CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි
ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි. තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි. ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ. ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ල...