අපි ඉතා පොඩි ය; ඒත්, අපට කවුරුවත් ලොකු නැත

මම ක්‍රිස්තියානි පූජකවරුන් හැඳින්වීමේදී පියතුමා යන පදය යොදා ගනිමි. හින්දු පූජකවරුන් ගැන මා කිසිවක් මෙහි ලියා ඇති බවක් මට මතක නැත. ලියනවා නම් ලියනු ඇත්තේ කුරුක්කල්තුමා යන පදය විය හැකි ය. ඉස්ලාම් පූජකවරුන් හැඳින්වීමේදී යෙදිය යුතු පදය කුමක්ද යන්න අසා දැන ගැනීමට මට ඉතා සමීප මුස්ලිම් මිතුරෙක් ඇත. තවම එවැන්නෙක් ගැන කිසිවක් නො ලියූ නිසා අහන්නට උවමනාවක් වී නැත. බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් නම් හිමි යන පදය නම අගට යොදමි.

මම ඉතා පැහැදිලිව ම, විවෘතව ම කිසිදු ආගමක් නො අදහමි. කිසිදු ආගමක පූජකවරයකුට, පූජකවරයකු වීම නිසා මගේ කිසිදු ගෞරවයක් නැත. අනෙක් මිනිසුන්ට මහත්තයා, නෝනා කියනවා සේ හාමුදුරුවනේ, පියතුමනි වැනි පද භාවිතා කරමි. මා ගරු කරන්නේ මිනිස්කම්වලට, දක්ෂකම්වලට, අවංකකමට, අව්‍යාජකමට ආදියට පමණි.

මේ බ්ලොගයේ සටහන්වලදී සාමාන්‍යයෙන් අපි කිසිවකුගේ නම අගට මහතා යන පදය නො යොදමු. එසේ වුවත්, මේ බ්ලොගයේ නම් සඳහන් කරන ලද ඇතැම් අය හොඳ මහත්මා ගතිගුණ ඇති අය බව මම දනිමි. 

ජනාධිපතිතුමා/වරයා, ඇමතිතුමා/වරයා, මන්ත්‍රීතුමා/වරයා‍, විනිසුරුතුමා/වරයා ආදිය මට නම් රස්සාවල් පමණි. ඒ රස්සාවල් කරන අය තමන් විශ්‍රාම යන බව දැනගෙන සිටීම තමන්ට හොඳ ය.  නැතත් අපට නම් කමක් නැත. 

හාමුදුරුවන්ට ඔහු කියා කියන්නේ ඇයිදැයි මගෙන් අසන අයට තව දුරටත් සවිස්තර පිළිතුරක් අවශ්‍ය නැතැයි සිතමි.

මේ මගේ සමාජවාදී අරග‍ලයේ ද කොටසක් බව කියනු කැමැත්තෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඇමතීම අවුල් සමහරක් අය ඉන්නව. මගේ නං ප්‍රතිපත්තිය මේකයි,

    1.මහත්මයෙක්-නෝන කෙනෙක්, හාමුදුරු කෙනෙක්, පූජකතුමෙක්.... සැබෑවටම ‍යහපත් නම් මහත්මයා-මහත්මිය, ස්වාමීන් වහන්සේ,පූජකතුමා... විදියට ඇමතීම.
    2.යහපත් හෝ අයහපත් අයෙක් කියල හරියට දන්නෙ නැත්නම් ඒත් අදාල ගෞරවය දෙනව (සැකයේ වාසිය එයාට දීල).
    3.යමෙක් අයහපත් කියල හරියටම දන්නව නම් ගෞරව පදය රහිතව අමතනව. අන්න එතකොට තමයි ඥානසාර, ඉන්දරතන... ආදී විදියට අමතන්න වෙන්නෙ. පිරිසකගෙ හිත රිදුනට කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයෙක් විදිහට සේවා දායකයො අමතන ප්‍රතිපත්තිය මොකක්ද?

      (උඹට මේකට තරහා යන්නෙ නෑ කියලා දන්නවා :D)

      Delete
    2. රජයේ සේවකයෙක් විදියට අපි ඇත්තටම සේවාදායකය අමතන්න ඕන මහත්මයා මහත්මිය ආදී වශයෙන්.....
      මම ජීවත්වන-රැකියාව කරන- ප්‍රදේශයේ හැමෝටම එහෙම අමතන්න ගියොත් ඒක විහිළුවක් වෙනව. මේ ප්‍රදේශවල ඥාති නොවන උදවිය පවා ඥාතීත්වයකින් අමතනව. මමත් එහෙමයි. තාත්තගෙ අම්මගෙ වයසෙ උදවියට තාත්ත අම්ම නැත්තං නැන්ද මාමා නංගි මල්ලි......... විදියටයි ඇමතීම සිදුවෙන්නෙ.
      පුද්ගලයගෙ තරාතිරම අනුව මහත්මයා නෝනා මිස් ආදී ඇමතීම්ද යොදාගන්නව. එන කෙනාගෙ හැටියට තමයි. අගෞරව කරන්නෙ නම් නෑ.

      Delete
    3. @ රාජ්

      ++++++++++++++

      \\\පිරිසකගෙ හිත රිදුනට කරන්න දෙයක් නෑ.\\\
      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. කෙනෙකුට ආමන්ත්‍රනය කරන විදිහ කොහොම උනත් ගෞරව ලැබිය යුත්තාට එය ලැබිය යුතුය. ආගමක් නොඇදහීම ඔබේ වැඩකි නමුත් මිනිසුන්ට මිනිස්කම කියාදුන්නේ ආගමයි ලෝකයේ කිසිම ආගමක් නොතිබුනානම් ඇතිවන තත්වය පොඩ්ඩක් හිතල බලන්න

    ReplyDelete
    Replies
    1. මට අතීතය වැඩක් නැහැ. මම ජීවත් වෙන්නේ අද. ආගම් නොතිබුණා නම් මොනවා වෙයි ද කියා අහන එක හරියට මිනිහා පරිණාමය නො වුණා නම් මොකෙක් බිහි වෙයි ද කියා අහනවා වගේ දෙයක්. අදට අදාළව ආගම කියන්නේ වධයක්. සියලු ආගම් මළ වධ.

      Delete
    2. ආගම් නෙමෙයි මිනිසා වෙනස් කලේ. දරුණු නීතීයි...

      ආගම් කියන්නේ නිකං ඉඳන් කන්න පුළුවන්. ලොව මුල්ම රැකියාව හා සමානම. ලොව මුල්ම සමාගම් සමූහයයි...

      Delete
    3. මා මෙහි කතෘගේ පිළිතුරට එකග වෙමි. අද අපිට ලොකුවටම වැරදි ඇත්තේ "ආගම" හා "දර්ශනය" පටලවා ගැනීමයි. අද සිටින බොහෝ බෞද්ධ හිමිවරු "බෞද්ධ දර්ශනය" නොදන්නා බවක් වැටහේ. වෙනත් ජාතීන්ට හිරිහැර කිරීමෙන් "බෞද්ධ දර්ශනය" අනුව නිර්වාණයවත් "කිතු දහම" අනුව ස්වර්ගයවත් ලගා කරගත නොහැක. මා විශවාස කරන තරමින් (මාගේ අවබෝධය අනුව) බොහෝ ආගම්වල මුලික "දර්ශනය" බොහෝ සමානය. ඒ හැම එකකම කියවෙන්නේ මිනිසෙකු තව මිනිසෙකුට අවහිරයක් කරදරයක් නො‍වන ආකාරයට වසන විදිහ වේ. මෙම "දර්ශනය" මිනිසුන්ට කුමන "ආගමකින්" හෝ නොලබුනේනම් ඔබ කියන ආකාරයට මිනිසුන් මීට වඩා අයහපත් වීමට පුළුවන. නමුත් මෙහි කතෘ පවසන ආකාරයට අද වන විට "ආගම්" කරදරයක් වී ඇත්තේ මගේ වැටහීම අනුව අද මිනිසුන් තම ආගමේ දර්ශනය අමතක කර ආගම ඉදිරියෙන් තියාගෙන කටයුතු කිරීමයි. එය මේ වනවිට මිනිසුන්ට බෙදීමට තවත් කාරණයක් වී ඇති බවක් පෙනී යයි. "බෞද්ධ දර්ශනය" අනුව සියලු සත්වයන්ට මයිත්‍රී කරයිනම් "කිතු දහම" අනුව හැමෝම අසල්වැසියාට ප්‍රේම කරයිනම් (මා ඉස්ලාම් දහම ගැන නොදන්නා නිසා එයින් උදාහරණයක්‌ දීමට නොදනී) මේ ලෝකය මීට වඩා අති සුන්දර තැනක් වනු ඇත.

      Delete
    4. සාරධර්ම පුද්ගලයෙකුට කියාදීමට ආගමක් අත්‍යාවශ්‍ය බව මිථ්‍යාවකි.

      ලෝකයේ කිසි දු ආගමක් නොඅදහන බොහෝ උදවිය වෙති. කොවූර් මහතා තම දරුවන් ආගම කාලඡේදයේදී පන්තියෙන් ඉවත් කරගත් බව ඔහු තම පොත් වල සඳහන් කර ඇත. ඔහුගේ දරුවන් සදාචාර විරෝධීන් වූ බවට ආරංචියක් මට මෙතෙක් ලැබී නැත.

      ඔබ මා නොමරන්නේ මා මැරුවොත් අපායේ යයි හෝ දෙවියන් දඬුවම් දෙයි යන බිය නිසා පමණක් ම නම්, ඔබට දරුණු මානසික ආබාධයක් ඇත.

      Delete
    5. අපේ උන්දැලට ඉතින් අනාගතයක් නෑ නොවැ! අල ගිය වැල ගිය මුල ගිය අතීතේ හාර හාර හිටප්ල්ලා!
      මීට, ඔබේම රාවණා මුත්තා.

      Delete
    6. "මිනිසුන්ට මිනිස්කම කියාදුන්නේ ආගමයි." මේ කතාව විහිලුවක්.එතකොට ආගම් බිහිවෙන්න ඉස්සර මිනිස්සු මොන වගේද?
      හැම සතෙකුටම සදාවාරයක් කියලා දෙයක් තියෙනවා ස්වාභාවිකවම තමාගේ ගෝත්‍රෙයේ පැවැත්ම තහවුරු කරගන්න.ඒක ආගමකට අයිති දෙයක් නෙමේ.

      Delete
  3. ගුත්තිල කාව්‍ය ලියපු වැත්තෑවේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන් හැඳින්වූවේ 'මහතා' යන නමින්. ඒ කියන්නේ බුදු මහත්තයා කියලයි. බොරු කියලද හිතෙන්නේ ? බලන්න කවිය -
    මැරුව මුනි මහතා
    බුදුබව ලැබෙයි නියතා
    කළ අනුවන ඉතා
    ඇරවි නලාගිරී මදැතා

    ReplyDelete
    Replies
    1. ගොන් බඳින කණුවක්නේ මේ ඇනෝ 'මහතා'... කවියේ මහතා කියන්නේ මහත්මයා කියන එකද? අනේ අනේ.. සිංහල නොදන්නා කමට බෙහෙත් නැත!

      Delete
  4. මම නං කෙනෙකුට ආමන්ත්‍රණය කිරීමේදී ඔහුගේ / ඇයගේ නමට පසු මහත්මයා,මැඩම් කියා ආමන්ත්‍රණය කිරීමට මැලිවෙන්නේ නෑ.

    මගේ පියා අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඉහල නිලයක් දරනා අයෙක්. ඔහු නිතර පවසන දෙයක් තමයි "උගතා නිහතමානී විය යුතුය. උගත්කම බබළන්නේ එවිටය" යන කියමන. මා එය හොදින් අත්විද තිබෙනවා.

    උළුව උදුම්මාගත් හිස් පුද්ගලයන් සිතන්නේ අන් අයට මහත්මයා, මැඩම් කියා ආමන්ත්‍රණය කිරීම මගින් තමන් ගේ තත්වය පහලට වැටෙනවා යයි කියා. නමුත් එයින් පෙන්නේ එම පුද්ගලයාගේ ඇතුලාන්තයේ ඇති හිස් බවයි.

    නාතන්

    ReplyDelete
    Replies
    1. නාතන්,

      එහෙම ආමන්ත්‍රණය කළා කියා කාගේවත් තත්වය ඉහළ යන්නේත් නැහැ. තත්වය ඉහළ යන්නේ කෙනෙකුගේ නිහතමානිත්වය තුළින්.

      මෙතැන තිබෙන ප්‍රශ්නය සමහරු බලෙන් ගෞරවාන්විත පද ඉල්ලනවා. නුසුදුස්සන්ට ඒවා දෙන එක ඔබේ නිහතමානිකම නොවෙයි. දීනකම. දීනකම තුළින් මිනිහෙක් බැබළෙන්නේ නැහැ.

      බුද්ධිමත් මිනිහා කළ යුත්තේ එන එන හැටියට ගහ උළුවස්සා නො වෙයි. සමාජය වඩා දියුණු තැනක් බවට පත් කිරීම සඳහා අරගල කිරීමයි.

      ඔබේ ස්ථාවරය අද කාලේ අවස්ථාවාදී, කපටි පුද්ගලයෝ තමන්ගේ දීනකම ආවරණය කරගන්න පාවිච්චි කරන තත්වයක්.

      Delete
  5. ඔබට නිහතමානී වීමට ඕනෑ නම් ඔබ තුල තිබිය යුත්තේ මිතුරු කම නම් ගුණාංගයයි

    ReplyDelete
  6. මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි මම පැරකුම් කියන ඒවා විශ්වාස කරන්න ඕන කියන එක. :)

    උදාහරනයක් විදියට අපි පොඩි තමයි නුමුත් කවුරුවත් අපට ලොකු නෑ කියල මෙතන ලියන පැරා එයා වෘත්තීයෙන් ගුරුවරයෙක් නිසා ළමයි කොහොමද එයා එක්කල සම්බන්ද වෙන්නෙ කියන දේ හරිම වැදගත්. ඇත්තටම ළමයි පොඩි වුනාට ඒ අයට පැරා ලොකු නැත්නම් වෙන දේ මොකක් වගේ ද කියල පැරාම සොයල දැනගන්න.

    සමාජයක පැවැත්මට හයිරාකි එකක් තියෙන්න ඕන. ඒක පවතින්න තමයි ඉන්සෙස්ට් එකට තහනම එන්නේ. එක එක කන්ඩායම් තමන් විශ්වාස කරන අයව තමන්ගෙ මට්ටමින් ඉහලට ඔසවල තියා ගන්නවා. එහෙම වක්‍රව තහනමක් නොපවතිනව නම් මේ ධනපති හෝ සමාජවාදී මොනම සමාජ පද්ධතියක්වත් පවත්ව ගන්න බෑ. තේරුනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ධූරාවලි නිර්මානය වීම වළක්වන්න බැහැ. ධූරාවලිවල සාධනීය මෙහෙයක් තියෙනවා.

      ගුරුවරයෙකුට ළමයි සර්, මැඩම්, මිස් කියනවා. අද කාලේ තිබෙන ප්‍රශ්නය තමයි, ගුරුවරුන්ට ඒත් මදි. ළමයින් ලවා වන්දවා ගන්නවා. ගුරුවරු ළමයින්ට හිමි ගරුත්වය ආපසු දෙන්නේත් නැහැ. සිසුවා තමන්ගේ සතුරකු ලෙසයි සලකන්නේ. ලංකාවේ තිබෙන සංදර්භය ඇතුළේ ඔබ කියන කාරණයට වඩා තිබෙන්නේ මම කියන ප්‍රශ්නය.

      අනෙක් පැත්තනේ ධූරාවලි අවශ්‍ය වන්නේ ඵලදායිතාවට මිසක්වන්දනාවට නොවෙයි. ලංකාවේ ධූරාවලිවලින් කරන්නේ ඵලදායිතාව තවත් අඩු කරන එක. ධූරාවලියේ ඉහළ ඉන්න එකා බොහෝ විට කරන්නේ පහළ ඉන්න අයව පෙළන්න තමන් සතු බලය පාවිච්චි කිරීමයි.

      Delete
  7. රාජ්ගේ ක්‍රමය සමග එකඟයි.. නමුත් සමහර වෙලාවට මම දකින දෙයක් තමයි, මේ ආකාරයේ ඇමතීම් නිසා ලිපියේ අන්තර්ගතයට අවධානය යොමු නොවී, ඇමතීම ප්‍රශ්නයක් කරගෙන ඒක ගැන වාද විවාද කිරීම. ඕනේ නම් ඒකත් ලිපියෙන් ඉස්මතු කරන්න හදන කාරණයක් කියලා අපිට කියන්න පුළුවන්.

    සමහර සමාජ සම්මතයන් එක්ක අපි 100% එකඟ නොවුනත්, අපේ පණිවිඩය සාර්ථකව මිනිස්සුන්ට දෙන්න, ඒ ක්‍රමයට අනුගත වෙන්න සිද්ධවෙන අවස්ථාවන් තියනවා.

    ReplyDelete
  8. හැමෝටම නම හෝ තනතුර පමනක් කීම ප්‍රාමනවත් ලිපිවලදී, පූජක දේශපාලු දෙපිරිසටම. මුණ ගැසී කතාකරන කොට අඳුනන්නෙ නැතිනම් තමයි වෙනත් වචන ඕනේ.

    ඕකේ අනිත් අන්තය තමයි ගායකයින්ට වෙනත් කලාකරුවන්ට මහතා මැතිතුමා යැයි ඇමතීම. එය නම් අගෞරවයක්.

    ReplyDelete
  9. අන් පුද්ගලයෙකුට නිසි ගරුත්වය දෙමින් ගෞරවාන්විතව අමතන්නේ අමතන පුද්ගලයා තුළ වන්නා වූ මහත්මා ලක්ෂණ ඇතිවිටය. අමතක නොකරන්න අප කවුරුත් වැරදි කරන මිනිස්සු. හරි වැරැද්දද සාපේක්ෂයි. මට හරි දේ ඔබට වැරදි වෙන්නට හැකිය.

    ReplyDelete
  10. මෙකේ හෙඩිමට මම පට්ට ලයික්..
    අනේ ඔයාලත් ලයික් එකක් දාලා යන්නකෝ...

    ReplyDelete
  11. කයිවාරු සහ කෙබර යනු අපේ සමාජයේ පුද්ගලයන් අතර අභුලව භාවිතා වන අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ග දෙකකි. කයිවාරු කාරයිනුත් කෙබර කාරයිනුත් කරන්නේ තමුන් පොර, අනුන් හාල්කෑලි කිරීමයි. පරාගේත් වෙනසක් නැත. මම කිසිම ආගමක් අදහන්නේ නැත යන මිත්‍යා දෘෂ්ටික අදහස් බුදුන්ගේ කාලයේදීත් පැවතුනි.
    මෙහිදී සියල්ල (නො)දත් පැරා සිතා සිටින්නේ ආගම යනු ඒවායේ අද සිටින ප්‍රචාරකයින් (හාමුදුරුවරු,පාදිලිවරුන්, පාස්ටර්වරුන්, කුරුක්කල්වරුන්,උලමාවරුන්,ලෙබ්බේවරුන්) දෙසන කෙප්ප කියාය. ආගම ගැන හරියාකාරව දන්නා පුද්ගලයන් එය අදහන්නේ නැත. තේරුම ගැනීම කරයි. අද සිටින ප්‍රචාරකයින් කියාදෙන්නේ ආගම නොවේ.
    පැරා පරාජිත ,සමාජ වයිරයෙන් පෙලෙන පුද්ගලයෙකු බැවින් ඔහු සෑම දේටම වයිර(ව්‍යාකරණ වැරදිය යුනිකෝඩ් වලින් මෙම වචනය හරියාකාරව ටයිප් කරන හැටි නොදනිමි) කිරීම ඔහුගේ පැත්තෙන් සාධාරණය,
    //"මේ මගේ සමාජවාදී අරග‍ලයේ ද කොටසක් බව කියනු කැමැත්තෙමි. "// ජාතිය ආගම පාවාදෙමින් මුදලට කඩේයාම සමාජවාදය නොවන බවද කියනු කැමැත්තෙමි.
    -අර්ජුන -

    ReplyDelete
    Replies
    1. පවතින කිසිදු ආගමක් පිළි නො ගැනීම තමයි මගේ ආගම. මම ඉදිරිපත් කරන දේ ඕනැ නම් ඔබ අදහන්න. එතකොට ඒ මගේ එකත් පිළිගත් ආගමක් වේවි. හැබැයි මට නම් ශාස්තෲ කෙනෙකු වෙන්න උවමනාවක් නැහැ. ඒ වුණත්, ශාස්තෲවරුත් කලින් තිබුණු ආගම් ප්‍රතික්ෂේප කළ අය. ඒ අයත් ඒ කාලේ තිබුණු කිසිම ආගමක් පිළි ගත් අය නොවෙයි.

      Delete
  12. මම නම් හිතන්නෙ මේක ඉතාම සාපේක්ෂ ඒ වගේම නොවැදගත් එසේම අවශ්‍ය දෙයක් කියලා.මම කොම්පියුටර් ක්ලාස් යන කාලෙ හොදම එකක් සොයමින් එක්තරා නගරයක ටිකක් ඇවිද්දා.එක තැනකට ගියාම මට හොදින් ආමන්ත්‍රනය කළා.ඒ කාලෙ කවුරුවත් මට සර් කීමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ.දැනටත් නෑ.ඒත් අහන පමාවෙන් තොරතුරු ඉතා කාරුණිකව ලබා දී හොද පිළි ගැනීමක් කළා.
    තව තැනකදි මම ආපු බවවත් නොසළකා ඕනවට එපාවට උත්තර දුන්නා.මම එතනින් ආවෙ කලින් කී තැන ගැන වර්නනාවකුත් කරළයි.
    අද ඒ නගරයේ ඉතිරිවෙලා තියෙන්නෙ අර කලින් කී තැන පමණයි.අනික් ඔක්කොම වැහිලා.

    ඊට පස්සෙ මම හැමෝටම සර් කියන ජොබ් එකක් කළා.ඒ කියන්නෙ ගෙවල් ගනෙ ගිහින් බඩු වික්කා.එතනදි සර් මැඩම් වගෙ වචන හුගක් ප්‍රයෝජනවත් වුනා.අපි දෙකට නැමිලා ගරු සරු ඇතිව සර් මැඩම් කීවම නැති සල්ලි එලියට එන හැටි මම දුටුවා.අපිත් ගියෙ ටයි දාල.
    ඊට පස්සෙ කාලෙක මම පන්ති කරන්න ගියාම මට ළමයි සර් කීවට මට ඒකෙ කිසිම ගානක් නෑ.දෙමවුපියොත් සර් කීවත් ඒකත් එච්චර ගානක් නෑ.
    හැබැයි මම ජොබ් එකකට ගිහින් සර් කියල කතා කළාම මට අමුතුම මාන්නයක් ඇතිවුනා.මම ඒකට ආස කළා.ඒ කාලෙ කවුරුහරි පහල සේවකයෙක් සර් කීවෙ නැත්නම් මට හිතට අමාරුයි.
    ඒ බොළද ගති දැන් සම්පූර්නයෙන්ම නැතිකරගෙනයි ඉන්නෙ

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සාධනීය කරුනු තිබුනත් ලිපිය අන්තිමට "ඉරිසියාවෙන් පෙලෙන කුහකයකුගේ උද්ධච්ච කම......." කියන තැනට ලඝුවේ.

    ReplyDelete
    Replies
    1. ඕනැ දෙයක් ගැන එහෙම කියන්න පුළුවන්. මේ කමෙන්ට් එක ෆයිල් කරලා තියාගන්න.

      Delete
    2. කියන්න බැරි වුණා, කොපි පේස්ට් කරන්න.

      Delete
  17. මනුස්සයෙකුට ගරු කරලා කතා කරන්න දන්නේ නැති ඔයා වගේ කෙනෙක් කොච්චර ලොකු පොරක් උනත් වැඩක් නෑ.. ඹයාට පොඩි කාලේ ඉදන්ම කවැරුවත් කියලා දීලා නෑ ගරු කරලා කතා කරන්නේ කොහොමද කියලා.. ඉතින් ඒකට ඹයා වැරදිත් නෑ මහත්මයා... කෙනෙකුට ගරු කිරීම ලැජ්ජාවට කාරණයක් නෙවෙයි... මොනවා කරන්නද ඉතින්... අතීතයේ වැරැදක් වෙලා කොහේ හරි..

    ReplyDelete
  18. ඔබගේ බ්ලොගයට ආධුනිකයෙක් ලෙස කොමෙන්ටුවක් දැමීමට බලාපොරොත්තු වෙමි ,
    මෙහිදී ඔබ ඉදිරිපත් කර ඇති අදහස් වල යම් යම් කොටස්හි විවිධ වූ ඔබටම ආවේණික වූ ඔබ හා බැදුණු මතයන් කිහිපයක් මෙම ලිපිය තුල ඉදිරිපත් වී ඇති බව දැකීමී . මෙමගින් අදහස් කරනුයේ අනෙකුත් අදහස් ඔබගේ නොවේය යන්න නොව සමහරෙක් අදහස් ඔබගේ චරිතයටම ආවේණික වූ ලක්ෂණයන් බවයි.පළමු කාරනය වශයෙන්. මෙහිදී ඔබ දක්වා ඇති “ අපි ඉතා පොඩිය.ඒත් අපට කවුරුවත් ලොකු නැත ” යන අදහසින් ඔබ ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වූ ලිපිය අසාර්ථක ලිපියක් බවට පත් කර ඇත.මන්ද ඔබ විසින් ඔබවම අවතක්සේරු කරගෙන ඇති බවක් පෙනේ.මන්ද මනුෂ්‍යයකු වශයෙන් උසස් බුද්ධිමය මනසක් ඇතිව මෙලොවට බිහිවූ ඔබ “ අපි ඉතා පොඩිය “ යන්නෙන් තමාව හා “ අපි ” වචනය යොදාගනිමින් තවත් පිරිසක් ද මෙයට සම්බන්ද කරගෙන ඇති බවක් පෙනේ.මෙහිදී ඔබ විසින් ඔබට හා ඔබට ( නොකලයුතුව තිබුන ) ඔබගේ තවත් පිරිසක් ද අගෞරවයට පත් කර ඇති බවක් පෙනේ.එලෙසම “අපට කවුරුවත් ලොකු නැත ” යන්න මගින් ඔබ සියලූම මනුෂ්‍යය වර්ගයා ඇතුලු සියලු ජීවයන් පහත් තත්වයට ඇදහෙලීමක් පෙන්නුම් කොට ඇති අතර මෙම කාණ්ඩයට ඔබගේ දස මසක් ඔබව ලේ කිරිකර පොවා හදාගත්තාවූ මවද මහත් වූ කරදර බාධක විදධරා ඔබව රැක බලාගනු ලැබූ ඔබගේම ආදරණීය පියානන්ද සිටින බව ඔබට අමතකද ?.එසේනම් ඔබ වැනි අයෙකුට ඔවුන්ද මෙම අවස්ථාවේ අමතක කිරීමට සිදුවන බව ඔබ නොදන්නේද ?.දෙවන කාරනය වශයෙන් ඔබ ආගමක් ඇදහීමට අකමැති බව සදහන් කොට ඇත.එම කාරනයට මමද එකග වේ.මන්ද තමා හට මෙවැනි ඥානයක් මනුෂ්‍යයෙකු වශයෙන් ලැබී තිබියදී තමාගේ බුද්ධියට අනුකූලව තමා සිදුකරන්නේ හරි වැරද්දක්ද යන්න තමා විසින් තේරුම් ගැනීම තමා සතුය.මෙහිදී දර්ශණයක් වශයෙන් බුද්ධ ධර්මය තුලත් ආගමක් වශයෙන් අනෙකුත් ආගම් වලත් සිදුවනුයේ තම ජීවිතය වැරදි මාර්ගයන්ට යාමට තිබෙන්නාවූ ඉඩකඩ අහුරාලමින් මනුෂ්‍යයන්ගේ ගේ යහපත සදහා අවශ්‍යය වන ජීවන සැකැස්ම අප හට සකස්කොට දීමය මෙහිදී අප විසින් එහි සිදුවන්නා වූ දේ අවබෝධ කර ගැනීම ඔබගේත් මාගේත් ඇතුලු සියලු මනුෂ්‍යය වර්ගයාගේත් අබබෝධ කරගැනීමට ඇති හැකියාව මත එය සිදුකරගත යුතුය. ඒ වගේම ඔබ විසින් ආගමිකමය වශයෙන් හිමිවරුන් හට පුජකතුමන්ලා හට ඇතුලු අනෙකුත් ආගමික ධර්මප්‍රචාරය සදහා මූලිකවී සිටින්නා වූ ආගමික උතුමෝ හට අගෞරව ලෙස සමහර අදහස් පලකොට ඇත.මෙහිදී ඇත්තවශයෙන්ම අප විසින් කෙනෙකු හට ගෞරව කිරීමට කාරණයන් කිහිපයක් ඇත.

    ReplyDelete
    Replies
    1. මේ ටික නිකන් උපුල් ශාන්ත සන්නස්ගලගෙ කතාවක් වගේ...
      "මම ඒක බාර ගත්තෙත් නෑ..
      ප්‍රතික්ශෙප කලෙත් නෑ"

      Delete
    2. තැන්කිවු..... තැන්කිවු.... මචන්.....
      කියවීම යනු උසස් ගුණාන්ගයකි... මම ඔබ ගැන සතුටුවෙමි... මන්ද ඔබත් එම ගුණාන්ගයෙන් උසස් කෙනෙකු බැවිණි....

      Delete
  19. අප විසින් හිමි නමකට ගෞරව කලයුතු වන්නේ එම හිමි නම හිමිනමක් වී සිටින නිසා හෙවත් කසාවතක් ඇදසිටිනා නිසා නොව පලමු කාරනය වනුයේ අපමහා තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජාණන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශාසනය තුල සිටිනා කෙනෙකු ලෙස අපවිසින් පිලිගනුලබන හිමිවරුන් බව පලමුව අවබෝධ කර ගැනීම ,දෙවන කාරණය වනුයේ මෙතෙක් කල් බොහෝ වූ මනුෂ්‍යයන් හට සෙත සැලසූ එම මහා ධර්ම දේශකයානන්ගේ කසාවත සිහිකරන්නා වූ මෙම හිමිවරුන්ගේ කසාවතට කරන්නා වූ ගෞරවයක් ලෙස , අවසාන වශයෙන් එම කසාවත පෙරදැරිව සිටින්නා වූ එම පින්වන්ත වූ පුද්ගලයාගේ පවතින්නා වූ යහපත්වූ පිවිතුරු වූ කුසල මාර්ගයට අවතීරනය කරන්නට අප යොමු කල හැකි අදහස් හා සිතිවිලි තිබෙන්නා වූ යහපත් මනුෂ්‍යයෙකු නම්. මෙම කාරණයන් හිදී අප හට එම කරුණු වලින් එක් කරුණක් හෝ පවතින පුද්ගලයෙකුට වුවද ගෞරව කල හැකිය. ඒ ඉහත පෙන්නා දුන් කාරණයන් හේතුකොටගෙනය.එම නිසා එක් වැරදි දෙයක් පසුපස යොමුවන්නේ නැතිව ඔබහට වුවද මෙම කාරනා ඔස්සේ එසේනම් හිමිවරුන් හට ගෞරව කල හැකි නොවේද ? මන්ද අප විසින් ගතයුත්තේ ඕනෑම පුද්ගලයෙකුගේ යහපත් වූ අකල්පයන් විනා අයහපත් ආකල්පයන් නොවේ. එලෙසම අයහපත් ආකල්පයන් අප නියත වශයෙන්ම බැහැර කරන්නේනම් අප හට එම මනුෂ්‍යයන්ගේ අහිතකර සිතිවිලි ඇතොත් එම දේ අපට බාධාවක් නොවෙනු ඇත. ඒය අනෙකුත් ආගම් සදහාද ඒසේමය. එලෙසම පුද්ගලයන් වශයෙන් ගත් කල අපගේ මව / පියා අප වෙනුවෙන් කරන්නා වූ අපරිමිත වූ කැපවීම් නිසා ඔවුන් මවු සහ පිය පදවිය උරුම කරගනී.ඔවුන් අතරද බොහෝ වැරදි තිබුනද වැරද්දක් කල පමනින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම් හා ඔවුන්ව ගෞරවයට ලක් නොකලානම් අද ඔබට පියෙකු හා මවක නොසිටිනු ඇත. මන්ද මිනිස් චර්‍යාවන් තුල වැරදිවීම් සිදුවීම ඔවුන්ගේ ස්භාවය වීමත් වැරදී හදා ගැනීමෙන් ඔවුන් විවිධවූ උසස් අවබෝධතා මට්ටම් වලටත් ලගාවන අකාරයේ චර්‍යාවකට මුහුනදෙන්නන් බැවිණි.මෙහිදී එම උසස් සිතුවිලි හෙබි පුද්ගලයන් හට මහත්මයා හෝ වෙනත් ගෞරවය මුසුවූ වචනයන් යොදමින් අමන්ත්‍රනය කිරීම වරදක් හැටියට මම නොදකිමි. මන්ද ඔවුන් එම තත්වයන් වෙත පැමින ඇත්තේ ඔවුන්ගේ යම් කිසි ගුණාන්ගයක් නිසා බැවිණි.මෙලෙස විවිධ වූ වැරදීන් අඩුපාඩූන් ඇතුලත්ව ලිපිය ලියා තිබුනද මෙම ලිපියෙන් ගැනීමට හැකි බොහෝ ගුණාත්මක අදහස්ද නැතිව නොවෙයි. මෙම ලිපිය ඉහතදී අසාර්ථක ලිපියක් යැයි මම සදහන් කලද ඔබ එය ඔබගේ අසතුටට පත්කර ගතයුතු කාරනයක් නොවේ. මන්ද ලිපියෙහි යම් අසාර්ථක තැන් තිබුනද ලිපිය ලියා තිබුනේ මනුෂ්‍යයෙක් විසිනි. එම මනුෂ්‍යයා අසාර්ථක නැත. මන්ද ඔහුට තමාගේ අඩුපාඩුන් තිබේනම් එවා සාදාගෙන ඉදිරියට යාමට හැකි ඔහුත් එක් උසස් මනුෂ්‍යයෙක් බැවිණි.

    ReplyDelete
  20. කව්රුත් එකිනෙකා අමතන ගරුකටයුතු වචන ගැන කතාකරත් සහෝදරයා යනුවෙන් කරන ආමන්ත්‍රණය ගැන අමතකකරලා තියෙනවා.වැඩියෙන්ම මේ වචනයෙන් ආමන්ත්‍රණය කලයුත්තෙ වාමාංශිකයන්ටයි.එහෙම නොකලොත් උන්ට මළපනිනවා.ඒ ගැන බලාගන්න ඕනෑ නම් සමාජවාදයයි,සමානත්වයයි ගැන කතාකරන ටිල්වින්සිල්වට සහෝදරයා නොකියා නිකන්ම ටිල්වින් කියල කතාකරල බලන්න.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කරදීම ගැන බෙහෙවින් සතුටුවෙමි. සහෝදරයා වැරදි පෙන්වාදීම ද උසස් මනුෂ්‍යය ගුණයකි... ඔබට සිතූති වේවා...

      Delete
  21. භික්ෂුන් වහන්සේ නමකට "ඔහු" කියා ඇමතීමේ වැරැද්ද ඔබට පෙන්නුවේ මමයි. ඔබ නිර් ආගමිකයෙක් වීම ඔබේ අවාසනාවක් මිස වෙන යමක් නොවේයි.බුදු දහම අනුව යමෙකුට බුදු දහම ගෝචර නොවන්නේ


    නිරයේ සිටීම (තිරිසන් ආත්මයක සිටීම )
    මන්ද බුධිකයෙක්විම
    බුදු දහම දක්නට නැති ප්‍රදේශයක සිටීම
    සිත නැති බඹ ලොව සිටීම

    යන කරුනකදීය. ඔබ එම කරුණකට භාජන වී නැති බැවින් මට සිතෙන අන්දමට ඔබ බුදු දහම නම් වටිනා නිධානය උඩ සිටින නමුත් එහි වටිනා කම නොදන්නා අනුකම්පා කල යුතු අයෙකි.

    එහෙත් සිරිතක් ලෙසින් ඔබ බුදුන් වහන්සේ,දහම,සහ සංඝයා වහන්සේලා විවේචනය කරමින් blog papers ලියයි. එසේ ලිවීමට ඔබම පවසන නිර් ආගමිකත්වය වහලක් කර ගනී.

    ReplyDelete
    Replies
    1. එත කොට ලෝකේ 94% වගේ ප්‍රතිශතයක් ඉන්නෙ අවාසනාවන්තයෝ :P

      Delete
  22. "ඉස්ලාම් පූජකවරුන් "

    කොච්චර නරකයි කිව්වත් ඉස්ලාම් ආගමේ තියෙන හොඳක් තමයි පූජකයො, එහෙම නැත්තම් දෙවියන් සහ මිනිසා අතර බ්‍රෝකර්ලා නැතිකම. ඔය ලංකාවෙ ඉන්නෙ පල්ලියෙ ආගම කියන මිනිහ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා