2015-05-15

නරියා වෙනුවෙන් සටන් කරන කුකුළන් සමග දේශපාලනය

ජනවාරි 8දා මෙරට ජනතාව ඒකාධිපති, දුර්දාන්ත පාලනයක් පරාජය කරමින් සිදු කළ මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවය රැක ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වන බව දිනෙන් දින වැඩි වැඩියෙන් පෙන්නුම් කරමින් තිබේ.

ප්‍රතිවිප්ලවය දියත් වෙමින් තිබෙන්නේ විප්ලවයෙන් විපුල ඵල නෙළා ගන්නා පීඩිතයන්ගේ ම දායකත්වයෙනි. මෙය කාටුන් ශිල්පියකු වන හසන්ත විජේනායක ඉතා මනරම් ලෙස සිය කාටුනයකින් නිරූපණය කළේ ය. එහි කුකුළු කොටුවට පැන පැටවුන් මරා කන නරියා අල්ලා ගස් බැඳ තිබේ. නරියා නිදහස් කරන්නැයි කුකුළෝ ප්‍රචණ්ඩ උද්ඝෝෂණයක නියැලී සිටිති.

මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වල ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ‍අයුතු ජන රාශිවල බහුතරය මහින්ද ක්‍රමය නිසා ජීවිත අනාරක්ෂිත තත්වයට පත් දිළිඳු පීඩිතයෝ ය. එහෙත්, ඔවුන් අතර මහින්ද ජනප්‍රිය ය. ඒ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මහින්ද ක්‍රමය තේරුම් ගත යුතු ය.

මෙම ක්‍රමය අනුව රජය රාජපක්ෂ පවුලට හිමි පෞද්ගලික සමාගමක් බවට පත් කර තිබිණි. එම සමාගම විසින් ජනතාවගේ බදු මුදල් එක්රැස් කර ගන්නා ලදී. ඊට අමතරව රාජ්‍ය දේපල චීනය වැනි රටවල සමාගම්වලට බදු දෙමින් ද ධනය උපයන ලදී. සමාගමේ අයවැය පියවා ගන්නේ විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ඉහළ පොලියට ණය ගැනීමෙනි. එදිනෙදා රාජ්‍ය වියදම්වලට අමතරව ඒ මුදල් විවිධ ව්‍යාපෘති සඳහා අයෝජනය කළ අතර ලාභයෙන් විශාල පංගුවක් රාජපක්ෂ පවුල විසින් ලබා ගන්නා ලදී. ඔවුන්ගේ අන්තේවාසිකයන්ට හිතවත්කමේ මට්ටම අනුව විවිධ මට්ටම්වලින් ප්‍රතිලාභ ලැබිණි. සංවර්ධන ව්‍යාපෘති ද දියත් කරන ලද අතර ඉහළ සිට පහළ දක්වා විවිධ පුද්ගලයෝ මේවායින් කොමිස් ලබා ගත් හ.

රජයට කරන සැපයුම්වලින් අයථා අන්දමින් මුදල් ගරා ගැනීම පිළිබඳ නිදසුනක් ලෙස කුප්‍රකට මිග් ගනුදෙනුව සැලකිය හැකි ය. තත්වයෙන් බාල ය යන පදනම මත වසර 2000දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මිග් 27 ගුවන් යානා හතරක් 2006දී ගෝඨාභය රාපක්ෂගේ මැදිහත් වීමෙන් මිළ දී ගන්නේ එක්සත් රාජධානියේ ලිපිනය සඳහන් වූ ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවමිනි. බ්‍රිතාන්‍යයේ එවැනි සමාගමක් නැති බව මේ වන විට ඉන්ටර්පොල් විසින් තහවුරු කර තිබේ. එය රාජ්‍යයන් අතර ගනුදෙනුවක් බවට රජය ප්‍රසිද්ධියේ බොරු කීවේ ය. මෙම ගනුදෙනුවේ අතරමැදියකු වූයේ ‍මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වූ උදයංග වීරතුංගයි.

මිග් ගනුදෙනුව සම්බන්ධ සිද්ධිවලින් පාලක බලහවුලේ සහ ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේ මනෝභාවය හා පසුබිම ද තේරුම් ගත හැකි ය. පසුව යුක්රේනයේ තානාපති වූ උදයංගට එරෙහිව යුක්රේන් රජයෙන් ද චෝදනා එල්ල වී තිබේ. ඒ එරට ක්‍රියාත්මක රුසියා හිතවාදී ගරිල්ලා සංවිධානයකට අවි ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් ය. මේ වන විට උදයංග වීරතුංග අතුරුදහන් ය. ඔහු නීතියෙන් සැඟවී ජීවත් වන්නකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ආයුධ ජාවාරම් ගැන කතා කරන විට ඇවන්ට් ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගම හා එහි පාවෙන අවි ගබඩාව ගැන ද සැක මතු වී තිබේ. ඒ ගැන ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් තිබේ.

පාලක පවුලට දැඩි මර්දනයක් අවශ්‍ය වුණේ මෙවැනි වංචා ආවරණය කර ගන්නටයි. මිග් 27 ගනුදෙනුවට ආපසු යන්නේ නම්, ඒ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කළ ශ්‍රීපති සූරියආරච්චි මාර්ග අනතුරකින් මිය යාම ගැන ද, ඒ ගැන විමර්ශනාත්මක වාර්තා කිරීමක යෙදුණු සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දැමීම ගැන ද කතා කරන්නට සිදු වේ. පසු කලෙක යෝෂිත රාජපක්ෂට යුක්රේන රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි. 

රාජපක්ෂ ආණ්ඩුව නම් සමා‍ගමේ හැටි මෙබඳු ය. එය නිකම් සමාගමක් නොව, ආචාර ධර්මවලින් තොර පාදඩ ධනේශ්වර කොම්පැනියකි. වාමාංශිකයන් මෙය නව ලිබරල්වාදය වැනි න්‍යායික නිල ඇඳුම් අන්දවා විග්‍රහ කරන්නට උත්සාහ කළත්, එය එසේ තේරුම් ගත හැකි එකක් නො වේ. මේ කොම්පැනිය ජාතිවාදයෙන් තෙම්පරාදු වූ, ජාතිකවාදී සළු පිළි ඇඳ ගත්, බටහිර අධිරාජ්‍ය විරෝධය සිය සමාගම් ආදර්ශ පාඨය බවට පත් කර ගත්, සමාජවාදී මුහුණක් ද ඇති අද්භූත සත්වයෙක් වැනි එකකි. ඔවුහු ෂෙල්, එමිරේට්ස්, ඇපලෝ රෝහල වැනි විදේශ සමාගම්වලට හිමිව තිබූ දේපල මිළ දී ගෙන එම සේවා රාජ්‍ය දේපල බවට පත් කළ හ. සේවක අර්ථසාධක අරමුදල වැනි රජයේ පාලනය ය‍ටතේ ඇති මහජන අරමුදල් යොදවා පෞද්ගලික බැංකුවල කොටස් පවා මිළ දී ගත් හ. කියුබාව වැනි ජාතික සමාජවාදී රටවල මෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කළ හ. නිෂ්පාදන හා සේවා ආර්ථිකයේ ලිබරල්කරණය වෙනුවට රාජ්‍ය අංශය ශක්තිමත් කරමින්, රාජ්‍ය සමාගම් හදමින් සූරාකෑම ජාතිකකරණය කළ හ.

මේ කොම්පැනිය ලාභය සිය හිතවතුන් අතර, හිතවත්කමේ දිග පළල අනුව විවිධාකාරයෙන් බෙදා ගත්තේ ය. පාඩුව හා ණය ගෙවීමේ වගකීම පොදු ජනතාව අතර බෙදා හැරියේ ය.

අද වන විට මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට දඟළන ප්‍රධාන ම බලවේගය වන පළාත් පාලන ආයතනවල මන්ත්‍රී කැලත වනාහි මේ කොම්පැනියේ ලාභය බෙදා ගත් ප්‍රධාන පහළ තලයයි. පොහොර සහනාධාරය ලබා ගත් ගොවීන් හා මෝටර් බයිසිකල්ලාභී රජයේ සේවකයන් දක්වා ම මහජන මුදලින් වරප්‍රසාද ලත් තලය විහිදෙයි. පහළ තලය වක්‍ර බදු හරහා ඒ හා සමාන ම සූරාකෑමකට ද ලක් වන මුත්, ආණ්ඩුවෙන් අඩු මිළට මෝටර් බයිසිකලයක් ලැබුණු පුද්ගලයාට සමාජයේ වරප්‍රසාදිත තත්වයක් ලැබී තිබේ. ඔවුන් මහින්ද ක්‍රමයේ කොටස්කරුවන් වී ඇත. බැඳීම නිර්මානය වන මූලධර්මය අයථා අන්දමින් 'වරප්‍රසාද' ලැබීමයි. ‍

රටේ සියලු අංශ දේශපාලනීකරණය විය. උත්තරීතර අධිකරණය පවා දේශපාලන උවමනාවන්ට නතු කර ගන්නා ලදී. පෞද්ගලික රැකියා වෙළඳපොළට පවා රජය ඇඟිලි ගැසුවේ ය. රස්සාවක්, රැකියාවේ ස්ථානමාරුවක්, දරුවකු ජනප්‍රිය පාසලක්, දිළිඳු සහනාධාරයක් වැනි දෙයක් වෙනුවෙන් පවා දේශපාලකයන් පසුපස යන ජනතාවක් නිර්මානය විය. අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම වැනි ක්ෂේත්‍රවලටවත් ගැලවීමක් නො තිබුණි. ජනමාධ්‍යචිත්‍රපට කර්මාන්තය, ප්‍රාසාංගික කලා ආදී සෑම ක්ෂේත්‍රයක් ම දේශපාලනීකරණය විය. මේ ඔස්සේ සමාජයේ පොදු අයිතිවාසිකම් සෙසු ජනයාට අහිමිව පවතිද්දී පෞද්ගලික වරප්‍රසාද සේ තමන්ට පමණක් භුක්ති විඳින්නට ලැබීමෙන් තෘප්තිමත් වූ පැළැන්තියක් නිර්මානය විය.

මේ කොම්පැනිය කෙතරම් සමාජය තුළ කිඳා බැස තිබේ ද, එහි බලපෑම කෙතරම් ද යන්න මේ අයුරින් තේරුම් ගත හැකි ය.  මේ කොම්පැනිය වසා දැමීම  අප ඉහත කී සමාජ පැළැන්තියට දැනෙන්නේ ලෝකය කඩාවැටීමක් ලෙසයි. ඔවුන් යනු යහපාලනය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නො තිබූ අයයි. ඔවුන්ට අවශ්‍ය වුණේ මේ ක්‍රමය ඔස්සේ තමන්ට පමණක් වරප්‍රසාදිත තත්වයක් පවත්වාගෙන යන්නටයි. දැන් ඒ සිහින බොඳ වී ඇත.

ධනේශ්වර පංතියේ සිට පීඩිත පංති දක්වා විහිදෙන මේ රාජපාක්ෂික සමාජ පැළැන්තිය රාජපක්ෂ ක්‍රමයේ පදනමයි. එය පුළුල් හා පැතිරුණු එකකි. එහි බලය බිඳ නො දමා රාජපක්ෂ ක්‍රමය සම්පූර්ණයෙන් පැරදවිය නො හැකි ය.

සාධනීය සමාජ වෙනසක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විසිරුණු ස්වභාවය අද දවසේ අප මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුවයි. මහින්ද රාජපක්ෂ පසුපස යන අයුතු ජනරාශිය සුපුරුදු අතාර්කිකත්වයෙන් සිය පැරණි ඒකාධිපතියා පසුපස කුරගාමින් සිටිති. 

මෙම සංදර්භය තුළ ප්‍රගතිශීලී ජනතා බලවේගය සිය අභිමතාර්ථ පැහැදිලි කර ගත යුතුව තිබේ. මෙතැනින් ඉදිරියට යන්නට අප කළ යුතුව තිබෙන්නේ කුමක් ද යන්න ගැන සාකච්ඡාවක් සිදු විය යුතු ය. ඒ අනුව අප දේශපාලනය කළ යුත්තේ කුමන අරමුණක් වෙනුවෙන් ද යන්න පැහැදිලිව නිර්වචනය කර ගත යුතු ය.

මෙහිදී ඉදිරි මහ මැතිවරණය ඉතා වැදගත් ය. රාජපක්ෂ ක්‍රමය මුළුමනින් ම පැරදවීමට නම් රාජපක්ෂ ක්‍රමය තවදුරටත් ඔසවාගෙන යන්නට වෙර ද‍රමින් සිටින දේශපාලන බලවේගය තීරණාත්මක ලෙස පරාජය කළ යුතු ය. රාජපක්ෂ ක්‍රම‍යේ පදනම වන අප ඉහත විස්තර කළ රාජපාක්ෂික සමාජ පැළැන්තිය පුනරුත්ථාපනය කිරීම ඇරැඹිය හැක්කේ එතැනිනි. වෙනස ස්ථාවර කළ හැක්කේ ඒ වෙනුවෙන් මහජන අරගලය ශක්තිමත් කිරීමෙන් පමණි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.