2015-08-07

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛතාවක් ද?

2004 මහ මැතිවරණය හා 2005 ජනාධිපතිවරණය දෙස ආපසු හැරී බලමු. 2000 මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ යන්තමින් ජය ගත්තේ ය. ඒ වන විට යුද්ධයෙන් රජය දැවැන්ත පරාජයන් කීපයකට ගොදුරු වී තිබුණු අතර ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගත්තේ ය. ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක් වී පරිවාස ආණ්ඩුවක් නම් විකාරයක් කර අවසානයේදී එය ද අසාර්ථක වී නැවත මැතිවරණයකට යන්නට සිදු විය. 2001දී පැවැත්වුණු මහ මැතිවරණයෙන් ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. 2002 පෙබරවාරි 20 දින අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානයත් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. සටන් විරාමය අතරතුර සකසුරුවමින් ආර්ථිකයනැවත යථා තත්වයටපත් කරන ලදී. ඇමරිකාව, යුරෝපා සංගම හා ජපානය ලංකාවට ආධාර කරන්නට සූදානම් විය. ඒ වෙනුවෙන් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් යෝජනා කරන ලදී. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම, බදු ව්‍යූහය විධිමත් කර ගැනීම, සුබසාධනය අත්‍යවශ්‍ය අංශවලට පමණක් සීමා කිරීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව නැංවීම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීම මෙම ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණයේ මූලික අරමුණු විය. එය ඒ වන විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය හා ආසියාවේදී ආසියානු සංවර්ධන බැංකුව හරහා දියත් වෙමින් තිබුණු ප්‍රාග්ධන ගෝලීයකරණ වැඩසටහන සමග අනුබද්ධ වැඩපිළිවෙලක් විය.

නවලිබරල්වාදය ලෙස නම් කෙරුණු මෙම වැඩසටහන මුළු ලෝකයේම දිළිඳු, පීඩිත හා කම්කරු පංතික ව්‍යාපාරවල විරෝධයට තුඩු දුන්නේ ය. ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල ආණ්ඩුවලට ද මෙම විරෝධය නො තකා හරින්නට බැරි තරම් විරෝධය දැවැන්ත විය. ලංකාවේ මෙම විරෝධයට නායකත්වය දුන්නේ රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසිනි. පසුව ජවිපෙ හා වෙනත් ජාතිවාදී බලවේග ද ඒ සමග එක් වූ අතර මහින්ද රාජපක්ෂ සිය නැගීම සංකේතවත් කරමින් විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි උද්ඝෝෂණයකදී පීප්පයක් උඩට නැග්ගේ ය.

නව ලිබරල්වාදයට එරෙහි උද්ඝෝෂණ ඉතා ඉක්මණින් ම ජාතිවාදය සමග පැටලුණු අතර අවසානයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර බලතුලනය වෙනස් වෙමින් 2003 නොවැම්බරයේදී ඇමති තනතුරු තුනක් ජනාධිපති යටතට පවරා ගනිමින් ඇරඹුණු ශ්‍රීලනිප-ජවිපෙ ප්‍රතිප්‍රහාරය 2004 අප්‍රේල් මාසයේදී ජවිපෙ ආසන 40ක් ජය ගනිමින් මහ මැතිවරණය ජය ගැනීම හා 2005 නොවැම්බරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගැනීම දක්වා දිග්ගැසුණේ ය.

2005 නොවැම්බර් වන විට, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙමින් රට විනාශකාරී යුද්ධයක් වෙත තල්ලු වෙමින් පැවතිණි. සාම කියාවලිය තුළ යුදමය වශයෙන් ද, කරුණාගේ බිඳී යාම නිසා සංවිධානමය වශයෙන් ද දුබල වී සිටි කොටි සංවිධානය ද නැවත වටයකින් ශක්තිමත් වී සාකච්ඡාවලට පැමිණීමේ උවමනාවකින් යුද්ධයට කැමැත්තක් දැක්වූයේ ය. ඔවුන් විසින් ද බරපතල ලෙස සටන් විරාමය උල්ලංඝනය කරන ලදී.

2005 නොවැම්බරයේදී රනිල් පැරදුණේ කොටි සංවිධානය විසින් දෙමළ ජනතාව ඡන්ද වර්ජනයක් වෙත යොමු කරන ලද නිසා ය. රනිල්ගේ සාම ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර සම්බන්ධතා හා ලිබරල්වාදී පිළිවෙත් සියල්ල රටේ ජනතාව අනුමත නො කළ ද, මහින්ද, ජවිපෙ හා හෙළ උරුමය විසින් ප්‍රවර්ධනය කරමින් තිබුණු ජාතිවාදයට සැලකිය යුතු විරෝධයක් සමාජයේ තිබිණි. එවකට මේ රටේ වඩා ප්‍රගතිශීලී බලවේගය වූ සිවිල් සමාජය තුළ රනිල්ගේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තදබල විරෝධයක් තිබුණ ද, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ උවමනාව හා බලය බෙදාගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ උත්සාහයට සහයෝගයක් තිබිණි. එදා සිවිල් සමාජය මුහුණ දුන් උභතෝකෝටිකය හමුවේ අවසානයේදී නව ලිබරල්වාදයට එරෙහිව ජාතිවාදයට යටත් වීම සංකේතවත් කරමින් නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටිය හ. ජාතිවාදයට යටත් වන්නට අකැමැති වූ සෙසු බලවේග නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට පැවති විරෝධය නිසා රනිල්ට සහයෝගය දෙන්නේත් නැතිව නිෂ්ක්‍රීය වූ හ. එහෙත්, ඒ අතරින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ රනිල් ජයග්‍රහණය කරනු ඇති බවයි. එය වැළැක්වූයේ කොටි සංවිධානයයි.

දස වසරකට පසු නැවත 2015 මහ මැතිවරණයේදී රනිල් හා මහින්ද සමාන ප්‍රතිවාදීන් දෙදෙනෙකු ලෙස සම්මුඛ වී සිටිති. කාලය විසින් මේ දෙදෙනා ම වෙනස් කර තිබේ. යුද්ධය සිංහලයන්ගේ ජයග්‍රහණය දෙසට යොමු කළ නායකයා ලෙස මහින්දට තිබුණු ප්‍රතිරූපයේ සායම ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනාවල සැර නිසා මැකී ගොසිනි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සාමයේ ප්‍රතිලාභ ජනතවට අහිමි වී අනාගතය අවිනිශ්චිත තත්වයකට තල්ලු වී තිබේ. ඵලදායී නොවන, නාස්තිකාර, සෝබනවාදී සංවර්ධන සංදර්ශනයක් හැර අන් යමක් ඔහුගෙන් බලාපොරොත්තු විය නො හැකි බව ජනතාව දනිති. එහෙත්, සිංහල ජාතිවාදී, බෞද්ධ ආගම්වාදී, පුරුෂෝත්තමවාදී, ස්වෝත්තමවාදී දේශපාලනයේ නායකයා ලෙස මහින්දට තවමත් වෙළඳපොළක් තිබේ.

මේ අතර 2015දී අපට රනිල් හමු වන්නේ 2005ට වඩා වෙනස් සංදර්භයකයි. ලංකාව ඇත්තෙන් ම ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා ඉහළ වෝල්ටීයතාවකින් යුතු චීන පේනුවට සවි කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ ෆියුස් යන්නට ඔන්න මෙන්න ය. ලෝක පරිමාණයෙන් ම, දිළිඳු රටවල විරෝධය හමුවේ නව ලිබරල්වාදී වැඩසටහන පසුබැස තිබේ. විශේෂයෙන් ම ලෝක වෙළඳ සංවිධානය විසින් ඉදිරියට ගෙන එන ලද ප්‍රාග්ධන ගෝලීයකරණයේ ආක්‍රමණශීලී වැඩසටහන හකුළා ගන්නට සිදු වී තිබේ. සංවර්ධිත රටවල අන්තර් රාජ්‍ය සංවිධානවලට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල මූලිකත්වයෙන් සංවිධාන බිහි වී තිබේ. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බලෙන් යෝජිත ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ප්‍රත්ක්ෂේප කර තිබේ.

මහින්ද විසින් රජය ප්‍රබල ව්‍යාපාරික සමාගමක් බවට පත් කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවය, ෂෙල් සමාගම වැනි සමාගම් රජයට පවරා ගන්නා ලදී. මිහින් ලංකා, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය වැනි අධික ලෙස පාඩු ලබන ව්‍යවසාය ආරම්භ කරන ලදී. රාජ්‍ය අංශය පුළුල් කරන ලදී. එහෙත් එහි ඵලදායිතාව ඉතා පහත් මට්ටමක ය. ජවිපෙ වැනි ජාතිකවාදී රාජ්‍ය මූලික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජවාදය යයි පටලවාගෙන සිටින පක්ෂයකට කළ හැකි විප්ලවය මහින්ද විසින් මේ වන විටත් කර තිබේ. ජවිපෙ දූෂණ විරෝධය සිය ප්‍රමුඛ සටන් පාඨය බවට පත් කරගෙන සිටින්නේ මේ ක්‍රමය අසාර්ථක වී තිබෙන්නේ හුදෙක් ම දූෂණය නිසා පමණක් බව අනියමින් පවසමිනි.

රාජපක්ෂ පවුල හා අන්තේවාසිකයන් විසින් කරන ලද දූෂණය හා නාස්තියට තිත තැබීමෙන් දින සීයක් හමාරක් ඇදගෙන යා හැකිමුත්, මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික සංවර්ධන වේගය පවත්වාගෙන යා නො හැකි ය. මහින්දලා ගිනි පොළියට ගෙන නාස්ති කළ ණය ආපසු ගෙවිය යුතු ය. රාජ්‍ය වියදම් අඩු කළ යුතු ය. ආනයන අඩු කළ යුතු ය. අපනයන ඉහළ නැංවිය යුතු ය. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන දිරි ගැන්විය යුතු ය. ජනතාවගේ පැත්තෙන් ද යම් ලුහුපෙවතක් අවශ්‍ය ය. ඇත්ත තත්වය එයයි.

රටේ අභ්‍යන්තර සාමය ස්ථාපිත කළ යුතු ය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම එහිදී අත්‍යවශ්‍ය සාධකයකි. ජාතිවාදය පරාජය කළ යුතු ය. පුළුල් ජාතිකභාවයක් ප්‍රවර්ධනය කළ යුතු ය. ලෝකය සමග යහපත් සම්බන්ධතා වර්ධනය කර ගත යුතු ය.

වාමාංශික, දක්ෂිණාංශික සැමගෙන් මේ මොහොතේ ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය ඉතා සරළ ය. තව දුරටත් මහින්ද සමග වැනසෙනවා ද? මහින්ද සමග නො වැනසෙන්නට නම් අපි ශක්තිමත් රජයක් ගොඩනැගිය යුතු නේ ද? මේ මොහොතේ එය කළ හැක්කේ කා සමග ද? එසේම, ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අපේ ප්‍රමුඛතාවක් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.