උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන්ගේ ගැටලුවට සවන් දෙමු

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසු පිරිසක් විසින් තමන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳ ඉදිරිපත් කරන ලද ලිපියකි. කරුණාකර එයට අවශ්‍ය ප්‍රචාරය ලබා දී සංවාදයට භාජනය කරන්න. 

ඔවුන් විසින් මතු කරනු ලබන මූලික ගැටලුව වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට පවරා දීම නිසා තමන්ගේ පාඨමාලාවේ ගුණාත්මකභාවය පිරිහෙන බවයි. එසේම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නො ගැනීම නිසා මෙතෙක් තමන් ලද මහපොළ ශිෂ්‍යාධාරය නො ලැබී යනු ඇතැයි බියක් ද ඔවුහු පළ කරති. මෙම ප්‍ර‍ශ්න සාධාරණ බැවින් අදාළ බලධාරීන් ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.  

උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය 2015.09.21 අංක 1933/13 දරණ රජයේ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශයට අනුයුක්ත කර තිබේ.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය පිහිටුවනු ලැබුවේ එවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටි රිචඩ් පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ‍ඉදිරිපත් කරන ලද 1995 අංක 29 දරණ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන පනත මගිනි.

1986 වර්ෂයේ අරම්භ වී අද වන විට මෙම ආයතනය යටතේ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් 12 ක් පවත්වන අතර ඒවා පහත පරිදි වේ.

උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ආහාර තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
උසස් ජාතික ගොඩනැගිලි සේවා ඩිප්ලෝමා පාඨමාලාව

ඉහත පාඨමාලාවන් ශ්‍රී ලංකාව පුරා උසස් තාක්ෂණ ආයතන 17 ක ක්‍රියාත්මකව පවතී.

ශ්‍රී ලංකාවේ උසස් පෙල සමත් සිසුන් අතරින් Z–score අගය මත පදනම්ව උසස් අධ්‍යාපනය සදහා තෝරාගනු ලබන්නේ විශ්ව විද්‍යාල සහ උසස් තාක්ෂණ ආයතන සදහා පමණි. මෙය විශ්ව විද්‍යාල තුල පවතින ආකාරයේ සමාසික අධ්‍යයන ක්‍රමවේදයක්, GPA අගයන් ශ්‍රේණිගත වන විභාග ක්‍රමවේදයන් සහ සය මාසික කර්මාන්ත පුහුණුවක්ද සහිත, විශ්ව විද්‍යාල තුලින් ලබාදෙන උපාධියට ආසන්නව උසස් ගුණාත්මක භාවයකින් යුක්තව පවත්වන උසස් ජාතික ඩිප්ලෝමාවකි.

එමෙන්ම උසස් අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභී සිසුන් සඳහා හිමි වන මහපොළ ශිෂ්‍යත්ව වරප්‍රසාදය උසස් තාක්ෂණ ආයතන තුල සිටින සිසුන්ට ද පිරිනැමේ.

ආරම්භයේ දී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය 1994 වසරේදී එවකට පැවති ආණ්ඩුව යටතේ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතට පැවරුවද එම අමාත්‍යංශයට පාඨමාලාව නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි විය. මේ හේතුව නිසාවෙන් 1996 වසරේ නැවතත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්කරන ලදී. ඉන් පසු වසර 20 ක් එම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවතුනි.
2015 වර්ෂයේ ජනවාරි 8 බලයට පත් වූ නව ආණ්ඩුව විසින් ද නැවතත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මහාමාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පැවරුනි. නමුත් අගෝස්තු මස බලයට පත් වූ එම ආණ්ඩුව යටතේම එය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතට පත් කිරීම උසස් ජාතික ඩිප්ලෝමා ලබා දෙන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ගුණාත්මක භාවය පහතට ඇද දැමීමට හේතු වන කරුණක් බව ශිෂ්‍ය යෝ පවසති.

දැනට උසස් අධ්‍යාපන කියා අමාත්‍යංශයක් ද නොමැති අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍යංශය ලෙස වෙනස් කර ඇත. එහෙත් 2015.09.21 අංක 1933/13 දරණ නව ගැසට් නිවේදනයට අනුව විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍යංශයට අදාල කාර්යය හා කර්තව්‍යයන් 2 සහ 3 වගන්ති යටතේ දක්වා ඇත්තේ පහත සදහන් පරිදිය.

2) ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක අගය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව අන්තර් ජාතික ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් සංවිධාන සමග අනුබද්ධ වීම හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.

3) උසස් අධ්‍යාපනය සදහා වන ප්‍රවේශ මාර්ගයන් පුළුල් කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීම.

එමෙන්ම එම අති විශේෂ ගැසට් පත්‍රයේ නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අදාල කාර්යයන් හා කර්තව්‍යන් යටතේ ඉහලින්ම "පාසල් අධ්‍යාපනය හැරයාමෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් නොලබන සිසුන්ට වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැකසීම හා පහසුකම් සැපයීම " ලෙස සඳහන් කර තිබීමෙන් එම පාඨමාලා හදාරන සිසුන් උසස් අධ්‍යාපනය හැදෑරීමට නුසුදුසු සිසුන් පිරිසක් ලෙස හංවඩු ගසා ඇති බව ශිෂ්‍යයන්ගේ තර්කයයි.

මේ නිසා එක් එක් කාල සීමාවන් තුල සිදුවන ආණ්ඩු වෙනස් වීම් වලදී උසස් අධ්‍යාපනයට අදාළව නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නැතිවීම හේතුවෙන් රජය යටතේ නඩත්තු වන උසස් අධ්‍යාපන ආයතන වල සිසුන් මේ වන විට බලවත් අසීරුතාවයකට පත් වී ඇත.

වර්තමානය වන විට උග්‍ර මානව සම්පත් හා භෞතික සම්පත් අර්බුදයකට,නේවාසිකාගාර අර්බුදයකට සහ මහපොල අරමුදල් අර්බුදයකට මුහුණ පා සිටින අතර, ඒවාට විසදුම් සොයනවා වෙනුවට උසස් අධ්‍යාපන බලධාරීන් කරමින් සිටින්නේ උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ට තම උසස් අධ්‍යාපනය කළකිරවන තත්වයකට පත් කිරීමකි. බලධාරීන්ගේ මෙවැනි නිසි ප්‍රතිපත්තියක් නැති වැනෙන සුලු තීරණ හේතුවෙන් බලවත් අපහසුතාවයන්ට පත් වන්නට දැනටමත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලවන් හදාරන එමෙන්ම රැකියා වෙලඳපොළට උචිත ලෙස උසස් කර්මාන්ත පුහුණුවකින්ද යුක්ත සිසුන්ගේ අනාගතය හෑල්ලුවට ලක් කීරීමක් මෙන්ම ඔවුන්ව තව තවත් අඳුරේ ගිල්වීමකි.

එබැවින් සමස්ත උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවල් හදාරන සිසුන් ලෙස අප බලාපොරොත්තුවන්නේ අප උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ ගුණාත්මකභාවය මෙලෙස පහත නොහෙලා වත්මන් විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ හෝ වඩාත් නිවැරදි පරිපාලන ව්‍යූහයක් තුල අප පාඨමාලාව යලිත් ස්ථාපිත කර අප සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවේ අධාපනයත්, පාඨමාලාවේ ගුණාත්මකභාවයත් සුරක්ෂිත කර දෙන ලෙසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //ශ්‍රී ලංකාවේ උසස් පෙල සමත් සිසුන් අතරින් Z–score අගය මත පදනම්ව උසස් අධ්‍යාපනය සදහා තෝරාගනු ලබන්නේ විශ්ව විද්‍යාල සහ උසස් තාක්ෂණ ආයතන සදහා පමණි// මේ කතන්දරේ නම් වැරදියි නේද පැරා, හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවයට මෙන්ම රජයේ අධ්‍යාපන විද්‍යා පීඨ වලටත් ළමයි තෝරන්නේ Z-අගය මත දිස්ත්‍රික් හා සමස්ත ලංකා කුසලතාව අනුව. ඔවුන්ට දෙන්නේ ශාස්ත්‍රීය යැයි කිව නොහැකි තාක්ෂණික හා වෘත්තීමය අධ්‍යාපනයක්. ඔවුන් අයත් වන්නේ අදාල රේඛීය අමාත්‍යංශයට. SLIATE එකේ දෙන්නේත් තාක්ෂණික හා වෘත්තීමය අධ්‍යාපනයක්. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ දෙන්නේ හුදෙක් වෘත්තීමය නොවන ශාස්ත්‍රීය අධ්‍යාපනයක්. ඒ නිසා මේ විදිහට තිබීමෙත් ප්‍රශ්නයක් නෑ වගේ නේද. මහපොළ සහ bursary නම් දිගටම ලබාදීම ඔවුන්ගේ අධ්‍යාපනයට කරන උදව්වක්.

    ReplyDelete
    Replies
    1. අපට දෙන්නේ තාක්ෂණික අධ්‍යාපනයක් ධ යන්න අපිටද ප්ර්ර්ශ්නාට්‍යය්කි,ස්මාසික 6කින් යුතු විශ්‍යනිර්ධෙයය්ක් අපි අනුගමනය කරනු ලබයි.එසේ නම් අපිට තාක්ෂණික අධ්‍යාපනයක් ලබා ද්මට සලකා බැලිය යුතු කාලයයි

      Delete
  2. anonymous ගේ කතාවට මමත් එකයි. අවශ්‍ය වන්නේ ජාතික සුදුසු කම් රාමුව වහා ක්‍රියාත්මක කිරීමත් SLIATE HND එහි කොතැනක පවතීද යන්න නිශ්චය කිරීමත්ය. මේ HND ප්‍රශනය මුල් කරගෙන මා විසින් ලියූ ලිපියක් මෙතැන: http://lirneasia.net/2015/01/beyond-policy-silos-towards-a-unified-education-policy-framework-for-sri-lanka/

    ReplyDelete
    Replies
    1. සිසුන් තුළ මතු වන මෙවැනි සැක සංකාවන් පිළිබඳ බලධාරීන් ඔවුන් සමග සාකච්ඡා කළ යුතු ය. ඔවුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු ය.

      පාඨමාලාවේ ගුණාත්මකභාවය සංවර්ධනය විය යුතු ය. එහෙත්, එය පවත්වාගෙන යන අමාත්‍යාංශය මේ අන්දමින් මාරු වීම ගැටලුවක් යයි මට ද නො පෙනේ.

      එහෙත්, ඒ බව ඔවුන්ට පැහැදිලි කර දිය යුත්තේ අප නො ව බලධාරීහු ය.

      Delete
  3. wedihitiyan hetiyata api ape sahaya ema daruwanta laba demu.

    ReplyDelete
  4. මේකට අදාල නොවෙන්න පුලුවන් ඒත් මට කියන්න පුලුවන්ද උසස් තාක්ෂණ ගණකාධිකරණය උපාධියට සමාන කල ගැසට් එකේ කොපියක් ගන්න පුලුවන් තැනක්. ලින්ක් එකක් තියෙනවනං වඩා හොදයිග ස්තූතියි. (asinthaslpa@gmail.com)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා