රාවණා බලය පොල්කටු උසාවි පැරණි කොමඩියක අලුත් පිටපතකි

ඉවැන්ජලික ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ලංකාවට ආ ලෝගෝස් හෝප් පොත් නැව
රාවණා බලය නම් අන්තවාදී භික්ෂු සංවිධානය ක්‍රියා කරන ආකාරය දුටු විට සිහිපත් වන්නේ 1987 - 89 සමයේ ජවිපෙ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයයි. එම ව්‍යාපාරය වෙත යම් යම් පැමිණිලි කරන්නට ගම්වල මිනිස්සු පුරුදු වූ අතර ජවිපෙ සිය දේශපාලන හා අවි බලය භාවිතා කරමින් ඒ ප්‍රශ්න විසඳන්නට පටන් ගත්තේ ය.

ඒ නඩු විසඳීම් සිදු වුණේ ඒ ඒ ප්‍රාදේශීය නායකයන්ගේ බුද්ධියේ දිග පළල අනුවයි. අධිකරණයෙන් සාධාරණත්වය ලබා ගැනීම දුෂ්කර වූ සංදර්භය තුළ ජවිපෙ පොල්කටු උසාවි ජනප්‍රිය වූ මුත් ඒවා අතිශය ප්‍රචණ්ඩ ඒවා විය. 

කොටි සංවිධානය ද දෙමළ ජනයා අතර ජනප්‍රිය වන්නට මෙවැනි පොල්කටු උසාවි හරහා ක්‍රියාත්මක කරන ලද ශික්ෂණය උපයෝගී කර ගත්තේ ය. 

රාවණා බලය ද දැන් ක්‍රියාකාරී පොල්කටු උසාවියකි. නැගහොත් කැංගරු උසාවියකි. පසුගිය දිනවල ඔවුහු රංචු ගැසී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි ආයතනවලට කඩා පැන නඩු විසඳීම් ස්වරූපයේ මැදිහත්වීම් කළ හ.

බෞද්ධ සංකේත සහිත ඉවත දමන කඩදාසිවලින් බකට් පහන් හැදූ බවට චෝදනා කර සුළු කර්මාන්තකරුවකු පිළියන්දල පොලිසියට ගෙන ගොස් භික්ෂුවකට වන්දවා සමාව ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙනු දුටු බව මගේ මිතුරකු පැවසී ය.

අලුත් ම සිද්ධිය මුල්ලේරියාව පැත්තේ ගෙන් ගෙට ගොස් 'පිබිදෙව්!' නම් සඟරාවක් බෙදමින් සිටි යෙහෝවාගේ සාක්කිකරුවෝ නම් ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායකට අයත් පිරිසක් නීති විරෝධී අන්දමින් මුල්ලේරියාව පොලිසි ගෙන ගොස් පොලිසිය තුළදීම නැවත එම කටයුතු නො කරන ලෙසට තර්ජනය කර නිදහස් කිරීමයි. (එහි වීඩියෝ මෙම පිටුවේ තිබේ)

රාවණා බලය මේ ක්‍රියා කරන්නේ සිවුරට ඇති ගෞරවය හෝ සිවුරට පෙට්‍රල් දමා ගිනි ගන්නවාට ඇතැයි සිතන බියත්, ආණ්ඩුව සමග ඇති බවට තොරොම්බල් කරන සම්බන්ධකම්වල ශක්තියත් පාවිච්චි කරමිනි. 

මම නම් කිසිදු ආගමක් නො අදහමි. ඒ අතර ම මා නම් පිළි ගන්නේ ආගම් යනු මිනිසකුගේ අතිශය පෞද්ගලික ජීවන කාර්යයක් ය කියා ය.කිසිවකු ආගම් පැතිරවීම වැරදි යයි හෝ නිවැරදි යයි හෝ මම නො කියමි. 

රාජ්‍ය අනුග්‍රහය සහිතව ලංකාවට ගෙන්වාගෙන ගාලු හා හම්බන්තොට වරායවල නවත්වාගෙන තිබූ පොත් නැවක් බලන්නට වරක් මම ගියෙමි. එහි අරමුණ වූයේ ද ඉවැන්ජලික ආගමික නිකායක් ප්‍රවර්ධනය කිරීමයි. (කියවන්න:ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි)
  

රෝග සුව කිරීම, පැතුම් ඉටු කර දීම වැනි අසරණකම හා තෘෂ්ණාව සමග සම්බන්ධ කටයුතු ඔස්සේ මිනිසුන් ආගම්වලට ආකර්ශනය කර ගැනීමේ ප්‍රවණතාවක් සියලු ස්ථාපිත ආගම්වල තිබේ. ක්‍රිස්තියානි ආගමේ යෙහෝවාගේ සාක්කිකරුවන් වැනි ම වූ ප්‍රවණතාවකි, වඳුරඹ සිරිවර්ධන. ඉස්ලාම් ආගමේ ද මෙවැනි ප්‍රවණතා තිබේ. 

සම්ප්‍රදායික ආගමික සංස්ථා දිළිඳු, අසරණ මිනිසුන් වෙතින් ඈත් වීම මෙවැනි ඉවැන්ජලික ප්‍රවණතා ඇති වීමට හේතුවයි. පිළිසරණක් නැති මිනිස්සු සිය අසරණකම නිසා ම මේ ආගම් වෙත ඇදී යති. අනෙක් පැත්තෙන්, ‍මේ ආගම් විසින් දුප්පතුන්ට මුදල් ආදී විවිධ වරප්‍රසාද දෙනවා යයි කීම පූර්ණ සත්‍යය නො වේ. ඔවුන් මිනිසුන් ආකර්ශනය කර ගන්නේ මුදල්වලින් ම නො වේ. හුදකලාවේ සිටින මිනිසුන්ට නව සමාජ සම්බන්ධතා ඇති කර දීම, ආගමික භක්තිය ජීවිත සාර්ථකත්වයට හේතු වන බව ඒත්තු ගැන්වීම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ ය. සම්ප්‍රදායික ආගමික සංස්ථාවල දූෂිත ස්වභාවය පෙන්වා දීම සඳහා ඔවුන්ට කිසිදු මහන්සියක් වන්නට උවමනා නැත. එය මිනිස්සු ඕනෑවටත් වඩා දන්නා දෙයකි. මිනිසුන් මේ නව ආගම්වල පූජකයන් වෙත ආකර්ශනය වන්නේ කුමක් නිසා ද යන්න ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ය. 

1989 සමයේ ජවිපෙ ක්‍රියාකාරිකයකු ව සිටි, එවකට බෞද්ධයකු වූ මගේ තරමක් දුර මිතුරෙක් මෙවැනි ඉවැන්ජලික නිකායක පාස්ටර්වරයකු බවට පත් වී සිටියි. දිනක් ඔහු මා හමු වන්නට පැමිණියේ ය. ඔහු මා ඔහුගේ ආගමික නිකායට සම්බන්ධ කර ගන්නට කිසිදු උත්සාහයක් දැරුවේ නැත. වතුකරයේ දුප්පත් මිනිසුන්ට ආගමික සේවා සපයන යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඔහුත්, ඔහුගේ බිරිඳත් ගෙවන්නේ ඉතා අල්පේච්ඡ ජීවිතයක් බව මට පෙනිණි. ඔහු මේ දිවියට පිවිසෙන්නට පෙර සාර්ථක සුළු කර්මාන්තකරුවෙකි. සිය දියණියන් විවාහ කර දීමෙන් පසු, කර්මාන්තය වසා දමා ආගමික සංවිධානයෙන්ලැබෙන සුළු දීමනාවකින් හා දායකයන්ගේ උපකාරයෙන් දුක සේ නමුත් භක්තිමත්, තෘප්තිමත් ජීවිතයක් ගෙවන අන්දමක් මම මේ අහිංසක මිනිසා තුළින් දුටිමි.

මිනිසුන් මේ නව ආගමික නිකායන් සමග සම්බන්ධ වන්නේ තනිකර ම වරප්‍රසාද නිසා ය යි විග්‍රහ කිරීමෙන් සම්ප්‍රදායික ආගමික සංස්ථා ප්‍රශ්නය තේරුම් ගැනීමට තමන් උත්සාහ නො කරන බව පෙන්වයි. 

මිනිසුන් වෙනත් ආගම්වලට යාම වැළැක්වීම සඳහා මැර බලය පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ තත්වය සමනය වීම නො ව තව තවත් තීව්‍ර වීම බව මම සිතමි. 


රාවණා බලය යනු පැරණි කොමඩියක අලුත් පි‍ටපතක් පමණි. එය ජවිපෙන් හෝ කොටි සංවිධානයෙන් වෙනස් වන්නේ ඔවුන් භාවිතා කරන්නේ ආණ්ඩු බලය වීම නිසායි. මෙවැනි විකාර බිහි වන්නට ප්‍රධාන හේතුව ලංකාවේ සමාජයේ සිදු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හා නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීමයි.  

මේලිපියත් කියවන්න: අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ආගම උප්පැන්නේ ලියා තියෙනවාය කියා ඇත්තටම සිතා සිටින අයත් ඉන්නවා.

    ඉතින්
    බලෙන් අන්‍යාගම් වලට මිනිසුන් හරවා ගන්නවා යැයි කීම පුදුමයක් ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දෙවියන්ගේ හුදකලා දරුවෝ | God’s lonely children

    මූලධර්මවාදීන් ලෙස වරදවා හඳුන්වනු ලබන, සම්ප්‍රදායික නොවන ක්‍රිස්තු නිකායකයින් පිළිබඳ ලේඛකයාගේ මතකය ඔහුගේ ළමා කාලය දක්වා දිවෙන්නකි. වයස හතරේදී පහේදී පවා මාස කිහිපයකට සැරයක් නිවසට ආගිය වයසක කාන්තාවක් ගැන ඔහුට මතකය. සමහරවිට ඇය ආවේ තනිවය. සමහරවිට තරුණ අනුගාමිකයන් කිහිප දෙනෙකුද කැටිවය. ඇය ආගම ප්‍රචාරය කිරීමට ඍජු උත්සාහයක් දැරුවේද යන්න ඔහුට අමතකය. අදහන ආගම අසද්දී ප්‍රාථමික අධ්‍යාපනයක් පමණක් ලද එහෙත් ඉතා බුද්ධිමත් කාන්තාවක් වූ ඔහුගේ මිත්තණිය ආඩම්බරයෙන් ‘නෝනා, අපි බෞද්ධ’ කී බව නම් මතකය.

    READ MORE

    දෙවියන්ගේ හුදකලා දරුවෝ | God’s lonely children

    ReplyDelete
  4. //දායකයන්ගේ උපකාරයෙන් දුක සේ නමුත් භක්තිමත්, තෘප්තිමත් ජීවිතයක් ගෙවන අන්දමක් මම මේ අහිංසක මිනිසා තුළින් දුටිමි. //

    ආගම මාරු කරා කියලා 89 මිනී මරපුවට සමාව ලැබෙයි කියලා හිතාන ඉන්න ඒ මහත්තයත්.... නිර් ආගමික වෙලා බෙහෙතට වගේ කර්මය විස්වාශ කරන පැරකුම් මහත්තයගෙත් හෘද සාක්කිය එකමද?

    ReplyDelete
  5. http://www.facebook.com/photo.php?fbid=10151735901251934&set=a.10150264663426934.380286.151742781933&type=1&theater

    Mewa ganath liyapan kuhaka kama nathiwa. mokada uba mona bila gahauwath ubage lamaith shinhalane?

    ReplyDelete
  6. අනේ මේ මාතෘකා දැකලා එදා වේලට රොටියක් පාං කෑල්ලක් හොයාගන්න අනෝරා ට්‍රයි එකක් දෙන අජියා ගැන දුකයි...

    සංසාරේ....

    අජියා සමාජේ කතිකාවත කියලා වැරදුන තැනකට ගහලා හිට්ස් වැඩි කරගන්න හදනවා ප්‍රෘතග්ජන අජියාගේ ටොයිස් වැඩ දැකලා මට හිනා යනවා...

    ReplyDelete
  7. ගොඩක් විප්ලව කාරයන්ට වෙන්නේ ඔය ටික තමයි..

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේ පොත් නම් මමත් ගෙන්නනවා ගුඩ් නිවුස් එකෙන්, ඒක මම දැන් අවුරුදු 2ක් විතර ගෙන්නලා කියවනවා,ඒත් ඒකේ තියෙන දේවල් ඔක්කොම විහිලු කියලත් හොඳට තේරෙනවා ඒ අතරෙම සැබෑ බුදු දහමේ තියෙන අගය වටිනාකම තේරුම් යන්නනම් මේ වගේ පොත්වල තියෙන විහිලු කියවන්නම ඕනි, එක වෙලාවකට හිතෙනවා මෙච්චර වියදම් කරගෙන ලෝකේ පුරා මෙව්වා මොනවට ප්‍රචාරය කරනවද කියලා,

    ReplyDelete
  10. ජේසුස් වහන්සේ කියන සේක්" භාග්‍යවන්ත පරණ ජේ වී පී කාරයිනි.නුඹලා මා කෙරේ අදහා ගනිල්ලා.නුබලාගේ 87-89 පවු කමා කරනු ලබන්නේය"

    ReplyDelete
  11. පැරා ආගමක් අදහන්නේත් නැත්නම් ඔය සේනා ගැන මේ තරම් ලිපි මොකටද? පැරාට පෙන්නේ ඔය සේනා ටික විතරමද මන්දා? සම බර වෙන්න අනිත් අන්තවාදී කොටස් ගැනත් ලීවොත් නරකද ? ලිපි 4ට එකක් මේ සේනා වලට විරුද්දව ලියනකොට මැද ඉඳන් බලන අපිටත් හිතෙනවා පැරා ඩොලර් වලට කඩේ යනවා වගේ හැගීමක්. සමහර කොමෙන්ට් ඇත්ත වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා