අපෙන් එකෙකි ඒ (වැලිකඩ වහල මත සිටින) මිනිසා

මම මේ දිනවල සමාජ මාධ්‍ය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙමින් සිටිමි. එය පැවැත්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට නගරෝදය ශාලාවේ ඉහළ මහලක ය. පසුගිය බදාදා සිට මේ මිනිසා වැලිකඩ සිර ගෙයි වහල මත සිටිනු දුටිමි. මුල් දිනයේ මා සිතුවේ ඔහු කිසියම් අලුත්වැඩියා කටයුත්තක් වැනි දෙයක යෙදී සිටිනවා ය කියා ය. එහෙත්, දෙවන දිනයේ ඔහු කිසියම් විරෝධතාවක යෙදී සිටින බව වැඩමුළුවට සහභාගි වූ මහතෙක් පෙන්වා දුන්නේ ය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ගේට්ටුව වෙත ගොස් එහි සිටි අයගෙන් මේ පිළිබඳව විමසා තිබුණ මුත් කිසිවෙක් ඒ පිළිබඳ හරි තොරතුරක් සපයා තිබුණේ නැත. 

ඊයේ සවස වන විට ඔහු පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා වී තිබිණි. 

ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් වසර 55 ක සිරදඬුවම් නියම වී ඇති රැඳවියෙකු බව ද උපවාසයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බව අද දෙරණ වාර්තා කළේ ය.2031 වසරේ ඔහුට නිදහස හිමිවීමට නියමිතව තිබී ඇත. නිවාස නිවාඩු ලැබීමේ සහනය යටතේ තමන්ට නිදහස හිමිවිය යුතු බව ද එම රැඳවියා පවසන බව වාර්තා කර තිබිණි. 

පහත පළ වන්නේ නිව්ස් ෆස්ට් ඒ පිළිබඳ වාර්තා කළ ආකාරයයි.

A prisoner at the Colombo Remand Prison staged a protest after climbing on top of the roof of the prison, demanding that he be provided leave to visit his home.

An officer at the prison said that the detainee is in remand custody. The officer added that he was handed down a sentence of thirteen years imprisonment after pleading guilty of drug smuggling, burglary and twelve other charges. The detainee is a resident of the Dematagoda area.

මේ පුවත් වාර්තාකරණයන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ නො සැලකිල්ලයි. කරුණු සොයා බැලීමට උනන්දුවක් නැතිකමයි. හේතුව මෙම පුවත එතරම් හොඳින් අලෙවි නො වීම වන්නට පුළුවන. 

ලංකාවේ පමණක් නො ව මුළු ලෝකයේ ම පාහේ සිරකරුවෝ වනාහි මානව හිමිකම් අහිමි පිරිසකි. ඔවුන්ගේ  ප්‍රශ්න කෙරෙහි සමාජ අවධානය යොමු නො වන තරම් ය. සාධාරණත්වය දිනා ගැනීම ඔවුන්ට මහත් දුෂ්කර ය.සමාජයේ ඔවුන් කෙරෙහි ඇති පූර්ව විනිශ්චයන් එයට හේතුවයි. 

එහෙත්, පොදු සමාජයත්, සිරගෙදරත් අතර වෙනස ලංකාව වැනි රටකදී විමසා බලන විට පෙනෙන කරුණක් වන්නේ ලංකාවේ නිදහසේ ජීවත් වන වැඩි දෙනෙක් ද, විශේෂයෙන් බොහෝ සමාජ නායකයෝ ද අනිවාර්යයෙන් බන්ධනාගාරගත ව සිටිය යුතු වැරදි කර තිබෙන අය බවයි. ඒ අතරින් සුළු පිරිසක් බන්ධනාගාරගත වන්නේ තනිකර ම අහඹු තෝරාගැනීමකිනි. සමාජමය වශයෙන් දුබල වීම ද එසේ තේරීමට එක් හේතුවකි. 

ලංකාවේ යුක්තිය පසිඳලීම හා සම්බන්ධ වෘත්තිකයෝ ද මූලිකව ම මිනිසත්කම පිළිබඳ ගැඹුරු දැක්මක් ඇකි අය නො වෙති. ඇතැමෙක් නීතිය ද හරි හැටි නො දනිති. ළමයකු වී සිටියදී කරන ලද බව කියන, පොලිස් බලපෑම් මත පිළිගත් සාපේක්ෂ වශයෙන් සුළු වැරදි කීපයකට වසර 177ක දඬුවම් ලැබූ මිනිසකු පිළිබඳව වාර්තාවක් අහම්බෙන් කියවන්නට ලැබිණි. කියවන්න:177 Year RI as Child 

වැලිකඩ බන්ධනාගාරයේ වහල මත සිටින මිනිසා පිළිබඳ මාධ්‍ය වාර්තා අපැහැදිලි ය. එහෙත්, ඔහු ඉල්ලා සිටින දෙය වන්නේ බලපත්‍ර මත නිදහස යයි සිතමු. සිරකරුවන් අතර ලයිසන් බෝඩ් නමින් ප්‍රකට මෙම ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ සිරකරුවාට සිර දඬුවමේ ඉතිරි කො‍ටස බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සාමාන්‍ය සමාජය තුළ ගත කරන්නට අවස්ථාව දීමයි. ඒ සඳහා සුදුසුකම් ලැබීමට සිරගෙදර යහපත් කල්ක්‍රියාව අවශ්‍ය ය. එය ලංකාවේ වැරදිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදය අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකමක් ලෙස සැලකීම වරදක් නැත.

එහෙත්, සාමාන්‍යයෙන් සිරගෙවල්වලදී මෙය සිදු වන්නේ ද පාරදෘෂ්‍ය නො වන ක්‍රමවේදයකට ය. සිරකරුවන්ට ඒ අයිතිය ඉල්ලා වහලවලට නගින්නට සිදු වන්නේ ඒ නිසා වන්නට පුළුවන. 

මේ සිරකරුවා වහල මත සිටගෙන සිටින බව වැලිකඩ සිර ගෙය ඉදිරිපිට ඇති බේස්ලයින් පාරටවත් නො පෙනේ. එහෙත්, ඔහුට ද කියන්නට දෙයක් තිබේ‍. ඔහු වහලට නැග අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් සිටින්නේ එය කියන්නට ය. අප ඔහුට සවන් දිය යුතු ය. මන්ද ඒ ඔබ විය හැකි බැවිනි. 

ලයිසන් බෝඩ් ක්‍රමය ගැන විස්තරයක් මේ ලිපියේ ඇත. 

මේ ලිපිත් කියවන්න: 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Why are you talking about the people who did wrong works? Egollo varadi karapu kattiya..daduvama denna ona. eka vidinna ona. nathnam lankava hadanna naha.eka hithe thiyaganna.

    ReplyDelete
  2. මම මේ එංගපෝරදු වෙලා ඉන්නේ. දැඩි මානසික පීඩනයට ලක්වෙලා ඉන්නේ. හිත නිදහස් උනාම පස්සේ කොමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete
  3. මේ, ඉහත පෝස්ට් එක සම්බන්ධව නොවුනත් සිරස නිවුස් වල(05-06-2013 prime time 7!) දුටු දෙයක් ගැනයි..... අලුත් ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න පුලුවන් සිරස නිවුස් බැලුවොත්...බලන්න මේ ඉංග්‍රීසි වචන conquer and occupy සිංහලෙන් ලියලා තියෙන හැටි! හිනා කාලා මැරෙනවා!!! සිරස නිවුස් අංශයේ ඉන්නෙ අට පාස් නැති අයද?

    http://sirasatv.lk/sirasatv/index.php?option=com_webplayer&view=video&wid=5190

    හෝ

    http://srilankans.com.au/sri-lankan-news/sirasa-news-1st/sirasa-news-1st-05-06-2013-part-1?page=7

    - Dimithri

    ReplyDelete
  4. Please write about this social media workshop you are attending as well.

    ReplyDelete
  5. මෙහෙමයි, ඒ මනුස්සයාට අයිති හිමිකම් ඇති. හැබැයි එයා අපෙන් එකෙක් නම් නෙවෙයි. මොකද අපි හිරේ යන වැරදි කරල නැති හින්දා. සමහරවිට පැරා කියන්නෙ පැරා සහ සෙට් එක ගැනනම් අවුලක් නෑ.

    ReplyDelete
  6. ලංකාවේ නීති පද්ධතිය තුල තියෙන ගැටලුව මෙන්න මේකයි..පුංචි දේකටත් මිනිස්සු අවුරුදු 10 , 15 හිරේ යනවා..සමහරු ඔය කාලයම රිමාන්ඩ් වෙලා..මේ වගේ දේවල් ගැන නම් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ..මොකද මේවට මාර්කට් එකක් නැති නිසා..නමුත් සැබෑ ප්‍රශ්න කියන්නේ මේවට...


    ලංකවේ උන්ට කවද්ද සැබෑ ප්‍රශ්න පෙනුණේ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා