නෞකා, එන්නකෝ නෞකා, මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා (හම්බන්තොට ගීතය)

(2010 දෙසැම්බර් 27, W3Lanka) පහත සඳහන් ගීය සුනිල් ආරියරත්න විසින් ලියන ලද, වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන ලද 'ගංගා එන්නකෝ ගංගා' ගීතයේ තනුව අනුව මෙගා සබ් ස්ටාර් දයාසිරි ජයසේකර ගායක මන්ත්‍රී වෙනුවෙන් W3Lanka විසින් ලියන ලද්දකි.  


නෞකා
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


කෙරූ විවුර්තෙට බර වියදම් කොට
චීනුන් දුන් ණය බර ඔසවාගෙන
පොළී ගෙවද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
ඇයි එහෙම ඉතින් ඔබ
අහක බලන් යන්නේ


නෞකා 
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


ජීවන වියදම අහස උසට නැඟ
නැවකුදු රහිතව බකන් නිලාගෙන
පාළු කපද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදෙ ගියා ඔබ
ඇයි එහෙම ඉතින් ඔබ
අහක බලන් යන්නේ


නෞකා 
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


මෙම ගීතය රචනා කරන්නට හේතු වූයේ දයාසිරි ජයසේකර විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකි. උපුටා ගැනීම දිවයිනෙනි. 


හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ එම වරාය භාවිත කිරීමට සුදුසු බවට අවශ්‍ය සහතික කිරීම් තවමත් කර නොමැති නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.


ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 24 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.


ජනාධිපතිවරයා සිය නව ධුරය කාලය සඳහා දිවුරුම් දීමත් සමගම පසුගිය නොවැම්බර් 18 වැනිදා හම්බන්තොට වරාය විවෘත කෙරුණා. එසේ විවෘත කර අද වන විට මාසයකුත් දින ගණනක්‌ ගෙවී ගොස්‌ තිබෙනවා. ඒ වරාය විවෘත කරන දිනවල විමල් වීරවංශ ඇමැතිවරයා කීවේ දිනකට නැව් 400 ක්‌ හම්බන්තොට පසු කර ගමන් කරන බවයි. ඒ නැව්වලින් යටත් පිරිසෙයින් නැව් 2 - 3 ක්‌ වත් දිනකට මෙම වරාය වෙත ගෙන්වා ගැනීමේ හැකියාව අප සතු විය යුතුයි.


මේ වරායට මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයත් "සේරුවිල" නම් නමැති නැවයි. එදිනම එහි පැමිණි දෙවැනි නැව වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් "ප්‍රදීපා" නමැති අලියා බෝට්‌ටුවයි. ඉන් අනතුරුව මේ වන තෙක්‌ කිසිම නැවක්‌ මේ වරායට පැමිණ නැහැ. මේ වරාය කලින් "මාගම්පුර වරාය" නමින් හැඳින්වූවත් පසුව එය මහින්ද රාජපක්‍ෂ වරාය ලෙස නම් කොට තිබෙනවා. පසුගිය සතියේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක්‌ උපුටා දක්‌වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ චීනයේ සිට පොහොර රැගත් නෞකාවක්‌ මෙම වරාය වෙත පැමිණෙන බවයි. අප දන්නා පරිදි වියට්‌නාමයේ හයිපොං වරායේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ ඒ වන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණා. මේ අතර මෙරටට රැගෙන එන සියලු පොහොර තොග රැගත් නැව් හම්බන්තොට වරාය වෙත යොමු කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබුණා.


එහෙත් හම්බන්තොට වරාය තුළ පවතින ප්‍රශ්න ගණනාවක්‌ නිසා මෙරටට පොහොර රැගෙන එන නෞකා අයිති සමාගම් සහ එම වෙළෙඳ සමාගම් එකී පොහොර තොග හම්බන්තොට වරාය වෙත රැගෙන යැමට කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ.


කලින් සඳහන් කළ පොහොර නෞකාව ද හම්බන්තොට වරාය වෙත පැමිණියේ නැහැ. එම නැවට පටවා තිබූ පොහොර ටොන් 12000 සමග නැව හම්බන්තොට වරායට ඇතුළු කිරීමේ හැකියාවක්‌ නොමැති බව රජය දැන සිටි නිසා ඔවුන් තීරණය කළේ පොහොර තොගයෙන් 3/4 ක්‌ කොළඹ වරායට ගොඩබා ඉතිරි පොහොර ප්‍රමාණය පමණක්‌ රැගෙන නැව හම්බන්තොට වරාය වෙත යොමු කිරීමටයි. ඒ මගින් මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වා ජනතාව නොමඟ යෑවීමට ආණ්‌ඩුව සූදානමින් සිටියා. එහෙත් නැව හිමි සමාගම එම අඩු පොහොර ප්‍රමාණය සමග හෝ නැව හම්බන්තොට වරායට යොමු කිරීම ප්‍රතික්‍ෂේප කළා. ඒ අනුව 22 වැනිදා රාත්‍රිය වන විට ඉතිරි පොහොර ප්‍රමාණයත් කොළඹ වරායේ බණ්‌ඩාරනායක පර්යන්තයටම ගොඩබා නැව ආපසු යන්නට ගියා.


ඒ අනුව හම්බන්තොට වරායට එන බව කී තුන්වන නෞකාවත් එහි පැමිණියේ නැහැ. හම්බන්තොට වරායේ පළමු වැනි අදියර සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 361 ක මුදල ආණ්‌ඩුව චීනයෙන් ලබාගත්තේ 6.3% ක අධික පොලී අනුපාතයක්‌ යටතේයි.


ඊට හේතුවූ ප්‍රධාන හේතුව නම් භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ලෝකයේ සියලු වරායන් සඳහා නිකුත් කරන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මෙතෙක්‌ හම්බන්තොට වරාය වෙත නිකුත් නොකිරීමයි. ඒ සහතිකය සමග නිකුත් කරන විට අදාළ වරායේ සිතියම නැව් කපිතාන්වරයා සතුව තිබිය යුතුයි. "බ්‍රිටි්‍රෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. මෙම බ්‍රිතාන්‍ය සහතිකය හා සිතියම වෙනුවට හම්බන්තොට වරාය වෙනුවෙන් තවමත් සකස්‌ කර ඇත්තේ එහි පළමු අදියරේ ඉදිකිරීම්වලට අදාළ අසම්පූර්ණ සිතියමක්‌ පමණයි. "බ්‍රිටි්‍රෂ් ඇඩ්මිරල්ටි" ආයතනය සතු වෙබ්අඩවිය පරීක්‍ෂා කර බැලුවහොත් එහි ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය තවමත් දක්‌වා ඇත්තේ ඉදිවෙමින් පවතින වරායක්‌ ලෙසටයි.


ලබන ජනවාරි 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිත මීළඟ පොහොර නෞකාවත් හම්බන්තොට වරායට පැමිණීමේ අවකාශයක්‌ නැහැ. දවසට නැව් 400 ක්‌ මේ වරාය බල බලා ගියත් ඒ එකම නැවක්‌වත් පවතින තත්ත්වය යටතේ එහි ගෙන්වා ගැනීමේ හැකියාවක්‌ නැහැ.


නැව්වලට තෙල් සපයන වරායක්‌ ලෙස හම්බන්තොට වරාය පාවිච්චි කිරීමට ආණ්‌ඩුව බලාපොරොත්තු වුණත් එය ද සාර්ථක විය නොහැක්‌කේ සාමාන්‍යයෙන් මෙවැනි මුහුදු මාර්ගයක්‌ අතරමැදින් තෙල් පුරවා ගැනීමේ අදහසින් අදාළ ගමනාන්තය දක්‌වා නැව් පිටත්ව නොයන නිසයි. ඇත්ත තත්ත්වය වසන් කර ගිනි පොලියට ගත් විශාල මුදල් සම්භාරයක්‌ යටකර මෙම වරාය ඉදිකර අනතුරුව මහජන මුදල් කාබාසිනියා කරමින් නැටුම් සංදර්ශන පවත්වා මෙම වරාය විවෘත කළා. වරාය ඇතුළත පවතින විශාල ගල්පරය කඩා දැමිය යුතු බව අප දිගින් දිගටම පෙන්වා දුන් කරුණක්‌.


අදාළ බලපත්‍රය නොමැති තත්ත්වය යටතේ හම්බන්තොට වරාය වෙත නැව් එවීමට කිසිදු නැව් සමාගමක්‌ පෙළෙඹෙන්නේ නැහැ.


මේ හැර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350 ක්‌ ආයෝජනය කරමින් කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භකොට තිබෙනවා. මේ මුළු මුදලම යෙදවෙන්නේ එහි දියකඩනය ඉදිකොට යටිතල පහසුකම් සැපයීම සඳහා පමණයි.


එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව පර්යන්ත චීන සමාගමකට පවරා දීමට ආණ්‌ඩුව පියවර ගෙන ඇති නිසා එහි ආදායමත් මෙරටට අහිමි වනවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ විශාල ආදායමක්‌ මෙරටට අහිමි වෙමින් පවතිනවා. ඒ අනුව ආදායමින් සියයට 70 ක්‌ නැවතත් බැර වන්නේ පිටරට සමාගම්වල ගිණුම්වලටයි.


මේ ලිපිත් කියවන්න. 

Comments

  1. සින්දුවත් මරු. කතාවත් ඇත්ත. හා නැද්ද මං කියන්නෙ.

    ReplyDelete
  2. අපෝ උඹේ කුහක අඳෝනාව! තවම වරායේ වැඩ ඉවර නෑ නෙ බං? ආණ්ඩුව කියන්නෙත් තව මාස 6ක් වත් යයි කියලනෙ? උඹ ඉරිසියාවෙ පැලෙනවා මේවා දකිද්දී. උඹ වගේ පීචං සමාජවාදියෝ කවදද බං වරාය ගැන දැනගත්තේ?

    ReplyDelete
  3. උඹලට ඊරිසියාව තියෙන්නේ. අපේ මහ රජ තුමා මේ වරාය හදලා තියෙන්නේ එතුමාට ශිරන්ති මැතිනියගෙන් ලැබුන දෑවැදෙන් මිසක් මහජන මුදල් වලින් නෙවෙයි. ඒකනේ මෙකට එතුමාගේ නමත් දැම්මේ. එහෙව් එකේ නැව් ආවත් නාවත් උඹලට ඇති රුදාව මොකක්ද? රට්ටු කයි කතන්දර කියනවා මේක හැදිවේ චීන්නුන්ගෙන් ණයට ගත්ත සල්ලි වලින් කියලා. ඒක මේ දේශද්‍රෝහීන් හදපු කතාවක්. බොරු නම් අපේ වීර වංශ මැතිතුමාගෙන් අහලා බලන්න.
    (මගේ ඔලුව ඊයේ ගලක වැදුනා මම මේ බෙහෙත් ටිකක් ගන්න යන ගමන්)

    ReplyDelete
  4. @ 2nd Anonymous:
    වැඩ ඉවරත් නැත්නම් කෝටි 70ක් වියදම් කරලා මඩේ නටලා විවෘත කලේ මොන ලබ්බටද?

    ReplyDelete
  5. To Anonymouse
    If it is taken another 6 month for what they opned it ?

    sampath

    ReplyDelete
  6. අඩුම තරමේ උඹ දන්නවා උඹගෙ ඔලුව ගලක වැලුනා කියල. ඒත් අපේ සමහර එවුන් දන්නේ නැහැ, උන් පුංචි කාලේ උන්ගෙ ඔලු තොටිල්ලෙ වැදිල කියල.

    ReplyDelete
  7. @Anonymous

    So why the harbour was opened if it was not ready?

    ReplyDelete
  8. "වරාය ඇතුළත පවතින විශාල ගල්පරය කඩා දැමිය යුතු බව අප දිගින් දිගටම පෙන්වා දුන් කරුණක්‌."

    වරාය ඇතුලේ ඇතිගල්පරයක්නැහැ .තිබුනත්ඒක ඔබපෙන්වනකම් ඉංජ්නේරුවෝ බලාගෙන ඉඳියිද? .ගල්පර්වතය තියෙන්නේ ඇතුල්වෙන තැන. ඒක කඩමින් පවතිනවා අඩි 20ක් යටට වතුර තියෙද්දී කඩන එක ලේසි නැහැ. ටිකක් ඉවසල ඉන්න . හැම එකම දේශපාලන ඇසකින් බලන්න එපා.

    ReplyDelete
  9. @Anonymousගල්පර්වතය තියෙන්නේ ඇතුල්වෙන තැන. ඒක කඩමින් පවතිනවා අඩි 20ක් යටට වතුර තියෙද්දී කඩන එක ලේසි නැහැ::::
    Are U Mad . There wont be any rock. We Have opened the Harbor for All ships @ the cost of 700 million. U are going to be another "Desadrohiyek".( Anduwata kade yanna gihin passa pathha loku karaganna eppa)

    ReplyDelete
  10. වහලේ ගහන්නේ නැතුව ගේකට ගෙවැදුණා වගේ වැඩක් නොවැ කරලා තියෙන්නේ. ඒ කියන්නේ විවෘත කරන දවසේ නටලා තියෙන්නේ ජෝගීයක්.

    අපේ රටේ ජහමනයාට සල්ලිද නැත. සනීපද නැත. බාලිගිරි දෝෂය අද නොවේ හෙට. තව මාස හයකින්ලු. මම හිතන්නේ මාස නවයකින් බබා හම්බවෙයි.

    ReplyDelete
  11. ගල් කඩන්නේ නැතුව වතුර පුරවනවා, වැඩ ඉවර නැතුව මඩේ නටල විවෘත කරනවා. මේ ආණ්ඩුව නිකන් පුද්ගලික සමාගමක් වගේ වැඩ නැතත් මාකටින් නම් උපරිමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා