චම්පිකගේ තෝරියම් ගැටය | Minister Champika Ranawaka's Thorium trick

(2010 ඔක්තෝබර් 07, W3Lankaඇමති චම්පික රණවක දක්ෂ දේශපාලනඥයෙකි. 2004 මැතිවරණය ආසන්න වන විට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය වී තිබුණු සිහළ උරුමය හාන්සි වී තිබිණි. චම්පික නියම ගැටයක් ගැසුවේ ය. ජනප්‍රිය ධර්ම කථික භික්ෂූන් පිරිසක් ඉදිරියෙන් වඩම්මාගෙන පාර්ලිමේන්තුවට පල්ලමක් බැස්සේ ය. එකල මෙය ප්‍රසිද්ධ වූයේ 'චම්පිකගේ දහම් ගැටය' කියා ය. 


අසූව දශකයේදී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය ආරම්භ කළ ඔහුගේ දේශපාලන චලනයන් අධ්‍යයනය කිරීම රසවත් ය. ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් පසු ඔහු ටික කලක් පවුලේ බඩපිස්සා සේ නායකයා‍ගේ සුරතලා වී සිටියේ ය. එහෙත්, ඉන් පසු පවුලට වෙනත් බඩපිස්සන් එක් වූ බැවින් ඔහුට යන එන මං නැති විය. එක එක අමාත්‍යංශයට මාරුවීම් ලැබේ. දැන් ඔහුට තිබෙන්නේ දෙන එකට ගොස් කියන දෙයක් කරගෙන ලොකු පුතා රජ වන තෙක් බලා ඉඳීමයි. 


එහෙත්, ඔහු වනාහි බෙහෙවින් උන්නතිකාමී පුද්ගලයෙකි. දැනට වයස අවුරුදු 46ක් වන හේ වියපත් වී, ජරපත් වී, බැරි ගැහුණු කාලෙක පිං තකා දෙන අගමැතිකමක් දරා පරලෝකප්‍රාප්ත වන්නට සිටින අයකු නො වේ. 


ආණ්ඩුව ඇතුළේ හිර වී සිටින හිරවිල්ලෙන් ගැලවීමට උත්සාහ කිරීම ෆොන්සේකාට අත් වූ ඉරණම තමන්ට ද අත් වන සෙල්ලමක් බව වාසුදේව නානායක්කාර දක්වා සියල්ලෝ දනිති. එහෙයින් අනාගතය වෙනුවෙන් වෙන, වෙන සෙල්ලම් දැමීම‍ට කාට කාටත් සිදු වී තිබේ. මේවා බලා ඉඳීම රසවත් ය. හරියට වැල ටෙලියක නළු නිළියන් රඟපාන්නට දරන උත්සාහය බලා සතුටු වන්නා වැනි ය. 


ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ 54වන සැසි වාරයට සහභාගි වෙමින් විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක පැවසුවේ ලංකාව ද න්‍යෂ්ටික ශක්තිය උපයෝගී කරගෙන බලශක්ති නිපදවීම සඳහා මූලික කටයුතු කරමින් සිටින බවයි. 


න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හා මෙම ක්ෂේත්‍රයේ වෙනත් නිෂ්පාදන හා සේවා සපයන දියුණු ධනේශ්වර රටවල් ලංකාව වැනි දිළිඳුභාවයෙන් මිදෙන්නට වෙර දරමින් සිටින රටවල් වෙත සිය වෙළඳ අරමුණු ව්‍යාප්ත කරමින් සිටියි. ඉතින් මෙය ලංකාවට හොඳ ඇමකි. ඒවා ප්‍රවර්ධනය කරන අයට වෙනත් වාසි ද තිබේ. 


න්‍යෂ්ටික බලශක්තිය ඉතා පිරිසිදු, තිරසාර බලශක්ති ප්‍රභවයක් ලෙස පෙන්නුව ද එය යුරේනියම් පතල් කර්මාන්තය වැනි කාර්යයන්හිදී අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරමින් පරිසරයට හානි කරන, දැඩි ලෙස අන්තරායකර න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන, අනතුරුදායක, එසේ ම චිරස්ථායී ද නො වන බලශක්ති ප්‍රභවයක් බව පෙන්නුම් කරන තොරතුරු ඇත. මෙම ලිපිය කියවන්න.


ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ජනනයේදී බේරුවල සිට මීගමුව දක්වා මුහුදේ ඇති බව කියන තෝරියම් යොදා ගන්නට යන බව ද කියැවිණි. මේ පිළිබඳ පළ වී ඇති අදහසක් මෙතැනින් කියවන්න. 


අපි තෝරියම් හෝ යුරේනියම් හෝ න්‍යෂ්ටික බලශක්තිය හෝ ගැන නො දන්නෙමු. එහෙයින් ඒ ගැන එතරම් කියන්නට නො යන්නෙමු. 


එහෙත්, අපට දේශපාලනඥයන්ගේ නාඩි වැටෙන ආකාරය නම් දැනේ. න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ අදහස උන්නතිකාමී දේශපාලකයකුට සිය රට තුළ සංවර්ධන දේශප්‍රේමයක් කුළු ගන්වා ගැනීමටත්, ඒ ඔස්සේ සිය අරමුණු ඉටු කර ගැනීමටත් හොඳ පල්ලමකි. මෙය ඉරානය, උතුරු කොරියාව වැනි රටවල සිදු විය.  


න්‍යෂ්ටික බලශක්තිය පසුපසින් න්‍යෂ්ටික අවි ගැන ද න්‍යෂ්ටික බලවතකු වීම ගැන ද සිහින නිර්මානය කළ හැකි ය. මේ සියල්ල නිර්මානය වන්නේ ජනමාධ්‍යවල බැවින් මහ ලොකු වියදමක් යන්නේ ද නැත. 


හරියට ලංකාව ඛනිජ තෙල් හොයා ගත්තා වැනි ය. හැබෑට කෝ දැන් ඔන්න හම්බ වුණා මෙන්න හම්බ වුණා වගේ තිබුණු ෆවුසිගේ තෙල්? 


න්‍යෂ්ටික බල ශක්ති අදහසට විරුද්ධ වන්නට පරිසරවේදී සහ ක්‍රියාකාරික මිතු‍රෝ ද ඇමති චම්පික රණවකට සිටිති. අපි ඔහුගේ ඉදිරි සැලසුම්වලට සුබ පතමු. එහෙත්, පරිස්සම් වන්න ඔබ කපන පාරේ ඔබට ඉදිරියෙන් රජතුමා ස්ථානගත වුණොත් මෙයට ද මීට කලින් ගෙන ආ දේශප්‍රේමී සටන් පාඨවලට වූ දේ ම වනු ඇත.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. තොපිට චම්පික එක්ක එක වේදිකාවේ වාද කරන්න බනෙ බොල? තොපි චම්පිකගෙන් කුජීත වුන එව්වො නේද? මිනිහෙක් වැඩක් කරන්න යනකොට හරස වෙන්න එපා යකෝ. තොපිට තියෙන හීන මානෙ හින්දා තමයි මෙහෙව් ලිපි ලියන්නේ. චම්පික කරන දේ හරිද වැරදිද කියල ලියපන්. උඹ න්‍යෂ්ටික ශක්තිය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැත්නම් අනුන්ගේ ලිපි කෝට් නොකර පුළුවන් එකෙක්ට රිස්ක් - බෙනිෆිට් ඇනැලිසිස් එකක් කරන්න දීපන්.

    ReplyDelete
  2. බූරු චාමි.October 7, 2010 at 7:40 PM

    ඇත්ත කතාව. අපිත් ඇතුළුව ඉදිරි පරම්පරා හතඅටක්ම වාගේ දැනටමත් චම්පිකලගෙන් කුජීත වෙලා තමා තියෙන්නෙ.

    ReplyDelete
  3. Nothing to write these days?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා