ශිෂ්‍ය සටන් හා විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන්

ලංකාදීප ඡායාරූපයකි
ලංකාවේ සෑම ජන කොටසකට ම ප්‍ර‍ශ්න කන්දරාවකට මුහුණ දීමට සිදු වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට ද ප්‍ර‍ශ්න රාශියකි. 

නිදසුනක් ලෙස, විශ්ව විද්‍යාලවලින් පිට වන උපාධිධාරීන්ට රැකියා නැත. ඔවුහු රජයේ රැකියා ඉල්ලති. රජය මේ වන විටත් අනවශ්‍ය තරම් කලා උපාධිධාරීන් පිරිසකට රැකියා දී තිබේ. ඇතැමෙකුට කරන්නට හරි හමන් වැඩක් නැත. එහෙත්, මහජන මුදලින් ඔවුන්ට වැටුප් ගෙවනු ලැබේ. ඒ බර දරන්නේ මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් ඇතුළු විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි පිරිස් ය. ඔවුන්ට රජයෙන් ලැබෙන උපකාර අවම ය. 

උපාධිධාරීන්ට ප්‍ර‍මාණවත් අන්දමින් රැකියා සපයන්නට තරම් පෞද්ගලික අංශය පුළුල් වී නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද ගැටලු රැසකි. 

විශ්ව විද්‍යාල සිසුන් පාර වසාගෙන උද්ඝෝෂණය කරන විට පාරේ පැය ගණන් කාලකන්නි වෙමින් දුක් විඳින්නේ ද මේ දුක් විඳින ජනතාව ම ය. 

සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිසියේ නිලධාරීහු ද අයත් වන්නේ මේ පීඩිත ජනතාවට ම ය. 

ජනතාව මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට ඇති විසඳුම කුමක්දැයි ඇසුවොත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් පිරිස් පවසනු ඇත්තේ විසඳුම විප්ලවය හෙවත් ඒ එක්, එක් පක්ෂ අතට බලය දීම බවයි. 

සමාජවාදය ගොඩනැගීමට නම් ඔවුන් අතට බලය දිය යුතු ය. බලය ගැනීම සඳහා තමන් සූදානම් කර ගැනීම පිණිස මේ අය තමන් අයත් වන පක්ෂය ගොඩනගති. පක්ෂ ගොඩනගන්නට නම් ඒ වෙනුවෙන් කැප වෙන අරගලකාරී මිනිසුන් හෙවත් විප්ලවවාදීන් අවශ්‍ය ය.

විප්ලවීය ජීව ගුණය ගොඩනගන්නටත්, පවත්වාගෙන යන්නටත් අරගල අවශ්‍ය ය. විප්ලවීය ජනතාවක් කියන්නේත් එක්තරා ආකාරයක මොබ් එකකි. උද්ඝෝෂණ, පොලිසිය සමග ගැටුම්, ගුටි කෑම්, පහර දීම්, හූ කීම්, ජනතාව උද්වේගකර ලෙස ඇමතීම්, සමාජවාදය වෙනුවෙන් ශපථ කිරීම්, හිරේ යාම්, ජීවිත පරිත්‍යාග, වීරයන් අවශ්‍ය ය. 

මේ විප්ලවීය උණ ජනතාවට ද බෝ කළ යුතු ය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ චින්තනය ඔවුන් සිතන ආකාරයට පුළුල් කළ යුතු ය. අප සිතන ආකාරයට නම් පටු කළ යුතු ය. ආගමික ස්වරූපී විශ්වාස ගොඩනැගිය යුතු ය.  ඒ වෙනුවෙන් සටනට පෙළඹවිය යුතු ය. බලය සියතට ගෙන සියල්ල උඩු යටිකුරු කර වෙනස් කර නැවත ගොඩනැගිය යුතු ය. විප්ලවීය වෙනසකින් විමුක්තිය ලැබේ යන්න විශ්වාස කළ යුතු ය. 

පවතින ක්‍ර‍මය ආරක්ෂා කරන්නෝ මෙම රැල්ල නැගී එන විට එය මර්දනය කරති. අරගලකරුවෝ ද මර්දනය අපේක්ෂා කරති. මර්දනය ඔස්සේ රැල්ල තවත් නැගී එන්නට ද ඉඩ තිබේ. ඉවුරු බිඳගෙන පෙරළාගෙන යන්නට ද ඉඩ තිබේ. සමහර විට මහා විනාශයකින් අවසන් වන්නට ද ඉඩ ඇත. 

ඉතිහාසයේ හැමදාමත් සිදු වුණේ එලෙස ය. 

ප්‍රශ්නවලට විසඳුම් දන්නේ යයි සිතා සිටින පෙරටුගාමීන් පිරිසක් හැමදාමත්, හැම සමාජයකමත් සිටිති. 

එහෙත්, විසඳුම් දන්නා පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ විසඳුම් සොයන සමාජ ක්‍රියාකාරිත්වයන් ය. 

ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ ක්‍ර‍මය පරාජය කරමින් ඉදිරියට යමින් තිබෙන්නේ ද විසඳුම් සොයන සමාජ ක්‍රියාකාරිත්වයකි. එහි හැම විට ම ජයග්‍ර‍හණ නැත. 

විවිධ ක්ෂේත්‍ර‍වල විවිධාකාරයෙන් විසඳුම් සොයන සංවාදයන් තිබේ. එය බහුවිධ ය.

පරමාදර්ශ හා ආගමික ස්වරූපී විශ්වාසයන් ප්‍ර‍වර්ධනය කරමින්, ඇදහිලිවන්ත ජන රාශි වීදි බැස්සවීම බලය සඳහා ක්‍රීඩාවේ ස්වභාවයයි. එය වැරදි යයි අපි නො කියමු. දේශපාලනයේ හැටි එහෙම ය. ඉතිහාසය ඉදිරියට යන්නට ද එවැනි අරගල ඉවහල් විය. 

එහෙත්, විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන් තිබෙන්නේ අයුතු ජනරාශිවල ම නො වේ. 

විසඳුම් සඳහා සැබෑ සංවාදය තිබෙන්නේ වඩා ඉවසිලිවන්ත, බලලෝභී නො වන, යථාර්ථය තේරුම් ගත් ජනතාවන් අතර ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඊයේ මර්දනයේ මා නම් වැඩියෙන් දුටුවේ පොලීසියේ පර පීඩක කාමුකත්වයයි.

    ReplyDelete
  2. //විසඳුම් සඳහා සැබෑ සංවාදය තිබෙන්නේ වඩා ඉවසිලිවන්ත, බලලෝභී නො වන, යථාර්ථය තේරුම් ගත් ජනතාවන් අතර ය. // මේ වගේ හිටියට ඒ වගේ අය හැමදාමත් නිහඩයි.

    ReplyDelete
  3. වාහන වල වගේ පොලිස්කාරයන්ගෙත් පස්ස පැත්තේ නම්බරයක් එල්ලන්න ඕන.

    ReplyDelete

  4. පවතින පාලකයන්ට සහ ඒ පාලකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් මතවාදයන් සකස් කරමින් සිටින පුද්ගලයන් සිතමින් සිටිනුයේ විසදුම් සොයන එකම සමාජ ක්‍රියාකාරිකයින් තමන් පමණක් යන්නය. ඒ අනුව ජනවාරි 08න් සහ අගෝස්තු 17න් පසුව එළඹි ඇත්තේ ඉවසිලිවන්තව සාකච්ජාවෙන් විසදුම් සෙවිය යුතු සමයකි. එයට විරුද්ධ වන්නන්ට පහරදීම මහජන සාමය ආරක්ෂා කිරීමක් සහ මහජනතාවට සිදුවන අපහසුතාවය වලක්වා ගැනීමක්ය.

    පාරේ වාහන තදබදයන් ඇතිවී තිබෙන්නේ උද්ගෝෂන හේතුවෙන් නොවන අතර පැරාලද මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඕනැ තරම් උද්ගෝෂණ සිදුකර ඇත. ඊයේ පෙරේදා ජනාධිපතිද මාර්ග අවහිර කරමින් සුවදායි ජිවිතයක් වෙනුවෙන් පා ගමන් ගිය අතර ඒ වැනි පාගමන් හේතුවෙන් මහජනතාව මර්ග තදබදයන්ට ලක්වන්නේ නැත.

    පෙරටුගාමින්ට (ගුණරත්න හෝ ගුණරත්නම්)හෝ වෙනත් ඕනෑම සමාජ ව්‍යපාරයකට සදා නිමකරන ලද විසදුමක් නොමැති අතර ජනතාව සංවිධානය කරමින් සිටිනුයේ විසදුමක් සකස් කිරීම උදෙසාය. ජනතාවගේ ප්‍රශ්න සදහා විසදුම් සෙවිය යුත්තේ ජනතාවම වන බැවින් ඔවුන් ඒ සදහා පෙළඹවිය යුතුය.ඒ සදහා ජනතාව සිතන ආකාරය වෙනස් කල යුතුය.

    පැරාලා විසින් සමාන්‍ය මිනිසුන්ට සංවිධානයවි සමාජය වෙනස් කිරීම බැරි දෙයක් ලෙසද එය සිදුකල යුත්තේ රනිල්ලා සහ සිරිසේනලා විසින් බවද සපත කරමින් සිටියි.



    ReplyDelete
  5. මේ සම්බන්ධව රසිකොලොජිස්ට් අඩවියේ මා දැක්වූ අදහස් මෙතනට කොපි කරනවා.

    නීතියට අනුව සහ ලබාදී ඇති බලය අනුව පොලීසියට විශාල කාර්යභාරයක් බෙන්ම බලයක් ද තිබෙනවා.

    සැකකරුවකු/අපරාධ කරුවකු/නැවත නැවතත් අපරාධ වලට යොමුවන්නකු (IRC)/ ලෙස උපකල්පනය කරන තැනැත්තකු, පොලීසියේ සැකය නිමවනතුරු, අත්අඩංගුවේ තබාගෙන, උසාවියෙන් අවසර ලබා රඳවාගෙන, ප්‍රශ්න කළ හැකියි.

    අවභාවිතය:- මේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, සැකයක් නැති නිසා නිදහස් කළ පුද්ගලයා, ඊළඟ නගරයේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, නැවත අර පිළිවෙතම කිරීම. ඔහු චුදිතයකු නොවන බව, කලින් අත්අඩංගුවට ගත් පොලීසියෙන් කිව්වත්, අහන්නේ නැතුව ඉන්න පුළුවන්.

    සැකකරුවකු, කලින් අපරාධ වලට සම්බන්ධද කියා දැනගැනීමට, ඔහුගේ සිරුර නිරුවත් කොට ඡායාරූප ගතහැකියි. එයින් කරන්නේ ඔහුගේ සියලු ශරීර ලක්ෂණ වාර්තා කිරීමයි. මෙය ලෝකයේ බොහෝ රටවල කෙරෙනවා. එම ඡායාරූප, පරිගණක දත්ත ගබඩාවකට යවා සංසන්දනය කර බැලීමට සහ/හෝ මීට පෙර වැරදි වලදී, අත්අඩංගුවට පත් නොවූ/සැඟවී සිටින, අපරාධකරුවන්ගේ ශරීර ලක්ෂණ ගැන වාර්තාවී ඇති තොරතුරු සමග සංසන්දනය කිරීමටයි, ඡායාරූප ගන්නේ. එයට සහභාගී වියයුත්තේ, රාජකාරියට අදාළ පොලිස් නිලධාරීන් පමණයි. හැකි කෙටිම වෙලාවකින් ඡායාරූප ගැනීම අවසන් කොට ඇඳුම් ඇන්දවිය යුතුයි.

    අවභාවිතය:- ගලෝපිය *&^%$# කියා අපහාස කරමින්, පහර දෙමින් නිරුවත් කිරීම සහ නිරුවත් පුද්ගලයාට මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් හිංසා කිරීම.

    ඔය උද්ඝෝෂණ සඳහා මහජන අවධානය යොමුවෙන්නේ නැහැ, පොලීසිය සමග ගැටුමක් ඇති නොවුනොත්. උද්ඝෝෂණ සංවිධානය කරන, පසුපස සිට මෙහෙයවන, දේශපාලන ක්‍රියාකාරීන්, කලින්ම දන්නවා, මෙන්න මේ වෙලාවට විතර, මෙන්න මෙතනදී ගැටුමක් ඇතිවෙනවා කියා. ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් දී, ආරක්ෂිතව පින්තූර ගැනීමට සුදුසු ස්ථාන පවා පෙන්වාදීම කරන්නේ, ඒ දේශපාලන ක්‍රියාකාරීන්. මේවා කියන්නේ මගේ සේවාකාලය තුළ ලබාගත් සත්‍ය තොරතුරු පදනම් කරගෙනයි.

    'මොනවහරි ගැටුමක් ඇතිකරගතයුතුයි' කියා සිසුන්ට උපදෙස් ලැබෙනවා. මේවා පැහැදිලිවම වාර්තා කරගෙන ඇති තොරතුරු. නිකම් හිතන්න, ඔය සිසුන් සාමකාමීව පාරේ එක පැත්තකින් පෙරහැරක් ගොස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට, සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වා විසිර ගියා කියල. ඒ ගැන ආණ්ඩුව බලන්නේ නැහැ. සිසුන්ගේ ඉල්ලීම් ඉටුවෙන්නෙත් නැහැ. ඒ නිසා ගැටුමකට යනවා අවධානය ගන්න.

    සිසුන්ගේ අවභාවිතය:- කාර්යාල ඇතුලට පැනලා, දේපල හානිකරමින් හැසිරීම අනුමත කරන්න බැහැ. ඒවා පොදු දේපළ. මාර්ග හරස් කිරීම රටේ ආර්ථිකයට පවා බලපාන ක්‍රියාවක්. මහජනතාවට බලවත් හිරිහැරයක්. මේ සිසුන් ප්‍රමාණයට වඩා, කොළඹ පාරවල් භාවිතා කරන අහිංසක මහජනතාවගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා පාරවල් අවහිර කරන්න දෙන්න බැහැ.

    පොලීසියේ අවභාවිතය:- පහර දීමට පෙර ශබ්ද විකාශන යොදවා දැඩිව අවවාද කලයුතුයි නීතියට පටහැනිව ක්‍රියාකලොත් ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර, එල්ල කරන බව. එසේ නොකිරීම වරදක්. පහර එල්ල කිරීමේදී මුලින්ම කලයුත්තේ බියගන්වා පලවා හැරීමයි. මෙතන විස්තර කිරීමට නොහැකි, රහසිගත ක්‍රම ඒ සඳහා තිබෙනවා, කාටවත් තුවාලයක් නොකර හෝ සුළු සීරීම් තුවාල පමණක් ඇතිවන ආකාරයට, විසිර යැවීම් කළහැකි. ඒ සඳහා උසස් පුහුණුවක් සහ විනයක් පොලීසියට අවශ්‍යයි.

    රාජ්‍ය අවභාවිතය:- හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා මේ ප්‍රශ්න අවම කරගැනීම සඳහා නොපමාව ක්‍රියා නොකර, බොරු සෝබන වැඩ පමණක් කිරීම.

    ReplyDelete
  6. ජනතාවගේ ගැටලු සහ ප්‍රශ්න වෙනුවෙන් අරගල කිරීම සහ ඒම අයිතින් දිනා ගැනිම වෙනුවෙන් ජනතාව පෙල ගැස්වීම දේශපාලනික මෙන්ම එයට එරෙහිව පොලිසිය යොදවා පහර දීමද දේශපාලනිකය. එමෙන්ම ශිෂ්‍යයන් පාරවල් වලට පැමිණ මාර්ග අවහිර කිරීම මගින් මහජනතාව පිඩාවට පත්වෙන බව පවසමින් අයිතින් වෙනුවෙන් අරගල කරන ලද පිරිසට අවලාද නගන මහජනතාවට තේරුම්කර දිය යුතුතේ වෙනත් දින වලදි මිනිස්සු මාර්ගයන් හී රස්තියාදු වෙන්නේ උද්ඝෝෂණ නිසා නොවන බවය.

    එමෙන්ම මාර්ග අවහිරවීමෙන් මහජනතාවට කරදර සිදුවන බව පවසමින් බොරුවට කෑගසන ජනතාවගේ අයිතින් දිනා ගැනීම වෙනුවෙන් වන අරගල වලට විරුද්ධ (විවිධ පෞද්ගලික හේතු නිසා - උදා සමාජවාදය වහකදුරු සේ වීම, පෙරටුගාමීන් හතුරන් සේ පෙනිම, සමාජ ක්‍රමය වෙනස් වුවහොත් තමාට කෙලවේ යැයි සිතිම) පුද්ගලයන්ට කීමට ඇත්තේ උද්ඝෝෂණ පවතින දිනවලදි ගෙදරට වී නිදගන්නා ලෙසය

    පොලිසියට හෝ පාලකයන්ට ඇති බලතල සාධාරණිකරණය කිරීමට පෙර එවා සකස්කර තිබෙන්නේ පාලකයන්ගේ ආරක්ෂාවට බව තේරුම් ගන්න. එමෙන්ම ඔබගේම පන්තියේ මිනිසුන්ව කුලි ගෙවිමේ පදනම මත ඔබට පහරදීමට යොදවා ඇති බැවින් පොලිසිය විසින් කරන ලද මිලේච්ජ පහරදීම පොලිසියේ පමණක් වරදක් නොව පවතින ක්‍රමවේදයේම වරදක් ලෙස හොදින් තේරුම් ගැනීමට කටයුතු කරන්න

    අපට අවශ්‍යව ඇත්තේ යහපත් පොලිසියක් හැදිමට නොව පොලිසියක ඇති අවශ්‍යතාවය නැති කිරිමටය

    ReplyDelete
    Replies
    1. ඕව වම්මුන්ගෙ ගොන් කතා... පොලීසි නැති රටවල් ලෝකෙ නෑ.. කරන්න ඔනෑ දියුනු ධනවාදී රතවල මෙන් මිනිසුන්ට උද්ගෝෂන නොකර හෝ අඩුවෙන් උද්ගෝශනය කොට තමන්ට ජීවිතයේ සැපසම්පත් භුක්තිවිදිය හැකි තත්වයක් සාදා දීම...
      අනික් අතට විනය ගරුක පොලීසි නැත්තේ නෑ... පොඩ්ඩක් දියුනු රටවල පොලීසි උද්ගෝශන පාලනය කරන හැටි බලන්න.. ඒවගේම ඒ රටවල උද්ගෝශන කෙරෙන හැටිත් බලන්න.. මේ වගේ පාරවල් වහගෙන පිස්සො වගේ හැසිරෙන්නෑ.. එහෙම පාරවල් වහගෙන පිස්සො වගේ ඉන්න ගියහම පාරවල යන මිනිස්සු ගෙදරට වෙලා නිදාගනිල්ලා කියන පුකේ වම්මුත් ඒවයේ නෑ..

      Delete
    2. විනය ගරුක නැති මිනිස්සුන්ට ගහන පොලිසියක් මිනිස්සුන්ට මොනව කරන්නද?
      දියුණු ධනවාදි රටවල් ගෙදරට වෙලා බුදියගෙන ඉදල නෙමෙයි ඔය අයිතින් අරගෙන තියෙන්නේ

      Delete
  7. Policiya.. Appatasiri lankawe policiya...!! Ape polla police policiya....!!

    ReplyDelete
  8. මේකට විසදුම් හොයන්න ඔනෑ ඒලෙවල් වල ඉදන්... මුලින්ම හුදෙක්ම උපාධියක් ගැනීමේ අදහසින්/ ඒලෙවල් සමත් වීමේ අදහසින් ඔය බී.ඒ හෙවත් කලා උපාධිය ගන්න යන ට්‍රෙන්ඩ් එක නතර කරන්න ඔනෑ... කෙනෙක් කලා විෂයන්ට කැමැත්තෙන් ඒවා ඉගෙනගන්න ගියාට කමක් නෑ.. නමුත් තවමත් ඒලෙවල් කරන අයගෙන් 45% විතර කලා විෂයන් වලින් කරන්නේ බොහෝවිට අර මම ඉහතකී හේතු නිසා..
    උසස්පෙල කරන අයගෙන් 25% පමන කලා විෂය ධාරාවන් හැදෑරීම ප්‍රමානවත්.. වැඩි පිරිස විද්‍යා හා ගනිත විෂය ධාරාවටත් ඊලගට වානිජ විෂයටත් යොමුකල යුතුයි.

    ඊලගට සිසුන්ගේ ඉන්ග්‍රීසි දැනුම, පෞර්ෂ්‍යත්වය ආදිය වර්ධනය කිරීම.. ඔය ආන්ඩුවෙ රස්සා ඉල්ලාගෙන යන බහුතරය තුල ඇත්තේ ඉන්ග්‍රීසි දැනුමේ මදකම හා වෙනත් 'සොෆ්ට් ස්කිල්ස්' නැතිකමින් පෞද්ගලික අංෂයේ සේවයට යන්න බැරි කම...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා