කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්. 

මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ. 

ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ. 

ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු අතෘප්තියක් නැතිව, පොඩිවුන් එක්ක සතුටින් ජීවත් වෙනවා.

ආදරේ බලාගෙන වැඩ කරන්න ගියාමත් ප්‍රශ්න.මොකද මේ සමාජයේ ඉන්න ළමයින් කියන්නේත් මල් වගේ නිර්මල පිරිසක් නොවෙයි. මව් කුසේ ඉන්න කාලේ සිට ම මේ ළමයි දූෂණය වෙලායි ඉන්නේ. ඒක සමාජයේ වරදක් මිස ළමයින්ගේ වරදක් නොවෙයි. ඒ නිසා තමන්ගේ වැඩේ කරලා, සියල්ල අමතක කරලා, ගේට්ටුව ගාවදී ඉස්කෝලේ ඔලුවෙන් බිම තියලා ගෙදර ගියාම ඉවරයි කියලා තමයි මම නම් හිතන්නේ. 

අපේ පැත්තේ දොඩංගොඩ ඉස්කෝලෙක විදුහල්පතිනිය දරුවකුට අමානුෂික ලෙස පහර දී තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් අද දිවයින පත්තරේ පළ වෙනවා. හේතුව ඒ ළමයා විසින් හදන ලද පොසොන් පහන් කූඩුවකට ලැබුණු ත්‍යාගය ගන්න වේදිකාවට ගොඩ වීම ය කියලායි කියන්නේ. ඒ තෑග්ග ඇමති කුමාර වෙල්ගම අතින් ගන්න විදුහල්පතිනියට ආසා තිබිලා. 

දොඩංගොඩ සිද්ධියේදී වුණත්, නවගත්තේගම සිද්ධියේදී වුණත්, ජනමාධ්‍යවල පළ වන්නේ 100%ක් ඇත්ත ය කියා මම නම් හිතන්නේ නැහැ. මේ සිද්ධි වාර්තා කරන්නේ ම භාවාතිශය අන්දමින් නිසා විත්තිකාර පාර්ශ්වයට අගතියක් වෙනවා. හැබැයි මගේ අත්දැකීම් අනුව නම් විදුහල්පතිවරයකු මේ අන්දමින් හැසිරීම ගැන මට කිසිම පුදුමයක් නැහැ.

ලංකාවේ පාසල් කියන්නේ ළමා වියේ සුන්දරත්වය කෙළෙසන, නිදහස අවුරන, නිර්මානශීලිත්වය මොට කරන වධකාගාර විශේෂයක්. ඉතින් විදුහල්පතිවරයා කරන්නේ කුමන කාර්යයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනැ නැ‍හැනේ. ඒක එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි, ගුරුවරයාගේ භූමිකාවේ තිබෙන ගැටලුව. ගුරුවරයා කියන්නේ ඉතා අඩු වැටුපක් ලබන පුද්ගලයෙක්. ඒ මදිවාට නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ පීඩනය නිසා පෙළෙන පුද්ගලයෙක්. මධ්‍යම පංතික උන්නතිකාමී ජීවිතය ගැට ගසා ගන්න ඔහු අමතර වැඩ කළ යුතුයි. ඒ නිසා ඔහුට විවේකය නැහැ. අවිවේකය නිසා ශාස්ත්‍රීය අධ්‍යයනවලට වෙලාව නැහැ. ණය බර අධිකයි. පවුල් ජීවිත අවුල්. අසහනය උතුරනවා.

බොහෝ ගුරුවරුන්ට හිතෙන්නේ ලැබිය යුතු ගෞරවය තමන්ට සිසුන්ගෙන් ලැබෙන්නේ නැහැ කියායි. ඒ නිසා ඔවුන් පාසල් ගේට්ටුවෙන් ඇතුළු වන්නේ ම යක්ෂයාට ඇඳගෙන. අර තමන්ට ලැබිය යුතු යයි හිතන ගෞරවය ගන්න මාරාවේෂයෙන් හැසිරෙන අය දකින්න පුළුවන්. 

බොහෝ විට විදුහල්පතිවරයෙක් කියන්නේ රෝග ලක්ෂණ එකතුවක් හෙවත් සින්ඩ්‍රෝමයක් ය කියා කිව්වාට වැරදි නැහැ. එහෙම විදුහල්පතිවරු ළමයින්ටත්, ගුරුවරුන්ටත්, දෙමව්පියන්ටත් වධයක්. දිවයින පුවත්පතේ වාර්තා වන සිද්ධිය කියවන විට මට නම් හිතුනේ මෙවැනි කුහකකම් පාසල්වල කොයි තරම් සුලබ ද, වාර්තා වන්නේ කීයෙන් කීය ද කියලායි.

ගුරුවරයාගේ රැකියාව කියන්නේ ඉතා දුෂ්කර එකක්. මන්ද, දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ අමනෝඥ ඇඟිලි ගැසීම් මැද, ප්‍රායෝගික භාවිතාවේ නැති පරමාදර්ශී සාරධර්ම මත පදනම් වෙලා සිසුන් ශික්ෂණය කරන්න යනකොට කරදර ගොඩයි. සිසුවා කියන්නේ විශේෂයෙන් ම ජනමාධ්‍ය විසින් හා පොදුවේ සමස්ත සමාජය විසින් ම ප්‍රවර්ධනය කරනු ලබන දුර්ගුණ සිය නො මේරූ මනසින් වැළඳගෙන පාසලට එන අසර‍ණයෙක්. උදාහරණයක් ලෙස, ආණ්ඩුවෙන් නොමිළේ දෙන රෙද්දෙන් ගවුම කොටට මහගෙන එන, කලිසම ස්ටොකිං එකක් වගේ මහගෙන, සාරි හැට්ට මගේ කමිස ඇඳගෙන එන ළමයින්ට මොනවද කරන්න ඕනැ කියන එක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ළමයි මේ ඇඳුම් මහගෙන ඇඳගෙන එනකල් දෙමව්පියෝ මොනවද කළේ? ඉඩ දුන්නොත්, ළමයි රෙදි නැතුව පාසල් එන්න පවා ඉඩ තිබෙනවා. වත්මන් සමාජ අර්බුදය මැද සාමාන්‍යයෙන් ළමයි අනුගමනය කරන්න පෙළඹෙන්නේත් යමක් හරියට කරන මිනිසුන්ව නොවෙයි. අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ, පේනවනේ අපේ නායකයන් වෙලා ඉන්නේ කවුරුද කියලා. දියුණු වෙන්න නම් කටයුතු කළ යුත්තේ ඒ අය වගේ ය කියා ළමයින් හිතන එක සාමාන්‍යයි. 

ගුරුවරයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හරිම සංකීර්ණයි. මේ ප්‍රශ්නවලදී මම නම් හිතන්නේ මේවා රටේ සමස්ත අර්බුදයේ ම කොටස් ය කියායි. ඒ නිසා ගුරුවරයකු ලෙස මට ඒ තත්වයන් වෙනස් කරන්න කරන්න පුළුවන් මැදිහත් වීමේ සීමාවන් තිබෙනවා. ඒ නිසා මම නම් ඉන්න තැන තමයි, ඕවා ඕනෑවට වඩා ඇඟට ගත යුතු නැති බව. මොකද, ළමයින්ට විෂය උගන්වන හා පංති භාරව ඉන්න ගුරුවරු විතරක් නොවෙයි මේ තත්වයන්ට වගකිව යුත්තේ. දෙමව්පියන්, වැඩිහිටියන්, නිලධාරීන්, දේශපාලකයන්, ආගමික හා සමාජ නායකයන් ආදී අටෝරාශියක් තවත් අයත් ඉන්නවානේ. ගුරුවරයාට උඩින් නිලධාරීන් තට්ටු පිට තට්ටු ඉන්නවා. අපි මොකටද මේ ප්‍රශ්නවලට තනියම කර ගහන්නේ?අපට කරන්න තියෙන්නේ මෙන්න ප්‍රශ්නය, මෙන්න මං කළ දේ කියලා පෙන්නලා, ඉන් ඉදිරියට කරන දේ සෙසු බලධාරීන්ට පවරන එකයි. මේ කියවන ඔබත් එක් බලධාරියෙක්.

මං ඉස්කෝලෙ පංතියක් භාරව ඉන්නවා. ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය හා සන්නිවේදනය හා මාධ්‍ය අධයයනය කියන විෂයන් උගන්වනවා. පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාරවත් කටයුතු කරනවා. මං දන්නේ නැහැ, මට නම් වේවැල්, කෝටු, නාරං, සියඹලා අතු නැතිව මේ ටික කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ. ඒ වුණාට ඉතින් ඒවා මගේ විතරක් ප්‍රශ්න නෙමෙයිනේ.

අපේ ගුරු සහෝදර සහෝදරියන්ට ආදර්ශ පාඨයක් කර ගත හැකි කවියක් රැපියල් තෙන්නකෝන් කවියා ලියලා තිබෙනවා.

නිසි ‍දේ ඉගෙන ගන්නට මට කියා නො දී
බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේක කියෙව්වම, පොඩ්ඩක් හිනා යනවා..
    මේක නෙමෙයි කරන්න ඕන. මේක හෙලා දැකීම..
    පැරා ඔය විදියට කතා කරනවනම්.. අර දේශපාලකයටත් කතාවක් ඇති කියන්න..
    ගුරුවරුන්ගේ නෙමෙයි රජයේ සේවකයන් කාගෙත් පඩිය අඩුයි. ඒක ආන්ඩුවේ වැරද්දක් නෙමෙයි. රැකියාව කරන පුදගලයගේ වැරද්දක්. මගේ ළඟ වැඩ කරපු, දීප්තිමත් අනාගතයක් තිබුන උන්. ආන්ඩුවේ රස්සාවල් හම්බ උනාම ඒකට යනවා, පැන්ෂන් එක බලාගෙන. අද උන් දුක් විඳිනවා. රැඳුන උන් සැප විඳිනවා.

    මට නම් පලා බබ බල්ලෙක්... විදුහල්පතිනිය බැලියෙක්..

    එහෙන පැරා මින් පසු අනිත් ප්‍රශ්ණත් මේ වගේ ගැඹුරින් බලන්න..

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියෙ ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයන් අතරින් කෙනෙක් කියලා අජිත් පැරකුම් කියන්නේ..... බලාගෙන ගියාම ප්‍රියන්ත හේවගේ ඊටත් වඩා බුද්ධිමත්.... කොහෙද ගිය ඉස්කෝලෙ? රෝයල් එකටද ගියේ?

      Delete
    2. අර ගොරුහොරු සෙට් එකක් පෙළපාලි ගියානේද ර පලාබබාව අර ගුරුහොරිය ඉස්සරහ දණ ගස්සවන්ඩ ඕන කියලා . එහෙනං මේ පොසොන් කූඩුවක් හදාපු පුතාට කියලා ගස්සවන්ඩයි තියෙන්නේ ඇමතිපෙරේත ගුරුහෙරටත් වේවැලකින් .

      Delete
    3. ගුරුවරුනෙ කායික හිංසන ගැන පුළුල් සමාජ කතිකාවතක් අවශ්‍යයි.තව ගුරෙක් පොඩිම ළමයි හයදෙනෙක් දූෂණය කරලා.සමහර ගුරාල ගුරීල තමන්ගෙ ටියුෂන් එකට එන්න කියල ළමයින්ට බල කරනව.ළමයින්ට බනින්නෙ අමු කුනුහරපෙන්

      Delete
    4. මාතලන් සහ දිවයින කතුවැකිය ලියන එකා අතර ලොකු වෙනසක් නැහැ.ලොකුවට සියල්ල දත් වගේ ඕන මගුලක් ගැන බ්ලොග් සටහන් ලිව්වට දෙයක් උඩින් අතගාල සෝඩා බෝතල් මානසිකත්වයෙන් රැල්ලට ලියන දේවල්.

      Delete
  2. චන්දන ගුණසිංහJune 28, 2013 at 7:40 AM

    ගුරු ගීතයයි, හරි පුදුම ස්කෝලෙයි මතක්වෙනවා......

    ReplyDelete
  3. පැරා, කවුරු මොනවා කිව්වත් අද ලියල තියෙන දේට මම එකඟයි. මගේ තාත්තයි අය්යයි දෙන්නම ගුරුවරු.

    ReplyDelete
  4. ඔයාට කරන වැඩේට පඩියක් ගෙව්වට, ගෙවන පඩියට වත් හරියන්න ඔයා වැඩක් කරනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න.

    ReplyDelete
  5. පැරා මොනවා උගැන්නුවත් කමක් නෑ. කසිකබල් මාක්ස්වාදී අදහස් වලින් ළමයින්ගේ ඔලුව කුරුවල් කරනවා එහෙම නෙමේ.... අපේ අත්දැකීම් වලින් අපි කියන්නේ 88/89.

    ReplyDelete
  6. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      Delete
    2. ඔයාගේ මෙව්වා අපිට මොකටද මෙයා?

      Delete
    3. මේ ගෑනු දැරිවිට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව නැගී සිටිමු....

      Delete
  7. මෙන්න මේක තමයි ඇත්තටම වෙන්නෙ. "ගුරුවරයාගේ රැකියාව කියන්නේ ඉතා දුෂ්කර එකක්. මන්ද, දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ අමනෝඥ ඇඟිලි ගැසීම් මැද, ප්‍රායෝගික භාවිතාවේ නැති පරමාදර්ශී සාරධර්ම මත පදනම් වෙලා සිසුන් ශික්ෂණය කරන්න යනකොට කරදර ගොඩයි ඔතන තමයි අපිට වැරදුනේ." ලංකාවෙ ඉන්නෙ ගුරුවරු නෙම්යි, ගුරු මැණිවරු පියවරු. එතකොට වැඩේ පටන් ගන්නෙම අනාගෙන. ඉන්න ඕන ගුරු වෘතිකයො. නමුත් එහෙම වෙන්නෙ කොහොමද, ඇත්තටම මේ අයට ලැබෙන්නෙ ඉතා අවම වැටුපක්. මහ බැංකු වාර්ථාවක තිබුනා මේ වෙනකොට හතර දෙනෙකුගෙ පවුලකට මසකට රු. 40,000/- වත් අවශ්යයි කියල. ඒ මුදල මං හිතන්නෙ ගුරුවරුන්ට ලැබෙන්නෙ නෑ. ඉතින් ගුරුවරයා ඉන්නෙත් ප්‍රශ්නවල, පරමාදර්ශී වෙන්නෙ කොහොමද එතකොට.
    කරන්න වෙන්නෙ මෙ කිව්ව වගෙ ඇඟට නොගෙන වැඩ කරන්න තමයි. අපි හිතගෙන ඉන්නෙ කොහොම හරි ඉස්කොලෙ ගිහිල්ල පුලුවන් වුනොත් කැම්පසුත් ගියාම වැඩේ හරි කියල. ඊට පස්සෙ බුද්ධිමත් කියල. අන්තිමට එලියට එන්නෙ නිර්මානශීලිත්වයක් නැති තමන්වදී මනුශ්යයෙක්.

    ReplyDelete
  8. තමන් හැදූ වෙසක් කූඩුවට අදාල ත්‍යාගය ඇමති අතින් ගත් බව කියන දරුවෙකුට වේවැල් පහර 20 ක් දුන් සිද්ධිය මත මෙරට පාසල් දරුවන් හිංසාවට ලක් කිරීම ගැන කතිකාවතක් ඇති කළ යුතුයි.මේ ළමයා යමක් කර ගත්තා නම් වේදනාව එම දෙමවුපියන්ටය.රටේ සියළුම දරුවන්ගේ තාත්තලා පළාත් සභා මන්ත්‍රීවරු විය යුතු යැයි සිතෙන්නේ මේ වගේ වෙළාවටය.ගුරුවරිය දනගැස්වූ සිද්ධියේ දී ගුරුවරියට පක්ෂව කොමෙන්ට් දැමූ මට මේ සිද්දිය ගැන ඇතිවුනේ බලවත් කම්පාවකි.ගුරුවරුන්ගේ පූජනීයත්වය ගැන කියා ඔවුන්ගේ පූජාසනයේ තැබීමෙන් ඔවුන් කුඩා දරුවන් වධ හිංසාවල ලක් කිරීමට හා දූෂ්නාය කිරීමට පෙළඹේ .මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන කතිකාවතක් අවශ්‍යය.සමාජමය වශයෙන් හිංසාවට එරෙහි සංවාදයක් ඇති කළ යුතුය.මේ ආකාරයෙන් දරුවන්ට වද හිංසා කිරීමට ගුරුවරුන්ට බලයක් ඇද්ද යන්න ගැන විමසා බැලිය යුතුය.

    පාසල්වල සිදුවන වධ හිංසා විවිධ වැඩවසම් මනස්ගාතවල සිර කර තෙරිරුම් ගත නොහැක.ඇත්තෙන්ම මේ රටේ පාසල් දරුවන් යනු වැඩිම වධ හිංසාවට ලක්වන ජන කොටස වේ.කිසිම කෙනෙක් හිංසාවට ලක්විය නොයුතු බව මගේ හැඟීමයි.වෙසක් කූඩු සිද්ධිය ඔප්පු කළැ නොහැකිනම් ගුරුවරිය දන ගැස්වූ සිද්ධියද ඔප්පු කළැ නොහැකි බව ගුරුවරු දැන ගත යුතුය.
    පළාත් සභා සිද්ධියද මට නම්, සිතෙන්නේ කොට්ටෝරුවා කෙහෙල් ගසට කෙටීමයි.

    ReplyDelete
  9. ලංකාවේ පාසල් කියන්නේ ළමා වියේ සුන්දරත්වය කෙළෙසන, නිදහස අවුරන, නිර්මානශීලිත්වය මොට කරන වධකාගාර විශේෂයක්.//
    ලංකාවේ පාසල් කියන්නෙ වධකාගාර තමයි මට දවසක් ප්‍රවීන මනෝ ව්ශ්ලේශකයෙක් කීවා ඇතැම් අය පාසල් ගුරු තනතුරු,බන්ධනාගාර නියාමක තනතුරු,පොලිස් සේවය වගේ රැකියා තෝරාගන්න බව.ඉන්දියාවෙ නම් school punishment forum වගෙ වෙබ් අඩවි වල මාන්සික රෝගී ගුරුවරුන්ගෙ අත්දැකීම් ඒ අය ලියා තබනවා.මම නම් හිතන්නෙ ගුරු පත්වීමක් දෙන්න ඉස්සර මානසික වෛද්‍ය වාර්තාවක් ලගා ගන්න ඕන.

    ReplyDelete
  10. පැරා ටිකක් සැරට ලිව්වත් ඇත්ත ලියවිලා තියනවා. සමහර තැන ගැන මට ප්‍රශ්න ඇත්තත්, මේ කියන එකට 100% එක්ඟයි.

    "ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න."

    හැම ගුරුවරයෙක්ම තමන්ගෙ වෘත්තිය හරියට කරනවානම් එයාල සමහර විට නොදැනුවත්වම සිසුන් අතර පූජනීය කෙසේ වෙතත් බොහොම ගරු කටයුතු පුද්ගලයෙක් වෙනවා. පැර ස්මහර විට එකඟ නොවෙන්නත් පුලුවන්, නමුත් ගුරුවරයෙක්ගෙ සැබෑ භූමිකාව විය යුත්තෙ සිසුන් පොතෙ දැනුමෙන් සහ සමාජීය දැනුවෙන් පොහොසත් කරන එක. නමුත් ලංකාවෙ ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ. ප්‍රදානම හෙතු තමයි මෙ පවතින ගොබ්බ පරිපාලන රටාවෙන් ගන්න ගොබ්බ තීරන. අනික දැන් කාලෙ ගුරුවරු වෙන්න එක 95% ක් ම එන්නෙ වෘත්තියට තියන ආසවෙන් නෙවෙයි, කාටවත් වැඩක් නැති කලා උපාදියක් කරල පිටකොටුව ඉස්සරහ ච්න්ද කාලෙට උද්ගොශනේ කරල, ඊට පස්සෙ රටේ අද්‍යාපනයට කෙල උනත් මට චන්ද එනවනම් ඇති කියල හිතන ගොබ්බ දේශපාලුවො හෝස් සේල් දෙන පත්වීමක් අරගෙන , එහෙම නැත්නම් කට පාඩම් කරපු විද්‍යා උපාදියට ඊට වඩා හොඳ රස්සාවක් ගන්න බැරි උන අය. ඉතින් මෙහෙම එන අයගෙන් ගුණාත්මක වෘත්තියක් අපි බලපොරොත්තුවෙන්නෙ කොහොමද?

    මේ රටවල් වල ගුරුවරයෙක් කියන්නෙ, රස්සාවක් නැති හින්දා ආපු උන් නෙවෙ, උන් ඒ වෘත්තියට කැමති හින්දා ආපු උන්, එක නිසා පුදුම කැපවීමක් තියෙන්නෙ, අනික තමන් කැමති දේ නිසා ආසවෙන් රස්සාව කරනවා.

    අපේ රටෙ සිස්ටම් එක වෙනස් නොවන තාක්කල් මේ එකක් වත් වෙනස් කරන්න බෑ. කරුමෙ කියන්නෙ ඒ සිස්ටම් එක වෙනස් කරන්න තරම් හයියක් තිබ්බ (ඉස්සර ) ජෙප්පො ගියේ වැරදි පාරෙ. මිනිස්සු කාටවත් එහෙම කරන්න විශෙෂ ඕනෙ කමකුත් නෑ.

    පොඩි උදා කියන්නම්, ගෙවල් ලඟ කෙල්ලෙක් උපාදිය අරන් වේලි වේලි ඉඳල කොහොමහරි අර මහින්දගෙ තිස්දාහෙ හතලිස් දාහෙ හෝල්සේල් පත්වීමක් ගත්ත, ජනවාරි මුල ඉඳන්, මාස 2-3 යි ගියෙ, ප්‍රෙග්නන්ට් වෙලා ගෙදාර. අපිත් එක්ක කියනවා, අනේ ඔවෑයෙ යන්න පුලුවන් කාටද, එපා වෙනව. එකමයි පොඩ්ඩක් කලින් ලමයෙක් හදන්න හිතුනෙ, මේ ටික මෙහෙමම ඉඳලා ලබන අවුරුද්දෙ ට්‍රන්සර් එකක් ගන්නවා.

    හැබැයි පැරාත් එක්ක එකඟ නොවෙන තැන තමා "ගේට්ටුව ගාවදී ඉස්කෝලේ ඔලුවෙන් බිම තියලා ගෙදර ගියාම ඉවරයි ", මම හිතන්නෙ ගුරුවරයෙක්ට එහෙම කරන්න බෑ, මොකද පැවරුම් හරිගස්සන්න, උත්තර පත්‍ර බලන්න, ඊලඟ පාඩමට සුදානම් වෙන්න වගෙ වැඩ රාජකාරියෙම කොටසක්, මම හිතන්නෙ ඒටික ගැනත් හිතල තමයි ගුරුවරුන්ට දවසෙ ඉතුරු ටික දීල තියෙන්නෙ. හැබැයි ඉතින් නෝට් එක කියවන ගුරුහොරෙක්ටනම් ඔය ක්‍රමේ අවුලක් නෑ. මෙහෙ පාසැල් වල ගුරුවරු සේව පැය අවසන් වෙන්නෙ පාසැල ඉවර වෙලා පැය කිපයකට පස්සෙ, ගුරුවරු ඒ වෙලාවෙ කරන්නෙ ඔය කියපු ඒවා, ඊට අමතරව ලමයින්ගෙ හැසිරීම්, රටාවන්ගෙ වෙනස්කම් වගෙ හැම දෙයක් ගැනම පරීක්ශා කරනවා. හැබයි මම කියන්නෙ නෑ දැන් පැරාලට ලැබෙන දෙයින් ඔය ඔක්කොම කරන්න කියල. මම කියන්න හදන්නෙ ""ගේට්ටුව ගාවදී ඉස්කෝලේ ඔලුවෙන් බිම තියලා ගෙදර ගියාම ඉවරයි "" කියල කිව්වට, ඒක එහෙමම ඉවර නෑ කියල.

    හැබයි ගුරුවරයෙක් නෙවෙයි ඕන කෙනෙක් තමන්ගෙ රැකියාවට එනකොට ගෙදර ප්‍රශ්න ගෙට්ටුව ගාවින් තියල එන්න ඕනෙ.

    -පසුගාමි ගෝත්‍රිකයා

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙකුගේ වැඩ කාලය කොපමණ ද කියන කාරණය සම්බන්ධයෙන් යුනෙස්කෝ වැනි ආයතනවල මූලිකත්වයෙන් ඇති වුණ සංවාද තිබෙනවා. වෙනත් රැකියා කරන අය වගේ නොවෙයි, ගුරුවරයා ගෙදරදී පසු දින පැවැත්වෙන පාඩම්වලට සූදානම් විය යුතුයි. එතකොට ගුරුවරයා වැඩ කරන කාලය පාසලේ ඉන්න පැය හයට සීමා වෙන්නේ නැහැ.

      ඒත්, ලංකාවේ අධ්‍යාපන බලධාරීන් වී සිටින ටියුෂන්කාරයෝ මේවා දන්නවාද? උන් කල්පනා කරන්නේ ‍ගුරුවරුන්ව පාසලේ හවස් වෙනකල් රඳවගන්න උපයෝගී කරගන්න පුළුවන් උප්පරවැට්ටි ගැන.

      මේක උන්ට ගිය රට. අපේ ජනතාවත් හිතන්නේ ගුරුවරයා කලින් ගෙදර යන නිසා අඩුවෙන් පඩි ගෙවන එක සාධාරණයි කියලායි.

      සමහර නෝනා මහත්තුරු ගුරු වෘත්තියට එන්නේත්, සමහර මහත්තුරු ගුරු වෘත්තියේ ඉන්න ගැහැනුන්ව බඳින්නේත්, ඒ අය වරුවෙන් ගෙදර එන නිසා. එහෙව් රටක අධ්‍යාපනයට මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න ඕනැද?

      Delete
    2. Yes agreed. Just repeating part of my comment..

      "හැබයි මම කියන්නෙ නෑ දැන් පැරාලට ලැබෙන දෙයින් ඔය ඔක්කොම කරන්න කියල. මම කියන්න හදන්නෙ ""ගේට්ටුව ගාවදී ඉස්කෝලේ ඔලුවෙන් බිම තියලා ගෙදර ගියාම ඉවරයි "" කියල කිව්වට, ඒක එහෙමම ඉවර නෑ කියල."

      -පසුගාමි ගෝත්‍රිකයා

      Delete
  11. School nama kiuvanam principal thamai thagi ganna yanna one. meya ai giye..hoda dhaduvam..mamanam thavath gahanava. kollage amma,thaththata gahanna one mulinma..kollava hodata hadala naha.

    ReplyDelete
  12. Excellent comment.I totally agree with what the writer has said about our schools.The main reason why our society is eroding morally is due to our schools. I have taught for 40 years out of which 15 years have been abroad.There's a vast difference between the education system there and here.In other countries they produce positive thinking people but unfortunately we produce negative thinking idiots.

    ReplyDelete
  13. Excellent comment.I totally agree with what the writer has said about our schools.The main reason why our society is eroding morally is due to our schools. I have taught for 40 years out of which 15 years have been abroad.There's a vast difference between the education system there and here.In other countries they produce positive thinking people but unfortunately we produce negative thinking idiots.

    ReplyDelete
  14. Excellent comment.

    ReplyDelete
  15. agreed to most of the article

    ReplyDelete
  16. Very important article. Thank you very much for raising this topic in Sri Lanka today.

    If kneeling was that hurting for the teacher, then why do teachers do that to children?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා