නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන ය; සමහරු වැඩිපුර සමාන ය

නීතිය ඉදිරියේ සමහරුන් වැඩිපුර සමාන වන ආකාරය ගැන නිදසුන් මේ දිනවල ඕනෑ තරම් ය.

සිද්ධි කීපයක් මෙසේ ය: 

පසුගිය වසර නවයක කාලය තුළ සිදු වූ බොහෝ වැරදි සම්බන්ධයෙන් වගකිව යුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නිසි පරීක්ෂණයක් හෝ සිදු වන්නේ නැත. 

ඔහුගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කර තිබේ. ඒ පිළිබඳ ප්‍ර‍කාශයක් ලබා ගැනීමට පොලිසිය යන්නේ ඇයට අවශ්‍ය තැනටයි. 

නාමල් රාජපක්ෂ නීතිඥයකු ලෙස සුදුසුකම් ලබා ගත් ආකාරය ගැන චෝදනා රැසක් තිබේ. එයට අමතරව බලය වැරදි අන්දමින් භාවිතා කිරීම ගැන ද ඔහුට එරෙහිව චෝදනා නැගේ. පරීක්ෂණ නැත. 

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය, විදේශ පුහුණුවීම් ලබා ගත් ආකාරය, නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය හා ව්‍යාපාර කළ ආකාරය ගැන පරීක්ෂණවලින් ගත් පියවරක් නැත. 

ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස් වැනි අය ඔවුන්ට එරෙහි බරපතල චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට සමත් වී සිටිති. දේශපාලන බලය නොමැතිව පවා පරීක්ෂණවලට බලපෑම් කිරීමේ හැකියාව ඔහුට තිබේ. 

ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට රජයේ මුදල් රු. 60 කෝටියක් වංචනිකව මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍ර‍චාරක කටයුතුවලට ලබා දී කළ හානිය එසේ තිබියදී ඔවුන්ට ඇප පිට නිදහස් වීමට අවස්ථාව ලැබී තිබේ. 

ඇවන්ට්ගාඩ් සමාගමේ සේවයේ නියුතු හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ වැටුපෙන් කොල්ල කෑ මුදලින් කෝටි ගණනින් සල්ලි විසි කිරීමෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ හා එය පිටුපස සිටින දේශපාලන බලවතුන්ගේ වංචා දූෂණ සඟවා ගැනීමට එහි සභාපති මේජර් නිස්සංක සේනාධිපති සමත් වී තිබේ. 

මෙවැනි තවත් සිද්ධි බොහෝ ය. 

මොවුහු බලවත්තු ය. මේ බලවතුන් කෙතරම් බලවත් ද යත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා අල්ලේ නටවන්නට ඔවුන්ට පුළුවන. 

මේ බලවතුන් ඉදිරියේ ආණ්ඩුවේ ඇත්තන් නිකම් ම නිකම් බවලත්තු ය. 

මේ අය බේරි බේරී නිකම් ම සිටිනු ඇතැයි සිතන්නේ නම් මුලාවකි. ඔවුන්ට සිය ආරක්ෂාව ස්ථාවර කර ගන්නටත් අවශ්‍ය ය. ඒ සඳහා අවස්ථාව ලත් සැණින් ඔවුහු බලය ඩැහැ ගන්නවා ද ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිගමනය -
    උං සේරම ඌරන් ය.
    අපි සේරම ගොනුන් වෙමු.

    ReplyDelete
  2. ඕකට හේතුව ශ්‍රිලනිප සිරිසේන ජනාධිපති වෙලා ශ්‍රීලංකා එකත් එක්ක ජාතික ආන්ඩුවක් ගහන්න සිදුවීම...
    2020 දී එජාපයට පාලිමේන්තුවෙ පැහැදිලි බහුතරය දීලා එජාප ආන්ඩුවක් හදලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න.. ඊටපස්සේ මේ සියල්ල ගැන පරීක්ෂන සිදුකලහැකි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක වැඩිදෙනෙකුට නොතේරීම තමයි රටේ අවාසනාව

      Delete
    2. lokka awaal heena dakinawa .. MY3 mahidata gahuwath Ranil gahanne natha .

      Delete
  3. නිතීය ඉදිරියේ සියල්ලන් සමානයන් ලෙස සැලකිය යුතුයැයි පාලකයන් විසින් පවසා තිබෙන්නේ මිනිසුන්ව මුලා කිරීම සදහාය. එබැවින් එම ගොතන ලද බොරුවෙහි ඇලි සිටින බහුතරයක් විසින් එය තුලින් සාධාරණත්වය ඉල්ලා සිටියි.
    පාලකයන් සාමන්‍ය මිනිසුන් වරදක් කරන විට හෝ වරදක් කරන ලදයි සැක කරනවිට පොලිසි තුලට ගෙනගොස් පහර දෙන්නේ හෝ ආයුධ පෙන්නීමට ගොස් මිනිසුන් මරා දමනුයේ නීතිය තුලින් පිඩිතයින් බියට පත් කිරීම සදහාය. ඔවුනට කිසිවිටකත් පාලනයට සෘජුවම දායකවන පුද්ගලයන් දඩයම් කිරිමෙහි උවමනාවක් නොමැත.
    මහින්ද සහ ඔහුගේ අතේවාසිකයන් තමන්ට අවස්ථාව ලැබෙන පළමු මොහොතේදිම බලය ලබා ගැනීම සදහා කෙල හලමින් බලා සිටින අතර, රනිල් ඇතුලු නඩයද එම පිරිස සම්පුර්ණයෙන් මර්ධනය කරමින් වෙනත් බලවේගයකට දේශපාලනයේ ඇති විභවයක් විවර කර දීමට බියය. එබැවින් තමන්ගේ විරුද්ධ පාර්ශවය යම් තරමකට දුර්වල කරනවා හැර සම්පුර්ණයෙන් විනාශ කර දැමිම ඔවුන්ගේ බලා පොරොත්තුවද නොවේ.
    රනිල් ඇතුලු නඩයෙන් යහපාලනය බලා පොරොත්තුවීම මහින්ද ඇතුලු නඩයෙන් යහපාලනය බලාපොරොත්තු වන්නා හා සමානය. මන්ද ඔවුන් දෙපිරිසම කවදාවත් නීතිය , සමාජ සාධාරණත්වය ඇති නොකරන අතර සැමදා ජනතාව මුලා කරමින් සිටියි.
    තුන්වන විකල්පයක් ලෙස නැගිසිටිමට දගලමින් සිටින ජවිපෙද බලා සිටිනුයේ විමලෙලා විසින් ජාතික කොඩියට යම් බුරුලක් දෙනතුරුය. ඔවුනටද අවශ්‍ය වී තිබෙනුයේ කෙසේ හෝ පවතින ක්‍රමය තුලම ගෙමක් ගසමින් පැවතිමය.
    එබැවින් මේ මොහොතේදි එකිනකාගේ බොරුවලට රුවෙටෙමින් හෝ යහපාලන සිහින දකිමින් සිටින්නේ නැතිව සෑබැ තත්වයන් තෙරුම් ගනිමින් සියලු හොරුන්ගේ, වංචාකාරයන්ගේ සහ පවතින තත්වයන් ආරක්ෂා කිරීම සදහා වන්දිහට්ටිකම් කරන සියල්ලන්ගේ රෙදි ගලවා දැමිය යුතුය.
    එමෙන්ම හොරු ඇල්ලිමෙන් සිදුවන වංචා හා දුෂණයන් නවතින්නේ නැති බවත් වංචා හා දුෂණයන් සිදුකිරීමට බලපෑම් කරන සමාජ ක්‍රමය වෙනස්කල යුතු බවත් සමාජයට පැහැදිලිව පෙන්වා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රම වෙනස කියන එක වම්මුන්ගෙ නොකෙරෙන වෙදකමක්...
      සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තමා ලෝකේ තිබෙන හොදම ක්‍රමය.. කරන්න ඔනෑ ක්‍රමය වැඩිදියුනු කරගන්න හදන එක...
      'නීතියේ අසමානත්වය' සැලකිය දුරකට අඩු දියුනු යුරෝපීය හා උතුරු ඇමරිකානු රටවල මේ තත්වෙට ඇවිල්ලා තියෙන්නේ එහෙමයි... නැතිව සුන්දර සමාජවාදී හුචක්කුවක් බිහිකරලා නෙමේ...

      Delete
    2. කොහොමත් මේ යන විදියට "යහපාලනය"කියන්නේ නමට විතරක් සිමා වෙච්චි බෝඩ් කැල්ලක් වගේ දෙයක්.මහින්දට හරි මෙතැන නම් තියෙන අනෙක් අයට හරි තියෙන සුවිශේෂි වරප්‍රසාද රටේ අනෙකුත් පුරවැසියන්ටත් ලැබිය යුතුයි.ලොකු පොඩි බේදයක් නැතුව නිතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙම උන්ගෙන් කොහොමද "යහපාලනයක්" බලාපොරොත්තු වෙන්නේ.

      Delete
    3. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඇතිකරන්නේ රනිල් එක්කද? මහින්ද එක්කද?
      අවම වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න හෝ වෙන විකල්පයක් සොයන්න ඕන. නැතුව සමාජවාදී හුචක්කුව හරියන්නේ නැහැ කියල චන්දෙන් චන්දෙට චන්ද්‍රිකා, මහින්ද, රනිල් පස්සෙන් ගිහිල්ල හම්බවුන හුචක්කුවකුත් නැහැනේ
      ඉස්සරහටත් සජිත්, රුවන්, නාමල් හරි වෙන මොකෙක් හරි පස්සේ ගිහිල්ල හරි ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හම්බවෙයි කියල බලන් ඉදල වැඩකුත් නැහැ

      සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාක්ස්වාදී පාලනයක් ඇතිකිරීම සදහා සමාජය සංවිධානය කල යුතුය.

      Delete
  4. රනිල් කියන්නේ දකුනු ආසියාවේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදීම නායකයෙක්... දැන් වෙලා තියෙන අවුල් ඔක්කොම ශ්‍රිලනිප ඇමතිල හා ස්‍රිලනිප සිරිසේන ආන්ඩුවේ ඉන්න නිසා වෙන අවුල්..
    2020 දී පිරිසිදු එජාප ආන්ඩුවක් බිහිකරලා රනිල් ජනාධිපති කරන්න, 2030 දී ලංකාව දකුනු ආසියාවේ සිංගප්පූරුව නෙමේ ස්විට්සර්ලන්තය වේවි..

    ReplyDelete
    Replies
    1. //රනිල් කියන්නේ දකුනු ආසියාවේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදීම නායකයෙක්.//

      එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා