විග්නේශ්වරන්ට ඉරිසියා කරමු

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කර තිබෙන සුවිශේෂ තේරීම වන්නේ ‍කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය.

දයා මාස්ටර් තම මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීම කොටි සංවිධානයේ ද මුග්ධකමකි. දයා මාස්ටර් වැනි චරිතයක් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීමෙන් කොටි සංවිධානය ප්‍රකාශ කළේ ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට නිගරුවකි. එය කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමක් විය හැකි ය.

කිලිනොච්චියේ කොටින්ගේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරුනු නිවසක් භාරව සිටි, ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකුව සිටි එහෙත් ඉංග්‍රීසි කතා කළ නො හැකි ‍අසරණ පෙනුමක් ඇති මේ මිනිසාට වඩා විප්ලවීය තේරීමක් ආණ්ඩුවට උතුර සම්බන්ධයෙන් නැති වීම ඇත්තෙන් ම ආණ්ඩුවේ අසරණකම ප්‍රදර්ශනය කිරීමකි.

එහෙත්, දෙමළ ජාතික සන්ධානය සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් තෝරාගෙන තිබේ. ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. මම එහුට කැමැත්තක් දක්වන්නේ ඔහු තුළ ඇති ඇතැම් පුළුල් ලක්ෂණ හේතුවෙනි. සිය භාෂාවට, ජාතියට, ආගමට ගරු කරන ගමන් ම ඔහු පුළුල් ලාංකික අනන්‍යතාවක් සිය පවුලේ ජීවිතය තුළින් ප්‍රකාශයට පත් කරයි. ඔහුගේ දියණියක් විවාහ වන්නට නියමිත වාසුදේව නානායක්කාරගේ පුතා සමගයි. පුතෙකු විවාහ වන්නට නියමිත කේසරලාල් ගුණසේකරගේ දියණියක් සමගයි.විග්නේශ්වරන්ගේ දරුවෝ සිංහල, දෙමළ අනන්‍යතාවන් ඉක්මවා ගිය ලාංකික අනන්‍යතාවක නිහඬ ප්‍රකාශකයෝ වෙති.

අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමිනි විජේදාස විග්නේශ්වරන් හමු වී සාකච්ඡා කර ලියා තිබෙන විශේෂාංග ලිපිය කියවූ විට ඔහුගේ තවත් ලක්ෂණ කීපයක් දැක ගත හැකි ය. විදෙස් මාධ්‍යයක් දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ ඔහුගේ අදහස විමසයි. ඔහු කියන්නේ එම කරුණ අදාළ වන්නේ දේශපාලකයකු‍ට මිස තමාට නො වන බවයි. ඔහු තමන් හඳුන්වන්නේ දෙමළ ජනයාගේ බිඳ වැටුණු ජීවිත යළි ගොඩනැඟීම සඳහා කටයුතු කරන නිලධාරියකු ලෙසයි. ඔහු කියන්නේ මේ අවස්ථාවේ උතුරු පළාත් සභාවේ නායකත්වය සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුව, ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කළ හැකි අයෙකු බවයි.

එසේම, එම පුද්ගලයා සිංහල ප්‍රගතිශීලීන් සමග කටයුතු කළ හැකි පුද්ගලයකු විය යුතු ය යන්න ද විග්නේශ්වරන් තේරුම් ගත යුතු ය. ලංකාවේ දෙමළ දේශපාලන ව්‍යාපාර කිසිදා හරි හැටි ‍තේරුම් නො ගත් කරුණක් විග්නේශ්වරන්ට ද තවම ස්පර්ශ වී නැති බව පෙනේ. ඒ වනාහි ආණ්ඩුවත්, සිංහල ජාතිවාදීනුත් නො වන සිංහල ප්‍රජාවක් ඇති බවයි.දෙමළ නායකයින් විසින් සහජීවනය වෙනුවෙන් ඉලක්ක කළ යුතුව තිබෙන්නේ එම ප්‍රජාවයි.

කොටි සංවිධානය ඇතුළු දෙමළ ජාතිවාදීහු මෙම ප්‍රජාව හිතාමතා ම අමතක කර දැමූහ. නැතිනම් එයින් කොටසක් තමන්ගේ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් කඩේ යැවූ හ. දෙමළ ජාතිවාදීන් හැම විට ම පෙම් කළේ සිංහල ජාතිවාදීන්ටයි. ඔවුන්ට අවශ්‍ය දෙය කළේ සිංහල ජාතිවාදීහු ය.

විග්නේශ්වරන්ගේ සාර්ථකත්වය රඳා පවතින එක් මර්මස්ථානයක් වන්නේ එයයි. ඔහු උත්සාහ කළ යුතුව තිබෙන්නේ ප්‍රාදේශීය දෙමළ නායකයකු වීමට නො වේ. ජාතික නායකයකු වීමටයි. ඒ සඳහා විභවයන් ඔහු සතු ය. 

ඇත්තම කීවොත්, ඔහු සිංහල ජනයාට ඉරිසියා කළ හැකි තෝරාගැනීමකි. මන්ද, සිංහලයන්ට එවැනි කීර්තියක් සහිත දේශපාලකයකු ගැන බලා‍පොරොත්තුවක් තබා ගැනීමටවත් නො හැකි තරමට සිංහල සමාජය දූෂණයට ගොදුරු වී තිබෙන බැවිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //සිංහලයන්ට එවැනි කීර්තියක් සහිත දේශපාලකයකු ගැන බලා‍පොරොත්තුවක් තබා ගැනීමටවත් නො හැකි තරමට සිංහල සමාජය දූෂණයට ගොදුරු වී තිබෙන බැවිනි.//
    කොටි සංවිධානය විසින් සිංහලයන්ට බලා‍පොරොත්තුවක් තබා ගැනීමට හැකිව තිබූ දේශපාලකයින් සියල්ල වසර 30 තිස්සේ systematically ඝාතනය කොට මරා දැමුවා නේද?
    අනික් කරුණ නම් ඔබ දේශපාලකයන් සිංහලයන්ට සහ දෙමල සමාජයට වෙන්කර දක්වන විට ඔබ මීට කලින් පෙනී සිටි සිංහල දෙමල නොසලකන ලාංකික දේශපාලනය ගැන කිවූ කතාවට වන්නේ කුමක්ද? සිංහල දෙමල ලෙස ඔබම නැවතත් දේශපාලනය බෙදන්නේ ඇයි.විග්නේශ්වරන් ලාංකිකයෙකි අපි මුරලිදරන් නම් පන්දුයවන්නාට කැමති වන ලෙස විග්නේශ්වරන් ගැන ලාංකික ඇසකින් බලනු වෙනුවට සිහලයන්ට ඉරිසියා කළ හැකි දෙමල දේශපාලකයෙක් ලෙස ඔබ මෙහි හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. උදිත මීගහතැන්න සිංහල. විග්නේශ්වරන් දෙමළ. ලාංකික කවුරුවත් දැනට නම් ලංකාවේ නැහැ. ශ්‍රී ලාංකික කියන්නේ සිංහලකමට පර්යාය පදයක් විතරයි. ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැඟුවත් සිංහල, දෙමළ අනන්‍යතා නැති වෙන්නේ නැහැ.

      "කොටි සංවිධානය විසින් සිංහලයන්ට බලා‍පොරොත්තුවක් තබා ගැනීමට හැකිව තිබූ දේශපාලකයින් සියල්ල වසර 30 තිස්සේ systematically ඝාතනය කොට මරා දැමුවා නේද?" කියා ඔබ අසනවා. එතකොට සිංහල ඔබේ ආණ්ඩුව දෙමළ නායකයන් සම්බන්ධයෙන් කළේ මොකක්ද?

      මම නම් හිතන්නේ සිංහලයන්ට නායකයකු නැති වුණේ කොටින් විසින් හිටපු අය මරා දැමූ නිසා නොවෙයි. හිටපු එවුන් තමන් විසින් ම දේශපාලනිකව සිය දිවි නසා ගත් නිසායි.

      අපට විග්නේශ්වරන් වැනි තේරීමක් තියෙනවා නම් කියන්න.

      විග්නේශ්වරන් දිහා ලාංකික ඇසකින් බලන්න කොහෙද ඔය කියන ලාංකික දේශපාලන ප්‍රජාව ඉන්නේ. අපි උත්සාහ කළ යුතතේ එය ගොඩනඟන්න.

      සාහිත්‍යයේ වාගාලංකාර එක්ක එල්ලෙන්නෙ නැතිව යථාර්ථය තේරුම් ගන්න.

      Delete
    2. බලන්න පැරකුම් ඔබ කලබල වී කරගත් දෙය //එතකොට සිංහල ඔබේ ආණ්ඩුව// යැයි මට කියන ඔබ එතනම යට //අපට විග්නේශ්වරන් වැනි තේරීමක් තියෙනවා නම් කියන්න// යැයි කියයි. මෙහි මගේ සිංහල ආණ්ඩුව වන විට ඔබ ඉන් පිටත ස්ථානගත වෙයි. දැන් එතනම යට අපට විග්නේශ්වරන් වැනි තේරීමක් තියෙනවා කියන අපි තුල ඔබත් මාත් දෙදෙනාම ඉන්නවාද ඔබ පමණද? මෙතෙක් කල් මා සිතාගෙන සිටියේ කෙතරම් දේශපාලනිකව විරුද්ධ අන්ත දෙකක හිටියත් අප දෙදෙනාම මේ සිංහල /දෙමල ප්‍රතිපක්ෂ පසුකර ගොස් සිටින ලාංකික ලෙස හිතන මිනිසුන් කියාය.ලාංකික කවුරුවත් දැනට නම් ලංකාවේ නැහැ කියමින් තමන්ගෙන් පිටත සමාජය අර්ථදක්වන්නේ නැතිව මුලින්ම අපි තමන් කවුදැයි තේරුම් ගමු නේද?
      //කොහෙද ඔය කියන ලාංකික දේශපාලන ප්‍රජාව ඉන්නේ.අපි උත්සාහ කළ යුතතේ එය ගොඩනඟන්න. //
      මා සිතන්නේ තමන් තමන්ව ජාතිවාදී සිමාවෙන් ඔබ්බට වෙනස් කරගැනීම තමන් ගොඩනගා ගැනීම අනුන් සහ සමාජය ගොඩනගන්න යනවාට වඩා වැදගත්.සිංහල සමාජය දෙමල සමාජය යනුවෙන් මෙහි ප්‍රතිපක්ෂ හදා ඇත්තේ ඔබේ මනස නොවෙයිද?
      //ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැඟුවත් සිංහල, දෙමළ අනන්‍යතා නැති වෙන්නේ නැහැ.//
      මෙය මට අනුව වැරදි ප්‍රකාශයක් වමාන්ශිකයෙකු යැයි කියන ඔබ මිට වඩා දන්නවා නේද. ප්‍රධාන වන්නේ ආර්ථිකය නොවේද? ලාංකික දේශපාලන ප්‍රජාවක් හැදීම මායාවකි ගොඩනැගිය ලාංකීය
      හැක්කේ ආර්ථිකයයි.ලාංකීය ආර්ථිකය ගොඩනැගුණු විට දෙමළ සිංහල අනන්‍යතා ආර්ථිකය තුලදියවී යනු ඇත.උදාහරණයක් ඕනෑ නම් ඇමරිකාවට යන ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුගේ ජාතික අනන්‍යතාවයන් වල සාරය මනස්ගාතයක් පමණක් වී ශරීරයෙන් ආර්ථිකය හා බද්ධ වෙන්නේ ඇයි.

      Delete
    3. "ඇමරිකාවට යන ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුගේ ජාතික අනන්‍යතාවයන් වල සාරය මනස්ගාතයක් පමණක් වී ශරීරයෙන් ආර්ථිකය හා බද්ධ" වෙනවා ය කියන එක මනස්ගාතයක්. ඇමරිකාව තුළ කළු ජාතිකයන් හා වෙනත් පීඩිත ප්‍රජාවන් එහෙම වී නැති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා.

      මෙහේ ලොකු ලොකු සිංහලයන් පවා එහි ගිහින් පොඩි පොඩි රස්සා කරනවා. ඒත්, ඒ ආර්ථිකය විසින් ඔවුන් එහි සමාජයට බද්ධ කර ගන්නේ නැහැ. උදාහරණයක් ලෙස, මේ ඇමරිකන් පුරවැසියෝ මෙහේ ඇවිත් පට්ට සිංහල ජාතිවාදීන් වන්නේ ඇයි ද කියා සිතා බලන්න.

      අනෙක් පැත්තෙන් ආර්ථිකය තමයි ප්‍රධාන ය කියන කාරණය ගැන නිගමනයක් නැහැ. ඒ ගැන ලෝකයේ පුළුල් සංවාදයක් තිබෙනවා. මාක්ස්වාදය තුළ අන්තෝනියෝ ග්‍රාම්ස්චි වැනි අය කර තිබෙන මැදිහත්වීම් හදාරා බලන්න.

      අපට ලාංකික පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒත්, ලාංකිකයා යනු පුද්ගලයින්ගේ ‍ඓඛ්‍යයක් නො වී දේශපාලන ප්‍රජාවක් විය යුතුයි. දේශපාලන ප්‍රජාවක් ගොඩනැ‍ෙඟෙන්නේ අදහස්වලින් විතරක් නොවෙයි. දේශපාලන ක්‍රියාකාරකම්වලින්.

      ඒ කෙසේ වෙතත්, ලාංකික දේශපාලන ප්‍රජාව තුළ වුණත් සිංහල අනන්‍යතාව නැති වන්නේ නැහැ. මම සිංහල තමයි. ඒත් මේ මගේ ආණ්ඩුවක් නොවෙයි. හේතුව මේ ආණ්ඩුව සිංහල ජාතිවාදී වුණාට එය සිංහල විරෝධී එකක් නිසා. සිංහල ජාතිවාදය පාර කපන්නේ සිංහල ජාතියේ විනාශයට. ඒ නිසායි එය සිංහල විරෝධී ය කියලා මම කියන්නේ.

      Delete
    4. @උදිත,

      //ලාංකීය ආර්ථිකය ගොඩනැගුණු විට දෙමළ සිංහල අනන්‍යතා ආර්ථිකය තුලදියවී යනු ඇත.උදාහරණයක් ඕනෑ නම් ඇමරිකාවට යන ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුගේ ජාතික අනන්‍යතාවයන් වල සාරය මනස්ගාතයක් පමණක් වී ශරීරයෙන් ආර්ථිකය හා බද්ධ වෙන්නේ ඇයි//

      ඇමරිකාවට යන ඕනෑම රටක ඕනෑම ජාතිකයෙකුට, ඇමරිකාවේ දියුනු ආර්ථිකය කියන්නේ දෙන ලද තත්වයක්නේ. ඔය කියන තත්වය දැනට උනත් ලංකාවට එන මාල දිවයින් වැසියාට ලංකාවෙදී තියෙනවා අඩු වැඩි ලෙස. ලංකාවේ (හෝ වෙන රටක මෙවැනි ) ජාතික ප්‍රශ්නය, ආර්ථිකය ප්‍රශ්නය පලමුව විසඳීමෙන් ඉබේම විසඳෙනු ඇතැයි සිතීම තාර්කික නැහැ. දියුනු ආර්ථිකයක් තුලට පිටින් යන දෙමල / සිංහල අයෙකුගේ සහ ලංකාවේ ජීවත් වන දෙමල / සිංහල අයකු අත්විඳින තත්වය සසඳන්න බැහැ නේද? ඔව්.. හෙට උදේ අපි නැගිටලා බලනකොට ලංකාවේ දියුනු ආර්ථිකයක් ඇතිවෙලා තිබුනොත්, ඔබ කියන දේ අදාල විය හැකියි!

      ආර්ථිකය මූලිකයි කියන දේ පිලිගන්න පුලුවන්. නමුත් මේ සිදුවෙමින් යන්නේ දෙමල ජනතාවට ආර්ථික ප්‍රතිලාභ තබා කිසිම ප්‍රතිලාභයක් ලබාදෙන ක්‍රියාවලියක් නොවෙයි.

      සිංහල-දෙමල සහජීවනය ගැන කියද්දි මුරලිදරන්, කදිරගාමර් ගැන කියන මෝස්තරය යල්පැනලා ගොඩාක් කල්! ඔවුන් සිංහලයන් අතර සුරතලුන් මිස මහා සහජීවනයකට උරදුන් උදාහරන නොවෙයි.

      @අජිත්,

      විග්නේශ්වරන් වැනි එවැනි කීර්තියක් සහිත සිංහල දේශපාලකයකු ගැන කියද්දී මට මතක් වෙන එකම අයෙක් සිටිනවා. ඔහු නම් වෛද්‍ය රවීන්ද්‍ර ප්‍රනාන්දු (පක්ශය අමතක කලොත්). එවන් මිනිසකුට දකුනේ සිංහලයන් කලකට පෙර අත්කර දුන් ඉරනම ඔබට මතක ඇති!

      - Dimithri

      Delete
    5. {{ මෙහේ ලොකු ලොකු සිංහලයන් පවා එහි ගිහින් පොඩි පොඩි රස්සා කරනවා. ඒත්, ඒ ආර්ථිකය විසින් ඔවුන් එහි සමාජයට බද්ධ කර ගන්නේ නැහැ. උදාහරණයක් ලෙස, මේ ඇමරිකන් පුරවැසියෝ මෙහේ ඇවිත් පට්ට සිංහල ජාතිවාදීන් වන්නේ ඇයි ද කියා සිතා බලන්න. }}

      පැරෝ,
      මේක නම් පට්ට කතාව. හැබැයි ඔය රටවලට ගිහින් ඉන්න දෙමළ අයත් එහෙම තමයි. ඒ වාගෙම එහෙම නැති අයත් ඉන්නවා. මතකද අප්‍රේල් මාසයේදී ඇමරිකාවට ගිය ඥාණසාර සාදුට නිව්යෝක් පන්සල්වලදී කරන්න සැලසුම් කර තිබුණු වැඩ සටහන් අවලංගු කරන්න වුණා. ඒ මොකද ඒ පන්සල්වල දායකයෝ ඥාණසාර සාදු ජාතිවාදියෙක් කියලා උන්නාන්සේව ප්‍රතික්ෂේප කරපු නිසා.

      - අරුණ

      Delete
  2. පැරා,

    දැන්වත් දෙමළට පාඩුවේ ඉන්න දුන්නොත් නරකද?
    ඔහෙලා වගේ බංකොලොත් උදවියයි, ඩයස්පෝරාවේ උන්දලයි පෙන්නපු හීනයක් පස්සේ ගිහින් අන්තිමේදී උතුරේ දෙමළට ලැබුනේ තමන්ගේ වර්ගයා සමුහයක් අහිමිවීමේ දුක පමණයි.

    දැන්වත් උන්ට තව තව හීන පෙන්වන්නේ නැතිව පාඩුවේ ඉන්න දෙනවකො ඕයි. දෙමලු ටික සමුල ඝාතනය කරනකන් තමුසේලා කටමැත දොඩව දොඩව හිටියා මිසක්කා වෙන මොනාද කරේ? තමුසෙලාටයි, ඩයස්පෝරාවටයි උතුරේ උන සමුල ඝාතනය වලක්වන්න පුළුවන් උනාද? දැන් මෙතන හදන්නේ තවවටයක් උන්ව අවුස්සලා ඊලග සමුල ඝාතනයට පාර කපන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට තමන්ගේ නමින් මේ ‍කමෙන්ටුව දමන්න ආත්ම ශක්තියක් නැහැ. එහෙම තිබුණා නම් මට පිළිතුරු දෙන්න තිබුණා.

      අපි කරන්නේ දේශපාලනය. දේශපාලනය කියන්නේ මැදිහත්වීමක්. නිරීක්ෂණය කිරීම නොවෙයි.

      අපි කරන හැම මැදිහත් වීමක් ම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මැදිහත් වීම් නො කර සි‍ටිය යුතුයි කියන ඔබ වැනි අය දේශපාලනික වශයෙන් අසාර පුද්ගලයෝයි.

      ඔබේ ස්වරය තුළ තිබෙනවා දෙමළ ඩයස්පෝරාවෙන් කාපු බත්වල ඉඳුල් ගඳ. පුළුවන් නම් නමින් එන්න.

      Delete
    2. පැරෝ,

      නාමිකව ආවත්, නිර්නාමිකව ආවත් උන්නැහේ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා කියල තේරුම් ගන්නකෝ. නම නෙවෙයි වැදගත්, අදහසයි වැදගත්. ඒ නිසා උන්නැහෙට උත්තරයක් දුන්නෝතින් නේද හොඳ?

      - අරුණ

      Delete
  3. ඔබ ඉතාම නිවැරදිව ප්‍රකාශ කරන්නේ "ආන්ඩුවටත්,සිංහල ජාතිවාදින්ටත් අමතරව සිංහල ප්‍රජාවක් සිටිනා බව ඔහු අමතක නොකල යුතුය."
    ඒ අපය.අප හා කලයුතු ගනුදෙනුව ඔහු නිවැරදිව වටහා ගත යුතුය.මේ අලස ආන්ඩුව අමතක කර ඇත්තේද එවන් ගනුදෙනුවකි.එනම් ඩයස්පෝරා ,ටී.එන්.ඒ.,දයා මාස්ටර්ලා,කේ.පිලාට වඩා වැදගත් දෙමල පුරවැසියන් හා කලයුතු නිවැරදි ගනුදෙනුවය.

    ReplyDelete
  4. මේ සියල්ල වැඩකට නැති කතා බව මගේ හැඟීමයි.
    'අපි' යන වචනය නිශ්චිත අර්ථ දැක්වීමක් නැති වචනයකි. එහෙත් "අපි" යන කුලකයට "මම" යන සාමාජිකයා අනිවාර්යයෙන් ඇතුළත් වේ.

    මේ බොහෝ ගැටළු වලට මුල ලංකාව අපේ රට කියා කීමේදී අපි යනු සිංහල මිනිස්සු කියා හැඟීමක් ඇති වීමයි.

    ලංකාව සිංහලයන්ට පමණක් අයිති නැත.

    ReplyDelete
    Replies
    1. @“ලංකාව සිංහලයන්ට පමණක් අයිති නැත“ - ඔබේ නමට ම ගැලපෙන ප්‍රකාශයක්.

      Delete
  5. මා විග්නේශ්වරන්ගේ දේශපාලන ආගමණයට ඉතාම කැමතිය. ඒ වැනිම වරාවැවගේ දේශපාලන ආගමණයට ද කැමතිය. දේශසීමා ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රියන්ට පිළිතුරු ලබාදිය යුත්තේ එවැනි පුළුල් මනසක් සහිත මිනිසුන්ගේ දේශපාලන ආගමණයෙනි. මේ හරසුන් දේශපාලන දෙබිඩ්ඩන්ගේ ගොඩට නොවැටීමට විග්නේශ්වරන් ප්‍රවේසම් විය යුතුය.

    නමුත් අවාසනාවකට ඔහුගේ මුල්ම දේශපාලන ප්‍රකාශයට මම ඉත සිතින්ම විරුද්ධ වෙමි. එනම් මේ රටේ මුල් පදිංචි කරුවන් කවුද යන්න සෙවීමෙන් ඇති පලය කිම? කළ යුත්තේ එය ද? එම ප්‍රකාශය හැර අන්සියල්ලටම මම කැමතිය. ඉන් මම මේ රටේ සිංහළ මුල් පදිංචි කරුවන් සිටියා යැයි නොකියමි. එය ඔහුටවත් මටවත් අයිති කාරියක්ද නොවෙයි. ඉතිහාසඥයින්ගේ කාරියකි. ඒ අමතක කර මේ සමාජ ප්‍රශ්න වලට හිත යොමන්නේ නම් වඩා ප්‍රශස්ත බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි! වෙද මාමාගේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කොමෙන්ටුවට.

      - අරුණ

      Delete

  6. විග්නේස්‌වරන් ඊනියා මධ්‍යස්‌ථ අපේක්‌ෂකයකු නොවේ. මධ්‍යස්‌ථ පුද්ගලයෝ ලොවේ නොවෙති. සෑම අයකුටම පදනම් චින්තනයක්‌ ඇත. ඒ ඒ අය ඒ ඒ චින්තනයේ දරුවෝය. 2001 දී විග්නේස්‌වරන් විනිසුරුවකු ලෙස දිවුරුම් දුන් දිනයේ කළ කතාවෙන් ඔහුගේ දෙමළ ජාතිවාදී ස්‌ථාවරය හෙළිදරවු විණි. අද ඔහු කියන්නේ දහතුන මදි බව ය....

    ReplyDelete
    Replies
    1. http://www.divaina.com/2013/07/21/nalin.html

      Delete
    2. ඔබ නලීන් ගේ වෘෂණ ලොවින්නෙක් බව පෙනේ..... ප්‍රශ්නය ඇත්තේ හැම දෙනාම ඔහුගේ වෘෂණ ලෙව නොකෑමයි.....

      Delete
    3. 13 මදි ය කී පළියට කෙනෙක් දෙමළ ජාතිවාදී වෙන්නේ නැහැ.

      13 ඇති ද මදි ද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ සුළුතර ජාතීන් විසිනුයි.

      මම නම් කියන්නේ 13 මදි.

      උතුරේ මිනිහාට තමන්ගේ ප්‍රදේශ පාලනයකර ගන්න අයිතිය තිබෙනවා.

      අපිත් ඒ අයිතිය ඉල්ලා සටන් කළ යුතුයි. අපි නිදි වදින හැටි‍, රෙදි අඳින හැටි පවා පාලනය කරන ඒකාධිපති ආණ්ඩුවෙන්නිදහස් වෙන්න මාර්ගය තිබෙන්නේ බලය බෙදාගැනීම තුළ තමයි.

      Delete
    4. පැරෝ,

      13 වැඩි කළොත් සිද්ධ වෙන දේ හිතාගත්තැහැකි දැන් ප්‍රාදේශීය සභාවල, නගර සභාවල "ජනතා නියෝජිතයින්ගේ" හැසිරීම දිහා බැලුවහම. මේ හැසිරීමට යූ.ඇන්.පී., ශ්‍රී ලන්ක, ජේ.වී.පී., සිංහල, දෙමළ භේදයක් නැහැ. ඒකට හේතුව ල\කාවේ විතරක් නෙවෙයි, මුළු දකුණු ආසියානු ජනතාවම තවම ගෝත්‍රික සමාජයක් තුළ ජීවත් වීමයි. ඔවුන්ට තවම පුනරුදයක අරුණළු වැටිලා නැහැ. 13 වැඩිකිරීමෙන් සිද්ධ වෙන්නේ ජනතාවට ඒකාධිපති මධ්‍යම ආණ්ඩුවෙන් මිදී, ඒකාධිපති පළාත් ආණ්ඩුවකට යටත් වීමට සිදු වීමයි.

      - අරුණ

      Delete
  7. දැන් එතකොට "ආණ්ඩුවටත්, සිංහල ජාතිවාදීන්ටත් අමතරව සිංහල ප්‍රජාවක් සිටින බව" දෙමළ ප්‍රජාවට සන්නිවේදනය කරන්න කවුරුත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් දෙමළ සමාජයෙන් මෙ තෙක් බිහිවී නැති එක තමයි සිංහලයාගේ කරුමය වෙලා තියෙන්නේ.

      - අරුණ

      Delete
  8. මුළු ලංකාවම උඩු-යටිකුරු කොට, කනපිට පෙරළා, සියළු අංගවලින් රටේ පරිහානියට මඟ පෑදූ1977 මහා මැතිවරණය පවත්වා අදට හරියටම අවුරුදු 36 යි.

    ReplyDelete
    Replies
    1. එළ කතාව.

      - අරුණ

      Delete
  9. අර එක කාලෙක ආපු වර්ධරාජා ද කවුද වගේ කඩාගෙන යන්නේ නැතිවෙයි නේද?
    පැරා කියන විදියට සිංහල (වෙන්ට) නෑයෝත් ඉන්න නිසා එහෙම යන එකක් නෑ.
    [හැබැයි වාසුදේව නම් සිංහල වෙන්නේ නමට විතරයි]

    ReplyDelete
    Replies
    1. වාසුදේව පිළිබඳ ඔබේ නිරීක්ෂණය ආවේගශීලීව කර ඇත්තක් මිස, කරුණු මත පදනම් වූවක් නොවෙයි.

      - අරුණ

      Delete
    2. වාසුදේවගෙ පහුගිය අවුරුදු කීපයෙ දේශපාලනික හැසිරීම බැලුවම මිනිස්සු බලය නිසා මොන තරම් පහත් තත්වයට වැටෙනවද කියල පෙන්වා දෙන්න , ජීවමාන උදාහරණයක් එතුමා....

      Delete

  10. විග්නේශ්වරම් ලව්වත් කොස් ඇට බාවගත්තොත් මෙදා පාරත් ඉවරයි..( මොකද එහා පිලි බළල්ලු ටිකක් වෙනස්..)

    ReplyDelete
  11. ද්‍රවිඩයා සිංහලයා දෙස සැකයෙන් බැලීමත් සිංහලයා ද්‍රවිඩයා දෙස සැකයෙන් බැලීමත් නිසා අපි තව තවත් ඒකිනෙකාගෙන් අෑත් වෙමින් සිටින්නෙමු. ඒය ඉන්දියාව ලද ජයග්‍රහණයකි. 1970 දශකයේ මුල් භාගයේදී ඉන්දියාව විසින් ලාංකික ද්‍රවිඩ තරුණයින්ගේ ඔළුවලට බෙදුම්වාදී ත්‍රස්තවාදය පොම්ප කරන විට ඔවුන් බලාපොරොත්තු වූයේ ලංකාවේ අද අැතිවී තිබෙන තත්තවයයි. ඒදා හිටපු අමිර්තලිංගම් වැනි ද්‍රවිඩ දේශපාන නායකයින්ට වෙනම රාජ්‍යයක අවශ්‍යය තාවය නොතිබුනා පමණක් නොව ඔවුන් ඒයට සහායක් දැක්වූයේද නැත. අමිර්තලිංගම්ට කොටින්ගෙන් වෙඩිකන්න සිදුවන්නේ ඒ නිසාය. අනෙක් කරුන නම් 1972 දී ද්‍රවිඩ ත්‍රස්තවාදයේ මුල්ම දඩයම වූ දොරේඅප්පා යාපනයේ ශ්‍රී ල නි ප නගරාධපති වරයායි.

    ඒ නිසා ඉන්දියාව විසින් අපට බලහත් කාරයෙන් දුන්නා යයි කියන 13වැනි සංශෝධනය මෙන්ම ඒයට මූලික වූ බෙදුම් වාදයද අපට දුන්නේ ඉන්දියාවයි. ඒයට පෙර සිටි ද්‍රවිඩ දේශපාලනඥයින් ඉල්ලවේ 50 ට 50 වැනි බලතල පමනි. නමුත් අද වන විට ද්‍රවිඩ සිංහල ජනතාව නයි මුගටි වැනි තත්වයකට පත්ව අැත. අපවිසින් බුද්ධිමත්ව මෙම ගැටළුම විසදා නොගත හොත් ලැබුවා යයි උදන් අනන යුධ ජයග්‍රහණය ඵල රහිත ඒකක් වනු අැත.

    අප ඉන්දියාවේ අභිප්‍රාය ඉටුකරනවාද නැතිනම් රටක් වශයෙන් ඉදිරියට යාමට අවශ්‍යය ජාතික සමගිය ගොඩනගනවාද යන්න විසදාගත යුතු අවස්ථාව වට ඒලඹ අැත.

    ReplyDelete
    Replies
    1. ලංකාව ඉන්දියාව දෙස සැකයෙන් බැලීමත්, ඉන්දියාව ලංකාව දෙස සැකයෙන් බැලීමත් නිසා අපි තව තවත් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින්නෙමු. ඒය චීනය ලද ජයග්‍රහණයකි.

      ඉන්දියාව චීනය දෙස සැකයෙන් බැලීමත්, චීනය ඉන්දියාව දෙස සැකයෙන් බැලීමත් නිසා අපි තව තවත් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින්නෙමු. ඒය ඇමරිකාව ලද ජයග්‍රහණයකි.

      .............

      පෘථිවිය අඟහරු ලෝකය දෙස සැකයෙන් බැලීමත්, අඟහරු ලෝකය පෘථිවිය දෙස සැකයෙන් බැලීමත් නිසා අපි තව තවත් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින්නෙමු. ඒය සූර්යයා ලද ජයග්‍රහණයකි.

      ...............................

      Delete
    2. අපූරු අර්ථදැක්වීමක් !

      ස්තුතුයි,

      අායුබෝවන්.

      Delete
  12. විග්නේශ්වරන් සහ වරාවැව මහත්වරුන් දෙපොළට සුබ පතන්නට කැමතියි මම...

    - අරුණ

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අද පවතින තත්වය තුළ නම් මෙ කවුරු ගැනවත් බලාපොරොත්තු තියාගැනිම වැඩක් ඇති දෙයක් ලෙස මා නම් නොදකිමි.ඉදිරියේදි එය ගැණ බලාගත හැකිවෙවි.
      A.Fernando

      Delete
  13. ane apiwath ganan gannako. okada parakum kiyanne

    ReplyDelete
  14. "ලංකාවේ දෙමළ දේශපාලන ව්‍යාපාර කිසිදා හරි හැටි ‍තේරුම් නො ගත් කරුණක් විග්නේශ්වරන්ට ද තවම ස්පර්ශ වී නැති බව පෙනේ. ඒ වනාහි ආණ්ඩුවත්, සිංහල ජාතිවාදීනුත් නො වන සිංහල ප්‍රජාවක් ඇති බවයි.දෙමළ නායකයින් විසින් සහජීවනය වෙනුවෙන් ඉලක්ක කළ යුතුව තිබෙන්නේ එම ප්‍රජාවයි. "

    +1 +1 +1

    ReplyDelete
  15. / ඔහුගේ දියණියක් විවාහ වන්නට නියමිත වාසුදේව නානායක්කාරගේ පුතා සමගයි. /

    අන්න ඒක විතරමයි විග්නේස්වරන්ට විරුද්ධ වෙන්න කාරණයක් හොයන කෙනෙකුට තියෙන එකම කාරණේ මම හිතන විදිහට......:) :)

    වාසුදේවගෙ පහුගිය අවුරුදු කීපයෙ දේශපාලනික හැසිරීම බැලුවම මිනිස්සු බලය නිසා මොන තරම් පහත් තත්වයට වැටෙනවද කියල පෙන්වා දෙන්න දර්ශීය, ජීවමාන උදාහරණයක් එතුමා.....

    ReplyDelete
  16. මෙතුමෝ මස්සිනා වාගේම දෑත ශක්තිමත් කරන්න යයිද දන්නේ නෑ...

    ReplyDelete
  17. ගොඩක් අය මෙතන වචන මත්තේම නැහෙනවා ඒකතමයි ඔක්කොම ප්‍රශ්ණවලට මුල

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා