අනුරාධපුරයේ නයිට් ක්ලබ් මිනීමරුවන් මුවා වෙන්නට හැදුවේ දේශප්‍රේමයට ද?

අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රම ද සොයිසා නම් කරාටේ ශූරයා ඝාතනය කර, තවත් අයට පහර දී තුවාල සිදු කර, රාත්‍රී සමාජ ශාලාව කුඩු පට්ටම් කර දැමීම සම්බන්ධයෙන් මේ වන විට පිරිසක් අත්අඩංගුවට පත් වී තිබේ.

ඒ කට්ටිය අධිකරණයට ඉදිරිපත් කරන විට ගියේ කමිසවලින් මුහුණු වසාගෙන මාර ලැජ්ජාවෙනි.

එහෙත්, පෝර උර ඇඳගෙන, සැලසුම් සහගතව පහර දීමට ගියේ මාර වීරයන් පිරිසක් වගේ ය. ඝාතනය සැලසුම් කළ පුද්ගලයා මේ වීරයන්ට හොඳට බොන්නට දී තිබේ. ඔවුන් මිනී මරා හිරේ යන්නට සැරසෙන්නේ අරක්කු ෂොට් කීපයකට ය.

මෙම රාත්‍රී සමාජ ශාලාව දැන් වසර කීපයක සිට පවත්වාගෙන යන අතර ගිය අවුරුද්දේ ඊනියා සුචරිතවාදීන්ගෙන් මෙයට විරෝධය නැගිණි. ඒ අවස්ථාවේදී මාධ්‍ය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා සමග සාකච්ඡා කරද්දී ඔහු ඇසුවේ පූජා නගරයෙන් පිටත නීත්‍යානුකූලව රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යාමේ වරද කුමක් ද කියා ය. කොළඹ මිනිසුන්ට සතුටු වන්නට තිබෙන අයිතිය අනුරාධපුරයේ මිනිසුන්ට තිබෙන එකේ වරද මොකක් ද යන්න ඔහුගේ ප්‍රශ්නය විය.

අනුරාධපුරය යනු ලංකාව් දියුණු ම නගර අතරින් එකකි. එහෙත් එය පිහිටා තිබෙන්නේ ගොවි ගම්මානවල කේන්ද්‍රස්ථානයක් ලෙසයි. එසේ ම එය සංචාරක මධ්‍යස්ථානයක් ද වේ.

ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා ඝාතනය කළ අය පෙනෙන විධියට සූදානම් වී තිබෙන්නේ රාත්‍රී සමාජ ශාලාවට පහර දීම දේශප්‍රේමයෙන්, ජාතියෙන්, ආගමෙන් හා සංස්කෘතියෙන් මුවා කර ගන්නට ය. එහෙත්, එහිදී මිනීමැරුමක් සිදු වීමෙන් ඔවුන්ගේ සැලසුම අසාර්ථක වී තිබේ.

මිනීමැරුම සිදු වුණේ නැතිනම් මේ වන විට මේ ප්‍රහාරය ආරක්ෂා කරන්නට කොළඹ ජාතිවාදීන් හා ආගම්වාදීන් ඉදිරිපත් වනවා නිසැක ය.

මේ මිනීමැරුමට සම්බන්ධ වූ අය හොඳට කන, බොන, ෆන් ගන්නා පිරිසකි.

පහත පළ වන්නේ ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා විසින් 2014 නොවැම්බර් මාසයේ මුල ඉරිදා දිවයින පුවත්පත වෙත ලබා දෙන ලද සම්මුඛ සාකච්ඡාවකි.

ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක්‌ විදිහට...?
පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්‍ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක්‌ පිහිටුවලා තියෙනවා.

මෙහෙම දක්‍ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්‌ද...?
ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.
ව්‍යාපාර මොනවද...
සංචාරක හෝටලයක්‌ කරගෙන යනවා.

කොහේද...?
අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

එතැන තියෙන්නේ සංචාරක හෝටලයක්‌ නෙමෙයි නයිට්‌ ක්‌ලබ් එකක්‌...?
නෑ... ඒක සංචාරක හෝටලයක්‌.

ඔබ කොහොමද සංචාරක හෝටලයක්‌ කියන්නේ...?
සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක්‌ නැද්ද...?
තියෙනවා... සංචාරක හෝටලයක්‌ තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක්‌ විදිහට නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න පුළුවන්. 

රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?
අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?
ඔව්.

හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?
නයිට්‌ ක්‌ලබ් එකක්‌ ඇතුළෙ ඔය මිනිස්‌සු කියන තරම් මහ ලොකු දෙයක්‌ වෙන්නේ නෑ. සෙක්‌ස්‌වලට යන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්‌සු වින්දනයක්‌ ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා ලොකු තෘප්තියක්‌ ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්‌සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ. 

ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක්‌ සුදුසුද...?
පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්‌. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්‌ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට්‌ ක්‌ලබ් ඕනෑ නැද්ද.

මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්‌ලබ් එකක්‌ දැම්මොත් ඔබ එකඟ වෙනවද...?
බෞද්ධයෙක්‌ විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්‌ද...?
මේ සිද්ධස්‌ථාන දෙක අතර වෙනසක්‌ නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්‌. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක්‌ දුරින්.

අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?
පූජා භූමියට මගේ විශාල ගරුත්වයක්‌ තියෙනවා. ඒක අඹ මල් රේණුවක්‌ තරම්වත් වෙනස්‌ වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක්‌ දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්‌. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක්‌ තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්‌සුන්ට එකක්‌ වෙන්න ඕනෑ. කොළඹ මිනිස්‌සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යනව කියලද...?
නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක්‌ තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්‌ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්‌කු තැබෑරුම් කීයක්‌ තියෙනවද. මස්‌ කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්‌. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?
මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?
ඔව්...

ගුරුවරයෙක්‌ විදිහට රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යන එක සුදුසුද...?
මම මේ ව්‍යාපාරයේ වැරැද්දක්‌ දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්‌. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්‌සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්‌සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක්‌ පුඩියක්‌ ගහලා කෙල්ලෙක්‌ එක්‌ක ඩාන්ස්‌ කරලා විනෝද වෙන්න. 

අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්‌සු. පොළව තඩිගහලා දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට්‌ ක්‌ලබ් එකේදී සොච්චමක්‌
ක්‌ලබ් එකට එන්න කියලා අපි මිනිස්‌සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුව නයිට්‌ ක්‌ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක්‌ කියල මිනිස්‌සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ. 

ඔබේ පන්තිවල ළමයි නයිට්‌ ක්‌ලබ් එකට එන්නේ නැද්ද...?
එනවා. මම ඉන්නව දැක්‌කම 'සර් ෆන් එකක්‌ ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා විනෝද වෙලා යනවා.

නයිට්‌ ක්‌ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා යන එක විතරද...?
ඔව්...

නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන එක වැරැද්දක්‌ නෙමයිද...?
එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක්‌ ගහලා තියෙනවා. සමාජයත් නයිට්‌ ක්‌ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට්‌ ක්‌ලබ් රටකට අවශ්‍ය දෙයක්‌ කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

ඔබ නයිට්‌ ක්‌ලබ් එක දකින කෝණය මොකක්‌ද...?
ලංකාවේ නීතියක්‌ තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට්‌ ක්‌ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරගෙන ඩාන්ස්‌ එකක්‌ දාන්න අවස්‌ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්‌වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්‌වත් සිදුවෙන්නේ නෑ.

ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?
ඔව්...මගේ ක්‌ලබ් එකෙන් කෙල්ලෙක්‌ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට්‌ ක්‌ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක්‌ වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්‍ෂාව දීලා තියෙනවා.
අඩුම තරමින් අවශ්‍ය දෙයක්‌ ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ ඇවිත් බස්‌ එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

දැන් ඔබ කියන්නේ ඔබේ නයිට්‌ ක්‌ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ කියලද...?
ක්‌ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක්‌ කොල්ලෙක්‌ තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක්‌ කොල්ලෙකුගේ ඔඩොක්‌කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නෑ. ලංකාවේ ක්‌ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්‌ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට රෑට එන ගෙස්‌ට්‌ව සෙට්‌ කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්‌ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්‍ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක්‌ දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

කාන්තාවන්ට ලොකු පඩියක්‌ ගෙවනවා කිව්වේ කීයක්‌ විතරද...?
රුපියල් හැත්තෑපන්දහක්‌ විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

එහෙම පඩියක්‌ ගෙවන්න ලොකු ආදායමක්‌ ඇති...?
ආදායමක්‌ තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක්‌ මේ වගේ නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කළොත්...?
නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක්‌ මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක්‌ ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්‌හරි රැකියාවක්‌ කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක්‌ නඩත්තු කරන්න මදි. මේ රස්‌සාවේදී හොඳ වැටුපක්‌ ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්‌සාව ඇඟ විකිණීමක්‌ නෙමෙයි. අදටත් මගේ නයිට්‌ ක්‌ලබ් එක වටලලා ගණිකාවක්‌ අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

පූජා නගරයක්‌ ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක්‌ ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?
එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්‌ වෙනවද...?
අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා.

ඒ කාලය පුරා කිසිම බලපෑමක්‌ ආවේ නැද්ද...?
නෑ..

ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්‌...?
අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්‌...

එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?
නෑ... මට කිසිම දේශපාලන බලයක්‌ නෑ.

ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?
කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්‌.

දේශපාලන බලයක්‌ නැතුව මෙවැනි නගරයක්‌ තුළ රාත්‍රි සමාජ ශාලාවක්‌ කරගෙන යන්න බෑ...?
සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට්‌ එක තියෙනවා නම්... නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන්න දේශපාලන හයියක්‌ ඕන නෑ. නයිට්‌ ක්‌ලබ් එකක්‌ කියන්නේ රටක අවශ්‍යතාවයක්‌. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්‌ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්‌පා' හැම දෙයක්‌ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට්‌ ක්‌ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?
විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?
දෙපිරිසම එනවා.

ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?
ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක්‌ කරනවද...?
නෑ. කෙනෙක්‌ දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

අපිත් එක්‌ක අවුරුදු දහහතක ළමයෙක්‌ ගියා. ඒ ළමයාව චෙක්‌ වුණේ නැනේ...?
අවුරුදු දහහතක්‌ කියන්නේ ලොකු ළමයෙක්‌. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?
සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

ඔබ කසාද බැඳලාද...?
ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.
ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?
ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්‌සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා.
ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට්‌ ක්‌ලබ් ගියාට ගැටලුවක්‌ නෑ...?
කිසිම ගැටලුවක්‌ නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ.

සංවාදය - තරංග රත්නවීර - දිනේෂ් විතාන

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ ඉතිහාසය තුළ දේශප්‍රේමය සහ ජාතිය පිළිබඳ සටන් පාඨ කියමින් මිනිමැරුම් සහ අපරාධ වැඩිම සංඛ්‍යවක් කළේ ජනතා විමුක්ති පෙරමුණයි.

    ඒ සඳහා ඔවුන් 1985 දී දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගත්තා. මුලින් ම මැරුවේ දයා පතිරණවයි. ඒ 1986 දෙසැම්බර පෝය දවසේයි.

    අවුරුදු විස්සක තරුණයෙකු ලෙස පැරා ජවිපෙ දේශපාලනයට පූර්ණකාලීනව සම්බන්ධ වුනේත් ඒ කාලේ නේද?

    ජනතා විමුක්ති පෙරමුණ යන නම දේශප්‍රේමී සහ ජාති හිතෛශී මදි නිසා පසුව ඔවුන් දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වැනි වඩාත් දේශප්‍රේමය සහ ජාති ආලය පෙන්වන සංවිධාන නම් යොදා ගත්තා.

    අද වයස පනහ පිරුණු පැරා දේශප්‍රේමය සහ ජාති ආලය මුවාවෙන් කළ හැකි අපරාධ ගැන මෙලෙස සටහනක් තැබීම ඉතා වැදගත් ලෙස මා දකිනවා!

    ReplyDelete
    Replies
    1. 1989න් පසු මම ජවිපෙන් ඉවත් වුණා. මට ජවිපෙ පිළිබඳ විවේචන තිබුණා. 2000 වසරේ සිට පමණ මම ජවිපෙ ඊනියා දේශප්‍රේමය විවේචනය කළා. එමෙන් ම, දෙමළ ජාතියේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ‘පනහ පිරුණු පසු' කියන යෙදුම 'තිස්පහ පිරුණු පසු' ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    2. //ලංකාවේ ඉතිහාසය තුළ දේශප්‍රේමය සහ ජාතිය පිළිබඳ සටන් පාඨ කියමින් මිනිමැරුම් සහ අපරාධ වැඩිම සංඛ්‍යවක් කළේ ජනතා විමුක්ති පෙරමුණයි//

      ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන ලද සමහර ක්‍රියාවන් හේතුවෙන් එම සංවිධානයට පරාජය අත්වු අතර අද දිනයේදි එයට නැවත සංවිධානය වීමට සිදුවී ඇත.

      දේශප්‍රේමය හා ජාති ආලය නිර්ධන පන්ති දේශපාලනයට අදාලකර ගත යුතු නොවුවද ජ.වි.පෙ. විසින් බලය ලබා ගැනීම සදහා තොරන ලද වැරදි උපක්‍රමයක් ලෙස එය නිරික්ෂණය කල හැකි අතර නැවතත් ජ.වි.පෙ. 2001දී එම උපක්‍රමයම තේරීමට ගොස් අභාග්‍ය සම්පන්න තත්වයකට පත්විය.

      ජ.වි.පෙ. විසින් 88 - 89 කාලයෙදි සිදුකිරීමට උත්සහ කරනු ලැබු අරගලයේ මුලික සටන් පාඨය වුයේ නිර්ධන පන්තියට බලය ලබා ගැනීම වුවද ඉහත වැරදි උපාය උපක්‍රම හේතුවෙන් එම අරගලය දේශප්‍රේමි අරගලයකට ලඝු විය.

      අනුරාධපුරයේ ගැටුම හුදු ව්‍යාපාරමය කරුණක් හා අනන්‍යතා අර්බුධයක් පමණක්ම වන අතර එය දේශප්‍රේමය හා ජාති ආලය සමග කිසිදු සම්බන්ධයක් නැත.

      Delete
  2. ඔය 'පූජා නගර' කිය්න එකම කුනුහරුපයක්... නගර කොහොමද පූජනීය වෙන්නේ? ඊශ්‍රායාලයේ ජෙරුසෙලමේත් නයිට් ක්ලබ් තියෙනව, ඉතාලියේ වතුකානුව පේන මානයේ නයිට් ක්ලබ් තියෙනව... එකෝ 'පූජා නගරයක්' කියලා අර සවුදි ගෝත්‍රිකයෝ මක්කම රකිනවා වගේ බෞද්ධයින්ට විතරක් එන්න දීලා තියන්න ඔනෑ, නැතිනම් සාමාන්‍ය නගරයක් විදිහට පවත්වාගෙන යන්න ඔනෑ...

    මම හිතන්නේ මෙතැන තියෙන්නේ ලංකාවේ මධ්‍යමපාන්තිකයින්ගේ 'නයිට් ක්ලබ්' ඇරියස් එක... අර තමන්ගෙ ගෑනුන්ට වඩා ලස්සන මොඩල්ස්ලත් එක්ක තියෙන ඇරියස් එක, තමන්ට හරියට බැරි ඉන්ග්‍රීසි කතාකරන 'පොෂ්' මින්ස්සු එක්ක ඇති ඇරියස් එක, තමන්ට යාගන්න බැරිවෙච්ච බටහිර රටවල පදිංචි ශ්‍රීලාංකිකයො එක තියෙන ඇරියස් එක වගේ මේකත් එකක්..

    ReplyDelete
    Replies
    1. මට නම් ඕක පෙනෙන්නෙ වෙනත් විධියකට. ඇමරිකාවෙදි හරි බටහිර දියුණු රටක හරි නයිට් ක්ලබ් යන එක උන්ගෙ සංස්කෘතියෙ කොටසක්. ඒ රටවල දුප්පතාගෙ ඉඳන් ඉහලම පෝසතා දකවා නයිට් කලබ් යනවා, මුදල් සහ Personality කියන දෙකම උන්ට තියෙනවා. ඒත් අපේ රටේ පට්ට පන්ති භේදයක් තියෙනවා, ඉහල පන්තිය, උගත් මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, පහලම පන්තිය කිය කිය. ඔය එක එක පන්තියෙ උන්ගෙ චර්යා වෙනස්, මුදල්, Personality අතිනුත් පට්ට වෙනස්. අනිත් එක ඉංගිරිසය, හරි දරුණු ආයුධයක්. ලංකාවෙ ඒක පාවිච්චි කරන්නෙ අනිත් එකාව කපල තමන්ගෙ තත්වෙ පෙන්නන්න මිසක් communication language එකක් විධියට නෙවෙයිනෙ. එතකොට ඔය නයිට් ක්ලබ් යන්න සල්ලි තියෙන්නෙත්, ඒකෙ ගිහිල්ලා හැසිරෙන්න දන්නෙත් සුළුතරයකට විතරයි. එතකොට පහල පන්තියෙ උන් ඉරිසියාවට නයිට් කලබ් යන උන්ට ගරහනවා. සමහර දේශපාලුවොත් මේ වගේ වෙලාවට බොර දියේ මාළු බානවා. ඒ නිසා ඔය නයිට් කලබ් ලංකාවට ගැලපෙන්න නම් ලංකාවෙ උන්ගෙ පහල මානසිකත්වය ඉවත්වෙලා පන්ති භේදය අඩු වෙන්න ඕනෙ. ඕක ටිකක් හරි අඩු වෙලා තියෙන්නෙ කොළඹ, ඒක නිසා කොලොම්බියන්ට වාසියි. ඒත් ගොඩේ පැතිවල ඕවා හරියන්නෙ නෑ.

      Delete
  3. බුදු හාමුදුරුවොත් කියල තියෙනවානෙ අබුද්ධස්ස කාලෙදි බොරුව ඇත්ත වෙනවා ඇත්ත බොරුව වෙනවා කියල. එතකොට දේශ ප්‍රේමය හොරකමටයි මිණී මැරුමටයි යොදාගන්න එකයි, ආගම බිස්නස් තරඟකාරීන්ව මර්ධනය කරන්න යොදා ගන්න එකයි ගැන අහන්න දෙයක්ද?

    මම දන්න කථාවක් කියන්නම්. 1999 දී පමණ ලාංකික, සිංහල කතෝලික ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන සම්පත් බැංකුවේ කොටස් මිලදී ගැනීමට විරුද්ධව සමහර අය යොදා ගත්තේ හාමුදුරුවරු. ඔහුගේ කොටස් සම්බන්ධව වාරණ නියෝගයක් ගත් එම පිරිස් කොටස් ඔවුන්ට සුදුසු අයකුට විකුණන තත්ත්වයට ගෙනාවා. අවුරුද්දකට පමණ පසු සම්පත් බැංකුව ඔවුන්ට සුදුසු කොටස් කරුවකු නම්කරා. හැරී ජයවර්ධනගේ කොටස් සම්පත් බැංකුව ඉදිරිපත් කල ආයතනයට විකිණීම හැර ඔහුට වෙන විකල්පයක් තිබුණේ නැහැ. සම්පත් බැංකුව එම කොටස් මිලදී ගැනීමට තෝරාගත්තේ සින්කාරා හෝල්ඩිංග්ස් නම් සමාගමක්. සින්කාරා හෝල්ඩින්ග්ස් යනු සිටි බැංකුවේ කලින් සේවය කල පාකිස්ථානු මුස්ලිම් ජාතිකයින් කිහිපදෙනෙක්ට අයත් සමාගමක්. මෙය ආගම ගැන බොරුකියා තමන්ගේ අරමුණු මුදුන්පත් කරගැනීම ආරම්භ වීම ලෙස මට මතකයි.

    ReplyDelete
    Replies
    1. අපිනොදන්න හැරී !. තම රියදුරාගේ නමින් කොටස් ගනුදෙනු කලේ මෙයානේද ?

      Delete
    2. වෙන්න ඇති උන්නැහේ ඒ උනාට එයාගෙ ඩ්‍රයිවරුත් ලංකාවේ සිංහලයෙක්. පාකිස්ථාන් කාරයෙක් නෙමෙයි. පරම්පරාවෙන් බිස්නස් කාරයෙක් නොවී ආණ්ඩුවෙන් පගා දීල යමක් නොගෙන, ඊයේ පෙරේදා ආපෞ ජොන්ස්ටන්ලා හොර එතනෝල් වලින් අරක්කු හදද්දී අවුරුද්දකට බිලියන තිස් ගානක් බදු ගෙවන කෙනෙක් ඒ මිනිහා. මිනිස්සු 40,000 කට විතර රස්සා දීල තියෙනවා. අනුන් ගැන 'නොදන්න' තමන් මොනවද කරල තියෙන්නෙ ඒ මිනිහ ගැන තීන්දු දෙන්න?

      Delete
    3. ඔබ වැරදිය මහත්මයා. මම දන්න විදිහට ඒකට මූලිකම හේතුව වුනේ හැරී ජයවර්ධන හා ඔහුගේ පාලිත සමාගම් සම්පත් බැංතුවේ කොටස් වලින් 10%කට වඩා මිලදි ගැනිමට අත්සහ දැරිමයි. ඒක යටතේ හැටන් නැෂනල් බැංකුවට හැතියාවක් එනවා සමපත් බැංකුව පාලනය කරන්න.මෙම ගනුදෙනුවට කොටස් වෙළඳපොල නියාමනයට ඇති රාජ්‍ය ආයතනයත් මැදිහත් වුනා ගනු දෙනුව නීති විරෝධ බව කියමින්. එත්කොට හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වෙලා හිටපු රියන්සි විජේරත්නත් මේකට සම්බන්ධයි
      කරුනාකර වැරදි නම් මා නිවැරදි කරන්න.

      Delete
    4. උදාර ඔබ හරි. ඒ වුණාට මගේ තර්කය ඒකට විරුද්ධ වුණේ හැරී ජයවර්ධන ක්‍රිස්තියානු කාරයෙකු සහ සම්පත් බැංකුව බෞද්ධ බැංකුවක් කියමින්. එම අදාල රැස්වීමට භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ගෙන්වා පෙලපාලි පවා ගියා. එසේ ඔහු ගත් කොටස් ලාංකික නොවන බෞද්ධ නොවන කෙනෙකුට විකිණීමට සම්පත් බැංකුව කටයුතු සැලසීම ගැන පමණයි මගේ තර්කය.

      Delete
    5. ඉයන්ට මතකද හිනායන වැඩේ
      ඒදවස්වල සම්පත් බැංකුවේ එඩ්ගාර් ගුණතුංග කතෝලිකයෙක්.
      HNB රියන්සි විජේතිලක බෞද්ධ.

      තව එකක් තමයි විරුද්ධ ව්‍යාපාරිකයින් විසින් මෙහෙයවන බෞද්ද කියා ගෙන එන බලවේග හේමාස් ව්‍යාපාරය අන්තවාදී මුස්ලිම් කියන එක.
      ඒකෙ අයිතිකාරයෝ පිට අය ඉන්න පාටි එකකදි වුනත් ඩ්‍රින්ක් එකක් ගන්න බෝරා අය. ටොප් මැනේජ්මන්ට් එකේ සීයට 90 විතර සිංහල !

      Delete
    6. ප්‍රා ජේ ඒක මට මතක් උනේ නැහැ. හේමාස් සමාගම රටට විශාල මෙහෙවරක් කරන ගමන් මිනිස්සු මහ විශාල ගාණක් රස්සවට අරන් තියෙන තැනක්. පිටරටින් ගෙන්වන ගොඩක් ජාති ලංකාවෙම හදලා රටට ඩොලර් ඉතුරු කරනවා. අයිතිකාරයො හරිම නිහතමානී අය. වැඩ කරන අයට ඉතා ඉහලින් සලකනවා. ඔය බිස්නස් විරුද්ධකාරයෝ ආගම පාවිච්චි කරල මර්ධනය කරන්න හදන කල්ලියේ ඉන්නේ සූදු බිස්නස් එකක් කරන කෙනෙක් කියල කථාවක් තියෙනවා. එයාගේ ලඟ නෑදෑයෙක් වෙන ඉස්පිරිතාල තියෙන කෙනෙක් කියල තමයි ආරංචිය හේමාස් එකට විරුද්ධව යන්නේ

      Delete
  4. ධර්මද්වීපයේ අගනුවර නයිට් ක්ලබ් තියන දම්මික පෙරේරලා හොඳ පොෂ් පොරවල් අමාත්‍යාංශ ලේඛම් කමටත් හොඳයි. වසන්ත සොයිසලා තමයි පීචං

    ReplyDelete
  5. ආටිකල් එකෙන් නම් ද‍ීල තියෙනවා ඇඩෙන්න.

    ReplyDelete
  6. ''පැරත්'' ලංකාවේ සාමාන්‍ය ජඩ මාද්‍ය විදියට නේ වැඩ කරලා තියෙන්නේ. අධිකරණයෙන් වැරදි කරු කරන්නත් කලින් පැරා මෙගොල්ලොන්ව වැරදි කරු කරලා ඉවරයි නේ.

    ReplyDelete
  7. Kavee හිතනවද ඕක පිලිගන්න තරම් පැරා නිහතමානී වෙයි කියල. පැරාත් හදන්නේ සුදුහතුරැ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා