2010-12-26

ලෙස්ලි ගුණවර්ධන - කේ.එන්.ඕ. ධර්මදාස විවාදය හා ගාමිනී සුමනසේකරගේ පුවත්පත් කලාව

මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන

(2010 දෙසැම්බර් 26, W3Lankaඉරිදා දිවයිනෙහි කලා සටහන් තීරු ලිපියෙහි ගාමිනී සුමනසේකර මෙවර සටහනක් තබන්නේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පිළිබඳවයි. බොහෝ අවස්ථාවල ජාතිවාදී හෙවත් ජාතික ස්වෝත්තමවාදී අන්තයන්ට තල්ලු වී තිබෙන සිංහල ජාතිකවාදී පුවත්පතක කතුවරයකු වෘත්තීය විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ලෝකය දෙස හෙළන බැල්ම එම ලිපියෙන් උපුට‍ගෙත් පහත සඳහන් කොටසෙහි රතු අකුරින් අප විසින් මතු කර දක්වන කොටස් දෙස අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන්න.


''සිංහල අනන්‍යතාව හා සිංහල ලකුණ වනසා දැමීම සඳහා ගොඩනැඟුණු ව්‍යාජ ඉතිහාස මැවුම්වලට ධර්මදාසයන්ගෙන් එල්ල වූයේ නිර්දය ප්‍රහාරයකි. බෙදුම්වාදී චින්තන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඔහු ලියූ ලිපි මාලාව "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළවූ අයුරු මගේ මතකයට නැගෙයි. එහිලා ඔහු සිය සමකාලීන විද්වතකු වූ මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් සමග විවාදයක පැටලුණි. ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රිසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේද අවධානයට ලක්‌විය.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස


මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන්ගේ මතවාද එකල ඊළාම්වාදීන්ට ආ වැඩූ අයට ආශිර්වාදයක්‌ වී තිබුණත් මහාචාර්ය ධර්මදාසයෝ ඓතිහාසික මූලාශ්‍රද ඇසුරින් ඒ සියලු මත ඛණ්‌ඩනය කිරීමට සමත් වූහ. අපගේ ජාතික හා සංස්‌කෘතික උරුමය දැක දැකත් එයට පිටු පෑ පණ්‌ඩිතයන්ට ධර්මදාසයන්ගේ මැදිහත් වීම් නොරිසි වූ වගද මම ඉඳුරා දනිමි.


ජාතිකත්වය හා ජාත්‍යනුරාගය අරභයා වැඩුණු දුර්මත දුරලමින් නැගුණු තෙද හිරු මඬලක්‌ සේ මහාචාර්ය ධර්මදාසයන් විසින් කරන ලද ඒ මෙහෙවර ජාතියේම ප්‍රණාමයට පාත්‍ර විය යුතු යෑයි මම සිතමි. සැබැවින්ම ගොදුරු ලොබ දුරලමින් එබඳු කටයුතු සඳහා උරදෙන ශාස්‌ත්‍රඥයෝ අතිශය විරලයහ. මෙහිලා ධර්මදාසයන් සතු සුවිශේෂ ගුණයක්‌ද මට සිහිවෙයි. ඒ එකල තමන් සමග මහත් විවාදයකට එළඹි මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් අභාවප්‍රාප්ත වූ කල්හි අනලස්‌ව ඉදිරිපත් වෙමින් ඔහුගේ ශාස්‌ත්‍රීය මෙහෙවරද අගැයීමය. එබඳු සද් ක්‍රියාවක්‌ කළ හැක්‌කේ සත්පුරුෂයන්ටම නොවන්නේද? එබඳු උතුම් මානව ගුණ කෙතරම් විරල යුගයක්‌ද මේ?'' (සම්පූර්ණ ලිපිය මෙතැනින් බලන්න)


මෙම සටහන කියවන යමෙකු තුළ සුමනසේකර විසින් ම ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතකු ලෙස හඳුන්වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන පිළිබඳ ඇති කරන චිත්‍රය මෙබඳු එකක් විය හැක. ඔහු අග්‍ර ගණයේ විද්වතකු වුව ද, මුදලට හා බටහිර රටවල වියතුන් අතර කීර්තියට ලොබ බැඳ සිංහල ජාතියට අනර්ථකාරී ශාස්ත්‍රීය මැදිහත්වීමක් කළේ ය. පසුව හේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස අතින් පරාජයට පත් විය. ඔහු මහාචාර්ය ‍කේ.එන්.ඕ. ධර්මදාසයන් වැනි උත්තම ගතිගුණ ඇත්තෙක් නො වේ.


එසේ ම, මෙම විද්වතුන් අතර ඇති වූ සංවාදය පිළිබඳ සාධාරණ විග්‍රහයක් කිරීමේ උවමනාවක් සුමනසේකරට නැත.


දිවයිනෙන් නො මඟ යවනු ලබන කිසියම් පාඨකයකුට මෙම සංවාදය පිළිබඳ යම් සාධාරණ විග්‍රහයක් කියවීමට මෙතැනින් පුළුවන. එය ලියා ඇත්තේ ද සිංහල ජාතිකවාදී විද්වතකු වන සඳගෝමී කෝපරහේවා විසිනි. ඔහු විසින් විෂධ කරනු ලබන්නේ ජාතිකවාදී පුවත්පත් කතුවරයකු හා ජාතිකවාදී විද්‍යාර්ථියකු අතර ඇති ශික්ෂණයේ වෙනසයි.


එහෙත්, ඉතිහාසය අයිති අතීතයට (හෝ ඉතිහාසඥයන්ට පමණක්) නොව ප්‍රජාවට නිසා 'ඕවා කතා කරන්න ඕගොල්ලන් දන්නෙ නැහැ. අපි කතා කරනකල් ඉන්න,' යි කියන්නට ඉතිහාසඥයන් කලබල විය යුතු නැත. 


ලේඛකයාගේ අවබෝධය අනුව මෙබඳු විවාද පාඨශාලාන්තර විවාද තරග වැනි ඒවා නො ව සංවාද වේ. ඒවා කිසිවකුගේ ජයග්‍රහණයකින් අවසන් වීමක් අවශ්‍ය නැත. විවෘත අවසානයක් සහිත මෙවැනි සංවාද තව දුරටත් ඉදිරියට ගෙන යා හැකි ය.


සංවාදය දෙස තුලනාත්මකව බලන්නට උත්සාහ කිරීම තම ආස්ථානයන් හා සමාජ, දේශපාලන ව්‍යාපෘතිවලට අනුව වීරයා වන පුද්ගලයට හුරේ දැමීමට වඩා යථාවබෝධය ඇති කිරීමේ ලා ඉවහල් වේ.


ප‍්‍රවීණ ඉතිහාසඥයකු සේ ම නූතන සමාජීය විද්‍යා අධ්‍යයන ප‍්‍රවණතාවන් පිළිබඳ ව ප‍්‍රාමාණික විද්වතකු ද වන ලෙස්ලි ගුණවර්ධනගේ මූලික ඉදිරිපත් කිරීම සඳගෝමී කෝපරහේවා සන්න හෙවත් paraphrase කරන්නේ මෙසේ ය:


“'සිංහල' යනුවෙන් ජනතාවක ගේ අනන්‍යතාව දැක්වෙන නම අද භාවිත වෙතත් ඒ නාමය මුලින් භාවිත වූයේ රජ පවුල සඳහා පමණි.


"මේ රටේ රජ කළ රාජවංශය එම නාමයෙන් හඳුන්වන ලද හෙයින් සිංහල අනන්‍යතාව යනු රජ පවුලේ උදවිය ගේ අනන්‍යතාව විය. මේ තත්ත්වය සිංහල රාජ්‍යය පිහිටුවන ලද කි‍්‍ර.පූ. 6 වන සියවසේ පමණ සිට කි‍්‍ර.ව. 12 වන සියවස පමණ කාලය පුරා ම පැවතුණි.


"ඒ අනුව, රට වැසි අන්‍යයෝ එම අනන්‍යතාවෙන් බැහැර පිරිසක් වූහ. මහාවංසය, එහි ටීකාව වන වංසත්ථප්පකාසිනිය මෙන් ම විවිධ ශිලා ලේඛන ද ගුණවර්ධනයෝ තම තර්කය ඔප්පු කරනු පිණිස උපුටා දක්වති.


"ඔහු 12 වන සියවසේ රචිත ධර්ම ප‍්‍රදීපිකාව කෘතියෙහි එන ඡේදයක් උපුටා දක්වමින් ඒ වන විට නම් විවිධ සේවක කුල ආදියෙන් සමන්විත පොදු මහත් දීපවාසීන් “සිංහල” නාමයෙන් හඳුන්වන්නට පටන්ගෙන තිබුණු බව දක්වා තිබේ."


මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස තර්ක ඉදිරිපත් කළේ මෙම මතය බිඳ හෙළන්නටයි. එහෙත්, ලේඛකයා දකින අන්දමට ලෙස්ලි ගුණවර්ධනගේ වැදගත් ම ප්‍රවාදය එය නො වේ. එය මෙසේ ය:


"දැන් පවත්නා සිංහල ජාතික අනන්‍යතාව සැබැවින් ම 19 වන සියවසේ සිට මෙරට සිංහල විද්වතුන් විසින් බටහිර මතිමතාන්තර ද උපයෝගී කරගෙන වුවමනාවෙන් ම දෙමළ අනන්‍යතාවට එරෙහි අනන්‍යතාවක් ලෙස ගොඩනඟන ලද්දක් බව ද ගුණවර්ධනයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. ශී‍්‍ර ලංකාවේ ජාතික අර්බුදය මේ නිසා අනවශ්‍ය ලෙස දුෂ්කර වී ඇතැ යි ද ඔහු පෙන්වා දුන්නේ ය."


මෙහි 'දැන් පවත්නා' යන වචන දෙක අතිශය වැදගත් ය. මන්ද, ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි දායක වන්නේ ප්‍රධාන වශයෙන් ම දැන් පවත්නා අනන්‍යතාවන් වීමයි.


නූතන සිංහල ජාතිකවාදී අනන්‍යතාව මෙන් ම ලාංකීය දෙමළ ජාතිකවාදී අනන්‍යතාව ද 19වන සියසින් මෙපිට මෑත කාලීන ‍ගොඩනැඟීම් වේ. සිංහල ජාතිකවාදය මෙන් ම දෙමළ ජාතිකවාදය ද ගොඩනැ‍ඟෙන්නේ ප්‍රතිවාදී ජාතිය අනෙකා (Other) තැනෙහි තබාගෙනයි. එහෙයින් මේ ජාතිකවාදයන් දෙක එකිනෙකාට එදිරි වෙමින් ම එකිනෙකා පෝෂණය කර තිබේ. අනෙකා කෙරෙහි පැවති බිය නො වී නම් මේ ජාතිකවාදී අනන්‍යතා මෙතරම් දුරට ගොඩනැ‍ඟෙන්නට ඉඩක් නො තිබිණි.


ඒ අනුව බලන කල මෙම ජාතික ගැටුමෙහි යම් සාධනීයභාවයක් ද තිබේ. එහෙත් ගැටලුව මතු වන්නේ වඩා පුළුල් අනන්‍යතාවක හෙවත් ලාංකික අනන්‍යතාවක අවශ්‍යතාව මතු වන විට එම තත්වයට හැඩගැසීමට මෙම දෙජාතීන් අසමත් වීමයි. මෙම අසමත්කම මුලින් ම ප්‍රදර්ශනය කරන්නේ සිංහල ජාතියයි. දෙමළ ජාතිකවාදීන් සිංහලයන් සමග බලය බෙදා ගැනීමේ ව්‍යූහයකට සූදානමින් සිටි පූර්ව එල්.ටී.ටී.ඊ. සමයේ සිංහල ජාතිකවාදීහු ඒ සඳහා අවස්ථාව ලබා නො ගත්තේ සිංහල ස්වෝත්තමවාදී පදනමකින් ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගන්නට යාම නිසා ය.


පශ්චාත් යුද සමය නැවතත් ලාංකීය ජාතිය ගොඩනැඟීම පිළිබඳ සාධාරණ ලෙස සිතන්නට අවස්ථාවක් උදා කර දී තිබේ. ලංකාවෙහි ශක්තිමත් දෙමළ අනෙකෙකු නැති සංදර්භය තුළ ඩයස්පෝරාවෙන් හෝ තමිල්නාඩුවෙන් ඒ අනෙකා සෙවීමේ පැරණි ව්‍යාපෘතියක දිවයින පුවත්පත තවමත් යෙදී සිටියි. දෙමළ විමුක්ති අරගලය පරාජය කළ සිංහලයන්ට බිය වීම සඳහා තව දුරටත් දෙමළ අනෙකෙකු ම අවශ්‍ය වීම සමාජ මනෝ ප්‍රශ්නයකි.


දෙමළ ජනයා සමිබන්ධයෙන් ගත් කල නම් සිදු වී ඇත්තේ නිදන්ගත භීතිය තහවුරු වීමයි. එහෙත්,  එකී භීතිය ම පදනම් කරගෙන අනාගත දේශපාලන ව්‍යාපෘති සැලසුම් කරන්නට ගියහොත් දෙමළ ජාතියට ද අනාගතයක් නැත. දෙමළ ජාතියට අවශ්‍ය වන්නේ බියෙන් අත්මිදීමේ මෙහෙයුමකි.


සිංහල ජාතික ව්‍යාපෘතිය ලද ජයග්‍රශණය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ ජයග්‍රාහී මානසිකත්වය පාගා දමා සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන ජාතික සහජීවනය ඔස්සේ ලාංකීය ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය  පෙරට ගැනීමයි.


අතීතය ගැන ලියන ඉතිහාසඥයන් හැම විට ම වර්තමානයේ බලපෑමට ලක්ව ඇති බව ඉතිහාසඥ ඊ.එච්. කාර් පෙන්වා දුන්නේ ය. මහාචාර්ය ධර්මදාසට මෙන් ම ගුණවර්ධනට ද මෙම තත්වය පොදු ය.


භාෂා විෂයක සමාජ විද්‍යාවේ (Sociology of language)ශාස්තී‍්‍රය ශික්ෂණයක් ලැබූ විද්වතකු වූ ධර්මාදාසට සිංහල ජාතිකවාදී ඉතිහාසයක් ගොඩනැඟීමේ උවමනාවක් තිබූ බව ද, ලෙස්ලි ගුණවර්ධනයන් ඉන් ඔබ්බට ගිය ලාංකීය අනන්‍යතාවක් පාදක කරගෙන ඉතිහාසය ලියූ බව ද ලේඛකයාගේ අදහසයි. දෙමළ ජාතිකවාදීන්ට ඔහුගේ ඉදිරිපත් කිරීම් පාවිච්චි කරන්නට හැකි වූයේ සිංහලයා ලාංකික ජාතිය ගොඩනැඟීම කෙරෙහි දැක්වූ උදාසීනත්වය නිසා ය. 


ලාංකීය නූතන දෙමළ ජාතිකවාදී අනන්‍යතාව මෑත කාලීන එකක් බව ඔප්පු කිරීම වඩා පහසු ය. යාපනය, ත්‍රිකුණාමලය, වන්නි, මඩකලපුව, මන්නාරම වැනි සමාන හා වෙනස් සංස්කෘතික අනන්‍යතාවන් ප්‍රකාශ කළ ප්‍රාදේශීය ප්‍රජාවන් දෙමළ බස කතා කරන පදනමින් එක් කොට ජදමළ ජාතිකවාදී අනන්‍යතාව ගොඩනැඟූ ආකාරය පිළිබඳ ලිපියක් ජේ.එස්. තිස්සනායගම් විසින් සංස්කරණය කරන ලද North Eastern Herald සඟරාවක පළ වී තිබුණා ලේඛකයාට මතක ය. 


දිවයින කර්තෘ ගාමිනී සුමනසේකරගේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසට හුරේ දැමීම අප සිතන අන්දමින් නම් පිළුණු බත් රස කර කර කෑමකි. සිංහලයන්ට දැන් අවශ්‍ය වන්නේ අනාගතයට පාර පෙන්වන මාධ්‍ය කලාවකි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com