2015-03-04

මං ඉන්න එක ඔබට ප්‍රශ්නයක් ද?

මෑතක සිට කමෙන්ට් මගින් අපට ප්‍රහාර එල්ල කරන පිරිස් විසින් චෝදනා ස්වරූපයෙන් මතු කරන කාරණා කීපයක් තිබේ. 

මේ පසුගිය දිනෙක එක් වාමාංශිකයෙකු විසින් යොදා ගන්නා ලද වචන කට්ටලයකි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන උදේ හවා ''පන්ඩිතමානී'' මත පළ කරන............

මේ උදේ හවා කතාව මීට පෙර ජාතිවාදීන් විසි්න් ද යොදාගෙන තිබිණි.

මේ අතර තවෙකෙක් කියන්නේ මෙසේ ය. 

/හැබැයි, මම නම් බය නැතිව කියනවා, රෝගීන් සූරා කන මේ ඖෂධ ජාව‍ාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාවයි./

එකඟයි. නමුත් මේ මාෆියාවට විරුද්ධ වෙන මිනිස්සුන්ට වෙන්නේ සේනක බිබිලේ මහත්තයාට වෙච්ච් දේම තමයි. පැරා බය නැතුව කියනවා කියල ලොකු ටෝක් දුන්නට ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නෑනේ.දොස්තර කෙනෙක් ඕකට විරුද්ධ වුනොත් බඩුම තමයි. මතකද රන්වැල්ල කියල දොස්තර මහත්තයෙක් බොල්ගොඩදී ගිලිලා මැරුණා. පැරා, ඔයාලා වික්‍රමබාහුලා වගේ අය අභීතව සටන් කරනවා, නිර්භීතව අදහස් දකවනවා වගේ හිතාගෙන හීනියට ස්වයං ආතල් එකක් ගත්තට කමක් නෑ. මුරුංගා ගස්වල නගින්න එපා. ඇත්තටම කවුරුවත් ඕගොල්ලන්ව පඩේකට ගණන් ගන්නේ නෑ. නැතුව ඉස්සර මහින්දවත් දැන් රනිල්වත් ඕගොල්ලන්ට බයේ ඉන්නේ නෑ.


ලංකාවේ ජීවත් වන පුරවැසියකු වන මා බ්ලොග්, ෆේස්බුක් හා ට්විටර් ඇසුරු කරගෙන කරන මේ පුරවැසි මාධ්‍යකරණය හෙළා දකින්නට තවත් මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඇයි?

මහින්ද රාජපක්ෂ බලයේ සිටින කාලයේ ඇතැමෙක් අප ඔහුගේ රජයේ වෛරයට භාජනය කරන්නට උත්සාහ කළේ අප එන්ජීඕ බව කියමිනුයි. 

මා උදේ හවස පමණක් නොව දවස පුරා ම වුව මගේ කාලය වැය කරන එක මගේ වැඩකි. ජනතාව දේශපාලනිකව සක්‍රිය වන එක ගැන ජාතිවාදීනුත්, වාමාංශිකයනුත් එක පෙළට සිටිමින් විරෝධය පළ කරන්නේ ඇයි? 

එසේම, පාලකයන්වත් නො කියන අන්දමින් 'ලොකු ටෝක් දුන්නට ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නෑනේ' කියන්නත් අපගේ අදහස් දැක්වීම් ස්වයං ආතල් ලෙස හඳුන්වන්නටත් තවත් පුරවැසියන් පෙළඹෙන්නේ ඇයි? 

අන්තර්ජාලය පරිහරණය කළාට, සමාජ මාධ්‍ය භාවිතා කළාට, මෙවැනි අය තවමත් පුරවැසි මාධ්‍යකරණය දරා ගන්නට හැඩගැසී නැති බව නේ ද මේ පෙන්නන්නේ?

අපි සමාජ මාධ්‍ය භාවිතා කරමින් කරන්නේ දේශපාලන අරගලයක්. අපි එය සමාජ මාධ්‍යවලට පමණක් සීමා කර නැහැ. අපි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලත් ලියනවා. බොහෝ සමාජ ප්‍රශ්න ගැන අපි හඬ අවදි කර තිබෙනවා. දැන් වසර හයකට අධික කාලයක් තිස්සේ අපි මෙය කරනවා. 

එය වෙහෙසකර කාර්යයක්. සමාජ විශ්ලේෂණ කියවන්න පාඨකයන් ආකර්ශනය කර ගැනීම අතිශය දුෂ්කරයි. අතේ රෝලක් හෝ කොහෙන් හරි කොපි පේස්ට් කරපු ලියවිල්ලක් ගොසිප් එකක් විධියට ප්‍රචාරය කරනවාට වඩා මෙය දුෂ්කරයි. 

මං කලිනුත් කියලා තිබෙන කාරණයක් තමයි, මම ඔබ බස්සා ගන්නට සාක්කු මසා නැතිවා වගේ ම, මම කාගේ සාක්කුවකවත් ඇත්තේත් නැහැ. මට ඉදිරියෙන් නායකයෙකු හෝ මට පසුපසින් අනුගාමිකයෝ හෝ නැහැ. ඉන්නේ සහෝදර ජනතාවක් පමණයි. 

ඒ නිසා දිරි ගන්වන්නට, ආරක්ෂා කරන්නට සිටින පිරිසට වඩා අප නැති භංග කරන්නට කැමති පිරිස වැඩියි. පසුගිය කාලය පුරාවට ම අපගේ ලිවීම අධෛර්ය කරන්නට දරන ලද උත්සාහය මැද්දේ තමයි, අදත් උදේ පාන්දර මේ ලිපිය ලියන්නේ. 

සමාජවාදී ජීවිතයක් වෙනුවෙන් පොරබැදීමක් ගැන මං කියනවානේ. මේ මගේ ජීවිතයේ ඒ කොටසයි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.