2015-03-30

රුපියල් දහයෙ ආප්ප; රුපියල් දහයෙ ප්ලේන්ටි

ආණ්ඩුව ජනතාවට සහන සැලසීමේ අරමුණින් යම් ක්‍රියාමාර්ග ගත්තේ ය. තෙල් හා ගෑස් මිළ අඩු කරන ලදී. ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ද අඩු කරන්නට පියවර ගන්නා ලදී. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලද අතර, පෞද්ගලික අංශයේ සේවක වැටුප් ද වැඩි කරන ලෙස ඉල්ලා සිටින ලදී.

අඩු කරන ලද බඩු මිළෙහි සහනයන් ජනතාව වෙත ගලා නො යාම පිළිබද ගැටලුවක් දක්නට ලැබිණි. කඩවල බත් පිඟානේ, පාන් ගෙඩියේ, ප්ලේන්ටියේ, ත්‍රිරෝද රථ ගාස්තුවේ අඩු වීමක් දක්නට නො ලැබිණි. ජනතාව මැසිවිලි නගන්නට වූ හ.

ආණ්ඩුව යම් අණ කිරීම් කළේ ය. ප්ලේන්ටිය, ආප්පය රුපියල් දහයට දිය යුතු යයි අණ කිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි. එහෙත් මේ වන විට ඒවා විහිළු බවට පත් වී තිබේ.

කඩවල දැන් පාලන මිළට තේ කෝප්ප භාගය විකිණේ. ඇතැම් කඩ හිමියෝ ආප්ප හැදීම නවත්වා ඇත.

සුළු වෙළෙන්දන්ගේ පැත්තෙන් ද කියන කතාවක් තිබේ. කවුරුත් බලන්නේ ලාභ උපරිම කරගන්නට ය. ආප්පයේ, තේ කෝප්පයේ මිළට බලපාන තවත් සාධක රැසක් තිබේ.

ජැකලින්ගේ කෑම සූත්‍ර කඩයේ ආප්පයක මිළ ද රුපියල් දහය කරන්නැයි ආණ්ඩුව කියන්නේ නැත. එහෙම කරන්නට බැරි හේතුව එතන විකුණන ආප්පය යනු පිටි, තෙල්, ආප්ප සෝඩා, ලුණු හා ගෑස් පමණක් නො වන නිසා ය. හන්දියේ කඩේ වුණත් තත්වය එසේම ය.

මෙවැනි ඊනියා මිළ පාලනයන් කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න ආණ්ඩුව දැන්වත් කල්පනා කර බැලිය යුතු ය.

රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ මිළ පාලනය නොව සමස්තයක් ලෙස වෙළඳපොළ නියාමනය කිරීම හා ජනතාවගේ මිළ දී ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීමයි.

එහෙත් වත්මන් ආණ්ඩුව වැඩ කරන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ක්‍රමවේදයටයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.