2013-07-11

බොදු බල සේනාව තහනම් කළ යුතු ද? / Should Bodu Bala Sena Be Banned?



Politically
බොදු බල සේනාව තහනම් කරන්නැයි ඉල්ලා පෙත්සමක් අත්සන් කරමින් තිබේ. මම නම් එයට අත්සන් කරන්නේ නැත. බොදු බල සේනාව තහනම් කරනවාට මම නම් විරුද්ධ ය. 

බොදු බල සේනාව බිහි වන්නේ කුමන සංදර්භයක් තුළ ද යන්න අප විසින් තේරුම් ගත යුතුව තිබේ. 

කොටි සංවිධානය බිහි වන්නේ සිංහලයන්ගේ රාජ්‍ය ජාතිවාදයට ප්‍රතිචාරාත්මක ව්‍යාපාරයක් ලෙසයි. ඒ කියන්නේ සිංහලයන් සිය රාජ්‍ය බලය භාවිතා කරමින් දිගින් දිගට ම දෙමළ ජනයාට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාරාත්මකවයි. කොටි සංවිධානය වේගයෙන් වර්ධනය වන්නට පටන් ගත්තේ 1983න් පසු ය. 

කොටි සංවිධානය අතිශය ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් වූ අතර එය හමුවේ රාජ්‍යය යම් තරමකට අසරණ විය. එයට තව දුරටත් සිංහල ජාතිවාදී රාජ්‍යයක් ලෙස පැවතීම අසීරු විය. රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී වන්නට බල කොරිණි. එහෙත්, කොටි සංවිධානය එසේ ප්‍රජාතන්ත්‍රවාදී වීමට සූදානම් වූ‍යේ නැත. නිදසුනක් ලෙස අපි 2002 සිට පැවති සටන් විරාම සමය ගනිමු. රජය නිල වශයෙන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටියත්, කොටි සංවිධානය එසේ කළේ නැත. කොටි ආරක්ෂක බුද්ධි අංශය හා ඩග්ලස් ‍දේවානන්ද, කේතීෂ්වරන් ලෝගනාදන්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි දේශපාලකයන්ටත් ප්‍රහාර එල්ල කළේ කිසියම් අහංකාරත්වයක් ප්‍රදර්ශනය කරමිනි. මෙම ලක්ෂණය කොටි සංවිධානය ආරම්භයේ සිට ම පැවතිණි.

කොටි සංවිධානය විසින් ඇති කරන ලද මෙම අසමබර තත්වය තුළ රාජ්‍යය තුළින් පමණක් සිය සිංහල ආධිපත්‍යවාදය නඩත්තු කර ගැනීමට අසමත් වූ සිංහල ජාතිවාදීන් විසින් සිහල උරුමය බිහි කරන ලදී. සිහල උරුමය, ජාතික හෙළ උරුමය බවට පත් වන්නේ එස්.එල්. ගුණසේකර වැනි ක්‍රිස්තියානි හෝ අනාගමික සිංහල නායකයන් හා තිලක් කරුණාරත්න වැනි ධනේශ්වර දේශපාලකයන් පිටියෙන් පළවා හරිමින් බෞද්ධ භික්ෂූන් දේශපාලන කරළියට වඩම්මමින් ජාතිවාදයට ආගම්වාදයත් එකතු කරගෙනයි. 

කොටි සංවිධානය මෙම ව‍ර්ධනය දෙස බැලුවේ තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වන සාධකයක් ලෙසයි. දෙමළ ජාතිවාදයෙන් මිදීමේ කිසිදු උවමනාවක් කොටි සංවිධානයට නො තිබුණු බව අපි පැහැදිලිව නිරීක්ෂණය කළෙමු. කොටින් දිරි දුන්නේ සිංහල සමාජයෙන් මතු වූ දෙමළ ස්වයං නිර්ණය හිමිකමට ගරු කළ වාමාංශික බලවේගයට නොව මේ සිංහල අන්තවාදීන්ටයි. සිංහල සමාජයේ පරිහාණිය තුළින් තමන්ට විමුක්තිය ලබා ගත හැකි වනු ඇතැයි කොටි සිතූ හ. 

සිංහල අන්තවාදය පෝෂණය කිරීමෙන් නො නැවතුණු කොටි සංවිධානය 2005දී උතුරේ මැතිවරණ වර්ජනයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩුව බලයට ගෙන ඒමට ද කටයුතු කළේ ය. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ සිංහලයන් ජාතියක් ලෙස අගතියට තල්ලු කර දමා ඒ ඔස්සේ සිය විමුක්තිය සාක්ෂාත් කර ගන්නට ය. 

එහෙත් ලංකාවේ නිර්මාණය වූයේ වෙනත් ආකාරයක රුවන්ඩාවකි. 2009දී කොටි සංවිධානය විසින් අත්පත් කර ගන්නා ලද යුදමය පරාජය සමස්ත දෙමළ සමාජය ම හා පොදුවේ ලංකාවේ සියලු සුළු ජාතීන් ද, වාමාංශික ව්‍යාපාරය ද, සිවිල් සමාජ අරගළ ද ගැඹුරු අර්බුදයකට හෙළන ලදී.

දෙමළ ව්‍යාපාර ඉන් පසුව ද තව දුරටත් ජාතිවාදයේ ම පිළිසරණ සෙව්වා මිස නව යථාර්ථයන් තේරුම් ගනිමින් හැඩගැසුණේ නැත. විශේෂයෙන් ම දෙමළ ඩයස්පෝරා දේශපාලනයට මේ කතාව අදාළ ය. අඩු තරමේ ප්‍රජාතන්ත්‍රවාදී, මධ්‍යස්ථ දෙමළ දේශපාලන ව්‍යාපාරයක් වන දෙමළ ජාතික සන්ධානයට හෝ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ආධාර උපකාර නො ලැබිණි. අවසානයේදී ඩයස්පෝරා දෙමළ ජාතිවාදය ද මේ වන විට දිය වී ගොස් හමාර ය. 

යුද්ධයෙන් ද, ජාතිකවාදී දේශපාලන ගැටුමෙන් ද ජයග්‍රහණය කළ සිංහල බෞද්ධ බලවේගයට දෙමළ සතුරා තව දුරටත් ශක්තිමත් අභියෝගයක් නො වූ තැන ඔවුහු ගෝලීය පරිමාණයෙන් ශක්තිමත් සතුරකු ලෙස මුස්ලිම් අන්තවාදය තෝරා ගත්හ. ලංකාවේ හා බුරුමයේ මුස්ලිම්වරුන්ට කරන ලද විවිධාකාර හිංසා පීඩා ඔස්සේ බෞද්ධයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන තැනකට මුස්ලිම් අන්තවාදය තල්ලු කර ගැනීමට මේ වන විට මේ බෞද්ධ අන්තවාදීහු සමත් වී සිටිති. මේ වන විට බෞද්ධ අන්තවාදය ජාත්‍යන්තර බලවේගයක් බවට පත් කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. එහි දේශපාලන අරමුණ කුමක්දැයි පැහැදිලි නැත. මේ ඔස්සේ වඩාත් සිංහල බෞද්ධ අන්තවාදී ආණ්ඩු ලංකාවේ හා බුරුමයේ පිහිටුවා ගැනීමට ඔවුන්ට හැකි වන්නට ඉඩ තිබේ. 

කොහොම වුණත්, මෙම තත්වය ඇති කිරීම සඳහා මුල් වූ පිරිස් අතර බොදු බල සේනාව මෙන් ම දෙමළ ජාතිවාදය ද ඉදිරියෙන් ම සිටිති.  බොදු බල සේනාව බිහි වූ සිංහල - බෞද්ධ ජාතිවාදී ආගම්වාදී ධාරාව තුළ ද ප්‍රතිචාරාත්මක ලක්ෂණ තිබුණු බව ද අප අමතක නො කළ යුතු ය. බොදු බල සේනාව තහනම් කළොත් එහි තැන ගැනීම සඳහා සිංහල රාවය වැනි තවත් හතු ඕනෑ තරම් බිහි වනු ඇත.බොදු බල සේනාවට පමණක් නො ව, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට ද නිරායුධව දේශපාලනය කිරීම පිණිස ඉඩ විවෘත කර දිය යුතු බව අපේ මතයයි.

2003දී සිහල දමිළ කලා උළෙලට පහර දීම නිසා සිහල උරුමය ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතන දෙකක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී. ජාතික හෙළ උරුමය ලෙස කරන ලද නම් මාරුව ඔස්සේ චම්පික රණවක ත්‍රස්ත නායක ලේබලයෙන් ගැලවුණේ ය. 

බොදු බල සේනාව හා සිංහල රාවය වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන ලංකාවේ සුළු ජාතීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර තිබේ. ඒවාට එරෙහිව ලංකාවේ ජාතිවාදී ආණ්ඩුව හා පොලිසිය කටයුතු කර නැත. ඔවුන්ට ඒ උරුමය ඉදිරියට රැගෙන යාමට ඉඩ දිය යුතු ය. කළ යුතුව තිබෙන්නේ සංවිධාන තහනම් කිරීම නො ව, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමයි. 

අනෙක් පැත්තෙන්, ප්‍රගතිශීලීන් විසින් උත්සාහ කළ යුතුව තිබෙන්නේ ජාතිවාදීන්ගේ මර්දන උපක්‍රමවලින් ම මෙවැනි සංවිධාන යටපත් කර දැමීමට නො වේ. එවැනි සංවිධාන බිහි වූ පසුබිම තේරුම් ගෙන ඒවා දේශපාලනික වශයෙන් පරා‍ජය කිරීමට උත්සාහ කළ යුතු ය. ඒ සඳහා ඔවුන් සමග දේශපාලනික සංවාදයකට එළඹිය යුතු ය. එසේ ම, ජාතිවාදයට විකල්ප දේශපාලනයක් පිළිබඳ සංවාදයක් ද ආරම්භ කළ යුතු ය. 

බොදු බල සේනාවට විකල්පය වන්නේ දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතිවාදය නො වේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සීමාවන් ඉක්මවා ගිය ලාංකික දේශපාලන ප්‍රජාවකි. එකී ලාංකික දේශපාලන ප්‍රජාව තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතාවන්ට ගරුත්වයක් තිබිය යුතු ය. එහෙත් ප්‍රමුඛ විය යුත්තේ ලාංකිකකත්වයයි.

පෙත්සමට මෙතැනින් පිවිසිය හැකි ය. අප නම් එය අත්සන් කරන්නේ නැත. 

බොදු බල සේනාව තහනම් නො කරනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com