මක වීම නොවේද?

    මා මෙහෙම ලිව්වේ අහවල් වාදයකටවත් මට ඇති කැක්කුමක් නිසා නොවේ. හරියට මාකට් ඉකොනොමියක් වත් නැති ලංකාවේ අහවල් ධනවාදයක් තියේදැයි මා දන්නේ නැත. සමාජවාදී කියාගන්න බොහෝ රටවලට වඩා සමාජවාදී පිළිවෙත් කැනඩාව ඔස්ට්‍රේලියාව නෝර්වේ වැනි රටවල දැකිය හැක.

    එහෙත් හැමදාමත් ඉන්ද්‍රජාලික සමාජවාදයක් ගැන විකාර සිහින මවමින් මේ ගොල්ලන් මේ ලියන බහුබූත වලටත් පාලු ගෙයි වලං බිඳීමටත් රටේ අටානුවක් රෝග වලට අතට අහුවෙන මුව හමට තලන එකටත් යම සීමාවක් තිබිය යුතුය.

    නැත්නම් මේ බොරු ගොබල් වීමට ඉඩ ඇත.

    ReplyDelete
  3. W3Lගේ ඉහත සඳහන් ලිපියේ කොටි සංවිධානය සමාජවාදීන් ලෙස අරුත ගැන වූ අයුරු ඇති විශිෂ්ටයි. මෙන්න උපුටා ගත් කොටස්. මේ පරාගේ සමාජවාදයට උදාහරණ.

    "කොටි සංවිධානය ප්‍රායෝගිකව දිනා ගත නො හැකි ඊලාම් සටන් පාඨය තුළ සම්මුති විරහිත ලෙස ගැලී සිටියේ අරගලය දිගට ම පවත්වා ගැනීමේ හුදු උවමනාව නිසා බව ය යන්නයි. "

    "මේ කල් ගැනීම මාක්ස්වාදී අරුතකින් ධනවාදී ක්රමයේ අර්බුදය උත්සන්න වන තෙක් නොහොත් සමාජවාදී සමානතා පක්ෂය කියන අන්දමින් නම්, තුන්වන ලෝක යුද්ධයක් ඇති වන තෙක් විය හැකි ය."

    ප.ලි. අවුරුද්දකට අඩුම ගානේ පස් හය දාහක් අහිංසකයින් කම්බස් මරමින් ගත්ත අපුරු කල් මැරීමක් මේක. මේ මිනීමරු කොටියන්ට සමාජවාදීන් කියා කීමෙන් සමාජවාදින් කියන එවුන්ට වුන අපහාසයත් සුළු පටු නෑ.

    මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලන්න.

    ReplyDelete
  4. @ sujewa kokawala

    ඔබගේ පලමු කමෙන්ටුව සම්බන්ධයෙනි.

    //හරියට මාකට් ඉකොනොමියක් වත් නැති ලංකාවේ අහවල් ධනවාදයක් තියේදැයි මා දන්නේ නැත.//
    ලංකාව ඔබ හදුනගන්නේ එහෙනම් කවර සමාජ ක්‍රමයක් තියෙන රටක් විදිහටද?නිශ්චිතව කියන්න.

    //- බල්ලන් මරා හෝ සල්ලි හොයන "ධනවාදයේ" අප හිරවී සිටියදී ඉතාමත් ඉහල ජිවන තත්වයකට ලොව බොහෝ "ධනවාදී" රටවල් පැමිණ ඇත්තේ කෙසේද?//

    එහෙම ඉහල ජීවන තත්වයක් කියා කියන දේ ලබාගෙන ඇති රටවල් මොනවාද?නම්කරන්න.

    එතනින් එහාට මේ සංවාදය කරගෙන යමු.දැනට ආරම්භයක් විදිහට මේක කියන්නම්.ධනවාදය කියන්නේ සියවස් හතරක් විතර ඉතිහාසයක් තියෙන ලෝක ක්‍රමයක්.හරියටම කියනවා නම් දේශසීමා ඉක්මවා ගිහින් ක්‍රියාත්මක වන ගෝලීය සිස්ටම් එකක්.මේ සිස්ටම් එකේ කේන්ද්‍රයේ බලය අල්ලගත්ත බලසම්පන්න සුපිරි රටවල් කිහිපයක් තියෙනවා.අනෙත් සියලු රටවල් පරිධියේ සිට කේන්ද්‍රය වෙත අමුද්‍රව්‍ය සපයමින් සිටිනවා.කේන්ද්‍රය විසින් භුක්ති විදින අතිරික්ත ප්‍රමෝදය කියන්නෙ පරිධියේ රටවල් මත ඔවුන් විසින් පවත්වාගෙන යන අධිකාරිය හරහා සූරාකනු ලැබූ දෙයක්.ගෝලීය ධනවාදය ඇතුලෙ පරිධිය කියන්නෙ කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයන දඩයම්බිමි විතරක් වෙන නිසා කේන්ද්‍රයේ රටවල්වල සිද්දවෙලා තියෙන මට්ටමේ ධනේශ්වර සංවර්ධනයක්වත් මේ රටවල්වල සිද්දවෙන්නේ නැහැ.වෙන වචනවලින් කියනවා නම් කේන්ද්‍රයේ ධනවාදය සිවිල් හා එක්තරා අන්දමක ශිෂ්ට ධනවාදයක් වෙද්දි පරිධියේ ධනවාදය වනචාරී හා නන්නත්තාර ධනවාදයක් වෙලා තියෙන්නේ ධනවාදය එහි ස්වභාවයෙන්ම ගෝලීය බලහත්කාරය උඩ පදනම් වෙලා තියෙන ආකාරය අනුව.කේන්ද්‍රයේ රටවල ඇඩ්වාන්ස් ධනවාදය ඇතුලෙත් අපමන ප්‍රශ්න හා මානව විරෝධී ව්‍යසනයන් තියෙනවා.ඒවා අත්හැරියත් හුදෙක් කේන්ද්‍රයේ රටවල් වල ඇතිවෙලා තියෙන ශිෂ්ටසම්පන්නභාවය දිහා විතරක් මතුපිටින් බලල අතේ ගහන එක වෙනුවට එවැනි තත්වයක් ගොඩනගා තිබෙන්නේ කෙසේද?ඒ වෙනුවෙන් පරිධිය ගෙවමින් තියෙන මිල මොකක්ද?ඒ ශිෂ්ටත්වයේ ප්‍රතිඵලය විදිහට ලක්ෂ ගනන් සූරාකෑමට ලක්වූ පරිධියේ රටවල මිනිස්සු කාලකන්නි ජීවිත ගතකරන්නේ කොහොමද වගේ විස්තරාත්මක විග්‍රහයක් වෙත යන එක තමයි වඩා සුදුසු වන්නේ.

    ReplyDelete
  5. @Anonymous Thanks!!! I appreciate your clarification. Its really a simple way to explain!!! Thanks again

    ReplyDelete
  6. @ sujeewa kokawala

    ඔයාගෙ උත්තරය එනකම් මම දැන් දවසක්තිස්සේ බලාගෙන ඉන්නවා.ඔයා කොහෙද හැංගිලා ඉන්නෙ?

    ReplyDelete
  7. I don't see any difference between Lankadeepa publishing Daluwattas advertising and Google-Blogger publishing W3's articles.

    ReplyDelete
  8. Ano; was busy in w/e. You will get my answer soon

    ReplyDelete
  9. @මගෙන් ප්‍රශ්ණ අහපු ඇනෝනිමස්;

    [[ලංකාව ඔබ හදුනගන්නේ එහෙනම් කවර සමාජ ක්‍රමයක් තියෙන රටක් විදිහටද?නිශ්චිතව කියන්න]]

    ලෝකයේ කිසිම රටක තනි අර්ථ ක්‍රමයක් පවත්වා ගෙන නැහැ. ලංකාව ධනවාදයත් සමාජවාදයත් යන දෙකෙහි ම කොටස් භාවිතා කරනවා. මේ දෙකට අමතර ව පැරණි වැඩවසම් ක්‍රමවේද කිහිපයකුත් ක්‍රියාත්මකයි. පරාගේ කතාව නම් සමාජවාදී නොවන සියල්ල ධනවාදී කියා ද කොහෙද?

    [[එහෙම ඉහල ජීවන තත්වයක් කියා කියන දේ ලබාගෙන ඇති රටවල් මොනවාද?නම්කරන්න]]

    බටහිර යුරෝපය කැනඩාව ඔස්ට්‍රේලියාව ජපානය. තව ඇති. මං ප්‍රසිද්ධ ටික කිව්වේ.

    කතාවේ ඉතිරිය ඊළඟ කොමෙන්ටුවේ බලන්න.

    ReplyDelete
  10. @මගෙන් ප්‍රශ්ණ අහපු ඇනෝනිමස්;

    කේන්ද්‍රය හා පරිධිය පිලිබඳ ඔබේ මතයට මා එක්තරා දුරකට එකඟයි. වැඩිපුර කිව යුත්තේ පරිධියේ ඇතැම් බලු වැඩ කේන්ද්‍රය විසින් කලාට තවත් බලු වැඩ කරන්නේ පරිධියේ උන්මයි. පරිධියේ ව්‍යාධි තරමකට සුවකර පරිධිය කේන්ද්‍රය දිහාට ගේන්න පරිධියට පුළුවන් [මැලේසියාව සිංගප්පුරුව] කේන්ද්‍රය තව සැපයුම ලැබෙන තුරු පරිධියේ සුබ සිද්දිය වෙනුවෙනුත් පෙනී හිටීවි. ගැටලුව වෙන්නේ පරිධියේ ම ජඩ ගති නිසා උන් ගොඩ නොයාම.

    නමුත් පොදු අදහසක් ලෙසට ධනවාදය සාධාරණ වූ ක්‍රමවේදයක් නොවේ.

    ප්‍රශ්නය මොකද්ද සාධාරණ වූ ක්‍රමවේදය? දෙවැන්න එය හුදු සිහින පද්ධතියක් පමණ ද?

    පරා/ඔබ කියන්නේ එය සමාජවාදය කියලද? එමෙන්ම එය මින් පෙර කවදාවත් භාවිතා නොවූ සමාජවාදයක් කියලද?

    මෙතැනයි ගැටලුව. මින් පෙර නොකළ දෙයක ගුණාගුණ කියන්න අමාරුයි. හරි හමන් විස්තරයක් ද නැති කළ එය ඉතා අපහසුයි. දෙවනුව ඔබේ සිහින ක්‍රම වේදයන් සැබෑ ලෝක පද්ධති දක්වා ගෙන ඒම ලේසි නැහැ. දෙයක් කරන කොට ප්‍රායෝගික ගැටළු එනවා.

    අනික තියරියක් ලෙසට ඕන එකක් හරි. ධනවාදයේත් තියරි මුහුණේ කිසි දුර්වලතාවයක් නැහැ. කරන්න ගියාමයි කෙල වෙන්නේ.

    දැන් සමාජවාදය කරන්න ගොඩක් අය උත්සාහ කළා නේ. ඒ හැම තැන ම උනේ මිනිස් ගති ගුණ දුර්වලතා මත එය ක්‍රමයෙන් වැඩවසම් වීම. රුසියාව, චීනය [මුල කාලේ], කියුබාව, උතුරු කොරියාව විඳපු/විඳින දුක ඔබ දැක ඇති. ඔයිටත් වඩා සුන්දර වූ සිහින ක්‍රම වේදයක් තමයි පොල්පොට් ගෙනාවේ. ඔහුගේ සුන්දර සිහිනය මහා පොළොවේ හිට ගත්තේ වියරු උමතුවක් හැටියට.

    අනික සමාජවාදය ඔය තරම් සාධාරණ හා ප්‍රගතිශීලි නැහැ. එහි ධනවතුන්ට කරන කෙනෙහිලි නො අඩුව තියෙනවා. එහි සමාජය [ආර්ථික] නෂ්ටකාමි කරනවා. මිනිසුන් කෝටා වල සිරකරුවන් කරනවා. පෝලිම ඇති වෙනවා. එය හැම තැනම ක්‍රියාකළේ පවුල වෙනුවට පක්ෂය ආදේශ වූ වැඩවසම් ක්‍රමයක් ලෙස.

    අනික කොයි රටකවත් එක ක්‍රමවේදයක් විතරක් යොදාගෙන නැහැ. හැම රටක ම අඩු වැඩියෙන ඔය සංකල්ප වල සම්මිශ්‍රණයක් යොදා ගන්නවා. හරි දෙය හරි තැනට දාපු එවුන් ගොඩ [ඔබ ඔවුන්ට කේන්ද්‍රය කියා කියනවා]. දා ගන්න බැරි වෙච්ච එවුන් වලේ [ඔබ පරිධිය කියා කියනවා]

    ලාභය නිසා යහපත් ලෙස පෙර ගමන් කරන ක්ෂේත්‍ර තියෙනවා. හැබැයි රේගියුලේට් කලොත් හරි ක්‍රමයට. ලාභය හැම මගුලටම දැම්මොත් චාටර්.

    මා ඕස්ට්‍රේලියානු උදාහරණය ගන්නම්. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන පුද්ගලිකයි. එහෙත් පරිසර නීති වල කනෙන් රිංගන්න ලංකාවේදී වගේ බැහැ. මිනිසුන්ට අවම වැටුපක් නිකම් දෙනවා. අධ්‍යාපනය ඒ රටේ අයට නිකම් - හම්බු කලොත් විතරක් එය ණයක්. මහපොළ වගේ එකකුත් දෙනවා. ප්‍රවාහනය හා සෞඛ්‍යය රාජ්‍ය සමාගම් මුලික ව කරන්නේ. මේ දේවල හරය ගත්තොත් එය ධනවාදයේ හා සමාජවාදයේ මිශ්‍රණයක්.

    [ඔස්ට්‍රේලියාව සියල්ල හරි රටක් නොවේ. හරිතාගාර වායු මුදාහැරීම අධික ලෙස කණිජ ද්‍රව්‍ය හැරීම අනුන්ගේ රටක් කොල්ල කෑම වැනි බලු වැඩ කළා/කරනවා - මා කිව්වේ හොඳ කොටස]

    චීනය වෙළඳපොල මත පදනමවූ නිෂ්පාදන ආර්ථිකයට සෙට් වෙන්නේ රට තුල සමාජවාදය මුලික වූ ක්‍රමයක් තියෙද්දී. නොර්වේ කියන රජෙක් ඉන්න ධනවාදී [පුරාණයේ නරුමයන් හිටි] රටේ තෙල් සම්පත ජනසතු කරලා තියෙන්නේ රටට අයිති අරමුදලක් ලෙස. මේක අයවැය පියවන්නත් ගන්න බැරි විදිහට බේරලා තියෙන්නේ මහින්දලා එහෙ බිහි නොවන්න.

    කෙටි කලොත්.

    - මගේ තර්කය ධනවාදය හොඳයි කියන එක නොවේ. එහෙත් එය වඩාත් ප්‍රායෝගිකයි.

    - ලාභය වැදගත් වන තැනුත් තියෙනවා. ලාභයට නරුම සිමා දැම්මොත් ඒ තැන් වල ප්‍රගමනය නවතිනවා

    - කේන්ද්‍රය හා පරිධිය වැටකින් වෙන්කර නැහැ. දෙපැත්තට ම ගමන කරන රටවල් තියෙනවා. හරියට කලොත් පරිධියෙන් කේන්ද්‍රය දිහාට යන්න පුළුවන්. මුලික ප්‍රශ්නය කේන්ද්‍රයේ බලපෑම නොවේ, පරිධියේ දුර්වලතා.

    - සමාජවාදය සාධාරණ නැහැ.

    - ධනවාදයේ ලොකුම බිල පරිසරයයි. ඔබ දෙදෙනා හරියට හරි. හැබැයි වැඩේ කෙල වෙනකොට දැන් ධනවාදය එයට විසඳුම් හොයා ගනිමින් ඉන්නේ.

    - හැබැයි සමාජවාදය පරිසරයට ඊටත් වඩා වීන කළා. කොටින්ම සමාජවාදයේ පරිසර හිත්කාමිත්වයක් ඇත්තෙම නැහැ.

    - ලෝකය ම සාධාරණ කරන ක්‍රමවේදයක් කවදාවත් හදන්න බැහැ. විෂමතාවය අඩු කිරීමයි වැදගත්. පහුගිය දශකයේ, විශේෂයෙන් චීනයේ නැගිටීමත් එක්ක විෂමතා අඩුවෙන දිහාවකට අප යොමු වෙමින් ඉන්නේ. අද ලෝක ආර්ථික පාලනය එක පැත්තක බුදලයක් නොවේ.

    - හොඳම දෙය මේ සියලු මතවල සම්මිශ්‍රණයක්. එය කළ යුත්තේ මොලෙන් මිස හදවතින් නොවේ.

    - මාක්ස්ටයි ලෙනින්ටයි මල් තියා වැඳීමෙන් ආගමික තෘප්තියක් මිස මේ වගේ වැඩ කරන්න බැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා