ධනපති පංතියට ඇඩ්‍රස් නැති වීම හා ධනවත් පංතිය ජය කෙහෙළි නැංවීම | The decay of the capitalist class and the rise of the wealthy class in Sri Lanka

(2010 සැප්තැම්බර් 26, W3Lanka, අජිත් පැරකුම් ජයසිංහධනපති පංතිය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය අහිමි කරගෙන ඇති බව ද, එජාපය මුහුණ දී සිටින්නේ පංති අර්බුදයකට බව ද ඇමති රාජිත සේනාරත්න The Observer පුවත්පතට පවසයි. 


ධනපති පංතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද ‍රාජිත සේනාරත්න පවසයි. එය එසේ විය යුතු ය. ධනපති පංතිය කරන්නේ ව්‍යාපාරයි. නූතන සංදර්භය තුළ දේශපාලකයන්ට සන්තෝසම් නො දී, ඔවුන්ගේ ආශිර්වාද ලබා නො ගෙන පෙට්ටි කඩයක්වත් ඇරිය නො හැකි තත්වයක් රටේ තිබේ. එහෙයින් ධනපති පංතිය සාමාන්‍යයෙන් කවදත් කළ පරිදි, පවතින සංදර්භයන් සමග හැඩ ගැසී සිය ව්‍යාපාර කරගෙන යයි.  ඒ නිසා ඒ ගැන නම් පුදුම විය යුතු නැත. 


ධනපති පංතිය කියා අප සාමාන්‍යයෙන් පරිවර්තනය කරන capitalist class යන වචනයෙන් අදහස් වන්නේ ධනවත් පංතිය යන්න නො වේ. ධනපති පංතියට ඉංග්‍රීසියෙන්  කියන පරිදි ඔවුහු ප්‍රාග්ධනය ගොඩ ගසන, ආයෝජන කරන, ව්‍යාපාර පවත්වාගෙන යන පංතියකි. ඔවුන් රජයෙන් ස්වායත්ත පිරිසකි. ඔවුහු පංතියක් ලෙස රජයෙන් බලාපොරොත්තු වන්නේ සිය කටයුතු නිදහසේ කරගෙන යා හැකි තරමට ආර්ථික සාමයක් ඇති, නිදහස් තරගකාරිත්වයට ඉඩ සලසන මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ලබා දෙන පාලනයකි. ඊට වඩා හෝ ඊට අඩුවෙන් දෙයක් ඔවුන්ට අවශ්‍ය නැත. 


එසේ ම, කැරැලි නො ගසන තරමට තෘප්තිමත් හෝ විනයගත කරන ලද හෝ අඩු මිළ ශ්‍රම බලකායක් හෙවත් ප්‍රධාන වශයෙන් කම්කරු පංතියක් පවත්වා ගැනීම ඔවුන්ට අවශ්‍ය ය. 


ඔවුන්ට මධ්‍යම පංතිය යනු අත්‍යවශ්‍යයෙන් ම වැදගත් සමාජ බලවේගයක් නො වේ. එය බොහෝ විට නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා පූර්ව ධනේශ්වර ඉතුරු බිතුරුවලින් සැදුම් ලත් සමාජ ස්ථරයකි. මධ්‍යම පංතිය වැදගත් කාර්යයක් ඉටු කළේ ආර්ථික පෙරමුණේ නො ව බුර්ෂුවා සංස්කෘතික අවකාශයෙහි ය. 


එක්සත් ජාතික පක්ෂය එක් යුගයකදී, විශේෂයෙන් ම සේනානායක පිය-පුතු දෙදෙනාගේ හා ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ මෙම ප්‍රධාන පංති බලවේග  දෙක ඉතා මැනැවින් කළමනාකරණය කර ගත්තේ ය. එපමණක් නො ව ප්‍රමාණාත්මකව සුවිසල් වූ ගැමි හා ගොවි ජනතාව අතර ද ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන සිටියේ ය. එජාපය ධනපති පංතියට අවශ්‍ය ආකාරයේ පක්ෂයක් වූයේ එසේ ය. එජාපය දැන් එසේ නැද්ද? 


එජාපය අදත් ධනපති පංතියේ අවශ්‍යතා වෙනුවෙන් ඍජුව, නිර්භීත ලෙස හා නිරවුල් අන්දමින් පෙනී සිටියි. එහෙත්, එජාපයේ අර්බුදය වන්නේ එයට පෙර මෙන් කම්කරු පංතිය හා ගැමි-ගොවි පංතිය කළමනාකරණය කර ගැනීමට බැරි වීමයි. එජාපය අතින් රැහැන් ගිලිහී ගිය මෙම සමාජ පංති මහින්ද රාජපක්ෂ පාලනයේ ග්‍රහණයට හසු වී තිබේ. එසේ වූයේ එක්සත් ජාතික පක්ෂය සිය මුල් සිඳ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය නායකත්වයේ දෝෂයක් ලෙස සරළ ලෙස පෙන්වා දිය හැකිමුත්, විකල්පය කුමක්දැයි පෙන්වා දීමට නො හැකි තරමට එජාපය නායකත්ව අර්බුදයක ගිලී ඇත. 


සත්තකින් ම එය පැහැදිලි පංති අර්බුදයකි. කම්කරු පංතියේ නායකත්ව අර්බුදය ද මේ හා සමගාමී වේ. පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජ ක්‍රමය විසින් එහි පරිණාමයෙන් ම උරුම කර ගන්නා ලද තත්වයන් මෙම ප්‍රතිඵලයට හේතු වී තිබේ. 


මහින්ද රාජපක්ෂ පාලනය ධනපති පංතියේ විශ්වාසය දිනාගෙන ඇතැයි කිව නො හැකි ය. ඇත්ත ම කීවොත්, අප උපුටා දැක්වූ ප්‍රකාශයෙහි ඇමති රාජිත සේනාරත්න හෝ එසේ නො පවසයි. එයට හේතුව එය ධනපති පංතිය වෙනුවට ප්‍රමුඛත්වය දෙන්නේ ධනවත් අතරමැදි පංතියකට වීමයි. 


කවුරුද මේ ධනවත් අතරමැදි පංතිය? මේ වනාහි රජය අය කරන බදු, ලබා ගන්නා දෙස්-විදෙස් ණය හා රජය බොහෝ විට පාඩු පිට කරන ව්‍යාපාර ආදියෙන් වැටුප්, දීමනා, වරප්‍රසාද, කොන්ත්‍රාත්, කොමිස් හා අයථා මාර්ගවලින් මඩිය තර කර ගන්නා පංතියකි. 


ඔවුහු ධනවත් පංතියක් වන මුත් වෙහෙස මහන්සි වී ව්‍යාපාර කරන පිරිසක් නොවෙති. ආණ්ඩු සහයෝගය නැතිනම් ඔවුන්ගේ ලාභයට පැවතිය නො හැකි ය. සදාචාර විරෝධී අන්දමින් හරි හම්බ කර ගන්නා සිය මුදල් අපුල්ලා ගැනීම පිණිස රටින් පිට පන්නන්නේ නැතිනම් ඔවුන් ඒවා වැඩි වශයෙන් ආයෝජනය කරන්නේ රජයට ම ආපසු ඒ මුදල් ණයට දෙන භාණ්ඩාගාර බිල්පත් ආදියෙහි ය. 


මෙබඳු සමාජ ස්ථරයක් සැමදා පැවති අතර එය ධනපති පංතිය හා මධ්‍යම පංතිය අතර බෙදුම් රේඛාව ආශ්‍රිතව දෙපැත්තට ම අයිති වෙමින් පැවතුණ හ. එහෙත්, මෑත භාගයේදී සිදු වූ දෙයක් වන්නේ මෙම පංතිය අතිශය බලවත් වීමයි. කම්කරු පංතියේ දෘෂ්ටිවාදීමය හා නායකත්ව අර්බුදය හේතුවෙන් පහළ සමාජ පංතීන් අතර පැතිර ගිය ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය වැනි ස්වෝත්තමවාදී පසුගාමිත්වයන්ගේ අවසන් ප්‍රතිඵලය නෙළා ගත්තේ මෙම සමාජ ස්ථරය විසිනි. 


මහින්ද රාජපක්ෂ පාලනය අයත් වන්නේ මෙම ධනවත් පංතියටයි. එය වැඩ කරන්නේ ද එම පංතියේ උන්නතිය පිණිස ය. මෙම සංසිද්ධිය ඔප්පු කරන සාධක ඕනෑ තරම් තිබේ. එක් නිදසුනක් වන්නේ, එක් පැත්තකින් ඍජු විදේශ ආයෝජන නොමැතිව ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට මගක් නැතිව, රාජපක්ෂ පවුලේ බැසිල් සහෝදරයාව ඍජු විදේශ ආයෝජන සංවර්ධනය කිරීමේ නව වගකීමට පත් කරන රජය අනෙක් පැත්තෙන් ලංකාවේ සිටින ප්‍රධාන විදේශ ආයෝජකයන් පළවා හරිමින් සිටින ආකාරයයි. 


යුද්ධය නිමා වීමෙන් පසු ගත වූ කාලය තුළ කිසිදු කීර්තිමත් විදේශ ආයෝජකයකු ලංකාවේ සුවිශේෂ ආයෝජනයක් කර නැත. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව නම් අවශ්‍ය වන්නේ එවැනි ආයෝජකයන්ට මෙහි පැමිණීමට දිරි ගැන්වීමයි. එහෙත්, රජය කරමින් සිටින්නේ ඉන්න එකාවත් පන්නා ගැනීමයි. ඇපලෝ රෝහල මිළ දී ගෙන, ශ්‍රී ලංකන් ගුවන්‍ සේවයේ එමිරේට්ස් කළමනාකරණය සියතට ගත් මහින්ද රාජපක්ෂ පාලනය දැන් ෂෙල් සමාගම  සතු කොටස් ද මිළ දී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටියි. ප්‍රීමා සමාගම සමග ද නිරන්තර ගැටුම් ය. ධනේශ්වර ආර්ථික විද්‍යාවට මේ කුණුහරුපය තේරුම් ගත නො හැකි ය. එහෙයින් ඔවුහු ආර්ථික කළමනාකරයේ දුර්වලකම් ගැන මළ විකාර දොඩවති. මෙම තත්වය තේරුම් ගත හැක්කේ අප ඉහත දැක්වූ පංති පදනම අනුවයි. 


රජය යනු මෙම පාලක කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන ධනවත් පංතියට රන් බිජු දමන කිකිළියක වැනි මහජන මුදලින් පාඩු පියවිය හැකි මාර ම සමාගමකි. ඔවුන් රජය ශක්තිමත් කරන්නේ හා පුළුල් කරන්නේ එහෙයිනි. ඔවුන්ට අවශ්‍ය ධනපති පංතිය හෙවත් පෞද්ගලික අංශය බලසතු කිරීමට නො ව තමන්ගේ සමාගම වූ රජය අතට තව තවත් ආර්ථික හා දේශපාලන බලය ලබා ගැනීමයි. 


රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබුවා ම මොකද? මහජනයා ඒ වෙනුවෙන් ගෙවති. ඔවුහු සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇස් ගිනි කණ වැටී සිටිති. නැව් නාවත් හම්බන්තොට ලොකු වැඩකි. තමන් නො ගියත්, හිස උඩින් ඇති අධිවේගී මාර්ග නෙතට උළෙලකි. 


ධනවත් පංතියේ අවශ්‍යතා සහ ධනපති පංතියේ උවමනාවන් අතර ගැඹුරු වෙනස්කම් තිබේ. අද ධනපති පංතියට සිදු වී තිබෙන්නේ මෙම ධනවත් අතරමැදියන් විසින් ගසා කනු ලබන මහජන මුදල්වලින් කොටසක් හෝ කොටස් වෙළඳපල හරහා ආයෝජන ක්ෂේත්‍රය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමටයි. 


මේ වනාහි ධනවත් සුළු ධනේශ්වරය ජය කෙහෙළි නංවා සිටින පෙර නො වූ විරූ අන්දමේ විකෘති සමාජ සංවර්ධන අවධියකි. එක්සත් ජාතික පක්ෂයෙන් කරණම් ගැසූ රාජිත සේනාරත්නගේ සිට මනුෂ නානායක්කාර දක්වා පුද්ගලයන් අයත් මෙම පංතියේ අයට විපක්ෂ අසුනක වාඩි වී සිටීමට බැරි තරමට පසුස රත් වන්නේ මේ සිදු වන  අලකලංචිය දරා ගැනීමට බැරිවයි. 


මහින්ද රාජපක්ෂ පාලනයේ දක්ෂතාව සලකුණු වන තවත් ස්ථානයක් වන්නේ අතරමැදි පංතියේ පහළ ස්ථර කළමනාකරණය කරගන්නට සමත් වීමයි. ඒ සඳහා ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ නිකම් සිට පුංචි පඩි ගන්නා කාලකන්නින්ගෙන් සහ වෙනත් ව්‍යාපාර කරන පාට් ටයිම්කාරයන්ගෙන් පිරි දැවැන්ත රාජ්‍ය සේවයක් හැදීමයි. එයිනුත් ඉවතට විසි වන ගැමි-ගොවියන්ට පෙහොර සහනාධාර ආදී වෙනත් කටු ලෙවකන්නට දී තිබේ. 


අයවැය යන්තම් ගැට ගසා ගන්නේ ඇ‍ඟේ යකඩ ඇණ ගැසුණු ආරියවතීලා වැනි දිළිඳු ගැහැනු වහල් සේවයේ යෙදී මෙරටට එවන ධනයෙනි. එය මදි වන තැනට එන විට සංචාරක කර්මාන්තයවත් දියුණු කර ගත්තොත් අපේ පරිසරය, කළු කෙල්ලන්, කොල්ලන් හා ළමයින් සුද්දන්ට විකුණා හෝ රජය නම් පෞද්ගලික සමාගම ආරක්ෂා කර ගත හැකි වනු ඇත. 


Read this article in English


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Maru... eth lipiya anthimata thiyana bahu bootha tika nothibbanam thama hoda...>:)

    ReplyDelete
  2. @Anonymousස්තුතියි. ඒ අනුව යම් සංස්කරණයන් කරන ලදී.

    ReplyDelete
  3. Ada thiyens vikara samaja swarupaya tharamak durata awaboda karagann honda guide line ekak. Obata isthuthi!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා