පාපන්දු ලෝක කුසලානයට පයින් ගැසූ බ්‍රසීලය

බ්‍රසීලය පාපන්දු ක්‍රීඩා ලෝලී දේශයකි. එරට හය වතාවක් ම පාපන්දු ලෝක කුසලානය දිනාගෙන ඇත. මේ වතාවේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බ්‍රසීලයේ නිසා ඔවුන්ට තමන්ගේ ර‍ටේදීම ජය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදා වී තිබේ.

බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අතර 2007දී ඒ අවස්ථාව තහවුරු වූ මොහොතේ ලක්ෂ ගණනින් බ්‍රසීල ජනයා වීදි බැස ප්‍රීති ඝෝෂා කළ හ.

එහෙත්, සත් වසකට පසු පාපන්දු ලෝක කුසලානය ඇරඹෙන මොහො‍තේ බ්‍රසීලයේ එතරම් උත්සවශ්‍රීයක් තිබුණේ නැත. ඒ ඇයි?

බ්‍රසීලය ක්‍රොඒෂියාව සමග තරග වදිමින් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිතව තිබුණු සාවෝ පෝලෝ නගරයේ වීදි විරෝධතාවාදීන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. නගරයේ උමං දුම්රිය මාර්ග සේවකයන් දින ගණනක සිට වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරමින් තිබිණි. නගරයේ ප්‍රවාහන පද්ධතිය මුළුමනින් ම පාහේ අක්‍රිය වී තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල විය. පාපන්දු ලෝලීන්ට සමාරම්භක උත්සවය පැවති ඇරීනා කොරින්තියන්ස් ක්‍රීඩාංගනයට පැමිණීම ද ගැටලුවක් වී තිබිණි. උමං දුම්රිය සේවකයන් සිය වර්ජනය අත්හළේ අන්තිම මො‍හොතේ ය. මේ අතර ගුවන් තොටුපළ සේවකයෝ ද වර්ජන තීන්දුවකට එළඹිය හ. ගුරුවරු ද වර්ජනයේ යෙදී සිටින තවත් ප්‍රධාන බලවේගයකි. ඇතැම් නගරවල බස් රියදුරන්ගේ වර්ජනය ද රිසයිට් නගරයේ පොලිස් වර්ජනයක් ද පැවැත්විණි. බ්‍රසීලියාහිදී ස්වදේශිකයෝ පොලිසියට ඊතලවලින් පහර දෙමින් ගැටුණ හ.

වර්ජන, විරෝධතා හා මාර්ග බාධක හේතුවෙන් බ්‍රසීලයේ පාපන්දු සත්කාරක නගර වන රියෝ ද ජැනයිරෝ, සාවෝපෝලෝ හා බෙලෝ හොරිසොන්ටේ ඇති වී තිබෙන මාර්ග තදබදය කෙතරම් සුවිසල් ද යත්, එක්සත් ජනපද පාපන්දු කණ්ඩායමට  ගුවන් තොටුපලේ සිට හෝටලය වෙත යාමට පැය දෙකකුත් විනාඩි 20ක් ගත වූ බව වාර්තා විය.

බ්‍රසීලය මේ දැවැන්ත උළෙල වෙනුවෙන් අලුතින් ක්‍රීඩාංගන ඉදි කිරීම පිණිස එක්සත් ජනපද ඩොලර් බිලියන 11.5ක් වැය කළේ ජනතා විරෝධය මැද්දේ ය. ඒ හා සම්බන්ධ මහා පරිමාණ දූෂණ චෝදනා ද ඇත. ආණ්ඩුව ඒ සා සුවිසල් ධනස්කන්ධයක් පාපන්දු ක්‍රීඩාංගන හැදීමට වැය කරන්නේ ජනතාවගෙන් සුවිසල් ප්‍රතිශතයක් දරිද්‍රතාවේ වෙලී සිටියදී හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සේවාවන් ආයෝජන නැතිව පිරිහෙමින් තිබියදී බව ජනතාවගේ චෝදනාව විය.

පාපන්දු පිස්සුව සම්බන්ධයෙන් ලෝක ප්‍රකට බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරද්දී රටේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් එ් පිළිබඳව උනන්දුවක් නො දක්වන තත්වයක් රටේ නිර්මානය වී තිබිණි. එයට හේතුව බ්‍රසීල ආර්ථික වෘද්ධියේ ප්‍රතිඵල ජනතාවගෙන් දුරස් වීමයි. අතිමහත් වූ ආර්ථික විෂමතාවයි.

පවත්වන ලද ජනමත සමීක්ෂණ ගණනාවකින් ම හෙළිදරව් වී තිබෙන්නේ ‍රටේ ජනගහණයෙන් අඩකට කිට්ටු අති විශාල ප්‍රතිශතයක් පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේ පවත්වනවාට අකැමැති බවයි. බ්‍රසීල ජනතාවට සැණකෙළිවලට වඩා එදිනෙදා ජීවිතය වැදගත් බව පසක් වී තිබේ. 


බ්‍රසීල පාපන්දු කණ්ඩායම රියෝ ද ජැනයිරෝහිදී අවසන් පුහුණුවීම් ආරම්භ කරන විට පවා බ්‍රසීල කම්කරුවෝ විරෝධතා පැවැත්වූ හ. ගුරුවරුන් බහුතරයක් සහභාගි වූ මෙම උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කරන ලද එක් බැනරයක සටන් පාඨය වූයේ අධ්‍යාපනඥයකු නේමාර් කෙනෙකුට වඩා වටිනා බවයි. නේමාර් යනු රොනාල්ඩෝ‍ගේ සිට රොමාරියෝ දක්වා පාපන්දු පුරාවෘත්ත රැසක් බිහි කළ බ්‍රසීලයේ වත්මන් පාපන්දු වීරයායි. කැමරූන් සමග පැවති තර‍ගයේදී නේමාර් ගෝල දෙකක් ලබා ගත්තේ ය. බ්‍රසීලය එම තරගය දිනුවේ 4 - 1 ලෙසයි. තරගයෙන් පසු 22 හැවිරිදි නේමාර් පැවසුවේ එය බ්‍රසීලය ලද හොඳම ජයග්‍රහණය බවයි. ඒ සමග ම බ්‍රසීලය අවසන් 16දෙනා අතරට ඇතුළත් විය.

බ්‍රසීල ජනාධිපති ඩිල්මා රවුසෙෆ් නැවත තේරී පත් වීම පිණිස ඔක්තෝබරයේදී ජනාධිපතිවරණයකට සැරසෙමින් සිටියි.

බ්‍රසීලය මධ්‍යම මට්ටමේ ආදායමක් ඇති රාජ්‍යයකි. එහෙත්, රජය අධික ලෙස ණය බරින් මිරිකී ඇත. එහි ජනතාව අතර ආදායම් විෂමතා අධික ය. ඒ හේතුවෙන් බ්‍රසීල ජනතාවගෙන් සුවිසල් ප්‍රතිශතයක් දිළිඳුකමින් බැට කති. දරිද්‍රතාව වැඩිපුර ම පැතිරී තිබෙන උතුරු හා ඊසානදිග ප්‍රදේශවල ළමයින්ගෙන් 25%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. බ්‍රසීලයේ ළමයින් රැකියාවල යෙදෙන ප්‍රතිශතය ද ලතින් ඇමරිකානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව වැඩි ය.‍ බ්‍රසීලයේ ධනවත් ම 10% ජාතික ආදායමින් 42.7%කට උරුම කියද්දී දුප්පත් ම 34%කට ම බෙදී යන්නේ ජාතික ආදායමින් 1.2%කටත් අඩු ප්‍රතිශතයකි.

බ්‍රසීලය වනාහි ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුද‍ලේ නව ලිබරල් ආර්ථික හැඩගැස්වීම් හිස් මුදුනින් පිළි ගෙන ක්‍රියාත්මක කරන්නට යාමෙන් ඇණ ගත් රාජ්‍යයන් සඳහා කදිම උදාහරණයකි. 

මේ ලිපි කියෙව්වාද? 


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. අපිටත් පාරට බහින්න තිබුණු චාන්ස් එකක් මග හැරුනේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලිය මෙහේ තියන්න බැහැ කිව එකෙන්.

    ReplyDelete
  2. කියෙව්ව ස්තූතියි.....නමුත් නමින් ලිබරල් ආණ්ඩුවනෙ සේරම කරන්නෙ ණය වෙලා කියෙන්නෙ ආණ්ඩුවනෙ බෙදන්නෙ සැලසුම් කරන්නෙ රජයනෙ කෝ ලිබරල් කම ඇයි ඒක පටලවාගන්නෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා