කොටි සංවිධානය මාක්ස්වාදී ද? Is LTTE Marxist?

(2010 ජුලි 05, අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka
@ editor
ධනවාදී ක්‍රමය ගෝලීය මට්ටමින් ම අභියෝගයට ලක් කළ දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් ලංකාවේ රජයට හිමි ගෞරවය ලබා දීමට බටහිර ඇත්තට ම නො කැමැති ද?
What do you mean by this? to my knowledge, LTTE readily accepted market economy. seems like you also started seeing the dream some leftist saw.
Apoorwa


අප විසින් පළ කරන ලද සුදු කොඩි කතාව නැවත කරළියට; ලංකාව වගවීමේ අවුලක නම් ලිපියට ලැබුණු ඉහත ප්‍රතිචාරය පිළිබඳ තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නට අදහස් කරමි.


2002දී සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එල්.ටී.ටීඊ. සංවිධානය විසින් කිලිනොච්චියේ පවත්වන ලද ප්‍රභාකරන් සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවකදී කොටි සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව අසන ලද පැනයකට කොටි න්‍යායාචාර්ය නැසී ගිය ඇන්ටන් බාලසිංහම් විසින් දෙන ලද කෙටි  පිළිතුර වූයේ විවෘත ආර්ථිකය යන්නයි.


කොටි සංවිධානයේ අරගලය සාධාරණීකරණය කරමින් සිටි වාම සංවිධාන මෙම ප්‍රකාශයෙන් අවුලට පත් වූ අතර, එය හුදු ක්ෂණික ප්‍රතිචාරයක් පමණක් ය යනුවෙන් පවසා ඇඟ බේරා ගැනීමට ඔවුන්ට සිදු විය.


වෙළඳපොළට මූලිකත්වය දෙන නව ලිබරල් ධනවාදයට එරෙහි වෙමින් සුබසාධනවාදී රාජ්‍ය ධනවාදයට ආවැඩීම හැර අන් සමාජවාදී විකල්ප ආර්ථිකයක් පිළිබඳ අදහසක් වාමාංශිකයන් බහුතරයකට නැත. විකල්ප ආර්ථිකයන් පිළීබඳ වත්මන් ලෝකයේ සිදු වන අත්හදා බැලීම් හා සංවාදය සමග මාක්ස්වාදීන්ට ඇත්තේ අල්ප සම්බන්ධයකි. 


ඇත්තෙන් ම, කොටි සංවිධානයට නිශ්චිත විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් තෝරා ගැනීමේ හැකියාවක් තිබුණ බවක් නො පෙනේ. ඔවුන් විසින් දීර්ඝ කාලයක් පාලනය කළ ප්‍රදේශවල පවත්වාගෙන යන ලද නිල නො වන ආණ්ඩුව විසින් ද එසේ නිශ්චිත ව හඳුනා ගත හැකි විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් අත්හදා බැලූ බවක් ද දක්නට නො ලැබේ.


සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ සමයේ කොටි සංවිධානය කළ ප්‍රධාන ආර්ථික හා ව්‍යවසායික කාර්යයන් වූයේ සිය යුද බලය පාවිච්චි කරමින් වෙළෙන්දන්ගෙන් බදු අය කිරීම හා අධික ලෙස ලාභ ලබන මගී ප්‍රවාහන ඒකාධිකාරයක් පවත්වාගෙන යාමයි. ඊට අමතරව කොටි සංවිධානය කළේ සිය ප්‍රාග්ධනය යොදවා වෙළඳසල්, ගොවිපොළ ආදිය ආරම්භ කිරීම පමණි. මේවා ශ්‍රී ලංකා රජයේ පාලන ස්වරූපයෙන් වෙනස් වූයේ ප්‍රමාණයේ කුඩාකම නිසා පමණි. 


කොටි සංවිධානය හොඳින් ම දන්නා ආර්ථික කාර්යය වන්නේ දෙමළ විදෙස්ගත ප්‍රජාවෙන් අරමුදල් එක් රැස් කිරීම හා යුද්ධෝපකරණ මිළ දී ගැනීමයි. ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය විසින් කරන ලද ප්‍රධාන ම කාර්යය එයයි.


එහෙත්, මේ සියල්ල අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානය දිගින් දිගට ම අනම්‍ය ලෙස පවත්නා සමාජ ක්‍රමයට එරෙහිව අරගලයක නියැලී සිටි බව අපගේ අදහසයි. මෙය ඔප්පු කිරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ කොටි සංවිධානය ප්‍රායෝගිකව දිනා ගත නො හැකි ඊලාම් සටන් පාඨය තුළ සම්මුති විරහිත ලෙස ගැලී සිටියේ අරගලය දිගට ම පවත්වා ගැනීමේ හුදු උවමනාව නිසා බව ය යන්නයි. දේශපාලන විසඳුමක් ඔස්සේ රාජ්‍ය බලය සමග සම්බන්ධව ගෝලීය ධනවාදය සමග යම් සම්මුතියකට එළඹෙනවාට වඩා දිගින් දිගට ම සටනේ යෙදෙමින් කල් ගැනීම ඔවුන්ගේ උපාය විය. රාජ්‍ය බලය සමග සම්බන්ධ වූ ලංකාවේ ජවිපෙ සහ ලෝකයේ වෙනත් වාම ව්‍යාපාර අතරමං වන අන්දම ඔවුන් හොඳින් නිරීක්ෂණය කළ බව පෙනේ. 


මේ කල් ගැනීම මාක්ස්වාදී අරුතකින් ධනවාදී ක්‍රමයේ අර්බුදය උත්සන්න වන තෙක් නොහොත් සමාජවාදී සමානතා පක්ෂය කියන අන්දමින් නම්, තුන්වන ලෝක යුද්ධයක් ඇති වන තෙක් විය හැකි ය. රාජ්‍යය සමග යම් සම්මුතියකට එළඹී සිටින නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මෙන් ම රාජ්‍ය බලය අතැතිව සිටින කියුබාව, උතුරු කොරියාව වැනි රටවල් ද කරමින් සිටින්නේ මේ කල් ගැනීම ම බව අපේ අදහසයි.


කොටි සංවිධානයේ දෘෂ්ඨිවාදීමය දිළිඳුකමේ හා දෙමළ ජාතිවාදී බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස කොටි සංවිධානය තෝරා ගත්තේ ආණ්ඩුව සමග සම්ප්‍රදායික ලෙස යුද වැදීමේ සූදු ස්වරූපී උපාය මාර්ගයකි.


නූතන යුගයේදී මාක්ස්වාදී ව්‍යාපාරවල දෘෂ්ඨිවාදීමය බංකොලොත්කම ප්‍රදර්ශනය කරන ප්‍රධාන ම ලක්ෂණය වන්නේ මාක්ස්වාදීන් ජාතිකවාදයේ එල්බ ගැනීමයි. මෙම තත්වය ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ සිට කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය දක්වා ම දක්නට ලැබේ. මෙම මාක්ස්වාදී පක්ෂ ඇත්තෙන් ම මාක්ස්වාදී ආභාසයක් ඇති ජාතික සමාජවාදී පක්ෂ  වේ.


වෙනස් සංදර්භයක ලා සැලකිය හැක්කේ චීනය පමණි. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂය විග්‍රහ කරන අන්දමට ඔවුන් මේ ගත කරමින් සිටින්නේ ධනවාදයේ සංවර්ධනීය අවධියකි. චීනය සංවර්ධනය වන්නේ ලංකාව වැනි දිළිඳු රටවල් සූරා කෑමෙනි. එය ද අවසාන වශයෙන් ගත් කල ජාතිකවාදය ම වේ.


කොටි සංවිධානය ගොඩනැඟුණේ ද ජවිපෙ මෙන් ම නිශ්චිත දේශපාලන දර්ශනයක පිහිටා නො සිටින, දෘෂ්ඨිවාදයක් මත පිහිටා කටයුතු කරනවාට වඩා ඒ, ඒ වෙලාවට පවතින තත්වයන් යටතේ කටයුතු කරන හෙවත් තත්කාර්යවාදී රැඩිකල් තරුණ කණ්ඩායමකිනි. එහෙත්, මුල්ලිවයික්කාල් දක්වා ම ප්‍රභාකරන් අසල සිටි ඇතැම් උපදේශකයෝ මාක්ස්වාදීහු වූහ. ඊරෝස් සංවිධානයේ හිටපු නායක වී. බාලකුමාර් උදාහරණයකි. කොටි සංවිධානයේ සංස්කෘතික අංශයේ ප්‍රධානියා වූ පුදුවෛ රත්තිනදුරෛ හිටපු මාඕවාදියෙකි. කොටි සංවිධානයට දැඩි මාක්ස්වාදී බලපෑමක් තිබුණු බව අප පවසන්නේ එහෙයිනි.


එසේ ම, ලෝකයේ බොහෝ වාම පක්ෂ හා කණ්ඩායම් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම සඳහා වූ අරගලයේ සාධාරණත්වය පිළි ගන්නා පදනමින් කොටි සංවිධානයේ සටන පිළි ගැනීම ද කොටි සංවිධානයට වමෙන් සිදු වූ බලපෑම් විය. 


මාක්ස්වාදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා බොහෝ පිරිස් වාමවාදී ජාතික සමාජවාදීන් වන නිසා ඇත්තෙන් ම ජාතික විමුක්ති අරගල හා සමාජවාදය සඳහා වන අරගල අතර බොහෝ සමානකම් තිබේ. 


ජනතාව සටන සඳහා බලමුළුගන්වා ගැනීම පිණිස තනිකර ම ජාතිකවාදය මත පිහිටා සිටි කොටි සංවිධානය දෘෂ්ඨිවාදීමය වශයෙන් තුලනය වුණේ ‍වාමවාදය හා දෙමළ ජාතිවාදය අතරයි. දෙමළ ජාතිවාදය පසුබැස්වීමේ අවශ්‍යතාවක් ඇත්තෙන් ම කොටි සංවිධානයේ වාම කොටස්වලට නො තිබිණි. 


‍පොදු ජනයා අතරින් වියෝ වෙමින් සිටි ප්‍රගතිශීලී වාම පක්ෂ හා කණ්ඩායම් ද පීඩිත ජාතීන්ගේ අරගල වෙත සමීප වූයේ ධනවාදයට එරෙහි අරගලය පීඩිත ජාතීන්ගේ අරගල ඔස්සේ ඉදිරියට ගෙන යාමේ අරමුණෙනි.


ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අධිපති ජාතිකවාදය වැළඳ ගැනීම අතිශය ප්‍රතිගාමී කාර්යයකි. එහෙත්, ප්‍රගතිශීලී වාම කොටස් පීඩිත ජාතිකවාදයේ සරණ යාම ද එතරම් ප්‍රගතිශීලී තත්වයක් නොවේ. 


වෙනස් වන ලෝක සංදර්භය තුළ අරගලය ද වෙනස් කරනවා වෙනුවට පීඩිත ජාතීන්ගේ අරගල තුළ ප්‍රගතිශීලී විභවයන් සොයන්නට යාමෙන් වම කර ගත්තේ හානියකි. 


මෙය ලෝකයේ අන් කවර හෝ තැනකට වඩා ලංකාවට ද, එයිනුත් දෙමළ වමට ද වඩාත් අදාළ වේ. 


දෙමළ සන්නද්ධ විමුක්ති අරගලය පරාජය වූයේ යුද්ධය අසමමිතික වීමට වඩා දෙමළ ජාතිවාදයේ සීමාකම්වල ප්‍රතිඵලයක් ලෙසයි. නූතන ලෝක සංදර්භය තුළ, ජාතිකවාදයට කිසිදු සාධනීය ප්‍රතිඵලයක් සමාජයට අත්පත් කර දීමේ හැකියාවක් නැති බව පීඩක සිංහල ජාතිවාදය කරපින්නා ගත් ජවිපෙ හා පීඩිත දෙමළ ජාතිවාදයේ සරණ ගිය කොටි සංවිධානය හා ප්‍රගතිශීලී වම  විසින් නැවත වරක් ඔප්පු කර තිබේ. 


සමාජවාදය සඳහා වූ අරගලය ජාතිකවාදයෙන් ගලවා ගැනීම අද දවසේ වම හමුවේ තිබෙන ප්‍රබල ම අභියෝගයකි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)