2015-01-09

ඒකාධිපතියාට නැවත එන්නට ඉඩ නො තබමු

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ නිදහස් චතුරස්‍රයේ පැවති චාම් උත්සවයකදී ය. ඔහු දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨ ම විනිසුරු කේ. ශ්‍රීපවන් ඉදිරිපිට ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක නීති විරෝධී ලෙස ඉවත් කර පත් කරන ලද මොහාන් පීරිස් ඉදිරිපිට නො වේ. 

දිවුරුම් දීමෙන් පසු ඔහු පවත්වන ලද කතාව හරවත් ය. නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන බවත්, නැවත ජනාධිපතිවරයා වීමට අභිලාෂයක් නැති බවත් හේ පැවසී ය. නැවත ජනාධිපති වන්නට අභිලාෂයක් නැති නිසා පපුවට ගසා ගනිමින් වහසි බස් දොඩන්නට හෝ, ළමයින් වඩා ගන්නට හෝ, ගැහැනුන් ලවා අත ගාවාගන්නට හෝ වෙනත් බාල ජනප්‍රිය වැඩ කරන්නට හෝ ඕනෑ නැත. තමන්ගේ රාජපකාරිය හරියට කළාම ඇති ය. එය ම අලුත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණයකි. 

එදිරිවාදීන්ට වෛර නො කිරීම වැදගත් ය. එහෙත් වරදකරුවන්ට දඬුවම් කළ යුතු ය. රෑ පුරා බලය රැක ගැනීමට විවිධ දහං ගැට ගසන්නට උත්සාහ කර, බැරි තැන පිට වී ගිය ආඥාදායක රාජපක්ෂ හා ඔහුගේ පවුල ජාතිවාදී අස්සයා පිට නැගී නැවත සටනට එන එක වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ය. ඔවුන් කොල්ල කෑ මහජන දේපල ආපසු පවරා ගත යුතු ය. මුදා හළ ජාතිවාදී, ආගම්වාදී, පුරුෂෝත්තම වෛරයන්ට දඬුවම් ලැබිය යුතු ය. 

මහින්ද නගින්නේ අස්සයකු පිට නො වේ. ඔලු දෙකේ බූරුවකු පිටයි. එක පැත්තකට ඇති ඔලුව බොදු බල සේනා සිංහල ජාතිවාදයයි. අනෙක් පැත්ත කේ.පී., කරුණා, ඉතිරි වූ කොටි හා ඩයස්පෝරා ජාතිවාදීන්ගේ දෙමළ ජාතිවාදයයි.


අගමැති රනිල් වික්‍රමසිංහ 2004දී ද සිය ආණ්ඩුවට කෙළවා ගත්තේ ම්ලේච්ඡයන් සමග මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පවත්වන්නට ‍ගොසිනි. මෙවර ද ඔහු කරමින් සිටින්නේ එවැනි ම දෙයකි. එය ඔහුගේ කැමැත්ත නම් අපට කරන්නට දෙයක් නැත. 

එහෙත් අපි ඒකාධිපති පාලනය පැරදවූයේ ආඥාදායකයන්ට ආපසු එන්නට දෙන්නට නො වේ. ඒ නිසා, අපි සටන අත හරින්නේ නැත. 

අපේ ජනතාව ඇත්තෙන් ම විස්මිත ය. ලාංකීය ජාතියක් ලෙස අපි ඒකාධිපතිවාදයට තීරණාත්මක පිළිතුරක් දුන්නෙමු. එහෙත්, ඒ දේශපාලනිකභාවය පවත්වාගෙන යා යුතු ය. 

මහින්ද රාජපක්ෂගේ පළා යාම සදාචාරාත්ම අතින් ඉහළ ක්‍රියාවකැයි ඇතැම්හු සිතති. නැත. අපි ඒකාධිපතියා පැන්නුවෙමු. 

ඔහුට ආපසු එන්නට ඉඩ නො දෙන වගකීම ද ගන්නෙමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.