ආගමිකයන් ඇණ කොටා ගන්නා ලෝකයේ අනාගමිකයකු වීම

ආගම් අතර යුද්ධ අලුත් වටයකින් ඇවිලෙමින් තිබේ. 

බුද්ධගයාවට බෝම්බ ගැසීම සමග මතු වී තිබෙන අලුත් ම තත්වය බෞද්ධයන් හා ඉස්ලාම් ආගමිකයන් අතර යුද්ධයක් විය හැකි ය. බෝම්බ තැබූවන්ට එසේ කිරීමට හේතුවක් තිබෙන්නට පුළුවන. එහෙත්, එකී බෝම්බ තැබීමෙන් සිදු වී ඇත්තේ දුකට තවත් දුකක් එක් වීම පමණි. දුක + දුක =සැප වන්නේ නැත.

ආගමිකයන් ආගම් වෙනුවෙන් යුද්ධ කිරීම ඉතා කණගාටුදායක තත්වයකි. මෙවන් ලෝකයක අනාගමිකයකු හෙවත් කිසිදු ආගමක් නො අදහන්නකු වීම ගැන මම සතුටු වෙමි. 

මට කිසිදු ආගමක් සමග භක්තියක් හෝ වෛරයක් හෝ නැත. එහෙයින් මට නම් කිසි දිනෙක කිසිදු ආගමක් සමග යුද්ධ කිරීමේ උවමනාවක් නැත. අදහන ආගම නිසා කිසිවෙකු තමන් මට වඩා උසස් යයි කීවත්, මට එය උපේක්ෂාවෙන් සලකා බැලිය හැකි ය. මන්ද, මා ජීවත් වන්නේ ඒ ආගමික අවකාශයෙන් බැහැර ලෝකයක නිසා ය.

ආගම මිනිසකුගේ පෞද්ගලික දෙයකි. තමන් පිළි ගත්තත්, නො ගත්තත්, අනුන්ගේ ආගම් ඇදහීමේ නිදහසට ගරු කිරීම මිනිසාගේ වගකීමකි. 

ධනවාදී සමාජ ක්‍රමය විසින් මිනිසුන් තුළ ඇති කරනු ලබන අසීමිත ආශා හා එකී ආශාවන් සපුරා ගැනීමට නො හැකි වීම නිසා ඇති වන අතෘප්තිය හේතුවෙන් අසහනයට පත් වන මිනිසුන්, තමන්ගේ ඉරණමෙහි සැබෑ හේතුව ලෙස ධනවාදී සමාජ ක්‍රමය හඳුනා ගැනීම වැළැක්වීම පිණිස ධනවාදය විසින් ම වෙනත් දේ ප්‍රවර්ධනය කර දෙයි. ආගම් මෙන් ම ආගම් අතර ගැටුම් ද ධනවාදයට ආශිර්වාද වේ. 

ආගම් අතහැර දැමීම යනු මිනිසුන් අතර ඇති වෙනස්කම් අවම කිරීමේ මාර්ගයකි. ආගමින් ගලවා ගත් විට මිනිස්සු සමාන වෙති. ජාතිය වැනි වෙනත් සාධක ද එ‍සේ ම ය. 

අනාගමිකයා සමාජවාදයට කිට්ටු ය. අනාගමික වීම සමාජවාදී අරගළයට උපකාරී වේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ආගම විතරක් නෙමෙයි ඕනිම දෙයක අන්තයටම ගියහම කොයිකත් අනතුරුදායකයි.ඒක නිසා තමයි අද සමහර ආගමික සංවිධාන සහ පුද්ගලයින් ත්‍රස්තවාදීන්ගෙන් වෙන් කරල අඳුන ගන්න අමාරු වෙලා තියෙන්නෙ.ලංකාවත් වැඩිකලක් නොගිහින් ආගමික අන්තවාදයේ යුධ පිටියක් වෙන ලකුණු පහල වෙමින් තියෙනව.

    ReplyDelete
  2. තේරවාදි බුද්ධාගමේ අන්තවාදයත්, මුස්ලිම් අන්තවාදයත් Point of no return පහු කරල ගොඩක් කල්. ආය කවදාවත් නිවැරදි කරන්න බෑ, මහා විනාශයකින් තොරව. හොඳම වැඩේ නැව ගිලෙනකොට කරන වැඩේ කිරීම.

    ReplyDelete
  3. පැරා...

    අනාමිගයකු වූවාට ඔබ මේ ලියා තිබෙන්නේත් ආගමට සමන්ධ ළිපියක් නේද. අනෙක ඔබ මින් පෙරත් ඒවන් ළිපි ලියා තිබෙනවා නේද. ඇත්ත මමද කිසිම ආගමක් පිලිගන්නේ නැත. නමුත් ඔනෑම පුද්ගලයකුට මවක් මෙන්ම රටක්ද ඇත. අනෙක ඔහුට උරුමවූ සංස්කෘතියක්ද ඇත. ඔබත් මමත් බොහෝ විට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නේ අප දෙමළ නිසා නොව. සිවිල් සමාජයට ගරු කරන පුරවැසියන් නිසාවෙනි.

    එනයින් බලන කල. බෞද්ධ මූලධර්මවාදයටත්, තලෙයිබාන්කරණයටත්, ක්‍රිස්තියානී මූලධර්මවාදයටත් විරුධ වීමේ වරදක් මා නම් දකින්නේ නැත.

    බුද්ධගයවට එල්ල කලද, දල්දා මාලිගාවට එල්ල කලද, කාන්තනකුඩි පල්ලියට එල්ල කලද, මුන්නේස්වරම් කෝවිලට එල්ල කලද අප එය හෙලා දැකිය යුතුමය. සමාජවාදය ඇදහීමට ඔබට අයිතියක් ඇතිවාක් මෙන්ම. ආගම් ඇදහීමටද මිනිසුන්ට නිදහස ඇත. නමුත් එය සිවිල් සමාජය තුල ගැටළු ඇති කරයි නම්. ඊට එරෙහිව අදහස් දැක්වීම, නීතීගරුක පුරවැසියකුගේ යුතුකමයි.

    ReplyDelete
    Replies
    1. මූලධර්ම යනු කිසියම් ධර්මයක නැතිනම් මතවාදයක මූලික හරයයි. ඒ අනුව බෞද්ධ මූලධර්මය යනු මෙලොව ඇති සුන්දරතම හා ප්‍රනීතම දෙයයි. එනම් රාග, ද්වේශ, මෝහ ආදී අකුසල් නැති අමාමහ නිවනය. ඒ අනුව බෞද්ධ මූලධරමවාදියා යනු නිවන් මගෙහි හික්මෙන අකුසල් දුරු ක‍රන ප්‍රතිපදාවේ ගමන් කරන උතුම් පුද්ගලයෙකි

      මට මේ සහෝදරවරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න. මේ සහෝදරවරුන් ආගම් විශ්වස නොකරන්නෙ සියලු නැතහොත් ප්‍රධාන ආගම් සියල්ල ගැබුරින් අධ්‍යනය කොට ඒවායේ හරසුන් බව දැකලද නැතිනම් බටහිර විද්‍යාව බාගෙට ඉගෙනගත් හරසුන් හිස් මිනිසුන්ගෙ කතා අහලද

      Delete
    2. දෙවෙනි එක සහෝදරයා
      - පැරාගේ යටි හිත -

      Delete
    3. මට මෙහි ලියා තබන්නට ඇත්තේ එක කරැනකි. මන්ද මෙම යුගය ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතු සමයකි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. "එක හේතුවක් මම දෙවියන් හෝ කර්මය, පුනර්භවය වැනි දේ විශ්වාස කරන්නේ නැහැ"

      දැන් මෙහෙම කිව්වට,
      එතකොට මේක කිව්වෙ මොකෙන්ද?

      "ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු"
      http://www.w3lanka.com/2013/01/blog-post_9723.html

      ප. ගෝ.

      ප.ලි. පැරා මට දැන් ඔයත් එක්ක වලියක් නෑ, ඒත් ඔයා කියන දෙවල් එක මතයක ඉන්න, නැත්නම් මෙ බ්ලොගෙ තියන සමහර වටින (මට ) ලිපිවල වටිනාකමත් නතිව යයි.

      Delete
    6. කිසියම් දෙයක් නිවැරදිව අධ්‍යයනය කරන්නැතිව ඒ දේ පිලිගන්නෙවත්, බැහැර කරන්නෙවත්, විවෙචනය කරන්නෙවත් කොහොමද? ක්‍රීස්තියනි සභා ගැනනම් මම දන්නැ එත් සංඝසමජය ගැන ඔබ නිවැරදිව දැන ගතොත් විශ්මයට පත්වේවි. ඒ සදහ විනය පිටකය කියවා බලන්න.

      Delete
    7. ඔනම ආගමක් හෝ දර්ශනයක් බිහිවන්නේ සොබාදහම හැදෑරීමට මිනිසා ගන්න ලද උත්සහයන්ගේ ප්‍රතිඵලයක් විදිහටයි.කිසිම කෙනෙක් ආතල් ගන්න හරි පිස්සුවකට හරි පොරක් වෙන්න හරි ආගමක් නිර්මානය කරල නැහැ. ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ ආගමේ මුවවෙන් එහි කරුනු අවභාවිතා කරන ඔබ ඔය කියපු ආයතන වල ක්‍රියාකාරකම් තමා.ඔවුන්තමා පැවැත්ම වෙනුවෙන් පාලකයන් සරන යන්නේ එහෙම නත්නම් ක්‍රමය පවත්වාගන්න පාලකයන් ප්‍රයෝගකාරී ලෙස ආගම යොදාගන්නවා

      Delete
    8. උඩ කමෙන්ට් එක මැකුවේ එහි යම් යම් කරුණු හරියට ටයිප් වී නො තිබුණු නිසායි.

      මම කීවේ මෙයයි: ආගම් අදහන අය තමන් අදහන ආගම තෝර ගත්තේ සියලු ආගම් හදාරලාද?

      මට නම් මම හදාරපු ආගම්වල වරදක් පෙනෙන්න නැහැ.

      එත්, මම කිසිදු ආගමක් අදහන්නේ නැහැ.

      එක හේතුවක් මම දෙවියන් හෝ කර්මය, පුනර්භවය වැනි දේ විශ්වාස කරන්නේ නැහැ. අනෙක, මම කැමති නැහැ ඒ ආගම් අදහන්නන් විසින් ගොඩනඟාගෙන තිබෙන සංඝ ශාසනය, ක්‍රිස්තියානි සභාව වැනි දුෂ්ට සංස්ථාවන්ට.

      සංඝ සමාජය කියන්නේ විනය පිටකය නොවෙයි. ඔය දැන් ඇස් පනාපිට තිබෙන එක. ඒක හැදිලා තිබෙන්නේ විනය පිටකය පරමාදර්ශය කරගෙන නො වන නිසා විනය පිටකය මෙතෙන්ට අදාළ නැහැ. ලංකාවේ තිබෙන සිංහල බුද්ධාගමට නම් බුදුන්වත් අදාළ නැහැ.

      මගේ ලිවීම් ගැන මට කියන්න තිබෙන්නේ මෙයයි. මම මේවා ලියන්නේ ඉතිහාසගත වෙන්න නොවෙයි. මම කරන්නේ යහපත් සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් අරගලයක්. මේ ලිවීම්වල ඉන් එහි විශේෂ වටිනාකමක් නැති වෙන්න පුළුවන්.

      Delete
    9. @ප.ගෝ.

      "ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු" කියන ප්‍රකාශයෙන් කියවෙනවද "දෙවියන් හෝ කර්මය, පුනර්භවය වැනි දේ" සත්‍ය බව? එසේ නම්, ඔබේ තර්කය අනුව "දෙවියන් හෝ කර්මය, පුනර්භවය වැනි දේ"ට පමනක් නොව මැවීම්වාදයටද, නක්ශත්‍රයටද, අංක විද්‍යාවටද, ෆෙංශුයි ශාස්ත්‍රයටද පමනක් නොව හූනු ශාස්ත්‍රයටද "සත්‍යයක්" වීමේ සමාන අවස්ථාවන් ලැබෙනු ඇත.!!!

      "ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් නොවන බව පිලිගැනීම" යනු ලෝකයේ ඇති ඕනෑම මනස්ගාතයක් සත්‍යය වනු ඇතැයි පිලිගැනීම නොවේ.

      - Dimithri

      Delete
    10. Dimithri, කණගාටුයි, ඔබෙ කොමෙන්ට් කියවා මම හිතාගෙන හිටිය අය නොවෙයි ඔබ. මතක තියාගන්න භාශාව කියල එක හරි වෙනස් දෙයක්, ඔයා ඔය එකම වාක්‍ය අල්ලගෙන කතා කරන තේරුම නෙවේ ඒ වාක්‍යයම සම්පූර්ණ ඡෙදය ඇතුලෙ හරි ලියවිල්ලක් ඇතුලෙ හරි තියනකොට එන්නෙ. පැරාගෙ ඒ පෝස්ට් එක හරියට කියෙව්වොත් ඔයාට තේරෙයි ඔය වාක්‍යයෙන් කියවෙන්නෙ කර්මය ගැන කියල. සරලව කිව්වොත් මර්වින් ජේ කුරේගෙ ලමයි මැරුනෙ එයා 88/89 කරපු දේවල් වලට කියන එක තමයි පැරා කියල තියෙන්නෙ.

      ප.ගෝ.

      Delete
    11. ඔබ පිළි ගන්නා සත්‍යයට මම ගරු කරනවා. එයට මම විවෘතයි. යම් දිනෙක මම එම සතයය පිළි ගත්තත් ඔබ පුදුම විය යුතු නැහැ.

      මිනිස්සු කියන්නේත්, මිනිසුන්ගේ මනස කියන්නේත් චලනයක තිබෙන දෙයක්. අදහස් කියන්නේ 'කි‍ව්වොත් කිව්වා ආයේ වෙනස් කරන්න බැහැ' පන්නයේ ක්‍රීඩාවක් නෙමෙයි.

      හැබැයි, ඒ ලිපිය ලිව්වා ය කියලා මම කර්මය, පුනර්භවය හෝ දෙවියන් හෝ පිළිගන්නවා ය කියා තර්ක කරන එක තේරුමක් නැහැ.

      ලියපු මම නේ කියන්නේ මම පිළි ගන්නේ නැහැ කියලා.

      හැබැයි, මම ජීවත් වන්නේ විවෘත අවසානයක් සහිත චලනයක.

      Delete
    12. @ප.ගෝ.

      මගේ කොමෙන්ටුවේ අරමුන වූයේ ඔබ අජිත් ට නගා තිබූ කර්මය සහ මර්වින් ජේ කුරේ පිලිබඳ සම්බන්ධයට පිලිතුරු දීම නොවන බව කිව යුතු නැහැ නේද?

      මා තැත් කලේ ඔබ විසින් ඔබේ කොමෙන්ටුවෙන් පලකල පුලුල් සහ ඉතා ජනප්‍රිය තර්කය මතුකර ගැනීමටයි; ඔබේ වාක්‍යයක එල්ලීමට නොවෙයි. මෙය ඊනියා බෞද්ධයින්, අද්භූත දේ විශ්වාස කරන්නන් විද්‍යාවට එරෙහි වීම සඳහා බහුල ලෙස සහ ඉතා ජනප්‍රිය ලෙස යොදා ගන්නා තර්කයක්.

      ඔබ කිසිසේත්ම එසේ අදහස් නොකලේ නම් එහි ආමන්ත්‍රනය ඉල්ලා අස්කර ගනිමි!

      - Dimithri

      Delete
  4. ආගම පිළිබද මාක්ස්වාදයේ එන ඔය අර්ථදැක්වීමට එකග විය නොහැක.මුලින් බිහිවන්නේ දර්ෂණයයි පසුව එය වටා එකතුවන අන්ධ භක්තිකයන් පිරිසක් විසින් එය promote කරනවා. පස්සේ තමයි ධනවාදය තම පැවැත්මට ඒක යොදාගන්නේ .බොහෝ ආගම් නිරපේක්ෂ සත්‍ය හා පැවැත්ම පිළිබද සාර්ථක මතවාද ඉදිරිපත් කර තිබෙනවා.විශේෂයෙන් බුදුදහමේ උගන්වන යතාර්ථය quantum භෞතික විද්‍යාව මෙන්ම string theory පවා ස්පර්ශ කෙරෙනවා ධනේශ්වරය විසින් ආගම තම පැවැත්මට යොදා ගන්න බව සත්‍යක් නමුත් එය ආගමේ වරදක් නොවේ. මේ පිස්සෝ රැල දිහා බලලා ආගමට බැනීමට වඩා ගැඹුරෙන් ආගම හදාරලා සරල නිදහස් මනුස්සයෙක් වෙන්න පුළුවන්.මාක්ස් වාදයෙන් මා උගත් කරුණු බුදු දහම තුලින් යලි යලිත් තහවුරු උනා.වඩා වැදගත් දේ තමා ඔය කිසිම මතවාදයකට වහල් නොවී කොටු නොවී සිටීම.ඔබේ සැබෑ චරිතය ඔබට හමුවන්නේ එවිටයි.

    http://www.youtube.com/watch?v=CRkDicwjRQs

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දාන්න ඕන උනේ මේ ලින්ක් එක
      http://www.youtube.com/watch?v=bo21AUnQUm4

      Delete
    2. //විශේෂයෙන් බුදුදහමේ උගන්වන යතාර්ථය quantum භෞතික විද්‍යාව මෙන්ම string theory පවා ස්පර්ශ කෙරෙනවා//

      දැනගන්නයි අහන්නෙ. කියන්නකො කොහෙද මෙහෙම කියලා තියෙන්නෙ? අඩුගානෙ එක පිලිගත හැකි මූලාශ්‍රයක්!

      මේ වගේ ප්‍රකාශ වලින් තරුන පරපුර නොමග යන්න පුලුවන් නේද?

      - Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා