රජයේ බෙහෙත් ත්‍රිරෝද රථවල විකිණීම හා බහු ජාතික සමාගම්වලට රටේ ජන ජීවිත විකිණීම

(2011 ජනවාරි 29, W3Lanka) වකුගඩු රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික වන, එහෙත් රජයේ රෝහල්වලට රජය විසින් නොමිලේ නිකුත් කරනු ලබන, රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථයක් පසුගිය සතියේ පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍යවල වාර්තා විය. 


මෙසේ රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි පෞද්ගලිකව අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි. එසේම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ ප්‍රවාහනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ත්‍රිරෝද රථවල තිබේ යයි සැලකෙන්නේ නැත. 


මෙකී ත්‍රිරෝද රථයෙන් ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමු කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් සිද්ධිය පිළිබඳ පොලිසිය සිදු කරන පරීක්ෂණයට අමතරව අමාත්‍යාංශය මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමටත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී ඇති බව රජයේ මාධ්‍ය පවසයි.


රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවක් අද දිනමිණේ පළ වී තිබේ. මෙවැනි වැරැදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට අලුතින් පනත් කුමට ද යන්න අපට නම් නො තේරේ. 


මෙහෙම පනත් වෙන වෙන ම ‍ගෙන එන්න ගියොත්, රජයේ පාසල් පෙළ පොත්,  සතොසේ බිත්තර ආදිය පිට කඩවල විකුණනවාට එරෙහිව ද පනත් ගෙන එන්නට සිදු වනු ඇත. 


රජයේ ඖෂධ හොරෙන් විකිණීමේ ක්‍රියාවලට අනිවාර්යයෙන් ම රජයේ රෝහල් කාර්ය මණ්ඩලවල ඇතැම්හු සම්බන්ධ ය. සාමාන්‍යයෙන් ගත් කල මාරාන්තික වකුගඩු රෝගීහු වනාහි ලංකාවේ වැඩියෙන් ම සූරාකෑමට ලක් වන රෝගීහු පිරිසකි. ‍දේශපාලකයන්ගේ තමාෂා සඳහා කෝටි, ප්‍රකෝටි ගණනින් මුදල් වැය කරනු ලබන ලංකාවේ මේ මිනිසුන්ගේ රුධිරය පිරිසිදු කිරීම පිණිස ප්‍රමාණවත් යන්ත්‍ර රජයේ රෝහල්වල නැත. රුධිරය පිරිසිදු කර ගැනීමට බැරි වුණොත් මරණය නියත නිසා රෝගීන්ට පෞද්ගලික වෛද්‍ය සේවා වෙත යොමු වීමට සිදු වී තිබේ. ඇතැම් වෛද්‍යවරු මෙම රෝගීන්ට පොඩි පොඩි කාමර විකිණීමෙන් පවා මුදල් උපයති. 


පසුගිය දිනෙක මෙම ලේඛකයා ඖෂධයක් මිළ දී ගන්නට ඔසුහලකට ගිය මොහොතේ එහි හිමියා හා වෛද්‍ය වෙළඳ නියෝජිතයකු අතර කිසියම් ඖෂධයක් ගැන කළ කතාබහක් සවණ වැකිණි. එම ඖෂධයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය කී ඔසුසල් හිමියා එයින් 'නිකම්' එකක් ද තමන්ට ලැබෙන්නේදැයි ඇසීය. වෙළඳ නියෝජිතයා එකඟ වූ කල 'අන්ඔෆිෂියල්' නිකම් එකකුත් ලැබේදැයි ඔසුසල් හිමියා ඇසුවේ ඒ මොහොතේ සාප්පු සේවකයක් සමග කතාවක යෙදී සිටි ලේඛකයා දෙස යටැසින් බලමිනි. 


තමන්ට ලැබෙන වාසි වෙනුවෙන් ලංනාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මිනිස්සු තමන්ගේ ම රටේ සහෝදර ජනයා‍ගේ ජීවිත බහු ජාතික සමාගම්වලට උගස් කරති.  


ලංකාවේ සියලු මිනිස්සු බටහිර ඖෂධ ගැන ඖෂධවේදීන් මට්ටමෙන් දැන ගත යුතු නැත. එහෙත්, අඩු තරමේ මහජන මුදලින් මේ පිළිබඳ දැනුම ලබා ගත්, මහජන මුදලින් වැටුප් ලබන වෘත්තිකයන්ට හෝ මේ කෲර සූරාකෑමෙන් සහෝදර ජනයා බේරා ගැනීමේ දේශප්‍රේමයක්, මනුස්සකමක් තිබිය යුතු ය. 


මේ මනුස්සකම පෙන්වීම එතරම් අමාරු නැත. තමන් ළඟට ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ඖෂධ ගැන කියා දීමට, වෙළඳ නාම වෙනුවට ඖෂධ නාම ලිවීමට වෛද්‍යවරුන්ට, ඖෂධවේදීන්ට ආදීන්ට බැරි ඇයි?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඖෂධ නාමය ලිවුවත් ගාණ වැඩිම බේත දෙන ෆාමසි හිමියා ගැන ලියන්නේ නැත්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා