No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක්


No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක් දල්වන්න ජූලි 23 වන දා සවස 3 ට විහාර මහා දේවී එලිමහන් රංග පීඨයට එන්න!

නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින් ලෙස, එක් ජාතියක සිය සහෝදර ජනතාවට එරෙහිව මනුෂ්‍යත්වයේ සාධකය මඟ හැර වෛරයේ අඩයාලම සළකුණු කළ ස්ථානය ලෙස 1983 ජුලි 23 වැනි දිනය ඉතිහාසයට එක්වෙයි. මිනිස් ජීවිත, දේපළ මතු නොව විශ්වාසය ද සහෝදරත්වය ද මිනිස් බැඳීම් ද ශූන්‍ය කළ ඒ අඳුරු දින කිහිපය රටක් ලෙස අප රැගෙන ගියේ තිස් වසරක සිවිල් යුද්ධයකට ය. එය හුදු යුද්ධයක් ලෙස පමණක් නිර්වචනය කළ නොහැකි වන්නේ ඒ තුළ ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ද , සුවහසක් සිහින සහ බලාපොරොත්තු ද ඉපදුණ පොළවෙහි ජීවත් වීමේ අයිතිය ද නිර්දය ලෙස පැහැර ගැණුනු නිසාවෙනි.

ජාතිවාදය විසින් නිරන්තරයෙන් පෝෂණය කරනු ලබන සමාජ දේශපාලනික යාන්ත්‍රණයක ගොදුරු බවට පත්ව ඇති ලංකේය පුරවැසියාට එම යාන්ත්‍රණය විසින් සියලු ජනමාධ්‍යයන් සහ ක්‍රමවේදයන් හරහා යෝජනා කරමින් සිටින්නේ වර්ගවාදය පදනම් කර ගනිමින් අනෙකා අපායට පිරිහෙළිය යුතු බවයි. එබඳු අන්තවාදී සංස්කෘතිකයක සක්‍රීය කොටස් කරුවන්ව සිටින සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් පසුගිය ජුනි මාසයේ දී අලුත්ගම සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මෙන්ම පාලකයින් සහ ජනතාව උතුර මඟ හැර යාමෙන්ද පැහැදිළි වන්නේ අපට ඉතිහාසය සහ එයින් ලද තුවාල අමතක කොට දැමීම ඉතා පහසු කාරණයක් බවයි. වර්ගවාදය ආඩම්බරයට කරුණක් මෙන්ම එය ආභරණයක් මෙන් පැළඳ ගත හැකි තත්ත්වයක් දක්වා ඉස්මතුවීම තුළ, මේ දූපත තුළ මානව ප්‍රගමණය යනු අවරෝහණීය ක්‍රියාවලියක් බවට රූපාන්තරණය වීමේ ඛේදය අපි සජීවීව අත් දකිමින් සිටිමු.

කෘතිමව නිෂ්පාදිත ප්‍රචණ්ඩත්වයක ගොදුරු බවට තනි පුද්ගලයින් ලෙස හෝ සමාජයක් ලෙස පත් නොවීමේ වගකීම අපට සම්මුඛව ඇති මේ මොහොතේ තව දුරටත් ‘කලු ජූලින්’ එළඹීම වැළැක්වීමේ වගකීමපුරවැසියන් සතුය. 1983 ජුලි මස අන්තිම සතියේ දී අපට මඟ හැරී ගිය අනෙකා හෙවත් මනුෂ්‍යයා ගේ දෑස තුළින් අප නොදුටු මිනිස්කමේ සත්‍යයන් සොයා ගැනීමට දරණ වෑයම ‘No More July ‘යනුවෙන් නම් කොට තිබේ.

‘No More July’ සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ 1983 ඒ අඳුරු ජුලි මාසයේදී දැවී ගිය හදවත්වල මෙන්ම බලාපොරොත්තුවලද වර්ණය වටහා ගැනීමයි. එයින් ගොඩ නැගෙන කතිකාවන් හරහා වර්ගවාදය ඉක්මවා ගිය, මිනිසුන් සහ දේපළ අවුලනු වෙනුවට ආදරයෙන් ඇවිලෙන මිනිස් අවකාශයක් නිර්මාණය කිරීමයි.

No More July වැඩ සටහන 201 ජුලි මස 23 වැනි දින සවස 3 සිට රාත්‍රී 9 දක්වා විහාරමහා දේවී එළිමහන් රංග පීඪයේ දී පැවැත්වෙන අතර ඡායාරූප, චිත්‍ර, ස්ථාපන කලා ප්‍රදර්ශන, සංගීතය සහ නිර්මාණාත්මක කලා අංගවලින් එම වැඩසටහන සමන්විත වනු ඇත. 1983 කලු ජූලියට අදාළ ඡායාරූප මෙන්ම උතුරු සහ දකුණු ජන ජීවිතය ඇසුරු කරගනිමින් විරාජ් ලියනාරච්චි හා කල්ප රාජපක්ෂ ඇතුලු ඡායාරූප ශිල්පීන් විසින් ගනු ලැබූ ඡායාරූප ද , ඡායාරූප ශිල්පිණී ශානි ජයවර්ධන සහ සමාජීය මානව විද්‍යාඥ ආචාර්ය මාලතී ද අල්විස් විසින් කන්නකී-පත්තිනි ඇදහිල්ල මූලික කොටගෙන ගනු ලැබූ ඡායාරූපද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීමට නියමිතය. පාල පොතුපිටියගේ, “බොරු කකුල් සහ බොරු කකුල්” හා නුවන් සනුරංඛගේ “ජාතිය වෙනුවෙන්” යන ස්ථාපන කලා ප්‍රදර්ශන ද ජනනි කුරේ විසින් ‘රතු අත්‘ යන නමින් සහ බන්දු මනම්පේරි විසින් ‘රතිඤ්ඤා ඇඳුම‘ යන මැයෙන් නම් කොට ඇති නිරූපණාත්මක කලාංග දෙකක් ද සවස 4.30 ට සහ සවස 5.30 ට ද ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.

වැඩ සටහනේ තේමාවට අදාළ සංගීත වැඩසටහන ප.ව. 6 සිට රාත්‍රී 9 දක්වා අජිත් කුමාරසිරි, ජයතිලක බණ්ඩාර, සිලනි තුමාරා, කුමාරි කුමාරගමගේ, ඉන්ද්‍රචාප ලියනගේ , Paranoid Earthling, MixmasterBlong සමග අමිල සඳරුවන්, ඉමාඩ් මජීඩ්, Skitzo සහ RZ ඕමාර් ඇතුළු සංගීත කණ්ඩායම් දහයක සහභාගිත්වයෙන් සිදු කෙරෙනු ඇත.

මීට අමතරව මේ සමස්ත සංස්කෘතික මැදිහත් වීමේ නිර්මාණාත්මක හා සංවිධානාත්මක දායකත්වය අචාර්ය ජානකී ජයවර්ධන, සමනලී ෆොන්සේකා, රුවන්ති ජයසුන්දර, අජිත් කුමාරසිරි, රන්දුලා ද සිල්වා, කල්පනා ඇම්බ්‍රෝස්, සුදන්ත මාධව, චූලානන්ද සමරනායක, නෙවිල් උදිත වීරසිංහ, කෞශල්‍ය කුමාරසිංහ, චාමර ගුරුගේ, චන්දන කුමාර, ගයාන් ප්‍රදීප්, ධනුෂ්ක මාරසිංහ සහ අනුජ මධුසංඛ ඇතුලු තවත් අයගෙනි.

මේ, ඉතිහාසය පුනරාවර්තනය වීම වලකනු කැමති මනුෂ්‍යයින්හට සියලු වර්ගවාදපසෙක ලා එකම අහසක් යට හමු වී කලුවර ජුලියට එරෙහිව ස්වයං ආලෝකයක් දැල්වීමට කරන ආදරණීය ආරාධනාව යි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සාර්ථක වේවා කියා පතමි!!

    ReplyDelete
  2. Yes, it's timely and country is yearning for a transformation. Hats off young guys and gals for your creative insights for a truly worthy cause. All sensible and right thinking citizenry will bless you.

    ReplyDelete
  3. no more July

    indika

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා