ජාතික ගීය ලියූ මිනිසාට ජාතික ගීය නිසා සිය දිවි නසා ගන්නට සැලැස්වූ ජාතියකට ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවත්වීම ප්‍රශ්නයක් ද හෙවත් කෝච්චි ගිල්ල යකාට සිල්පර කොටත් කජ්ජක් ද යන වග

(2011 ජනවාරි 14, W3Lanka ) ප්‍රශ්නය - ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නයක් තිබේද?


පිළිතුර :- කිසිම ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට ඒ ගැන ප්‍රශ්නයක් මතු වී නෑ. ප්‍රශ්නයක් මතු වුණොත් ඒ ගැන මැදිහත් වෙන්නම්.


මේ ඊයේ (ජනවාරි 13දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් සමග පවත්වන ලද සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්නයක් හා දෙන ලද පිළිතුරකි.


ඒ අනුව, ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නැවැත්වූවාට පසුව  ආණ්ඩුවට ජාතික ගීය ගැන ප්‍රශ්නයක් නැත. අඩු තරමේ ආණ්ඩුවට හෝ මේ ජාතික ගීය ගැන ප්‍රශ්නයක් නැති වීම බැලුවා ම හොඳ දෙයකි. අප දන්නා තරමින් ආණ්ඩුවේ හවුල්කාර සිංහල අන්තවාදී පක්ෂයක් වන ජාතික හෙළ උරුමයට පවා මෙම ජාතික ගීය ගැන ප්‍රශ්න ඇත. කලක් ඔවුන් ජාතික ගීය ලෙස ප්‍රවර්ධනය කළේ 'දකුණ, නැගෙනහිර, බටහිර, උතුර ද එකකොඩියේ සේවණේ - එක ම දැයක් වී එක බලයක් වී පෙරට ම යමු ලංකා' ගීයයි. 


දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවැත්වීම සමග දෙමළ ජනයාට අනිවාර්යයෙන් ම ජාතික ගීය සමග ප්‍රශ්න තිබිය හැකි ය. පසුගිය දෙසැම්බර් 27 දින යාපනයේ වලිකාමම් කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ 52 හැවිරිදි එම්. සිවලිංගම්ට හඳුනා නො ගත් සාහසික කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔහු දෙසැම්බර් 26දා අගමැති දි.මු. ජයරත්නගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති ජාතික සුනාමි සමරු උළෙලේදී දෙමළ බසින් ජාතික ගීය ගැයීම අත්හිටුවා දෙමළ ළමුන් ලවා සිංහලෙන් ජාතික ගීය ගැයවීම පිළිබඳ විරුද්ධ අදහස් ප්‍රකාශ කළ නිසා බවට මතයක් ඇත. 


ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් නිදි පෙති වැඩිපුර බී සිය දිවි නසා ගත්තේ  ඔහුගේ අවසරයකින් තොරව එහි පද වෙනස් කිරීම නිසා ඇකි වූ සිත් වේදකාවෙන් සිටියදී බව වාර්තා වේ. 


ආනන්ද සමරකෝන් ඉපිද ඊයේට හෙවත් 2011 ජනවාරි 13දාට අවුරුදු සියයකි. ඔහු විසින් ලියන ලද ගීයේ පද මාලාව 'නමෝ නමෝ මාතා' යනුවෙන් ආරම්භ වූ අතර එය 1961 පෙබරවාරි 01දා සිට ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කරනු ලැබුවේ සිරිමා බංඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසිනි. 


ජාතික ගීයේ ආරම්භයේ 'න-මෝ-න' ආදී වශයෙන් වූ ලුහු ගුරු මාත්‍රා අනුව ගණ පිහිටීම ජාතියට අපලකාරී යයි ලංකාවේ මිථ්‍යා දෘෂ්ඨික බමුණන් පැවසීම මෙම වෙනස් කිරීමට හේතු විය. 


එහෙත්, ලංකාවට හොඳ ම අපල සිදු වූයේ බුදු දහම රාජ්‍ය ආගම ලෙස සලකන ලංකාවේ රජය බුදුන් පිටු දුටු මිථ්‍යා දෘෂ්ඨියක් මත පදනම්ව ජාතික ගීය වෙනස් කළාට පසු ය. 


ආර්ථික අපහසුතා හේතුවෙන් ආනන්ද සමර‍කෝන් 'නමෝ නමෝ මාතා' ගීයේ නිර්මාණ හිමිකම එම ගීය අඩංගු පොත වූ 'ගීත කුමුදිනී' මුද්‍රණය කළ මුද්‍රණාල හිමිකරුවකුට මුද්‍රණ ගාස්තු වෙනුවෙන් හිලව්වට පවරා දී තිබිණි. ආනන්ද සමරකෝන්ගෙන් ගීයේ නිර්මාණ අයිතිය ලබා ගෙන තිබුණු එකී සිරිවර්ධන නම් මුද්‍රණකරුවාට රු. 2500ක් ගෙවා රජය එම ගීයේ බුද්ධිමය දේපල හිමිකම මිළ දී ගෙන තිබුණු හෙයින් ආනන්ද සමරකෝන්ට නීතියෙන් කිසිවක් කර ගත නො හැකි විය. 


අද කාලේ වගේ නම් ලංකාවේ ජාතික ගීය ලියනු ඇතැයි සිතිය හැකි දේශපාලන කලා පොරවල් අතේ මුදලක් මිට මොළවා මේ ප්‍රශ්නය පහසුවෙන් විසඳීමට ආණ්ඩුව සමත් වනු ඇත. එහෙත්, ආනන්ද සමරකෝන් යනු කලා මුදලාලි කෙනෙක් නො ව කලාකරුවෙකු වූ නිසා ඔහු එයින් සිත්තැවුලට පත් වූයේ ය. එම සිත් වේදනාව ඔහුගේ මරණයට හේතු වූ බව ඔහු පිළිබඳ දන්නා අය පවසති. 


පසුගියදා රජය විසින් අත්හිටුවන ලද ජාතික ගීයේ දෙමළ අනුවාදය සකසනු ලැබුවේ දෙමළ පඬිරුවනක් වන නල්ලතම්බි විසිනි. මෙම ගීයේ අන්තර්ගතය පිළිබඳ දෙමළ ජනතාව විරෝධයක් පළ කර නැත. 


ජාතික ගීයේ දෙමළ අනුවාදය ඉවත් කිරීම පිළිබඳ අප ලියූ අදහස් දැන ගැනීම සඳහා මෙම ලිපිය කියවන්න.


ජාතික ගීයේ ඉතිහාසය පිළිබඳ ‍ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලියන ලද විශිෂ්ඨ ලිපියක් මෙතැනින් කියවන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අමෙරිකාවෙ ජනගහනයෙන් 35% ක් මෙක්සිකානු හෝ ස්පාඥ්ඥ සම්භවයක් ඇති අය වුනාට කිසිම උත්සවයකදි ගිතික ගීය ස්පාඥ්ඤ හෝ මෙක්සිකානු භාෂාවෙන් ගයන්නේ නැහැ...
    අපේ රටේ තමයි මේ හැම මගුලක්ම... ඒ වගේම පිටරටින් සල්ලි ගන්න, දෙමළුන්ට ණයට කහින තමුසෙලා වගේ උන් ඉන්න කල් මේ ජාතිවාදී ගතිගුණ වෙනස් වෙන්නෙත් නෑ....
    මේ රටේ සමහර මිනිස්සු යුද්ධෙ තියෙනකල් ඒකෙන් හම්බකරගෙන කාලා, දැන් ජාතික ගීයක් අල්ලගෙන ඒකෙන් හම්බ කරගෙන කනවා...
    කොන්දක් තියෙනව නම් සමබරව හිතන්න පුළුවන්.. ඒත් තමුසෙලා දකින්නේ බාගෙට හිස් වීදුරුව මිසක්, ඒ වීදුරුවේ ඉතිරි බාගෙ බාරවන්නේ කොහොමද කියලා නෙවෙයි....

    ReplyDelete
  2. අපිට මොකටද ජාතික ගීයක් ? ජාතික ගී සංකල්පය බටහිරින් ආපු එකක් නොවැ

    ReplyDelete
  3. ඇරියානන්ද මහත්තයෝ

    පොඩ්ඩ බැරි වුන ගමන් බොග තදකරගෙන බනින්නෙත් ඇමෙරිකාවට. ඒත් ආදර්ශෙට ගන්නෙත් ඒ ජාතිවාදී ඇමෙරිකාවම තමයි.

    අනේ මන්ද පට්ට දේසප්‍රේමේ උතුරනවද කොහෙද?

    ReplyDelete
  4. ජාතික ගිය සිංහලෙන් විතරයි කියා නීතියක් සම්මත කළ බවට ඔබ ස්ථිරව ම කියන්නේ මොන පදනමකින් ද?

    රජය ප්‍රශ්නයක් නැහැ කිව්වේ එවැන්නක් නොකළ නිසා වන්නට බැරිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා