උසාවිවල නඩුකාර හාමුදුරුවරු ඉදිරිපිට ම අල්ලස් ගන්නා රටක්

දිල්රුක්ෂි වික්‍රමසිංහ
රේගු නිලධාරි රැකියාව කියන්නේ සමහර විට රජයේ සේවයේ සාමාන්‍ය සුදුසුකම් මත ලබා ගන්න පුළුවන් වැඩි ම වැටුප් ලැබෙන රැකියාව වෙන්න ඇති. 

රේගු නිලධාරියකු වෙන්න මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කිසියම් උපාධියක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සමත් වීමයි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට නම් වැටුපත් ඒ තරම් ලොකු එකක් නෙමෙයි. 

ඒ කොයි හැටි වෙතත්, රේගු නිලධාරියෙකු වෙනවා කියන්නේ පංතියක් ඉහළට පනින්න ලැබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථා තහවුරු කරන වෙනත් වෘත්තීන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් අතළොස්සක් පමණයි. 

මේ පංති පිම්ම පිටුපස තිබෙන්නේ ආනයන, අපනයන, ආගමන, විගමන කටයුතුවලදී රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැදගත් කාර්යභාරයක් වෙනුවෙන් ලැබෙන සාධාරණ දිරිගැන්වීමක් නම් ඒ ගැන කවුරුවත් ඉරිසියා කළ යුතු නැහැ. 

ඒත්, මේ පසුපස තිබෙන්නේ රටට හෙරොයින්, එතනෝල්, විෂ රසායනික ඇතුළු අහිතකර දේ ගෙන එන්නට ඉඩ දීමෙන් ලබා ගන්නා අයුතු ලාභ නම්, එතැන තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. 

පසුගිය දිනවල අධිකරණය වෙලේ සුදා එල්ලා මරන්නට තීන්දු කළා. එහෙත්, වෙලේ සුදා එක්ක එකතු වී බිස්නස් කළ දුමින්ද සිල්වා සුදාට නඩුවත් නැහැ. වෙලේ සුදා එක්ක කස්ටම් සුදාලා රැසකුත් ගනුදෙනු කරන්න ඇතැයි අනුමාන කරන්නට පුළුවන්. 

මේ අතරවාරයේ රුපියල් කෝටි 12.5ක අල්ලසක් ගනිද්දී රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නිලධාරීන් උත්සාහ කර තිබෙන්නේ ව්‍යාපාරිකයකු විසින් රජයට ගෙවිය යුතුව තිබෙන විශාල බදු මුදලක් මගහරවා එය තමන්ගේ සාක්කුවට දමා ගැනීමටයි. අත්අඩංගුවට පත් වුණේ තිදෙනෙකු පමණක් වුණාට සෑහෙන පිරිසක් මෙයට සම්බන්ධ ඇතිවාට සැකයක් නැහැ. 

බොහෝ විට අල්ලස් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වන්නේ පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ග්‍රාමසේවා නිලධාරීන් වැනි අයයි. එහෙත්, රටේ උසාවිවල විනිසුරුවරයා ඉදිරිපිට ම නිලධාරීන් අල්ලස් ගන්නවා. විනිසුරුවරුන් මෙය නො දන්නවා යයි සිතන්න අමාරුයි. නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ කියලා ජනතාව නිශ්ශබ්දව ඉන්නවා. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ පවසන්නේ මහජනතාව සහයෝගය දෙනවා නම් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට කොමිසම සූදානම් බවයි. ඒ වෙනුවෙන් 1954 කියන දුරකථන අංකයත් විවෘත කර තිබෙනවා. 

අල්ලස් ගැනීම මෙන් ම අල්ලස් දීම ද වරදක්. එහෙත්, සුළු කටයුතු කර ගන්නට බොහෝ රජයේ ආයතනවලදී පුංචි, පුංචි අල්ලස් දෙන්නට ජනතාව පෙළඹෙනවා. රජයේ සේවයේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් අතර පවතින දරිද්‍රතාවත් අල්ලස හා දූෂණය පැතිරෙන්නට හේතුවක්. 

කෙසේ වෙතත්, දුප්පත් වුණත් අභිමානවත් සේවයක් ගැන රජයේ සේවකයන් දැනුවත් කිරීමේ වගකීමක් රජයට වගේ ම වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධානවලටත් තිබෙනවා. අල්ලස් ගන්නා අය ඉඳහිට අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම වගේ ම හරිහැටි රාජකාරිය කරන රජයේ සේවකයන්ව අගය කරන්නත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අඩු තරමේ අපි, අපි හෝ ඒ දේ කළ යුතුයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කස්ටම් එකේ අය ජීවත්වන හැටි රටම දන්නවා. ඔවුන්ට සල්ලි කියන්නෙ කජු ඇට කොස් ඇට ගානයි. මම දන්න කස්ටම් එකේ කෙනෙක් රස්සාව ලැබිල ආස තුනෙන් කදානෙ තට්ටු තුනේ මාලිගාවක් ගැහුව. මේ පහලම ඉන්න ගාඩ් ඒ ගෙදරත් උපරිම පහසුකම්. ගේ හදන්න අවශ්‍ය දේවල් රටින්ම ගෙනාව. දැන් සුපිරි වාහනයකුත් අරන්.

    මේ හැම දෙයක්ම කරන්නෙ රජයට හිමිවිය යුතු බදු මුදල් අහිමි කිරීමෙන්. කෝටි ගානක් ඒ විදියට රජයට අහිමි කරල තමන්ගෙ සාක්කුවට කෝටියක් විතර දා ගන්නව. මේක කස්ටම් එකේ ඉහල ඉදන් පහලටම යන එකක්. කස්ටම් එකේ පියන්ලත් සර්ල එක්ක ගියාම සල්ලි මිටි ගනන් බෙදා ගන්න හැටි කතා වෙනව.

    මේ පල්හොරුන්ට විරුද්ධව කිසිම කෙනෙක් කතා කරන්නෙ නෑ. ඇයි මේ නිහැඩියාව. දිල් රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ගැන මට ලොකු ගෞරවයක් ඇතිවුනා. කස්ටම් එක කියන මේ හොරතිප්පොල වටලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මාස තුනෙන් තට්ටු තුනේ මාලිගාවක් කදාන වගෙ ප්‍රදේශයක හදන්න මොන හොරාකෑමක් කන්න ඕනද. අලුතෙන්ම ගිය කෙනෙක් මෙහෙම කරනව කියන්නෙ පරන එවුන් මොනතරම් හොරාකනව ඇද්ද . කස්ටම් එකේ එවුන්ට රුපියල් කෝටියක් කියන්නෙ අපට රුපියල් දාහක් වගෙයි. කස්ටම් එක කියන හොරතිප්පොල ගැන ෆොන්සේකත් කතා කරල තිබුන.
      ෆොන්සේක යුද්දෙ දිනුවෙ ඉස්සරවෙලාම හමුදාවෙ තිබ්බ දූෂනය නැති කරල. ඒ වගෙම රට සංවර්ධනය කරන්න නම් ඉස්සරවෙලාම හොරකම නැති කරන්න ඕන. රටට ලැබෙන්න ඕන ආදායම කස්ටම් පල්හොරු බෙදාගන්න එක ගැන රටම විරුද්ධ වෙන්න ඕන.

      වෛද්‍යැවරුන්ට නීතීඥයන්ට කස්ටම් හොරුන්ට වගෙ සල්ලි හොයන්න බෑ. විශේශඥ වෛද්‍යවරු ප්‍රසිද්ධ නීතීඥයන්ට නම් පුලුවන්. ඒ අය තමන්ගෙ හැකියාව පාවිච්චි කරලනෙ. ඒ නිසා ඒක අවුලක් නෑ කියමුකො. මේ කස්ටම් පල්හොරු රජයට ලැබෙන්න ඕන ආදායම අහිමි කරල උන්ගෙ සාක්කුවට දාගැනීම රජකාලෙ දඩුවම් දෙන්න ඕන අපරාධයක්.

      Delete
  2. මෙහි අවසන් ඡේදයේ කරන යෝජනවා මමද ඉහළින්ම අගය කරන්නෙමි මෙවැනි විශාල පිරිසක් විවිධ ක්ෂෙත්‍රවල සිටින බව මාත් බොහෝ විට අත්දැක තියනවා.

    ReplyDelete
  3. //"සුළු කටයුතු කර ගන්නට බොහෝ රජයේ ආයතනවලදී පුංචි, පුංචි අල්ලස් දෙන්නට ජනතාව පෙළඹෙනවා"// එතන තියෙන්නේ අපේ ක්‍රමවේදයේ වරද නෙවෙයි ද , බොහොමයක් රාජ්‍ය ආයතන වල ක්‍රමවේදයන් බොහෝ කල් ගතවෙන කාර්යක්ෂම නොවන ඒවා , ඉතිං ජනතාව මෙවෙනි කෙටි ක්‍රම වලට යොමු වෙන්නේ නිරායාසයෙන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා