CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි

ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ  සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි. 

තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි.  ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ.

ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය ‍දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ලියූ ලිපි එකතු කරගෙන ඉන්නේ කවදා හෝ කවුරුහරි අනිවාර්යයෙන් ම තමන් ගැන කටුගෙයක් හදනවා ය කියා දන්නවා වගේ ය. ඉතිහාසගත වන්නට කවුරුද අකැමැති?

කෙසේ වුවත්, තොරතුරු ආරක්ෂා කර ගැනීම ගැන බොහෝ දෙනෙක් උනන්දු ය. කාගෙන් ද? බාප්පලාගෙන් ය. බාප්පලා අප පස්සෙන් එනවා කියා බය වීමෙන් පොඩි ආතල් එකක් ගැනීමට වම, දකුණ කියා භේදයක් නැතිව අප බොහෝ දෙනෙක් කැමති ය.

බාප්පලා කිව්වා ම මිල්ලෙ සොයා චිත්‍රපටයේ මරු කෑල්ලක් සිහි වේ. එහි ඉතාලියේ සිටින ජවිපෙ සාමාජිකයෙක් තවෙකෙකුට පහර දෙයි. මේ දකින මහේන්ද්‍ර හෝ වෙනත් කෙනෙක් ඒ ඇයි ද අසයි . උත්තරය "මූ බාප්පා" යන්නයි. ඉතින් ප්‍රශ්නය අහන කෙනා අහන්නේ "ඉතින් බාප්පා නම් මොකද ගහන්නේ?" කියා ය.

ලංකාවේ සමාජ ක්‍රියාකාරිකයෝ වැඩි දෙනෙක් කරන විශේෂ දෙයක් නැති වුණත්, බාප්පලා පස්සෙන් එනවා ය කියා හැංගි හැංගී සිටින්නට කැමති ය. 

මට නම් ඇත්තෙන් ම බිරිඳගෙන්වත් හංගන්නට එතරම් දෙයක් නැත.

බාප්පලා මගේ කොම්පියුටරය ගෙන ගොස් ඕනෑ නම් කියනු ඇත්තේ "මූ මේකෙන් වැල බලා තිබේ" කියා ය. ලංකාවේ වැල නො බලපු කොම්පියුටරයක් සොයා ගැනීම කිසාගෝතමී කිසිවකු නො මළ ගෙයකින් අබැටක් සෙව්වා වාගේ දෙයකි. මම වැල බලා තිබේ කියා මම කල් ඇතිවම කියා තියන්නේ ඕක නිව්ස් එකක් ලෙස බ්‍රේක් කරන්නට ඕනෑ නැති නිසා ය.

ඔය කැරළි ගැන මගේ අත්දැකීම් නම් ලණු කැරළිවලට එහා ගිය ඒවා ය. මහපටැඟිලි දෙක පැන්සලක් විතර ඝනකම ලණුවකින් බැඳ පිටිපසින් අඹරා වහලේ එල්ලන කල හෝ පෙට්‍රල් හෝ මිරිස් කුඩු හෝ දැමූ ෂොපිං බෑගයක් ඔලුවට දමා එහි කට සීල් වන සේ අල්ලාගෙන ටික වෙලාවක් යන විට හෝ වතුර ටැංකියක හිස ඔබා තද කරගෙන ඉන්නා විට හෝ අපේ ගම් පැත්තේ වැලිපැන්න පොලිසිය ‍'කොච්චි කොටන්නං රළහමි දෙනවද එළුවා' කරන විට "කියඤ්ඤං" යි නො කියා ඉන්න පුළුවන් ය කියා ගැරන්ටියක් දෙන්නට 1989න් පසු මට නම් බුදු අම්මෝ බැරි ය. ඒ නිසා ඩෝං ගාලා ඔලුවට එකක් එක පාර තියන්න බාප්පේ ආතල් එක නො කැඩෙන්න, මම නම් කරන්නේ කියන්න පුළුවන් දේවල් විතර ය. මගේ ඔය ඇනොනිමස් ආතල් නැත්තේ මං වීරයෙක් නිසා ‍‍නො ව බය ගුල්ලෙක් නිසා ය. 


ඉතින් මේ වැල්වටාරම් ‍ටික ලිව්වේ අප පිවිසී තිබෙන අලුත් CCTV යුගය ගැන කියන්නට ය. ගිය සතියේ ලංකාවේ  CCTV යුග පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් පසු වූ බව මම මෙම ලිපියේ පෙන්වා දී ඇත්තෙමි.

එහි ඇති සිද්ධි දෙකෙන් වැදගත් සිද්ධිය වන්නේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ  ආරක්ෂක පිරිවර විසින් කරන ලද බව කියන කොන්ත්‍රාත් ඝාතනයක් මාට්ටු වූ ආකාරයයි. ‍තමන් පැටලී සිටි ණය උගුලෙන් ගැලවීම පිණිස ණය හිමියා මරන්නට පොලිසියට කොන්ත්‍රාත්තුව දී එකට කා, උගුල තුළට ණය හිමියා කැඳවාගෙන ගිය ණයකාර පුද්ගලයා, ඉන් පසු පණ දාගෙන බොරුවට ඔහු සොයන්නට පටන් ගෙන තිබේ. මේ අතර මරා දමන ලද පුද්ගලයාගේ මිනිය හමු වී හඳුනා නො ගෙන මෝචරියක තිබී ඇත. කාරයද අතහැර දමා තිබියදී පොලිසියට ගෙනැවිත් තිබී ඇත. කාරය අතුරුදහන් වූ පුද්ගලයාගේ බව දැන ගත් පසු එය අතහැර දමා තිබූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කරන විට අසල ස්ථානයක CCTV කැමරාවක් දක්නට ලැබී එහි වාර්තා අධ්‍යයනය කර බලන විට දක්නට ලැබී තිබුණේ අර කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා කාරය එතැන දමා මාරු වන ආකාරයයි. 

CCTV කැමරාවෙන් විවිධ සොරකම් මාට්ටු වී තිබුණත්, එයින් බාප්පලාට ද කෙළ වූ පළමුවන අවස්ථාව මෙය නිසා මෙය ලංකාවේ CCTV පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දේශපාලනිකව අර්ථකථනය ක‍ළෙමි. 

ලොකු අයියා දැන් CCTV කැමරාවෙන් අප දෙස බලා සිටින බැවින් බාප්පා ය, පුතා ය කියා වෙනසක් නැතිව කවුරුත් මාට්ටු ය. 

මේ සමාජ ක්‍රමයට එරෙහිව සටන් කිරීම හැංගී සන්නද්ධ වීමෙන් කළ නො හැකි ය කියා මට සිතී බොහෝ කල් ය. එයට මුහුණ දීම සඳහා තිබෙන හොඳ ම අවි වන්නේ සත්‍යය, විවෘතභාවය හා එඩිතරකමයි. ලොකු අයියා හයියෙන් ම බය ඒවාට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /* සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. */

    නැචුරල් සිලෙක්ෂන් එකෙන් බ්ලාස් වෙලා යන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිළිවෙල අයටත් ඒක ම වෙන්න පුළුවන්. මොකද සිලෙක්ට් කරන එකෙත් කිසි පිළිවෙලක් නැහැනේ.

      Delete
    2. පුද්ගලයා බ්ලාස් වනු දැකීමට කිසිම කැමැත්තක් නොමැති මුත්, ඔහු නියෝජනය කරන මතවාදය හැකි ඉක්මනින් බ්ලාස් වනු දැකීම මාගේ පරම පැතුමයි. එය වැඩි ඈතක නොවන බැවින් මාගේ හද සන්තානයෙන් බුර බුරා නැගී එන සන්තුෂ්ටිය මෙසේ ප්‍රකාශ කලෙමි.

      Delete
    3. ඔයා හොඳයි. ඔය ගිනිසිළු වගේ කට්ටිය පුද්ගලයා බ්ලාස් වෙනවට තමයි වැඩිය කැමති.

      Delete
  2. මහේෂ් මුදලිගේJune 9, 2013 at 5:50 PM

    //මට නම් ඇත්තෙන් ම බිරිඳගෙන්වත් හංගන්නට එතරම් දෙයක් නැත.//
    ටිකක් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. කාගෙ කිල්ලෝටෙද මල්ලි හුණු නැත්තෙ?

      Delete
  3. ආ පැරා මේ ලින්ක් එක බලන්න. එකේ තියෙන ගැටලුව මේ සයිට් එකෙත් තියෙනවා. මම ගොඩ දවසක ඉදලා ඒක කියන්න හිටියේ ඔබට. මේකට ගිහින් බලලා ඒ විදියට ක්‍රියාකරලා ඔබගේ සයිට් එකත් හදා ගන්න

    http://geek.lk/discussion/11638/www-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B7%80-domain-%E0%B6%91%E0%B6%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99-%E0%B6%87%E0%B6%BA%E0%B7%92-

    -ඇසල-

    ReplyDelete
  4. කෝ පැරා මගේ කලින් කොමෙන්ට් එක? ඔබගේ මුල් පොස්ට් එකත් එඩිට් කරලා.

    මම ඇහුවේ ප්‍රංශයේ සිටිනා අරාජිකයන් යැයි කියා ඔබ කිව්වේ වෙඩිවර්ධන, දේශප්‍රිය හා එක්නැලිගොඩ ට දැයි කියා.

    ඔබ මගේ කොමෙන්ටුව මෙන්ම ඔබගේ පොස්ටුවද එඩිට් කර තිබෙනවා. මෙන්න අජිත් පැරකුම්ගේ ලෝකෙට පරකාසේ ගෙදර මරගාතේ ප්‍රජාචන්ත්‍රවාදෙ.

    -ඇසල-

    ReplyDelete
    Replies
    1. පැරාට උත්තර නැද්ද?

      -ඇසල-

      Delete
  5. CCTV කැමරා වල තියෙන එව්වා රුපවාහිනී නාලිකා වල පෙන්වීම නීතියට එකගද?

    ReplyDelete
  6. මම පැරාගේ පෝස්ට් ගොඩක් විවේචනය කරලා තියෙනවා...ඒ ඒවායේ පෞද්ගලික් ද්වේශයේ හා දෘෂ්ඨියේ මා දු‍ටු ඇතැම් කාරනා නිසා...

    ඒත් මේ පෝස්ට් එක මල් හතයි...හැට්ස් ඔෆ් ‍ටු යූ......සතය්‍ය ඉතා ප්‍රභලය.....

    ReplyDelete
  7. බාප්පලා එන්න ඕන නෑ... අපේ බාප්පලාට අපි යන එන තැන්..කරන්නේ මොනව්ද කියලා අපිම කියලා ඉවරයි...මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට්, වලින් අපි යන එන තැන් කරන්නේ මොනවද කියලා ඔය ඕනෑම බාප්පෙකුට පුලුවන්. අපේ පෞද්ගලිකත්වය අපිම නැති කරගෙන ඉවරයි.

    ReplyDelete
  8. Have a look at this...

    http://www.independent.co.uk/news/world/americas/former-cia-man-edward-snowden-faces-backlash-after-turning-whistleblower-on-us-datamining-operation-8651375.html

    ReplyDelete
  9. ලංකාවේ CCTV භාවිතාව වැඩිවීම ඉතා හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ. ඔය මිනීමැරුම CCTV මගින් අසුවුණා වගේ බොහෝ අපරාධ CCTV උපකාරයෙන් අල්ලගන්නවා විදේශරටවල ම බොහෝ දැක තිබෙනවා. හොරකම්, පහරදීම්, දේපොළවලට අලාභ හානි කිරීම් වගේ දේවල් ඔය CCTV නිසා අසුවෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා