කාටත් වාහනයක්! ඒත් අපට මේ තරම් වාහන දරා ගත හැකි ද?

2015 වසරේ මේ වන විට අලුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්‍යාව ලක්ෂ පහකට ආසන්න වෙමින් තිබෙනවා.

පොදු ප්‍ර‍වාහන සේවා දුර්වල ශ්‍රී ලංකාවේ හැමෝටම කාර් එකක්, ත්‍රිරෝද රියක් හෝ අඩු තරමේ මෝටර් සයිකලයක් හෝ තිබෙන එක හොඳයි. 

ඒත්, මේ තරම් වාහන කන්දරාවක් අපේ රටේ පාරවලට දරා ගන්නට පුළුවන් ද? ඒ තරම් ඉන්ධන දැවීමක් අපේ ආර්ථිකයට, පරිසරයට දරා ගන්නට පුළුවන් ද?

ඒ නිසා පෞද්ගලික වාහන භාවිතය අවම කරමින්, පොදු ප්‍ර‍වාහන සේවා දිරි ගැන්විය යුතුව තිබෙනවා. 

කොලොම්පුරේ ට්‍රැෆික් මැදින් – හෙමින් හෙමින් හෙමින් හෙමින් යන ගමන පිළිබඳ දත්ත රැසක් මෙම ලිපියෙහි අඩංගු වෙනවා. 

කොළඹ අධික වාහන තදබදය අවම කරන්නට නම් ඇත්තෙන් ම පෞද්ගලික වාහන අධෛර්යය කරමින් පොදු ප්‍ර‍වාහන පද්ධති දිරිමත් කළ යුතුයි. ඒ වුණාට දැන් සිදු වන්නේ එය නෙමෙයි. අඩුම තරමේ 40දෙනෙකුවත් ගමන් කරන බස් වම් පැත්තේ එක තීරුවකට දමලා එකක් පස්සේ එකක් බඩගාන්නට සලස්වලා තිබෙනවා. 

ඒ විතරක් නෙමෙයි, පොලිස් නිලධාරීන් ඉන්නේ බස් රියදුරන්ගෙන් පළිගන්න වගෙයි. බම්බලපිටියේ මැජස්ටික් සිටි හරියේ නිතර ඉන්න බබා මූණක් තියෙන උරහිසේ තරු තියෙන පොලිස් නිලධාරියා උදාහරණයක්. 

බස් සේවකයන් අතර අවිනීත අය බොහෝ සේ ඉන්නවා. ඔවුන් පොල් පටවනවා සේ සෙනග පටවනවා. ජීවිත රැසක් දෑතේ තබාගෙන රිය පදවන ගමන් දුරකථන ඇමතුම් ගන්නවා. ඔවුන් විනයගත කළ යුතුයි. ඒ ගමන් ම, ඔවුන් දිනපතා මගීන් ලක්ෂ 10ක් විතර කොළඹට ගෙනැවිත්, ආපසු ගෙන ගිහින් කරන සේවය ගැනත් අප සිතා බැලිය යුතුයි. 

බස් රියදුරන්ට බල්ලන්ට වගේ කතා කරන පොලිස් නිලධාරීන් මාර්ග වැරදි සිදු වන නෝනා මහත්තුරු ඉදිරියේ හරිම කාරුණිකයි. ලොකු, ලොකු SUV ඉදිරියේ හරිම බයාදුයි. 

කොළඹ වාහන තදබදය අඩු කරන්නට බස් රථ දිරිගැන්විය යුතුයි. ඒ වෙනුවෙන් බස් රථවලට මාර්ගයේ මංතීරු දෙකක් ලබා දිය යුතුයි. එකක් සෑම බස් නැවතුමක ම නවත්වමින් යන බස්වලට. අනෙක ශීඝ්‍ර‍ගාමීව යන බස්වලට. එවැනි බස්වලට ගුවන් පාලම්වලින් යන එක තහනම් කිරීමත් වැරදියි. 

ඒ වගේ ම තමන්ගේ වාහනයේ වැඩි පිරිසක් රැගෙන යන කාපූලිං ක්‍ර‍මය ද දිරි ගැන්වීම හොඳ දෙයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉතා වටනා ලිපියක්. වගකිවයුත්තෙකුගේ ඇස ගැටුනොත් පංකාදුයි

    ReplyDelete
  2. හැමෝටම වාහනයක් තිබීම හොඳයි. නමුත් හැමෝම තමන්ගේ වාහනයේ දිනපතා ්‍වැඩට යාම වගේ දේවල් නං අවුල්. ඒ අවුල හැදෙන්නෙ පොදු ප්‍රවාහනයේ දුර්වලතාවය හේතුවෙන්. ඒ අවුල විසඳන්න කිසිවක් සිදුවන පාටක් නං නෑ. එහෙම තියෙද්දි වාහන මිල වැඩිකිරීම මඟින් වාහන පාලනය කරන්න හිතීම ආණ්ඩුවෙ මෝඩකම පෙන්වන්නක්.

    ReplyDelete
  3. ලෝක යුද්ධෙන් පසු, ආසියාවෙ දියුණුම නගරය , පුංචි ලන්ඩන් නුවර ලෙස හැඳින්වූ කොළඹ නගරය. මෙය කියන්නේ මා නොව එවකට ලංකාවට පැමිණි ලී ක්වාන් යූ මහතායි. එනිසයි ඔහු කිව්වෙ සිංගප්පූරුව කොළඹ නගරයක් කරනවා කියලා. නමුත් අද කොළඹ කියන්නෙ ආසියාවෙ පසුගාමීම නගරයක්. සිගප්පූරුව හෝ ටෝකියෝ ගැන කතා නොකර, අනෙකුත් රටවල් ගත්තොත්... පිලිපීනයේ මැනිලා, තායිලන්තෙ බැංකොක්, මැලේසියාවෙ ක්වාලම්පූර් අපේ කොළඹ පහු කරන් ගව් ගාණක් ගිහින්.. ඒ මදිවට ඔච්චර යුද්ධ කරපු වියට්නාමෙ හෝ චි මින් නගරෙත් කොළඹට වඩා හොඳයි. මේ ගොඩක් නගරවල උමන් දුම්රිය (subway/Metro) හෝ, පොලොවෙන් උඩ කොන්ක්‍රීට් කණුවල ධාවනය වන මොනො රේල්වලින් ප්‍රධාන නගරය කවර් කරල තියෙන්නෙ. අල්ලපු රටේ දිල්ලි මෙට්‍රො එක හරියට බටහිර රටක වගේ (ඒත් අපේ උන් තාමත් හිතන්නෙ ඉංදියාව කියන්නෙ චෙන්නයිවල හරි බොම්බෙවල හරි තියෙන කුණු කාණු වගේ කියල) අපේ නගරෙ මොනවැයි තියෙන්නෙ...කොචුව කොචුව කියල කෑ ගහන, ලොරි චැසිවල ගහපු, ලේලන්ඩ් හෝ ටාට බස්වලට සාඩින් වගේ මිනිස්සු පැක් කොරන, හඩු පෙරා ගත්තු කොන්දො ඉන්න, පොදු ප්‍රවාහනයක් නොවෙයිද ? එතකොට හොඳ ඇඳුමක් ඇඳගෙන මේවයෙ යන්න පුළුවන්ද ? ලස්සන තියා කැත කෙල්ලෙක්ටවත්, ජැක්වලින් පුක බේරගෙන යන්න පුළුවන්ද ? ඒ නිසා තමයි සල්ලි ටිකක් තියෙන එකා කොහොමහරි වාහන කට්ටක් ගන්නෙ. ඊට වඩා පුළුවන් එකා රට අතඇරල යනවා. පැරාල වගේ උන් බ්ලොග්වල ලොකු ටෝක් දෙනවා, ඒත් උන් පත් කර ගත්තු දේශපාලුවො, ජහමනයට ලොරි චැසිවල යන්න ඇරල උන් සැප SUV වලින් ඉගිල්ලෙනවා. මේවා දකින පිටරට ඉන්න අපි වගේ උන්, office එකේ කරන්න වැඩක් නැති වෙලාවට තරහට, මේ වගේ කොමෙන්ට් කොටනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ දැනගතයුතු දෙයනම් සිංගප්පුරුවේ වසර 10 ට වලංගු වාහන බලපත්‍රයයක් මිලදී ගැනීම ට $50,000 පමණ වන බවයි!
      ඉන්පසුවයි වාහනය මිලදී ගතහැක්කේ

      Delete
    2. සිංගප්පූරුවේ සාමාන්‍ය වෘතිකයෙකුගේ අවම මාසික වැටුපත් S$3000 ට වඩා වැඩියි.. ඉතින් වසර 10කට වතාවක් S$50000 වියදම් කිරීම ඔවුන්ට එච්චර අපහසු නෑ

      Delete
    3. කරන්න ඔනෑ ජපන් බැරිනම් ඉන්දියානු සමාගමකට හරි කොන්ත්‍රාත් එකක් දීලා නවදිල්ලියේ හෝ සිංගප්පූරුවේ තියෙනවා වගේ නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල, කටුනායක වගේ පැති කොටුවට සම්බන්ධ වෙන විදිහට මෙට්‍රෝ එකක් හැදීම.... ඒවගේම සීට් ගනනට මිනිස්සු ගන්නා වායුසමනය කල ගුනාත්මක බස් රථ සේවයක් 138, 174, 120 වගේ රූට් වල ඇතිකරන්න මාර්ග බලපත්‍ර ලබාදීම.. එතකොට බස් කරුමේ ඉවසගන්න බැරි නිසා කාර් එකෙන් හැමදාම රස්සාවට එන කාර්‍යාල සේවකයා පොදු ප්‍රවාහන සේවයට යොමුවෙනවා..

      Delete
  4. කොළඹ සහ ලංකාවේ ප්‍රධාන නගර බෝහෝමයක උදෑසන කාලයෙදි සහ පාසැල් අවසන් වන මොහොතේදිත්, සවස් කාලයෙදිත් දැඩි වාහන තදබදයක් පවති. සාමන්‍යයෙන් මමද දිනපතා උදෑසන පැය 1.30ක් පමණ කි.මී. 20ක පමණ දුරක් පැමිණිමට ගත කරයි. සවස් කාලයෙදිද ඒ හා සමානම කාලයක් ගතවන අතර පොදු ප්‍රවහාන සේවය භාවිතා කිරීම මගින් සහ පෞද්ගලික ප්‍රවහන මාදිලියක් භාවිතා කිරීම මගින් ගතවන කාලයෙ පැහැදිලි වෙනසක් ඇති නොවේ. සමහර අවස්ථා වලදි විනාඩි 10ක් 15ක් පමණ ඉතිරිවන නමුදු මම සිතනුයේ අවධානම, මහන්සිය සහ වියදම සැසදිමේදි ඇත්තෙන්ම සිදුවනුයේ පාඩුවකි.

    අවධානම, මහන්සිය සහ වියදම සැසදිමේදි පාඩුවක් සිදුවුවද පොදු ප්‍රවාහන සේවය මිනිසුන් විසින් භාවිතා කිරීම මග හරිමින් පෞද්ගලික ප්‍රවහාන මාදිලියක් සදහා මාරුවී ඇත්තේ බස් රථවල අධික තදබදය, සුවපහසුව මදිකම, බස් රථවල සමහර අවස්ථාවන් වලදි සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන්, සෑම තැනකම නැවැත්වීම ආදීය මගින් ඇතිවන මානසික පිඩනය ආදී නොයෙක් හේතුන් නිසාය.

    කොළඹට පැමිණිමට සහ පිටවීම සදහා දුම්රිය පද්දතියක් තිබුනද ප්‍රමාණවත් තරමට දුම්රිය නොමැතවීම හේතුවෙන් දුම්රිය තුලද විශාල තදබදයක් ඇත. කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරීම සදහා ප්‍රවාහන සේවාවන් බොහෝමයක් පැවතියද මම සිතනුයේ අවශ්‍ය ප්‍රමාණයට කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් සකස්වී නැති බවය. සමහර රජයේ කාර්යාල මගින් සියලුම මාර්ග ඔස්සේ මාණ්ඩලික මට්ටමේ නිලධාරින් කාර්යාල වලට ප්‍රවාහනය කිරිම සදහා ක්‍රමවේදයක් සකස්කර තිබුනද සියලුම නිලධාරින් සදහා ඒ මගින් අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    මම සිතන පරිදි පවතින බස් රථ ප්‍රමාණය සහ දුම්රිය විධිමත් පරිදි අධ්‍යනය කර ප්‍රවාහනය සදහා යොදවා ගැනීමට කටයුතු කිරීම සහ පොදු ප්‍රවාහන සේවාව දයුණු කිරීම මෙම වාහන තදබදය අවම කර ගැනීමට හොද පියවරක්ය. පෞද්ගලික වාහන එදිනදා රාජකාරි සදහා පැමිණිමට භාවිතා කිරිම අවම වන පරිදි සහ පුද්ගල අවශ්‍යතාවයන් අනුව පොදු ප්‍රවාහන සේවාවන් භාවිතාකල හැකි ක්‍රමවේදයක් සකස්විය යුතුව ඇත.

    දුම්රිය මාර්ග ඔස්සේ කාර්යාල වෙලාවන් වලදි කොළඹ - පානදුර, ගම්පහ, රාගම, හෝමාගම ආවරණය වන පරිදි වැඩි දුම්රිය ප්‍රමාණයක් සහ දුම්රිය මැදිරි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කල යුතුය. ද්ත්ව මාර්ග නොමැති බැවින් හෝමාගම දක්වා දුම්රිය යෙදවිමේදි පමණක් දැනට ගැටලුකාරි තත්වයක් ඇතිවිය හැකිය.

    දැනට රජයේ කාර්යාල මගින් මාණ්ඩලික නිලධාරින් ගෙන්වීම සදහා යොදවා තිබෙන වාහන වෙනුවට කාර්යාල කිහිපයක් හෝ එක්වී තාවකාලික පදනම මත ලබා ගන්නා බස් රථ විවිධ මාර්ග ඔස්සේ යෙදවීමේ හැකියාව ඇත. එමෙන්ම පුද්ගලික ආයතන සදහාද ආයතන කිහිපයක් එකතුවී මෙලෙස කටයුතු කිරීමට දිරිමත් කල යුතුව ඇත.එමෙන්ම පහසු ගාස්තු ක්‍රමයක් යටතේ කාර්යාල ප්‍රවාහන සේවාවන් දියුණු කිරීමට කටයුතු කල යුතු අතර එවා සදහා දිරිමත් කිරීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක කල යුතුය.

    එමෙන්ම බස්රථද සෑම තැනකම නැවත්විය හැකි සහ ප්‍රධාන නැවතුම්වල පමණක් නවත්වන ලෙස වර්ග කරමින් ඒ අනුව එම බස් රථ සදහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම ආදි ලෙස කටයුතු කල හැකිය.

    එහෙත් ගැටලුව වනුයෙ පාලකයින්ට මෙවැනි ගැටලු විසදිම සදහා අවශ්‍ය තාවයක් හෝ හැගීමක් නොමැතිවීමය. එබැවින් සැම අයුරකින්ම අප පිඩාවට පත්වී ඇත. පවතින ක්‍රමය මගින් උත්සහ කරමින් සිටිනුයේ සෑම පුද්ගලයකුම ණය කරුවකු කරමින් හෝ වෙළද පොලෙන් භාණ්ඩ (වාහනද ඇතුලුව) මිලදි ගැනීමට යොමු කරමින් ඔවුන්ගේ ශ්‍රමයේ හැකි උපරිමය දක්වා අතිරික්තය නිපදවිම සදහා යොදවා ගැනීමය.

    පවතින පාලනයන් සමග විධිමත් ප්‍රවාහන සේවයක් ඇති කිරීම යහපාලනය ඇති කිරිම ලෙසම ජනතාව රුවටීමක් පමණක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබ කියන්නෙ ඔහේ බලාපොරොත්තු වෙන "අමුතු, පට්ට සිරා" පාලනේ එනකම් මිනිස්සු බස්වල දුක් විදින්න ඔනෙ කියලද?
      ඕව බයිලා... කරන්න ඔනෑ ජපන් බැරිනම් ඉන්දියානු සමාගමකට හරි කොන්ත්‍රාත් එකක් දීලා නවදිල්ලියේ හෝ සිංගප්පූරුවේ තියෙනවා වගේ නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල, කටුනායක වගේ පැති කොටුවට සම්බන්ධ වෙන විදිහට මෙට්‍රෝ එකක් හැදීම.... ඒවගේම සීට් ගනනට මිනිස්සු ගන්නා වායුසමනය කල ගුනාත්මක බස් රථ සේවයක් 138, 174, 120 වගේ රූට් වල ඇතිකරන්න මාර්ග බලපත්‍ර ලබාදීම.. එතකොට බස් කරුමේ ඉවසගන්න බැරි නිසා කාර් එකෙන් හැමදාම රස්සාවට එන කාර්‍යාල සේවකයා පොදු ප්‍රවාහන සේවයට යොමුවෙනවා..

      Delete
    2. ප්‍රවහන ගැටලුව කියන එක මෙට්‍රෝ එකක් හැදීම , සීට් ගනනට මිනිස්සු ගන්නා වායුසමනය කල ගුනාත්මක බස් රථ යෙදවිම මගින් විසදෙනව වගේ හිතන මිනිස්සුන්ට මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතුව ඇති.

      මෙට්‍රෝ හදලා AC බස් දැම්ම පමණින්ම මේක විසදෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ඉන්න පාලකයන්ට මිනිස්සුන්ගේ අහිමිවන මිනිස් පැය ප්‍රමාණය පිලිබදව ලොකු කම්පනයක් නැහැ. ඒ නිසා මේක විසදිමේ ලොකු අවශ්‍යතාවයක් මේ පාලකයින්ට නැහැ.

      වාහන තදබදය හැදෙන එකට නගරවල පාසැල්, රෝහල් පමණක් ගුණත්මකව සංවර්ධනය වෙලා තියෙන දේ පවා බලපානව. ඒ සියලුම පැති ගැන හිතන්නේ නැතුව නිකන් පාරවල් හදල වැඩක් නැහැ.

      සමාජය පිලිබදව වෙනස් විදිහකට හිතන්න සමාජයට හුරු කල යුතුයි සහ ඒ වෙනුවෙන් සමාජය වෙනස් කිරිම අනිවාර්යයක්.

      Delete
  5. පැරා සමහර දේවල ලංකාවේ කරන්න පුළුවන්ද කියල ප්‍රශ්ණයක් තියෙනවා. බස් සේවකයන්ගේ විනය හදන්න අමාරුයි. මොකද ඒක ලංකාවේ අපේ ඔය තරාතිරමේ මිනිස්සුන්ගේ මුල් බැහැගත්ත දෙයක්. අපිරිසිදු කම අපේ ජාතියේම ලක්ෂණයක්. ඒවා වෙනස් කරන්න අමාරුයි. අනිත් එක පොදු ප්‍රවාහණය දිරිගන්වන්න කලින් ඒවගේ පහසුකම් ඇතිකරන්න ඕනේ. හිතනවද ප්‍රයිවට් බස් හිමිකාරයෝ එහෙම කරයි කියලා. බස්නාහිර පලාතේ නිල ඇදුම්, ටිකට් අනිවාර්්‍යයයි. සිටි පොලිස් එකයි බස් අධික්ෂනය කරන්න ඉන්න අයයි ප‍ාරේ හැම තැනම. මේ අය බස් නවත්තනවා. නිල ඇදුම තියා ටිකට් එකක්වත් නැතුව යන බස් ඒ අයට කතා කරලා හිනාවෙලා බස්එක අරන් යනවා.

    අනිත් එක වාහනේක ඒ සී එක දාගෙන කොලඹ කාෂ්ඨක අව්වේ යන අයට බස්වල යන්නද කියන්නේ. මේක කරන්න බැහැ මොකද එකක් බස්වලින් බැහැල ඉතුරු ටික ටුක් ටුක් වල හරි පයින් හරි යන්න වෙනවා. පාක් අැන්ඩ් රයිඩ් එක කරන්නනම් නගර සැලසුම් තියෙන්න ඕනේ. බැංකු ටික එක තැනකත්, රජයේ ආයතන ටික එක තැනක තියෙන්න ඕනේ, වෙයාහවුස් ටික, හොටෙල් ටික, වෙනත් කැටගරි වෙන වෙනම තියෙන්නේ ඕනේ. ඊට පස්සේ ඒ ඒ තැන්වලට වෙනම බස් දාන්න ඕනේ. ඕක මෙහේ ප්‍රායෝගික නැහැ.

    වාහනයක වැඩි ගාණක් ගෙනියන එකත් විහිළුවක් පවුලේ කෙනෙක් හැර අනිත් කෙනෙක්ව වාහනයක දාන්නේ කොහොමද? මේකනම් කරන විදිහ මම විස්තර දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වෙනස් කරන්න බැරි නැහැ කියල මට හිතෙනවා.හැබැයි ඉතින් කාලයක් ගත වෙනවා. මතක ද දන්නෑ ඉස්සර පොදු ප්‍රවාහන වල සිගරට් බීපු අය කොච්චර හිටිය ද කියලා.ඒත් වර්තමානයේ එහෙම නැහැ. එකවරම නතර කරන්න බැරි උනත් කාලයක් ගත වෙලා හරි වෙනසක් වෙලා තියෙනවා.

      Delete
  6. හැමෝටම වාහනය් තිබුනොත් හැම පාරක්ම ලේන් අටේ ඒවා කරන්න වෙන නිසා, ගෙවල්වලට, කුඹුරුවලට, එළවලු වතුවලට, පාසල්වලට, පිට්ටනිවලට ඉඩ ඉතුරු වෙන එකක් නෑ!

    ReplyDelete
    Replies
    1. මට වාහනයක් තිබ්බම ඇති. අනිත් අයට එපා ද? ඒකත් හරියට වැද්දෝ හැමදාම වැද්දෝ වෙලා දුන්නෙන් දඩයම් කර කර කැළේට වෙලා ඉන්නෝනි. අපිට ගිහින් වැදි යුගය බලන්න පුලුවන්.අපේ දරුවන්ට ැවද්දන්ව පෙන්වන්න පුලුවන් වගේ ‍වැඩක්.
      හැමෝටම වාහනයක් ගන්න පුලුවන් වෙන්නෝනි.පොදු ප්‍රවාහන සේවය දියුණු වෙන්නෝනි වගේම දිරිමත් කරන්නත් ඕනි. ගමේ නම් වාහන තියෙන ගෙවල් වල අයත් යන්නේ පොදු ප්‍රවාහනයෙන්. විශේෂ අවස්ථා සහ විශේෂ දවස් වල දි විතරයි එයාල වාහනය එළියට ගන්නේ. නගරයේ තද බදය වැඩි වෙන්නේ නගරයේ වාහන භාවිත කරන අය දිනපතා තමන්ගේ පුද්ගලික වාහනය ගමන් බිමන් වලට යොදා ගන්නා නිසා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා