මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන

මම නර්තනය ගැන එතරම් දෙයක් නො දනිමි. එහෙත්, මම නර්තන රසිකයෙක්මි. නර්තනයක් ගැන විවරණයක් ලියන්නට මම නො දනිමි. එහෙත්, මේ නර්තනය මම උපරිම අන්දමින් වින්දෙමි. ඒ වින්ද රසය හා එයින් අත් වූ චිත්ත ප්‍රමෝදය ඔබ සමග බෙදා නො ගෙන සිටිය නො හැකි බැවින්මේ සටහන තබමි.

ලංකාවේ සරසවි ඇදුරන් පිරිසක් ගැන සතුටක් ඇති වීම ද ඉතා දුලබ සංසිද්ධියකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් නිර්මානය කරන ලද මන්තිරි වන්නම සත්තකින් ම අති විශිෂ්ට නිර්මානයකි.

එය වන්නම්, කෝලම්, ඉඟි නළු, නාට්‍ය ආදී ෂානර රැසක් ඔස්සේ විවරණය කළ හැකි මාහැඟි නිර්මානයකි. 

වන්නම් සම්ප්‍රදාය ඔස්සේ යමින් නවතම නාද රටා හා තිත් රූප ඔස්සේ නිර්මානය කර තිබෙන මෙම 'මන්තිරි වන්නම' මා දන්නා හැටියට 2009දී නිර්මානය කරන ලද ඔහුගේ තුන් බිය මුද්‍රා නාට්‍යයේ අංගයකි. මෙවැනි ම වූ 'ඇඟලුම් වන්නම' හා 'ගුරුදේව වන්නම නම් වූ වන්නම් දෙකක් ද එහි අඩංගු බව අසා ඇත්තෙමි. එහෙත්, මෙහිදී සැබැසින් වේදිකාවේ නො දුටු, වේදිකාවකදී කළ රංගනයක සාමාන්‍ය වීඩියෝවකින් පමණක් දුටු මේ රංගනය වෙන ම ගෙන සලකා බලමි.

එය ඉහළ ගනයේ නිර්මානාත්මක නර්තන වින්‍යාසයකි. එසේ ම, ඒ සමග යන රැඟුම අතිශය නාට්‍යමය එකකි. මන බඳින උච්ච ස්වර දීර්ඝ ගායනය භාව පූර්ණ අව්‍යාජ ගැමි ගැයුමකි. පද පෙළ විශිෂ්ට සාහිත්‍යමය ගේය පද රචනයකි. එසේ සලකා බැලූ කල එය පරිපූර්ණ රංග කාව්‍යයකි.

එසේම, මහාචාර්ය කළුආරච්චි මේ පෙළහර පාන්නේ සම්ප්‍රදායික සීමා නො බිඳ එහි නිම්වළලු පුළුල් ක‍රමින් වීම ඔහුගේ නිර්මාණශීලීත්වය හා ශික්ෂණය කෙබඳු ද යන්නට දෙස් දෙයි. සිය මුද්‍රා නාට්‍ය මං පෙතෙහි "යකදුරාගේ දියණිය", "නිශාචර", "බැරිසිල්", "පත්තිනිවත", "ව්‍යවර්ති", "මහසොහොන්වත" යනාදී සලකුණු තබා ඇත. බැරිසිල් ඒ මුද්‍රානාට්‍ය පෙළහරේ මුදුන් මල්කඩකැයි කිව හැකි ය.

මන්තිරි වන්නමෙහි මුඛ්‍ය රසය උපහාසයයි. එහෙත්, චාලි චැප්ලින් වැනි ලෝක පූජිත විශිෂ්ටයන්ට නො දෙවෙනි අන්දමින් මහාචාර්ය කළුආරච්චි සිය නිර්මානය හරහා ගැඹුරු සමාජ දේශපාලන විවරණයක් ඉදිරිපත් කරයි. රංග වින්‍යාසයේ සෑම පුංචි චලනයක් ම නැවත නැවත බලමින් නව රසයන් මතු කර ගත හැකි ය.

දහ අට වන්නම නටන්නේ මිනිසුන්ට වැළ‍ෙඳෙන රෝගාබාධ දහ අටක් සුව කිරීම සඳහා වූ අභිචාරයක් ලෙසයි. එකී රාමුව තුළ සිටිමින් නිර්මානය කර ඇති මන්තිරි වන්නම රටේ දේශපාලන අර්බුදය හකුළුවා දක්වන ඉසියුම්කම විස්තර කිරීමට වචන නැත.

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් //
තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ඡන්දය ළඟ එන විට මං
සිනා මූණෙන්
‍ගෙයින් ගෙයට පිය නගනෙම්
සැමටම ලෙන්ගතු පානෙම්
සැප දුක සැමගේ විමසම්
වැඳ වැටෙමින්
සේසතම වුවත් පුද කරමින්
මව්‍පියොවත් නැත මෙලෙසින්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ඉලව් ගෙයක් දු‍ටුවෝතින්
ඒ සැණකින්
යන්නෙමි මනාප ගණිමින්
ඔවුනට සොව පළ කරනෙම්
ජය ලැබු කල තිබු ඡන්දෙන්
බල බිඳිමින්
අමතක වේ පොඩි මිනිසුන්
වරද කිමද මම නො දනිම්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

හමුවට එන අය හට මම්
බෑ නො කියම්
පිලිතුර සලකා බලනෙම්
නැතහොත් හෙට හෙට හෙට යයි කියමින්
ආරක්ෂක පිරිවර සෙන්
පිටුපස්සෙන්
එනමුත් හිතේ ඇත බය නම්
නො කරමි ඒ බව පෙන්නුම්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

කව්රුත් මොනවත් කීවත්
වැඩ ගැන නම් (‍හෙහ්)
කොමිස් ගැහිලි නෑ මම නමි
ජන මිතකාමිව වැඩ මම්
ඉඟ සුඟ ගත හැකි මනරම්
මගේ ලේකම්
සැම දේ කර බැතියෙන්
සැම දේ කරති තුටින්

තන තන තන තන තානම් තන තානම්
තන තම් දෙන තානම් ///

ප්‍රජාතන්තරය රකිනෙම් (‍හෙහ්)
අපි නැතිනම්
රටට කලක් යයි නො දනිම්
රටට කලක් යයි නො දනිම්
වැජඹෙන මේ අපි උතුමන්
මන්තිරි නම්
වන්නම මේ ලෙස නටනෙම්
වන්නම සුදනනි දැන ගම්

(බෙර පදය)
ඒ පැත්තෙන් මේ පැත්තට
මේ පැත්තෙන් ඒ පැත්තට
කරනම් කරනම් කරනම්
කොයි කොයි පක්ෂෙන් ආවත් අපි නම්
වෙන්නෑ කවදත් පැරදුම්
පැරදුම් පැරදුම් පැරදුම්
(බෙර පදය)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මමත් බැලුවා.. අගේ කරන්න වචන නෑ.... නලාකාරයෝ වැහි වැහලා ඉන්න කාළේ මෙහෙම කළාකරුවෝ.. මල් තියලා පුදන්න ඕන...

    ReplyDelete
  2. ඉතා විශිෂ්ටයි.එම කලාකරුවනට මාගේ ප්‍රණාමය...!!!

    ReplyDelete
  3. තරිකිට කුංදත් තා

    නියමයි !

    ReplyDelete
  4. suba pathum............

    ReplyDelete
  5. Its great! Satire at the Climax! Para.. Hats off.. you are not only a versatile writer.. but a critique par excellence.
    Good work! and it shows your humanity and simplicity over so called criticisms by which you branded as a poverty stricken pessimist.

    ReplyDelete
  6. මාත් මේ වීඩියෝව හරියටම ඊයේ අහම්බෙන් හමුවී බැලුවා. මං මේ ගැන පොඩි කතන්දරයක් ලිවුවා හෙට දාන්න කියා. දැන් එක් පැත්තකට දාමු.

    මං නං මේ වීඩියෝවේ නැට්ටුවන් ගේ මුණු වලින් අද දේශපාලනයේ ඉන්නා විවිධ චරිත දැක්කා.

    නිකං ඇන් කොම්පැනි එකේ අළුත් වර්ශන් එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. කකා පිස්සු කෙලින් නැතිව ඔබ ලියපු එකත් දමන්න.

      Delete
    2. @ Kenji
      ඒක පස්සේ මෙඩිෆයි කරලා ගන්නම්.

      ඔන්න මේ දැන් වෙන කතන්දරයක් දැම්මා!
      http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html

      Delete
  7. පාවෙන තිරිවානා කැට මැද්දෙන්- යට යන ගොම රිටි ග`ද දැනෙනා
    සිරියෙන නැලවෙන මාධ්යැ යුද්දෙන් - මෙහෙව් අරුත් දේ යට කරනා

    අරුතින නැග එන දැක්මෙන් විහිදෙන - මෙවන් යටිපෙලෙන් ගතු කියනා
    අණ වින දැනගෙන රට කරවනු මැන - මෙම විරු හැර නැත අන් සරණා

    හිතුවක්කාරයා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා