හමුදාව ලවා පාරවල් අතුගෑවීම වෙනුවට ආයතන ශක්තිමත් කිරීම

හමුදාව කාලයක් එළවළු විකිණූ හැටි  
කොළඹ නාගරික අලංකරණ ව්‍යාපෘතිය හා සම්බන්ධ නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත වතාවක් සිවිල් ආරක්ෂක බලකායේ සේවා ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දරමින් සිටි සමයේ සංවර්ධන ව්‍යාපෘති හා නඩත්තු කටයුතු වෙනුවෙන් හමුදා සාමාජිකයන් පුළුල් ලෙස භාවිතා කරන ලදී. 

ඒ පිළිබඳ හමුදාවල විරෝධයක් තිබිණි. යුද්ධය සමයේ සමාජයේ මහත් සම්භාවනාවට පාත්‍ර වී සිටි හමුදා සාමාජිකයන්ගේ මානසිකත්වයට මෙම තත්වය දැඩිව බල පෑ අතර හමුදාවල සැලකිය යුතු පිරිසක් ද මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන් හ. හමුදා සාමාජිකයන් පාරවල් අතුගෑම, නඩත්තු කටයුතු වැනි රැකියාවලට යොදා නො ගන්නා බව ආණ්ඩුව පොරොන්දු වූයේ ය. 

එහෙත්, කොළඹ හා තදාසන්න පෙදෙස්වල නාගරික අලංකරණ ව්‍යාපෘති නිසි පරිදි නඩත්තු නො වන බව පසුගිය දිනවල ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලදී. 

මෙයට හේතුව වන්නේ එම කටයුතු සඳහා අවශ්‍ය ආයතන ව්‍යූහයන් ශක්තිමත් නො කිරීමයි. එම ආයතන ශක්තිමත් කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ එවැනි කටයුතු පවා හමුදාව යොදවා කිරීමයි. 

දැන් හමුදාව ඉවත් කර තිබේ. එහෙත්, අදාළ ව්‍යූහයන්ගේ දුර්වලකම නිසා  දැන් තත්වය අවුල්සහගත වී තිබේ. තමන්ගේ කාලයේ සියල්ල මාරෙට සිදු වූ බවත්, දැන් ඒවා අවුල් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ හවුල්කරුවෝ කියති. 

මහ මැතිවරණයක් ඉදිරියේ සිටින ජනාධිපතිවරයා ද තත්වය ගැන කලබලයට පත්ව නැවත සිවිල් ආරක්ෂක බලකාය වීදි අතුගෑමට කැඳවා තිබේ. 

මෙම හමුදා ව්‍යූහයන් යුද්ධයක් නැති ලංකාවට ලොකු වැඩි ය. ඒ තැන්වල සෑහෙන ශ්‍රම අපතේ යාමක් සිදු වේ. එසේම, හමුදා නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් ද දරන්නට සිදු වී තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රමවේදය අනුව හමුදා ශ්‍රමයෙන් යම් ඵලදායිතාවක් ලැබිණි. දැන් ඒකත් නැත. එහෙත්, හමුදා සෙබළුන් පාරවල් අතුගාන්නට දැමීමේ ගැටලුවක් ද ඇත. මන්ද, ගම්වලදී හමුදා සෙබළා යනු ඉහළ ආදායමක් ලබන රජයේ සේවකයෙක් වන මධ්‍යම පන්තිකයෙකි. 

ලංකාවේ රජයේ හා අනුබද්ධ සේවාවන්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉතා අඩු ය. අකාර්යක්ෂම රාජ්‍ය අංශයකට කොළඹ නාගරික අලංකරණ ව්‍යාපෘතිය වැනි වගකීම් දැරීමේ හැකියාව නැත. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ කිසිදු සුවිශේෂ ව්‍යාපෘතියකට ආණ්ඩුව අත තබා නැත. රාජ්‍ය කොන්ත්‍රාත්තු ආදියෙහි තවමත් තිබෙන්නේ පැරණි දූෂිත ස්වරූපය ම ය. 

කොළඹ නගරයේ නාගරික සේවා නඩත්තුව පිළිබඳ වගකීම පැවරිය යුත්තේ කොළඹ මහනගර සභාවටයි. මේ වෙනුවෙන් මධ්‍යම රජය මැදිහත් විය යුත්තේ සංවර්ධන ව්‍යාපෘතිවලදී පමණි. එහෙත්, කොළඹ මහනගර සභාව යනු නූතන අගනගරයක් පවත්වාගෙන යාමේ හැකියාව සහිත දියුණු ආයතනයක් නො වේ. 

මේ අතර ජනතාවට අවශ්‍ය කොයි ආකාරයෙන් හෝ වැඩේ කෙරෙන්නටයි. ඒ වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නට ද ඔවුන් සූදානම් නැත. පසුගිය කාලේ නම් පාර අයිනේ කෙළ ගැසුවත් දඩ ගසන තත්වයක් තිබුණු බව ද, දැන් එසේ නැති නිසා වැඩේ හරියට සිදු වන්නේ නැති බව ද ත්‍රිරෝද රියදුරෙක් මාධ්‍යවලට පවසනු ඇසිණි. මර්දනීය නීති රීති නැතිව වගකීම් සහගතව කටයුතු කරන්නට ද මේ රටේ ජනතාව සූදානම් නැත. 

මේ වනාහි අතිශය සංකීර්ණ තත්වයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙම සංකීර්ණ ප්‍රශ්න ඔඩු දුවන තත්වයට ගෙනැවිත් තාවකාලික පැලැස්තර ඔස්සේ විජ්ජා පෙන්වන ලදී. එහෙත්, ඒවාට කල් පැවැත්මක් නැත. මන්ද, ඒ වැඩසටහන් පදනම් වන්නේ ම ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගල සාධක මත ය. වත්මන් ආණ්ඩුව පත් කළේ ම ආයතන ශක්තිමත් කරන්නට ය. පුද්ගලයන් ශක්තිමත් කරන්නට නො වේ. ඒ නිසා මේ අභියෝග ජයගැනීම යනු දේශපාලනික කාරණයකි. එය හුදෙක් පාරවල් අතුගෑමක් පමණක් නො වේ. 

අප මුහුණ දී සිටින්නේ සමාජ පරිවර්තනයක අභියෝගයටයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත්, ඔබගේ විශ්ලේෂණය ඉතාම තර්කානුකුලයි. මම එයට 100% ක් එකඟයි. පුද්ගල ප්‍රතිරුප වෙනුවට ආයතන ශක්තිමත් කිරීම, අවුරුදු 2500ක් පස්වාන් දහසකට බුදුවන්න කියාගෙන රාජාභිවන්දනයක යෙදුනු ජාතියකට සුවිශාල පරිවර්තනයකි, විප්ලවයකි. ලක්ෂ 58ක චන්ද ගැන පාරම්බාමින් දක්වන්නේ එයට ඇති ප්‍රතිරෝදයයි.

    ReplyDelete
  2. අජිත්... මහ වැස්සක් එන්න වගේ...

    අතීතයේ මහින්ද රාජපක්ස ආන්ඩුව යටතේ වැසි වැසීම් විදිමත් ව පවත්වා නොගෙන එහෙන් මෙහෙන් අර ගොවියන් ගේ ඉල්ලීම මත ගොඩ වැහි වස්සවා තාවකාලික පැලැස්තර ඇලවීම ඒක හේතුව නේද?

    ReplyDelete
  3. Replies
    1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
  4. දැන් දැන් මෛත්‍රීට තමා ගැන අධි විශ්වාසයක් ආරූඩ වී එනවා වගේ, නිමල් සිරිපාලලා ගොනි නැතිව කරේ යන්න ගිය නිසා හානි වූ ප්‍රතිරූපය ගොඩ ගන්න, හැම මඟුලට ජනාධිපති ඇඟිල්ල ගහන එක උත්තරයක් වුනත් ඔය ඇඟිල්ල ගහන්න / උළුක් කරන්න පුරුදු වෙච්ච කාටවත් ඒක නවත්ත ගන්න බැරිවුනා.

    ReplyDelete
  5. කොළඹ නගර සබාවට ඕන තරම් මිනිස්සු ඉන්නවා නගරය නඩත්තු කරන්න . ගොඩක් අය වැඩට යන්නේ නැතුව පඩි ගන්නවා . පඩිය හදන එකට බාගයක් මිනිහට බාගයක් . වැඩක් කර ගන්න ඕන නම් ගෙදරට ගිහිල්ල පගාවක් දීල ගෙන්න ගන්න ඕනේ .

    ReplyDelete
  6. ලංකව වගේ කෝටි 2 ජනතාවක් ඉන්න යුද්ධයක් නැති රටකට ලක්ෂ 4 හමුදාවක් කොහොමත්ම ලොකු වැඩියි.. කලයුත්තේ අවු 18-20 සාමාන්‍ය පෙලින් පසු කිසිදු වෘතීය පුහුනුවක් නැතිව හමුදාවට බැදෙන තරුනයින්ට වෘතීය පුහුනුවක් ලබාදී හමුදා සේවයෙන් මුදවා සිවිල් රාජ්‍ය ආයතනවලට එකතු කර ගැනීම..
    උදාහරනයකට නවීන යන්ත්‍ර භාවිත කොට පාරවල් පිරිසිදු කරන ආකාරය ගැන ජාත්‍යන්තර මට්ටමේ පුහුනුවක් ලබාදී හමුදාවෙන් මුදවන සෙබලු RDA එකට අනියුක්ත කරගත හැකියි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා